සෙක්ස් කළාට පස්සේ පිරිසිදු වෙන්නේ මෙහෙමයි

සෙක්ස් කරන්න ඉතින් කවුරුත් කැමතියි කියන එක බොරුවක් නෙවෙයිනේ. අඩු තරමින් ලිංගික අවශ්‍යතා ඇති වෙන ඕනම කෙනෙක් සෙක්ස් කරන්න කැමතියි. ගොඩක් වෙලාවට සෙක්ස් කරන්න ගියහම වෙන මොකුත් ඔළුවට එන්නෙත් නෑ. හැබැයි සෙක්ස් කරලා ඉවර වුණාට පස්සේ? ඊට පස්සේත් කරන්න දේවල් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් හරි හැටි පිරිසිදු වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි, සෙක්ස් කරපු තැන පිරිසිදු කරන්නත් ඕන. වගකීම් සහගතව සෙක්ස් කරනවා කියන්නේ ඔන්න ඔය කාරණාත් ඇතුළත් දෙයක්. ඒකට උපදෙස් කීපයක් තමයි පහළ තියෙන්නේ.

 

1. කොන්ඩම් මැනේජ්මන්ට්

මේක ඉතින් සාමාන්‍ය දැනුමටත් අදාළ වෙන, හැබැයි ගොඩක් දෙනා නොකරන දෙයක්. ඒ තමයි සෙක්ස් කරනකොට කොන්ඩම් පාවිච්චි කරලා, පාවිච්චි කරපු කොන්ඩෝම හරියට බැහැර නොකරන එක. සමහරු පාවිච්චි කරපු කොන්ඩම් එක ඔහේ ඩස්ට්බින් එකට දානවා. තවත් සමහරු ටොයිලට් එකටත් දානවා! ඔය හැම එකක්ම වැරදියි. හරි විදිය මේකයි. පාවිච්චි කරපු කොන්ඩම් එකක ශුක්‍රාණු තියෙනවා නම්, ඒක හොඳට ගැටයක් ගහන්න ඕන. කොන්ඩම් එක අල්ලන්න කැතයි වගේ කතන්දර කියලා බැහැ. තමන් පාවිච්චි කරපු කොන්ඩම් එකනේ. ඊට පස්සේ පුළුවන් ටිෂූ එකක ගැටගහපු කොන්ඩම් එක දවටලා ඩස්ට්බින් එකට දාන්න. කිසිම වෙලාවක ටොයිලට් එකට කොන්ඩම් දාන්න යන්න එපා. වෙන තැන තැන විසිකරන්නත් එපා! 

 

2. ඇඳ රෙදි මැනේජ්මන්ට්

මේක ඉතින් එකඑක්කෙනාගේ හැටියට තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, සමහරුන්ට සෙක්ස් කරනකොට සෑහෙන්න යෝනි ශ්‍රාවය එහෙම පිට වෙනවා. කොහොමත් සෙක්ස් කරනවා කියන්නෙම සෑහෙන්න ප්‍රමාණෙක තරල වර්ග රිලීස් වෙන වැඩක්නේ. ඒ කියන්නේ දාඩිය දැමීමේ ඉඳලා විවිධාකාරයේ ශරීර තරල පිට කිරීමක් සහ හුවමාරු කරගැනීමක් තමයි සෙක්ස් කරනකොට වෙන්නේ. ආන්න එතකොට ඉතින් ඇඳ රෙදි වලටත් එව්වා සෑහෙන ප්‍රමාණයක් උරා ගන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසා එක්කෝ ඇඳ රෙදි වලට උඩින් තව රෙද්දක් දාගන්න පුළුවන් සෙක්ස් කරනකොට. එහෙම නැතිනම් ඉතින් සරලවම සෙක්ස් කළාට පස්සේ ඇඳ රෙදි මාරු කරන්න.

 

3. සෙක්ස් ටෝයිස්

සෙක්ස් කරනකොට ඒකේ තෘප්තිය වැඩි කරගන්න සමහරු සෙක්ස් ටෝයිස් පාවිච්චි කරනවා. එව්වා හොඳ වැඩ. හැබැයි සෙක්ස් කළාට පස්සේ තමන්ගේ සෙක්ස් ටෝයිස් හරි හැටි පිරිසිදු කරන්නේ කොහොමද කියන එක ගැනත් දැනුවත් වෙන්න ඕන. දැන් ඔය නිපල් ක්ලිප්ස්, ෆ්ලෆී මාංචු වගේ දේවල් නං ඒ හැටි පිරිසිදු කරන්න දෙයක් නෑ. එව්වා එකක්වත් ශරීරය ඇතුළට යන්නෙ නැහැනේ. හැබැයි ශරීරය ඇතුළට යන ඩිල්ඩෝ, බට් ප්ලග් වගේ දේවල් නං හරියට පිරිසිදු කරන්න දැනගෙන ඉන්න වෙනවා. ඇත්තටම  සෙක්ස් ටෝයිස් පිරිසිදු කරන්න කලින් එව්වා හදලා තියෙන්නේ මොනවැයින්ද කියලා මුලින් දැනගන්න වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, රබර් සෙක්ස් ටෝයිස් පාවිච්චි කළාට පස්සේ පිරිසිදු කරන්න සැර සබන් වර්ග, ඇල්කොහොල් වර්ග එහෙම යොදා නොගන්න එක හොඳයි. කොහොමත් මෘදු සබන් වර්ගයක් යොදලා, හොඳට ගලාගෙන යන වතුරෙන් හෝදලා, ඊට පස්සේ හොඳින් වේලගන්න එක තමයි සෙක්ස් ටෝයිස් සම්බන්ධයෙන් අනුගමනය කරන්න තියෙන්නේ. ඒ වගේම අවශ්‍ය නම් පාවිච්චි කරන්න කලිනුත් වතුරෙන් විතරක් හෝදගන්න පුළුවන්. හැබැයි එකක්: ඔය මෝටර් එහෙම තියෙන වයිබ්‍රේටර් පිරිසිදු කරනකොට, ඒ වල ශරීරය ඇතුළට යන මතුපිට විතරක් බොහොම ප්‍රවේසමෙන් පිරිසිදු කරන්න ඕන. ඉලෙක්ට්‍රික් කොටසට වතුර ගියොත් සමහර විට වෙන වයිබ්‍රේටරයක් ගන්න සිද්ධ වෙන ඉඩ වැඩියි! 

 

4. සෙක්ස් කළාට පස්සෙ චූ දාන්න ඕනෙද?

ඒක ඉතින් ඇත්තටම තමන්ගේ කැමැත්ත සහ අවශ්‍යතාවය. ඒ කියන්නේ, සෙක්ස් කළාට පස්සේ සමහරුන්ට ස්වභාවිකවම චූ බරක් එනවා. එතකොට ගිහින් චූ දාලා ආවට කිසිම ප්‍රශ්නයක් නෑ. සමහරු කියනවා චූ දැමීමෙන් ශරීරයේ ලිංගික අවයව වලට ඇතුළු වුණු ආගන්තුක බැක්ටීරියා එහෙමත් ෆ්ලෂ් වෙන නිසා, සෙක්ස් කළාට පස්සේ චූ දාන්න කියලා. ඇත්තටම එහෙම එකක් කොහේවත් අධ්‍යයනයකින් එහෙම නම් සනාථ වෙලා තියෙනවා කියලා අපිට හොයාගන්න බැරි වුණා. ඒ නිසා සෙක්ස් කළාට පස්සෙ චූ බරයි නං චූ  කරන්න. සෙක්ස් කළා කියලා බලෙන් චූ කරන්න යන්න ඕන නෑ.

 

5. සෙක්ස් කළාට පස්සේ ගැජට් බැජට් හෝදන්න ඕනෙද?

මේකනේ ඉතින් මුලින්ම කතා කරන්න තිබ්බේ. ඇත්තටම සමහරුන්ට සෙක්ස් කළාට පස්සේ නාන්න ඕන. තවත් සමහරු ඉන්නවා සෙක්ස් කළාට පස්සේ වුනත් ආයෙමත් එකිනෙකාව වැළඳගෙන නිදාගන්න. ඇත්තටම කියන්න තියෙන්නේ මේ කෝක වුණත් ගැටළුවක් නෑ කියන එක තමයි. මොකද සාමාන්‍යයෙන් යෝනිය නිර්මාණය වෙලා තියෙන්නේ ස්වයං පිරිසිදුකරණය වෙන්න තමයි. ශිෂ්ණය වුණත් විශේෂයෙන් පිරිසිදු කරන්න ඕන තරම් සෙක්ස් කළා කියලා අපිරිසිදු වෙන්නෙ නැහැනෙ. හැබැයි එහෙම වුණත් නිදාගෙන නැගිට්ටට පස්සේ වුනත් පොඩ්ඩක් ගැජට් බැජට් පිරිසිදු කරගන්න එක හොඳයි. සබන් දාලා හෝදන්න ඕන නෑ. විශේෂයෙන්ම යෝනිය සබන් නොයොදා හෝදනවා නම් හොඳයි. ඒත් ගලාගෙන යන වතුරෙන් හෝදගත්තට කාරි නෑ. ඒ වගේම ඔය පියයුරු වල එහෙම අනික් කෙනාගේ කෙළ අනිවාර්යයෙන් ගෑවෙනවනේ. අන්න ඒ නිසා ඒවත් හෝද ගත්තට කාරි නෑ, අවශ්‍ය නම්. 

 

6. ගුද සංසර්ගයට පස්සේ?

ආන්න ඒක නම් හෝදන්න ඕන ප්‍රශ්නයක්. ඇත්තටම ගුද සංසර්ගයට පස්සේ හොඳ ෂවර් එකක් ගත්තත් කමක් නෑ. මොකද, ගුද සංසර්ගයට පස්සේ ක්ෂුද්‍ර මට්ටමේ සීරීම් එහෙම ඇතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒක ගැටළුවක් නෙවෙයි, ඒ තැන්වලින් බැක්ටීරීයා ආසාදනයක් එහෙම ඇති නොවෙන තාක්කල්. අන්න ඒ නිසා ගුද සංසර්ගයේ යෙදෙන දෙපාර්ශවයම ඒකට පස්සේ හොඳට තමන්ගේ අවයව හෝදගෙන වොෂ් එකක් ගන්න එක තමයි හොඳ. විශේෂයෙන්ම ශිෂ්ණයේ පෙර සම පසුපසට කරලා හොඳට පිරිසිදු කරගන්න එක වැදගත්. සබන් අවශ්‍ය නම් මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්.

 

7. ඇඳුම් කැඩුම්

දැන් ඔය ෆිල්ම්ස් වල වගේ දෙන්නා කාමරේට ඇවිල්ලා පිස්සුවෙන් වගේ එකිනෙකාගේ ඇඳුම් ගලවගෙන සෙක්ස් කරනවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ උදේ බලනකොට ඇඳුම් තැන් තැන් වල. බ්‍රා එක සීලින් ෆෑන් එක උඩ. පෑන්ටි එක දොර මුල්ලේ. බොක්සර් එක පුටුවක් යට. ඔය විදියට. ඇත්තටම සෙක්ස් කළාට පස්සේ ඕවා අස් පස් කර කර ඉන්න හිතන්න දෙයක් නෑ. හැබැයි සෙක්ස් කරල ඉවර වෙලා අවශ්‍ය නම් හොඳ නින්දක් නිදාගෙනත් නැගිට්ටට පස්සේ මේවා අස් පරස් කරන්න වෙනවා. විශේෂයෙන්ම ඔය තමන්ගේ නැතිවෙන්න පුළුවන් පොඩි පොඩි දේවල් ගැන එහෙම අවධානය යොමු කරන එක හොඳයි. කරාබු, මුදු, කොණ්ඩ කටු වගේ දේවල්. මොකද ඕවා නැතිවුනාට පස්සේ ආයෙ හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්. වැරදි තැනක තිබිලා වෙන කෙනෙක් හොයාගත්තොත් ඊට හපන් ප්‍රශ්න ඇතිවෙන්නත් පුළුවන්!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *