රෙදිපිළි මැසීමේ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමේදී මුහුණ පාන්නට වන අභියෝග සහ ඒවා​ට විසඳුම්

හිතන එක තරම් ලේසි වැඩක් තවත් නැහැ. අපිට ඕනිම දෙයක් ගැන ලේසියෙන්ම කරන්න පුළුවන් දේ තමයි හිතන එක. ඒත් හිතන දෙයක් යථාර්තයක් කරගන්න ටිකක් කට්ට කන්න වෙනවා. අලුතින් ස්වයං රැකියාවක් පටන් ගන්න එකත් ඒ වගේ. ගෙදර ඉන්න ගෑණු උදවියට නිකම්ම ඉන්නවාට වඩා මැහුම් ගෙතුම් වැඩ ඉගෙන ගත්තොත් ඒ හරහා යම් දෙයක්, ගෙදර වැඩක් හරි කරගන්න පුළුවන්. ඊට එහාට ගියොත් ටිකක් හොඳට වැඩේ පුළුවන් නම් බිස්නස් එකක් විදිහටත් ඒක කරන්න පුළුවන්. ඉතින් මහන බිස්නස් එකකට එන අභියෝග මොනවාද? අපි ටිකක් ඒ ගැන සොයා බලමු.

 

1. බිස්නස් එක පැටවු දැමීම

ගම් වල කඩයක් දැම්ම නම් ආයේ ඊළඟ සතියේ ඊළඟ හංදියෙත් අලුතින් ඒ වගේම කඩයක් ඇතිවෙනවා. අලුතින් මොනාහරි වගා කරන්න පටන් ගත්තත් ඒකත් කොපි කරනවා. ඔය වගේ කොපි කරන එක කොච්චර සීරියස්වට ගිහින්ද කියනවා නම් මේ ලඟදි පටන් ගත්ත පොල් රොටී සමග පෝක් හැම තැනම ඉවක් බවක් නැතුව ජනප්‍රිය වෙන්න ගත්තා. අපි අමාරුවෙන් මොනාහරි සෙට්කරගෙන, ණයක් හෙමත් අරගෙන ඔන්න මහන්න පටන් ගත්තා කියමු. ඉන් පස්සේ ඒකටත් තරගකාරීන් එනවා. තවත් අය ඒකම කරන්න යනවා. ඒවගේ වෙලාවක අපේ වෙළඳපොල ගැන, අපේ නිෂ්පාදනයේ කොලිටි එක ගැන වගේම මිල ගැනත් සැලකිල්ලෙන් ඉන්න වෙනවා. නැත්නම් පස්සේ එන රැළි වලින් අපේ උත්සාහය ගහගෙන යනවා.

 

2. අමුද්‍රව්‍ය මිලදී ගැනීම

එකපාර මහ තොගයක් මිලදී ගන්නකොට ලාබයි. ඒත් අපේ සේල් එකට, එහෙම නැතිනම් විකුණා ගන්න හැකි තරමට අපේ ස්ටොක් පත්වාගන්න උත්සාහ ගන්න ඕනි. අමුද්‍රව්‍ය මිලදී ගන්න කොට මහරගම, පිටකොටුව වගේ තැන්වල වගේම ගාමන්ට් ෆැක්ටරි වලින් අයින් කරන දේවල් අතරත් හොඳ බොත්තම්, ඉලාස්ටික් වගේම වටිනා පීස් හෙමත් හොයාගන්න පුළුවන්. මුල් කාලේ මහන වැඩ ළඟම කඩෙන් බඩු අරගෙන කළත් ටිකක් දියුණුවට පත් වෙද්දි අඩුවෙන් වගේම කොලිටියට අපේ සප්ලයි හදාගන්න ක්‍රමයක් තියෙන්න ඕනි.

 

3. වෙළෙඳපොළ 

ඇඳුමක් මැහුවම මුලින් මුලින් නම් ඥාතීන් සහ ළඟ පාත අය ඇවිත් බලලා යයි. ඒත් පස්සේ ඒ ටික අපිට මදි. ඊට එහාට යන්න ඕනි. ළඟ ටවුමේ තියෙන සාප්පුවක්, දුර තැනක කඩයක් වගේ සෙට් කරගෙන එතන්ට බඩු සපයන්නත් පුළුවන්. ඒත් ඇඳුම් කියන්නේ කිරි පිටි, සීනි වගේ ඉක්මනින් අලෙවි වන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි මහන සියල්ලම එකපාර සල්ලි වෙන්නෙත් නැහැ. දැන්නම් ෆේස්බුක් පේජ්, ඉක්මන් වගේ විවිධ වෙබ් අඩවි මගිනුත් ඇඳුම් පැළඳුම් විකුණන්න පුළුවන්. බඩුව ගාණට වටිනවා නම්, කොලිටි නම් ඔන්ලයින් තරුණ පිරිස අතරත් දැන් ඉක්මනට ඇඳුම් ආයිත්තම් විකුණන ඔන්ලයින් තැන් ජනප්‍රිය වෙනවා.

 

4. අත්හදා බැලීම

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියාල කතාවක් තියෙනවා. කොට්ට උරයක් වුණත් අලංකාරයට මහන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. සාය හෝ බ්ලවුස් එකක් වුණත් එක එක ඩිසයින් වලින් ආකර්ෂණීයව දැන් ආරෙ අයගේ හිත යන විදිහට මහන්නට සමහර අයට පුළුවන්. යම් යම් සුළු සුළු පාඩු සිද්ධ වුනත් මේ විදිහේ අත්හදා බැලීම් රෙදි ඇඳුම් පැත්තේ වැඩක් කරද්දි මාර වැදගත්. මොකද එකම ජාතියේ ඇඳුම් දෙකක් බොහෝ කාන්තාවන්ගේ ඇඳුම් අල්මාරි තුළ නැහැ. ඔවුන් නිතරම හොයන්නේ අලුත් දෙයක්.

 

5. ඉගෙනගැනීම

ඔන්ලයින් ඉගැනීම් තියෙන්නේ ඉන්ටනෙට් මනී ගැන විතරක් නෙමෙයි. විශාල පාරසයක ඔන්ලයින් අධ්‍යාපන වැඩසටහන් තියෙනවා. ඉන්දියාවේ විශේෂයෙන් දකුණු ඉන්දියාවේ, තායිලන්තයේ, ඉන්දුනීසියාවේ, චීනයේ ඇඳුම් ආයිත්තම් ආදිය අඳින්නේ අපේ රටේ ඇඳුම් අඳින විදිහට සමානව. එතකොට ඒ රටවල මහන කියන විදි වගේම ඇඳුම් මෝස්තරත් අපිට අන්තර්ජාලය හරහා කොපි කරන්න පුළුවන්. යම් යම් ඇඳුම් කොටස් ගැන ස්පෙෂල් දේවල් කියාදෙන ලංකාවේ ගුරුවරුන්ද ඉන්නවා. උදාහරණ විදිහට කොච්චර හැට්ට මැහුවත් නියම ස්කිල් එකක් නැතුව ගාණකට සාරි හැට්ටයක් මහගන්න අපිට බැහැ. ඒ වගේ අලුත් අලුත් දේවල් ස්කිල් විදිහට අපිට එකතු කරගන්න එකත් මහන රැකියාවක්, ව්‍යාපාරයක් දිගටම පවතින්න උවමනා කරනවා.

 

6. පිරිස් සම්බන්ධ කරගැනීම

බඩුවක් අපි නිෂ්පාදනය කළාම හැමතිස්සේම ඒකට රජයෙන් හෝ වෙනත් ආයතන වලින් අනුග්‍රහය දක්වන්නේ නැහැ. ඒහෙම කරන්නත් බැහැ. අපි හදන හෝ නිමවන යම් ඇඳුම් ආයිත්තමක් වුනත් හෙමයි. කොපමණ හොඳ වුණත් අපිට ඒවා විකුණ ගන්න පිරිසක් නිර්මාණය කරගන්න බැරි වුණොත් අපේ මහන්සිය අපතේ යනවා. හොඳ පිරිස් සම්බන්ධතා තියෙන අය කොතෙකුත් සමාජයේ ඉන්නවා. සමහර විට නිලධාරීන් වෙන්න පුළුවන්, සමාජ සේවකයින් වෙන්න පුළුවන්, නැතිනම් ව්‍යාපාරික මහතුන් වෙන්න පුළුවන්. ඒ වගේ කිහිප දෙනෙක් හෝ සම්බන්ධ කරගත්තොත් ඒ හරහා අපේ බිස්නස් එකට ඕනි කනෙක්ෂන් ටිකක් ගොඩදාගන්න අපිට හැකි වෙනවා.

 

7. ඉවසීම

ඕනිම සුවිසාල බිස්නස් එකක් පටන් ගත්ත කෙනෙක් ගතහොත් ඔවුන්ට මුල් කාලේ හැමදෙයක්ම සුබවාදීව වෙන්නේ නැහැ. විශාල ගැටුම් ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම අලුත් දෙයක් ගැන හිතන්න අපේ සමාජය එච්චරම කැමති නැති නිසා අපි අලුතින් මොක කරන්න ගියත් අපේ සමීප පවුලේ අය, යාළුවෝ ඒකේ වැරදි කියනවා. ඒ මොක වුණත් අපි යම් කිසි ව්‍යාපාරයක් විදිහට ඇඳුම් සකසන, මහන වැඩක් පටන් ගත්තොත් ඒකෙන් කීයක් හරි අතගාගන්න ලැබෙන්නේ අපිට. ඒ දේ වැරදි විදිහට දකින කවුරුවත් අපිට නිකං හිටියාට මුදල් දෙන්නෙ නැහැ.

 

ලංකාව දක්ෂ මැහුම් ශිල්පීන් සිටින රටක්. ඒ ක නිසා ලංකාවේ මහන ඇඳුම් ලොව පුරා ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම කාලයක් තිස්සේ තියෙන ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එක නිසා රෙදි වල වැඩ කිඩ ගැන දන්න කියන ලොකු පිරිසකුත් අපි අතරම ඉන්නවා. අමුද්‍රව්‍ය හොයාගන්නත් අපේ රටේදි අපහසු නැහැ. ඉතින් මේ සාධකත් එක්ක පොඩි හෝම් බිස්නස් එකක් විදිහට රෙදි මහලා වෙළඳපොලට නිකුත් කරන්න යන එක වටිනා කියන අදහසක්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *