ගෘහණියන්ට ජීවිතේ ලේසි කරන DIY 7ක්

ගෙදර දොරේ වැඩ කොච්චර ක​ළත් ඉවරයක් නෑ කියන එක ඉතින් කවුරුත් කියන කතාවක්. ඔෆිස් වල සතියක් වැඩ කරලා වීක් එන්ඩ් එකේ රෙස්ට් එකක් ගන්න හරි ටිකක් වැඩිපුර නිදාගන්න හරි හිතන් හිටියට වීක් එන්ඩ් එකේ ගෙදර වැඩ වලට සෙට් උනාම කරල කරලම ඉවරයක් නෑ. ඒ උනාට අපිට සමහර දේවල් ටිකක් ලේසියෙන් කරගන්න පුළුවන් ක්‍රම සහ විදි දැන් ලෝකේ ගොඩක් අය හොයල බලන්නත් ඒවා අනිත් අය එක්ක බෙදාගන්නත් පොඩි ට්‍රෙන්ඩ් එකක් වගේ එකක් හැදිලා තියෙන බව පේනවා. තියෙන වැඩ කන්දරාවෙන් එකක් දෙකක් හරි ලේසියෙන් කරගන්න පුළුවන් වෙනවා නම් කවුරුත් අකමැති වෙන එකක් නම් නෑ. ඒත් අපි මෙතන ගොඩක් ගෘහණියන්ට වැදගත් වෙන දේවල් වලට තමයි අවධානය දීල තියෙන්නේ. මොකද කොයි වෙලෙත් වැඩ ඉවරයක් නෑ කියල නාහෙන් අඩන්නේ ඒ උදවියනේ. DIY කියන්නේ මොකක්ද කියලත් කියල හිටියනම් හො​ඳයි වැඩේ පටන් ගන්න කලින්. ‘DO IT YOURSELF’ කියන එකේ ​ෂෝට් ෆෝර්ම් එක තමයි ඔය කෙටියෙන් DIY කියන්නේ. වැඩි කතන්දර නැතුව තමන්ටම ලේසියෙන් කරගන්න පුළුවන් දේවල් කියන එක තමයි සරලවම කිව්වොත් ​ඕකේ තේරුම.

 

 

1. කුණු බැඳුණු අයන් එකට

අයන් එක කියල අපි මෙතන කතා කරන්නේ රෙදි මදින ඉස්තිරික්කේ ගැන. නැතුව කොන්ඩේ මදින ඉස්තිරික්කේ නෙමෙයි. ඉතින් ඔයාගෙ අන්න ඒ අයන් එක අරන් බලන්න පතුලේ කුණු පල්ලම් මුකුත් නැතුව ලස්සනට තියෙනවද කියල. එහෙම තියෙනවනම් එක අලුතින්ම ගත්ත අයන් එකක්. සාමාන්‍යයෙන් එහෙම නැති හැම අයන් එකකම අඩියෙ කලුපාට වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ වගේ අයන් එකක් ඔයාටත් තියෙනවා නම් එක පිරිසිදු කරගන්න ගොඩක් ලේසියෙන් පුළුවන්. ඕන වෙන්නේ ඔලුව කැක්කුමට බොන්න ගෙනත් තියාගෙන ඉන්න පැනඩෝල් පෙත්තක් හෝ දෙකක් විතරයි. සාමාන්‍ය විදිහට අයන් එක ප්ලග් කරලා ටිකක් රත් උනාට පස්සේ පැනඩෝල් පෙත්ත අයන් එකේ කුණු තියෙන තැන් වල හොඳින් අතුල්ලන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට පැල්ලම් ටික ටික අයින් වෙනවා. ඒ ටික රෙදි කෑල්ලකින් පිහදාල දැම්මම වැඩේ ෆිනිෂ්.

 

 

2. බේකින් සෝඩා, විනාකිරි මැජික් එක

ගෘහණියන්ට තියෙන ලොකුම වදයක් තමයි වළං හට්ටි වල තියෙන දැලි කුණු යන්න පිරිසිදු කරගන්න එක. එකෙනුත් සාමාන්‍ය සේදුමකින් යන්නේ නැති දැලි කුණු අයින් කරගන්න නම් සැහෙන සෙල්ලමක් දාන්න වෙනවා. ඉතින් ඒ වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි ඔය උඩින් කියල තියෙන විනාකිරි සහ බේකින් සෝඩා. මේක කොහොමද කරන්නේ? හරි ලේසියි. ඔය ජාති දෙක එකට දාල පල්ප් එකක් ගානට සෙට් කරගන්න. අන්න ඒ පල්ප් එක යන්නේ නැති දැලි කුණු තියෙන තැන් වල හොඳින් ගාන්න. ගාල පැය බාගයක් වගේ තියෙන්න අරින්න. ඊට පස්සේ වතුරෙන් හෝදලා දැම්මම මෙන්න තියෙනවා ඔයාට අලුතින් ගත්ත වගේ වලන් හට්ටි.

 

 

3. සිප් ලොක් බෑග්

ගෙදරට ගේන එළවලු, ප​ළතුරු වලින් කොච්චර ප්‍රමාණයක් නරක් වෙලා අහක දාන්න වෙනවද කියල ඇහුවොත් ගොඩක් අය කියයි සැලකිය යුතු ප්‍රමාණයක් ඒ විදිහට අහක දාන්න වෙනවා කියල. ඒකට විසඳුමක් තමයි දැන් කියන්න යන්නේ. ඕන දේවල්: ගොඩක් සුපර් මාර්කට් වල තියෙනවා සිප් ලොක් බෑග්. (ZIP LOCK BAGS) ඒවායින් ගත්තොත් බොහොම පොඩි ගා​ණක් වෙන්නේ. නැතුව E bay හරි Ali Express වගේ ඔන්ලයින් සයිට් එකකින් ගත්තොත් හිතන්නවත් බැරි පොඩි ගානකට ගෙන්න ගන්න පුළුවන්. හරි. මේ බෑග් එකෙන් වෙන දේ තමයි යමක් ඇතු​ළට දාල සීල් වෙන්න වහන්න පුළුවන්. මේ විශේෂත්වයෙන් තමයි අපි ප්‍රයෝජනේ ගන්න යන්නේ. තව මේ වැඩේට ඕන වෙනවා බීම බටයක්. කරන්න තියෙන්නේ බෑග් එක ඇතු​ළට එළවලුව හෝ ප​ළතුර දාල බෑග් එක සීල් කරන එක. හැබැයි පොඩි කොනක් ඉතුරු කරලා. ඒකෙන් බටේ ඇතු​ළට දාල (බීම බටේ හො​ඳේ) කටින් ඒකේ ඇතු​ළේ තියෙන හුලන් එලියට අදින්න ඕනේ. ඕකට සිංහලෙන් කියන්නේ වැකුම් අරිනවා කියල. එහෙම හුලන් අවශ්‍ය ගානට එලියට ​ආවට පස්සේ එක පාරට බටේ එලියට අරන් බෑග් එකේ ඉතුරු වෙච්ච කොනත් වහල දානවා. මේ විදිහට ගොඩක් කාලයක් එළවලු පළතුරු ෆ්‍රෙෂ් පිට තියාගන්න පුළුවන්.

 

 

4. බ්ලෙන්ඩර් එකේ තල සුද්ද කරන්න

ගෙදර තියෙන බ්ලෙන්ඩර් එකේ තල සුද්ද කරගන්න විදිහක් ගැන තමයි මෙතැනදී කතා කරන්නේ. පුරුදු විදිහට ඕකේ තල සුද්ද කරන්න ගිහින් තුවාල කරන් කාලේ නාස්ති කරගන්න ඕන වෙන්නේ නෑ මෙහෙම ක​ළොත්. මුලින්ම අදාළ බ්ලෙන්​ඩර් කෝප්පය අරන් ​ඒක බාගයක් විතර පිරෙන්න උණු වතුරෙන් පුරවන්න. ඊට පස්සේ එකට ඩිෂ් වොෂ් සාමාන්‍ය ප්‍රමාණයකට දාල ස්විච් එක දාන්න. මේ වැඩේ කරද්දී  ස්විච් එක දාන්න කලින් බ්ලෙන්ඩර් එක ප්ලග් එකට ගහල ඒ කෝප්පේ ​ඒකට හරියට ෆිට් කරලා ඉන්න ඕනේ කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

 

 

5. රෙදි නමන්න මේ විදිහට

ඕනෑම ගෙදරක ඇඳුම් කියන්නේ සමහර වෙලාවට හිසරදයක්. ඒ ඇඳුම් නවන්නයි අල්මාරියට දාන්නයි ගියාම තමා. ඇඳුම් අඳින්නේ නැතුව ඉන්න හිතෙනව ඒවා හෝදලා ඉතුරු හරිය කරන්න ගියාම. ඒ වගේම පොඩි ට්‍රිප් එකක් වගේ යනවනම් ගෙනියන බෑග් වල ප්‍රමාණයට රෙදි අහුරගන්නවා කියන්නෙත් ඒ වගේම ඇනයක්. අන්න ඒ වෙලාවට මේ ට්‍රික් එක හරියාවි. මේක තියෙන්නේ ලේසියෙන් සහ ඉඩක​ඩ පිරිමහගෙන ඇඳුම් අහුරගන්න පමණයි. කරන්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ඇඳුම් නවන විදිහට නැතුව ඇඳුම් රෝල් කරන එක. ඒ විදිහට ඇඳුම් රෝල් කරලා අහුරා ගත්තම ඉඩ ගොඩක් ඉතුරු වෙනවා. ඇඳුම් වල නැමුම් පාරවල් හිටිනවා අඩුයි. අනිත් එක ටිකාක් අනිත් ක්‍රමේට වඩා ලේසියි.

 

 

6. හැඳි ගෑරුප්පු වලටත්

ගෙදරට කව්රුහරි අමුත්තෙක් එනවා කිව්වොත් හිතට ලොකු ටෙන්ෂන් එකක්. ගෙදර අස්පස් කරන්න, කෑම හදන්න, කෑම මේසෙට ඕන දේවල් පිළිවෙල කරන්න වගේ ගොඩක් දේවල්. ඉතින් ඔය වෙලාවට තමයි වෙනද පාවිච්චියට නොගත්තු හැඳි ගෑරුප්පු එහෙම ඕන වෙන්නෙත්. ඒ වගේ දේවල් දිස්නේ ගහන්න තරම් තත්ත්වෙට ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් මේ. මේකට පාවිච්චි කරන්න පුළුවන් ටූත්පේස්ට්. සිල්වර් පාට බඩු තමයි මේ වැඩෙන් ගොඩ දා ගන්න පුළුවන් වෙන්නෙ. කරන්න තියෙන්නේ ටූත්​පේස්ට් වලින් හොඳින් අතුල්ලලා ඊට පස්සේ පේපර් සර්වියට් එකකින් පිහදාල දාන එකයි. හොඳින් දිස්නේ ගහන තත්ත්වෙට පත් කරගන්න පුළුවන් ඒ ක්‍රමේට.

 

 

7. හදිසියට පිහියක් මුවහත් තියාගන්න මෙහෙම

මේකත් ගෙදර කුස්සියට අදාළ දෙයක්. එළවලු කපන වෙලාවට පිහිය කැපෙන්නේ නැත්නම් ​ඒකත් ලොකු හිසරදයක්. ඉතින් එහෙම වෙලාවට ක්ෂණිකව මුවහත් තියාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඕන වෙන්නේ පෝසිලේන් කොප්පයක් වගේ දෙයක්. පිඟානක් උනත් කමක් නෑ. ඒකේ යට පැත්තෙ තියෙනවා රළු දාරයක්. අන්න ඒ රළු දාරය උඩ ඇතිල්ලීමෙන් පිහියක් ක්ෂණිකව මුවහත් තියාගන්න පුළුවන්. මේක කරද්දී නම් ගෙදර මහත්තයට කියලම කරගත්තනම් තමයි හො​ඳ. නැත්නම් අත කපාගෙන කෑම ඉවිල්ල පැත්තකින් තියල බෙහෙත් දාන්න යන්න තමයි වෙන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *