සමුරායිවරු කිව්වහම නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑ. ඒ තරමටම මුළු ලෝකෙම මේ සමුරායිවරු ප්‍රසිද්ධයි. ඇත්තටම සමුරායි කියන්නේ ජපානයෙන් බිහිවුණු ප්‍රභූ මිලිටරි පෙළැන්තියක්. පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. විශේෂයෙන්ම මුලින් මේ සමුරායි වරු හිටියේ ජපානේ වැඩවසම් පාලකයින්ගේ ආරක්ෂකයින් විදියට. හැබැයි කාලෙකට පස්සේ සමුරායි වරු පාලකයෝ දක්වාම බලය ලබාගන්නවා. ඒ වගේම ජපානෙට එල්ල වුණු විදේශ ආක්‍රමණ වලදිත් සමුරායිවරු රට බේරගන්න සටන් කළා. එතැනදී තමන් බොහොම බිහිසුණු රණශූරයින් බව මේ අය ඔප්පු කළා. කොහොම හරි පහුකාලීනව සමුරායිවරු නැති වෙලාම ගියත්, තවමත් ජපානේ සංස්කෘතියේ සමුරායිවරුන්ට බොහොම වැදගත් තැනක් හිමිවෙනවා.
ඔය සෑහෙන්න සාහිත්‍ය කෘති වලට, චිත්‍රපටි වලට එහෙමත් සමුරායි සංස්කෘතිය සෑහෙන්න පදනම් වෙලා තියෙනවා. එහෙමනේ අපිත් ජපානේ සමුරායි වරු ගැන දැනගන්නේ. හැබැයි සමුරායිවරු ගැන අපි නොදන්න තව දේවල් කොයි තරම් තියෙනවා ඇතිද? ආන්න ඒ දේවල් කීපයක් ගැන තමයි මේ ආටිකල් එක.
1. සමුරායිවරුන්ගේ ආයුධ
ගොඩක් වෙලාවට ඔය ෆිල්ම්ස් එහෙම බලලා අපි දන්නේ සමුරායිවරුන්ට තිබුණු ආයුධ වෙන්නේ කඩු දෙකක් කියලනේ. දිග කඩුවයි, කෙටි කඩුවයි. හැබැයි ඇත්තටම ඔය දිග කඩුව කියලා අපි තේරුම් ගත්තු කටානා කඩුව කියන්නේ බොහොම බලසම්පන්න, බිහිසුණු ආයුධයක් තමයි. හැබැයි ඔය කඩු දෙක විතරක් නෙවෙයි සමුරායිවරුන්ගේ ආයුධ වුණේ. ප්‍රධාන වශයෙන් සමුරායි ආයුධ වෙන්නේ කටානා කඩුව සහ වකිසාෂි (wakizashi) කියලා හැඳින්වුණු කෙටි කඩුව. මේ කඩු දෙකම හැඳින්වුණේ දයිෂෝ (daishō) කියලා. හැබැයි මේ කඩු ද්විත්වය පළඳින්න අවසර තිබුණේ සමුරායිවරුන්ට විතරයි. ඒකෙන් මේ අයගේ ප්‍රභූත්වය සහ ගෞරවය තමයි සංකේතවත් වුණේ. ඒ වගේම, සමුරායිවරු අතේ තිබුණු තලය දෙපැත්තම තියුණු පිහිය තමයි (Tantō) කියන්නේ. ඒ වගේම සටන් වලදී සමුරායිවරු පාවිච්චි කරපු, දිගු හෙලි මිටකට හයි කරපු තියුණු තලයක් තියෙන ආයුධයක් තමයි නගිනතා (Naginata) කියන්නේ. මේ ආයුධය ගොඩක්ම කාන්තා සමුරායිවරියන් පාවිච්චි කරා කියලා අහන්න ලැබෙනවා. එතකොට යුමි (Yumi) කියලා හැඳින්වුණු සාම්ප්‍රදායික ජපාන දිගු දුන්නත් සමුරායි ආයුධ අතරේ තියෙනවා. එතකොට කබුතොවාරි (Kabutowari) කියලා හැඳින්වුණු පිහියක් වගේ තියෙන බර කඩුවකුන් සමුරායිවරු පාවිච්චි කළා. මේක විශේෂයෙන්ම ඔය සතුරන්ගේ හෙල්මට් කඩාගෙන යන්න පහර දෙන්න පුළුවන් විදියේ ආයුධයක් කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි, 1543 කාලයෙන් පස්සේ ජපානයට තුවක්කු හඳුන්වා දුන්නට පස්සේ, සමුරායිවරු තුවක්කුත් පාවිච්චි කරන්න පටන් ගත්තා!
2. කාන්තා සහ ළමා සමුරායි රණශූරයන්
ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ සමුරායිවරු විදියට ඉන්නේ පිරිමි විතරයි කියලනේ. ඒ කියන්නේ ගොඩක් අය හිතනවා ජපානේ කාන්තාවන් සාම්ප්‍රදායිකව උයන පිහන වැඩ සහ ගෙදර වැඩ විතරක් බලාකියාගෙන ඉන්න කට්ටියක් කියලා. ඇත්ත ඒක නෙවෙයි හැබැයි. සතුරු ආක්‍රමණ වලදී පවා බිහිසුණු විදියට සටන් කරපු කාන්තා සමුරායිවරියන් ජපාන ඉතිහාසේ ඉඳල තියෙනවා. මේ අයට කියන්නේ ඔන්නා බුගේෂා (Onna bugeisha) නැතිනම් යුද්ධයේ කාන්තාවන් කියලා තමයි. මේ කාන්තා සමුරායිවරියන් අතරින් ඉතිහාසයේ පවා ලියැවුණු සමුරායිවරියන් දෙන්නෙක් තමයි Tomoe Gozen සහ Hangaku Gozen කියන්නේ.
ඒ වගේම, අපි කිව්වනේ සමුරායිවරු පරම්පරාවෙන් එන්නේ කියලා. එතකොට සමුරායි කෙනෙක් විදියට පුහුණු කරන්න හිතන ළමයෙක්ට අවුරුදු 3 ඉඳලා ලී කඩු වලින් පුහුණුව ලබාදෙනවා. ඉතින් එහෙම පුරුදු පුහුණු වෙලා ළමා කාලෙදිම සමුරායිවරු වුණු ළමයිනුත් ඉඳලා තියෙනවා ජපාන සමුරායි ඉතිහාසේ.
3. සමුරායි සන්නාහය
දැන් සමුරායි කෙනෙක්ව ටීවී එකේ හරි දැකලා තියෙන අයට මතක ඇතිනේ ඒ ගොල්ලන්ව පේන්නේ කොහොමද කියලා. අර ඒක ඇඳගෙන හෙල්ලෙන්නවත් බැහැයි වගේ හිතෙන සමුරායි සන්නාහයයි, යකෙක් වගේ පේන මුහුණු ආවරණයත් එක්ක එන හෙල්මට් එකයි දැක්කහම අපිට මතක් වෙන්නේ ස්ටාර් වෝර්ස් එකේ ඉන්න ඩාර්ත් වේඩර් ව. ඇත්තටම ස්ටාර් වෝර්ස් එකේ ඩාර්ත් වේඩර්ගේ පෙනුම පාදක කරගෙන තියෙන්නෙත් සමුරායි ඇඳුම තමයි. මේ සමුරායි ඇඳුම හදලා තියෙන්නේ දැක්ක ගමන් බය හිතෙන්න. ඒ වගේම, මේ සන්නාහය අතිශයින්ම ශක්තිමත්. දැන් කාලේ තියෙන වෙඩි නොවදින වෙස්ට් වලටත් මේ සමුරායි සන්නාහය ආදර්ශයක් වෙලා තියෙනවා. ඒ වගේම හොඳම දේ තමයි, දැක්ක ගමන් මේ සන්නාහය ඇඳගෙන එහෙට මෙහෙට හැරෙන්නවත් බැහැයි කියලා හිතුණට, ඇත්තටම මේ සන්නාහය හදලා තියෙන්නෙ ශරීරයේ හැම කොටසක්ම ආවරණය වෙන්න වගේම, සටන් භූමියේදී හොඳ සුනම්‍ය බවකින් හැසිරෙන්නත් පුළුවන් වෙන්න. ඒ නිසා මේ සන්නාහය ඇඳගෙන ඉන්න සමුරායි කෙනෙක්ට විදුලි වේගෙන් සතුරන් එක්ක සටන් කරන්න අමාරුවක් නෑ.
4. ස්වාමියෙකු නැති සමුරායි
ඇත්තටම සමුරායි වරුන්ට හැම මොහොතකම ස්වාමියෙක් සිටිය යුතු වුණා. ඒ කියන්නේ සමුරායි වරු රාජ්‍ය පාලනය දක්වා ආපු නැති කාලේ ගැන අපි මේ කියන්නේ. සාමාන්‍යයෙන් සමුරායිවරුන්ගේ ස්වාමීන් වුණේ වැඩවසම් රදළ වතු හිමියෝ. මේ වැඩවසම් වතු හිමි රදළයෝ තමයි ඒ කාලේ ජපානේ බලවත් පාලන පෙළැන්තිය වුණේ. හැබැයි යම් කිසි සමුරායි කෙනෙක්ට ස්වාමියෙක් නැති වුණොත්, ඒ සමුරායිව හැඳින්වුණේ “රොනින්” විදියට. මේ රොනින් වරුන්ව පස්සේ කාලෙක චිත්‍රපටි වල එහෙම ඉහළ තැනක් දීලා පෙන්නලා තිබුණට, ඇත්තටම අතීත ජපාන සමාජය ඇතුළේ රොනින් වරුන්ට පහත් තැනක් තමයි ලැබුණේ. මේ රොනින් වරු ඉන්න හිටින්න තැනක් නැති ආතක් පාතක් නැති මිනිස්සු විදියට හෑල්ලුවට ලක් වුණා විතරක් නෙවෙයි, මේ රොනින් වරුන්ට වෙනත් රැකියාවක් වත් ලැබුණේ නැති තරම් කියලා තමයි අහන්න ලැබෙන්නේ!
5. දැන උගත් සමුරායිවරු
ඇත්තටම සමකාලීන යුරෝපයේ සහ වෙනත් රටවල හිටපු රණශූරයෝ යුද්ධ කලාවටම ගිහින් හිටියා මිසක් ලියන්න කියන්න එහෙමට පරිචයක් තිබුණේ නැති අය කියලා තමයි ඉතිහාසය කියන්නේ. හැබැයි ඊට වෙනස් ආකාරයකින් සමුරායිවරු බොහෝම දැනඋගත්, සංස්කෘතික සමාජ පෙළැන්තියක් කියලාත් ඉතිහාසය කියනවා. සමුරායිවරු ඉගෙන ගත්තේ යුද්ධ කලාව සහ සටන් කලාව විතරක් නෙවෙයි. ලිවීම, කියවීම සහ ගණිතය පවා සමුරායිවරුන්ට උගන්නලා තියෙනවා. ඒ වගේම ජපානේ සුවිශේෂී කලාවන් පවා සමුරායිවරුන්ට උගන්නලා තියෙනවා. කවි ලිවීම, තීන්ත චිත්‍ර ඇඳීම වගේ දේවලුත් මේ සමුරායිවරු ඉගෙන ගත් දේවල් වලට ඇතුළත්. ඒ නිසාම සමුරායිවරුන් සෑහෙනන් සංස්කෘතික සමාජ පෙළැන්තියක් විදියට හඳුන්වන්න පුළුවන්.
6. ලයිසන්ස් ටු කිල්
සමුරායිවරු ජීවත් වුණේ බුෂිදෝ කියන ආචාර ධර්ම මාලාවට අනුවනේ. ඒකට අනුව මේ අය යහ ගතිගුණ තියෙන, මහත්මා ගුණයෙන් යුක්ත, කාරුණික අය වෙන්න ඕන. එහෙම නැතුව බුෂිදෝ ආචාර ධර්මයන්ට විරුද්ධ වෙන සමුරායි කෙනෙක් මුළුමහත් සමුරායි පංතියටම නින්දාවක් ගෙනාවා කියලා තමයි සලකන්නේ. හැබැයි, සමුරායිවරුන්ට නීතිය තමන්ගේ අතට ගන්න ඉඩක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ, කවුරුහරි පහත් පංතියක කෙනෙක් වරදක් කරලා අහුවුණොත්, ඒක විනිශ්චය කරලා ඒ කෙනාව මරාදාන්න සමුරායිවරුන්ට නීතියෙන්ම අවසරය සහ අයිතිය ලබාදීලා තියෙනවා.
7. අවසන් සමුරායිවරයා
බලලා තියෙනවද 2003 අවුරුද්දේ ආපු ටොක් කෘස් රඟපාන The Last Samurai ෆිල්ම් එක? ඇත්තටම මේ ෆිල්ම් එක පදනම් වෙලා තියෙන්නේ ඇත්තම ඇත්ත කතාවක් මත තමයි. ඇත්ත ජපාන සමුරායි ඉතිහාසේ මේ චරිතයට පාදක වුණු සමුරායිවරයාගේ නම වෙන්නේ සයිගෝ තකමෝරි. එදෝ යුගයේ අවසානයේ සහ මෙයිජි යුගයේ මුල ජීවත් වුණු මේ සයිගෝ තකමෝරි සමුරායිවරයා ජපාන අධිරාජ්‍යයේ පාලනය නැවත ස්ථාපිත කරන්න සටන් කරපු වීරයෙක් විදියට තමයි සැලකෙන්නේ. මේ සමුරායිවරයා මියයන්නේ රජයේ දුර්වලකම් වලට එරෙහිව කැරලි ගහලා සටන් කරලා. ඉතින් මේ සමුරායි තකමෝරිගේ වීරත්වය සහ නිර්භීතකම ජපානයේ මහ ඉහළින් සැලකෙනවා.
Leave a Reply