රහස් රැසක් කැටිකරගත් කෝමාරිකා

කෝමාරිකා කියන්නේ සිංහල වෙදකමේ වැඩවලට, ආයුර්වේද වෙදකම් වලට වගේම රූපලාවන්‍ය කටයුතු වලටත් බහුලව යොදාගන්න දෙයක්. කෝමාරිකා ලංකාවේ අයට නම් අපනයනය කරන්න පුළුවන් බෝගයක් විදිහටත් වර්තමානයේ ජනප්‍රිය වෙලා තියෙනවා. මේ කෝමාරිකා වල තියෙන ගුණ නිසාම ලොව පුරා විශාල වශයෙන් කෝමාරිකා විවිධ ප්‍රයෝජන වලට ගන්නවා. ඉතින් කෝමාරිකා වල රහස් මොනවද? අපි ඒ ගැන දැනගමු.

 

1. මොනවාද මේ කෝමාරිකා

කෝමාරිකා කියන්නේ ජෙල් එකක් වගේ සාරයක් කැටිකරගත් පතොක් මාදිලියේ ශාකයක්. මේ කෝමාරිකා ආහාර සහ බේත් නිෂ්පාදන කටයුතු වලට වගේම රූපලාවන්‍ය වැඩවලටත් බහුල වශයෙන් යොදාගන්නවා. ලොව පුරා වසරකට අමරිකානු ඩොලර් බිලියන 13ක කෝමාරිකා හුවමාරු වන බව සොයාගෙන තියෙනවා. කෝමාරිකා ජෙල් එක විටමින්, ඇමයිනෝ අම්ල, ඛනිජ ලවණ, ප්‍රති ඔක්සිකාරක වලින් සාරවත් ජෙලි එකක්. ඇතැම් රටවල මේ කෝමාරිකා වල තියෙන ගුණය නිසාම සකසාගෙන පානය කරන අවස්ථාවනුත් තියෙනවා.

 

2. ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිජීවක ගුණ

පොලිපීනෝල් කාණ්ඩයට අයත් ප්‍රතිඔක්සිකාරක මේ කෝමාරිකා ජෙල් වල අඩංගු වෙනවා. මේ පොලිපීනෝල් වල ඇන්ටි බැක්ටීරියා ගතිගුණත් තියෙනවා. ඒ කියන්නේ බැක්ටීරියා සහ ආසාදන නැති කරන්නත් මේ කෝමාරිකා ගන්නවා. මේ නිසා කෝමාරිකා තුවාල සහ සීරීම් සුව කරන්න ගන්නවා. 

 

3. පිලිස්සුම් සුව කරන කෝමාරිකා

කෝමාරිකා ආහාරයට ගන්නවාට වඩා පාවිච්චි වෙන්නේ සමේ රෝග ආදියට බාහිර පාවිච්චියට.  හිරු එළියට නිරාවරණය වෙද්දි හමේ ඇතිවන පිලිස්සීම් නැතිකරන්න වාගෙම සුළු සුළු පිලිස්සුම් වලදිත් කෝමාරිකා වලින් සහනය ලැබෙනවා. පිලිස්සුම් සඳහා වෛද්‍යමය ආලේපයක් විදිහටත් කෝමාරිකා ඇමරිකාවේ වෛද්‍ය සංගම වලිනුත් අනුමත කරලා තියෙනවා. පළවෙනි සහ දෙවන කාණ්ඩයේ පිලිස්සුම් සඳහා ප්‍රතිකාරයක් විදිහට තමයි කෝමාරිකා දක්වලා තියෙන්නේ. සාමාන්‍ය පිලිස්සුමක් දින 9කදී සාමාන්‍ය මට්ටමින් ගොඩදාගන්න හැකියාව කෝමාරිකා වලට තියෙනවා කියලා පර්යේෂණ මගිනුත් සනාථ කරලා තියෙනවා.

 

4. දත්වල බැක්ටීරියා ආසාදන වලට

දත් වල සහ දත් මුල් වල ආසාදන නිසා අපේ කටේ වේදනාවල් ඇති වෙනවා. මේ අවස්ථාවල දී කෝමාරිකා ආලේපයක් විදිහට දත් සහ දත් මුල් වල ආලේප කිරීමෙන් ඒ දත් වලට වින කරන බැක්ටීරියා වලින් ගැලවෙන්නට පුළුවන්. ස්වාභාවික කෝමාරිකා සාරයකින් මුඛය සේදීමෙන් කෘත්‍රිම මුඛ සේදුම් වලින් සෝදනවාට වඩා බැක්ටීරියා ආසාදන වලින් ගැලවෙන්නට පුළුවන්. පරීක්ෂණ වලින් සොයාගෙන තියෙන විදිහට දිගටම නොනවත්වා දින 15ක්, මාසයක් මුඛය කෝමාරිකා දියර වලින් සේදීමෙන් මුඛයේ බැක්ටීරියා නැතිවෙනවා.

 

5. කට තුළ තුවාල වලට

කට ඇතුළේ සුලු සුළු තුවාල ඇතිවෙන තත්ත්වයන්ට සමහර පළාත්වල කටේ පණු ගෙඩි දානවා කියලා කියනවා. මේ කටේ ඇතුළේ ඇතිවෙන තුවාල පොඩි වුනත් වේදනාව නම් වැඩියි. මේ කට ඇතුළේ තුවාල වල ආසාදන ඇතිවෙලා වැඩිවුනොත් කෑම කන්නත් අමාරු වෙනවා. මේ තත්ත්වයන්ට කෝමාරිකා හොඳයි. මේ කෝමාරිකා වලින් කෙරෙන්නේ තුවාල සුව වීම පමණයි. දැඩි වේදනාවක් තියෙනවා නම් කෝමාරිකා ආලේප කිරීම, කෝමාරිකා ජලයෙන් කට සේදීමට අමතරව වේදනා නාශකයක් ගැනීමත් ප්‍රයෝජනවත් වේවි. 

 

6. මල බද්ධයට

මේ අවස්ථාවේදී ජෙල් එකකටත් වඩා කෝමාරිකා ලේටෙක්ස් එකක් විදිහට ක්‍රියාකරලා මල බද්ධය නැති කරනවා. මල බද්ධයේදී මල ද්‍රව්‍ය වියළී ඝන වීමෙන් මල පිටවීමේ අපසුතා ඇති කරනවා. ඒත් මේ කෝමාරිකා වලින් ඒ වියළි ගතිය වැඩිවීම පාලනය කරනවා. කෝමාරිකා වල තියෙන මේ ලේටෙක්ස් එක ඇමරිකාවේ වෙනමම ඔසුවක් විදිහටත් ගන්න තියෙනවා මල බද්ධයට.

 

7. සමට සත්කාරයක් ලෙස

කෝමාරිකා වලින් වයසට යෑම එක්ක සමේ ඇතිවන තත්ත්වයන් පාලනය කරනවා. කෝමරිකා වලින් සමේ කොලජන් සහ සමේ ඇති ඉලාස්ටික් ස්වභාවය වැඩි කරන බව දින අනූවක් තිස්සේ කරන ලද පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. ඒ වගේම කෝමරිකා වලින් සමේ රතුපැහැ වීම වගේම සම වියළි වීමත් වළකනවා කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම සමේ ඇතිවෙන සොරයිසිස් වගේ රෝගාබාධ වලටත් කෝමාරිකා වලින් සහනයක් ලැබෙනවා. මේ ලක්ෂණ ගොඩක් තියෙන නිසාම කෝමාරිකා සම වඩවන්න රූපලාවන්‍ය සත්කාරයක් විදිහටත් යොදාගන්නවා.

කෝමාරිකා කියන්නේ ලංකාවෙ අපිට ලේසියෙන්ම හදා වවාගන්න පුළුවන් බෝගයක්. කෝමාරිකා කුලයේ ගස් ජාති බොහොමයක කෝමාරිකා වල තියෙන සංයෝග ඒ විදිහටම තියෙනවා. ඒත්  කෝමාරිකා ම ජනප්‍රිය වන්නේ එය වවාගන්න තියෙන පහසුව සහ එහි ජෙල් එක ලබාගන්න තියෙන පහසුව නිසා. කෝමාරිකා වගාව කියන්නෙත් අපි වගේ රටකට විදේශ විනිමය ගන්න පුළුවන් හොඳ මාධ්‍යයක් වෙනවා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *