ගර්භණී කාලෙට අහන්න ලැබෙන මිත්‍යා මත

ගර්භණී කාලෙ කියන්නේ අපි කොයි කවුරුත් වෙනදට වඩා පරිස්සම් වෙන්න බලන කාලයක්නෙ. ඒ කාලෙට ඉතින් සිතුවිල්ලකින් පවා කුසේ ඉන්න දරුවගෙ පරිස්සම ගැන තමයි හිතන්නෙ. කන කෑමක් බීමක්, යන ගමනක් බිමනක් කෝකකින් උනත් දරුවට පුංචිම හරි අපහසුවක් වෙනවට මොන අම්ම තාත්තවත් කැමති නැහැනෙ. අන්න ඒ කාලෙට වටින් පිටින්, ආච්චිලා සීයලා, නැන්දලා මාමලාගෙනුත් උපදෙස් කෝටියයි. අන්න එහම ඇහෙන උපදෙස් අතරින් හැම දෙයක්ම ඇත්තමත් නෙමෙයි හැබැයි. ඒ විදිහේ ගර්භණී කාලෙට අපිට ඇහෙන මිත්‍යා මත කීපයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. 

 

 

1. අගුණ කෑම

ඔය කාලෙට කන්න හොඳ නැහැ කියල ලොකු කෑම ලැයිස්තුවක්ම පරණ ආච්චිලා, අම්මලා කියල දෙයි. හැබැයි ඉතින් ඒ බහුතරයක් ඇත්තම නම් නෙමෙයි. 

ඔන්න එපා කියන ලැයිස්තුවේ උඩින්ම තියෙන කෑම තමයි අන්නාසි. විද්‍යාත්මක පැත්ත බැලුවොත් අන්නාසි වල අඩංගු වෙනවා බ්‍රොමලේන් කියන එන්සයිමය. මේ එන්සයිමය නිසා හදිසි රුධිර වහනයන් ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේ එන්සයිමය වැඩි වශයෙන් අන්තර්ගත වෙන්නෙ අන්නාසි ගෙඩියේ මැද නාරටියේ. ඒක නිසා අපි වරකට කන අන්නාසි ප්‍රමාණයෙන් ගර්භණීභාවයට හානි වෙන්න පුළුවන් තරමේ බ්‍රෝමලේන් ප්‍රමාණයක් ශරීරගත වෙන්නේ නැහැ. හැබැයි අන්නාසි කියන්නේ විටමින් C, ෆෝලේට්, යකඩ, මැග්නීසියම් වගේ ගර්භණී මවකගේ දෛනික පෝෂණ අවශ්‍යතා ගොඩක් සම්පූර්ණ කරන්න පුළුවන් පළතුරක්. ඒ නිසා හොඳින් ඉදුණු අන්නාසි සාමාන්‍ය ප්‍රමාණයක් ආහාරයට ගන්න පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නැහැ. 

එපා කියන තවත් කෑමක් තමයි ගස්ලබු. අමු ගස්ලබු වල අඩංගු ලේටෙක්ස් නිසා ගර්භාෂය සංකෝචනය වෙන්න පුළුවන්. ඒක නිසයි ගස්ලබු කන්න එපා කියන්නේ. එහෙම බැලුවම ඒ කතාවනම් බොරුවක් නෙමෙයි. හැබැයි හොඳින් ඉදුණු ගස්ලබු වල මේ කියන ලේටෙක්ස් අඩංගු වෙන්නේ නැහැ. 

ඊළඟට අහන්න ලැබෙන නරක කෑම තමයි කෙසෙල්මුව. මේක ඇත්තටම පරණ කතාවක් එක්ක බැදුණු මතයක්. කෙසෙල් මලට අපි කියන්නේ මව් මරා උපන් කුමරා කියලනේ. අන්න ඒ කතාව එක්ක තමයි මේ කෙසෙල්මුව කන්න එපා කියන කතාවත් කියවෙන්නේ. හැබැයි පැරැන්නෝ එහෙම ආවාට ගියාට කතා කිව්වෙත් නැහැ කියල හිතෙයි මේක විද්‍යාත්මක පැත්ත බැලුවම. කෙසෙල්මුව වල අඩංගු තන්තුමය ගතිය නිසා මල බද්ධය ඇතිවෙන්නේ නැහැ. හැබැයි වැඩිපුර කෑමෙන් බඩ බුරුල්වීමක් වෙන්න පුළුවන්. ඒක අම්මගෙත් බබාගේත් සෞඛ්‍යයට හොඳ නැහැ. හැබැයි සාමාන්‍ය ප්‍රමාණයෙන් කෙසෙල්මුව ආහාරයට ගැනීම මල බද්ධය පාලනය කරගන්න හුඟක් හොඳ ප්‍රතිකර්මයක්. 

 

 

2. අම්මගේ බර

ගර්භණීභාවය දැනගත්ත ගමන් හුඟක් වැඩිහිටි අයගෙන් අළුත් අම්මට උපදෙස් ලැබෙන්නෙ කන්න, කන්න, පුළුවන් තරම් කන්න, දෙන්නෙක්ට ඇතිවෙන්න කන්න කියල තමයි. බබාගෙ වර්ධනය වැඩිවෙන්න නම් අම්මගේ බර වැඩිවෙන්න ඕන කියල තමා ඉස්සර කිව්වේ. හැබැයි දැන් ඒව වෙනස් වෙලා. අම්මගෙ බර වැඩිවෙනවා කියන්නෙ බබාගෙ වර්ධනය නෙමෙයි කියලයි දැන් වෛද්‍යවරු කියන්නෙ. එහෙම අම්මගෙ බර අනවශ්‍ය ලෙස වැඩි උනොතින් ගර්භණී කාලයේ ඇතිවෙන වෙනත් සංකුලතා ඇතිවෙලා දරු ප්‍රසුතියටත් ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා දෙතුන් දෙනෙකුට නොකා සමබල ආහාර වේලක් ගන්න එක තමා හොඳම දේ. 

 

 

3. ගෙවල් හදන්න හොඳ නැහැ

තවත් ප්‍රසිද්ධ මතයක් තමා ගර්භණී කාලයේ ගෙවල් හදන්න හොඳ නැහැ කියන එක. තර්කානුකුලව බැලුවොත් ඉස්සර කාලෙ විදිහටනම් මේක හරි තමා. මොකද ගෙයක් හදනවා කියන්නෙ පවුලේ වැඩක්. ගමේ අහල පහළ කට්ටිය එක්ක එකතු වෙලා සැමියා ගේ හදනකොට වැඩ කරන අයට කෑම උයන්න, හරි හරියට අත් උදව් දෙන්න, වහල හෙවිල්ලන පොල් අතු හොයන්න, වියන්න වගේ වැඩ රාජකාරි ගොඩක් බිරිඳකට පැවරෙනවා. ඒක දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට වෙහෙසක්. එහෙම වැඩිපුර වෙහෙසෙන එක ගර්භයට අවදානමක්. හැබැයි දැන් කාලෙ කොන්ත්‍රාත් දීලා බාස්ලට කියල හදවන ගෙවල් වලට මේ කතාව අදාළ වෙන්නෙ නැහැ. හැබැයි ගෙවල් හදන තැන අධික ශබ්ද, දුවිලි වලින් එහෙමනම් අම්මව පරිස්සම් කරන්න ඕන.  

 

 

4. බිත්තර කඩන්න හොඳ නැහැ

ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට බිත්තර කඩන්න හොඳ නැහැලු. මේකෙත් පසුබිම් කතාව මෙහෙමනේ. මෝරපු බිත්තරයක් හදිසියේ කැඩුනොත් ඒක දැකලා අම්මගෙ හිත ගැස්සෙන්න පුළුවන්. එත් දැන් වෙළඳපලේ තියෙන ෆාර්ම් බිත්තර වලට මේ කතාව අදාළ නැහැ. බිත්තර කඩල ඉව්වා කියල දරුවට වෙන අයහපතකුත් නැහැ. 

 

 

5. ගැහැණු බබෙක්ද? පිරිමි බබෙක්ද?

ඔන්න තවත් කතාවක්. අම්මගෙ පෙනුම, බඩේ හැඩය බලල හුඟක් අය කියනවා බබා ගැහැණුද පිරිමිද කියලා. ඒවා ඔක්කොම නිකන්ම කතන්දර විතරයි. ඒ දේවල් ඇත්තනම් ඉතින් මෙච්චර දියුණු ස්කෑන් මැෂින් එහෙම වියදම් කරලා ගේන්න ඕන නැහැනෙ ඉස්පිරිතාලවලට. අම්මගෙ වෙනස්කම් වෙන්නෙ එයාගේ ශරීරයේ හෝර්මෝන ක්‍රියාකාරීත්වය අනුව. ඒක කෙනෙකුගෙන් තව කෙනෙකුට වෙනස් වෙනවා. 

 

 

6. සැලෝන් යාම

ගර්භණීකාලයේ සැලෝන් යන්න හොඳ නැහැ කියනවනේ. ඒකෙත් 100% කම ඇත්තක් නැහැ. සැලෝන් ගියාට කමක් නැහැ. ඇහිබැම සකස් කිරීම, කොණ්ඩේ කැපීම වගේ බාහිරින් කරන සත්කාර කළාටත් කමක් නැහැ. හැබැයි ඇඟට කෙමිකල් වර්ග ආලේප වෙන කොණ්ඩේ ස්ට්‍රේට් කිරීම, කලර් කිරීම වගේ දේවල්නම් කරන්න හොඳ නැහැ. 

ඒ වගේම තමයි ගෙදරදී ආලේප කරන ක්‍රීම් වර්ගත්. බ්ලීචින් අඩංගු නොවෙන, මෙච්චරකාලයක් පාවිච්චි කරලා පුරුදු, ඕනෑම ක්‍රීම්, පවුඩර් වර්ගයක් පාවිච්චි කළාට කමක් නැහැ. හැබැයි අළුත් ඒවා අත්හදා බලන්න යන්නනම් බැහැ.

 

 

7. ඇඳුම් පැළඳුම් 

ගර්භණී කාලෙදි අම්ම කෙනෙක් අඳින ඇඳුම් පැළඳුම් ගැනත් වැඩිහිටියෝ කතා බහ කරනවනේ. අම්මලා උණාම ගවුම් තමයි අඳින්න හොඳ, කලිසම් අඳින්න හොඳ නැහැ වගේ. ඒවත් මිත්‍යා මත. මේ කාලෙට එන අනික් අපහසුතා එක්ක තමන්ගේ පහසුව තමා ඔක්කොටම වඩා වැදගත්. බඩ තද නොවෙන සැහැල්ලු ලෙගින් කලිසම්, එහෙම නැත්තම් දැන් කාලේ තියෙන Maternity Pants එහෙම ඇන්ඳට කිසිම ගැටළුවක් නැහැ. 

ඒ වගේම තමා කළු ඇඳුම් එහෙම අඳින්න හොඳ නැහැ කියන කතාවත්. කළු පාටට වැඩිපුර තාපය උරාගන්නා නිසා අම්මටත් බබාටත් රස්නේ හොඳ නැති නිසා වෙන්නත් පුළුවන් එහෙම කියන්නෙ. හැබැයි A/C කාමරේක හෝ රස්නේ නැති තැනක ඉන්න කෙනෙක් අඳින ඇඳුමේ පාට ගැනනම් හිතන්න ඕනෑම නැහැ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *