හැමදාම කන පුඩින් ජාති තමා ඉතින් ඔය කැරමල් පුඩින්, කස්ටඩ් පුඩින්, බිස්කට් පුඩින් වගේ ඒව. ඕවම කාලයි හදලයි එපා වෙලා ඉන්න ඔයාලා ගැන හිතලම අපි වෙනස් රස වලින් පුඩින් රෙසිපි ටිකක් ට්‍රයි කළා. මෙන්න ඒවා ඔයාලටත් ගෙනාවා. හදලා බලල අපිට රස කොහොමද කියන්න අමතක කරන්න එපා ඕන්.
1. ජින්ජර් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි ග්‍රෑම් 300
- කිරි කෝප්ප 1
- චොප්කරගත් ඉඟුරු දෝසි ග්‍රෑම් 375
- බටර් ග්‍රෑම් 250
- වැනිලා ස්වල්පයක්
- බිත්තර කහමද 3
- බිත්තර සුදුමද 3
- ග්‍රේට් කරගත් දෙහි පොතු ස්වල්පයක්
- මුද්දරස්පලම් ස්වල්පයක්
- මුලින්ම කිරි, බටර් හා සීනි ග්‍රෑම් 150 හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට බිත්තර කහමද හා ඉඟුරු දෝසි ටික දාලා නැවත හොඳට බ්ලෙන්ඩ් කරගන්න.
- ඒකටම මුද්දරස්පලම්, වැනිලා හා දෙහිපොතු දාලා නැවත බ්ලෙන්ඩ් කරගන්න.
- බිත්තර සුදුමද තුනට ඉතුරු සීනි ග්‍රෑම් 150 ටික ටික එකතු කරමින් පුළුන් වගේ වෙනකම් හොඳට බීට් කරගන්න. මේකට බ්ලෙන්ඩ් කරගත් පුඩින් මිශ්‍රණය ටික ටික එකතු කරමින් පත්තකින් පෙරලගෙන කලවම් කරන්න.
- මේක බටර් ගාගත් පෑන් එකකට දාගන්න.
- පුඩින් බෝල් එක ෆොයිල් කොළේකින් කවර් කරලා, ඒක වතුර දාපු ට්‍රේ එකක තියල සෙල්සියස් 180°ට විනාඩි 45ක් බේක් කරගන්න.
2. ඔරේන්ජ් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි ලීටර් 1
- සීනි කෝප්ප 1/3
- කෝන්ෆ්ලා කෝප්ප ⅓ සහ මේස හැඳි 2ක්
- දොඩම් පොතු මේස හැඳි 1
- දොඩම් යුෂ මි. ලී. 500
- කිරි ටික ලිපේ තියලා සීනි හා කෝන්ෆ්ලා කෝප්ප ⅓ දාලා හොඳට විස්ක් කරමින් රත් කරගන්න. මේකට දොඩම් පොතු ටිකත් දාලා අඩු ගින්දරේ හැඳිගාන්න. දොඩම් යුෂ වලින් මි.ලී. 50ක් විතර දාගන්න. කිරි ටික උතුරනකොට ලිපෙන් බාගන්න.
- දැන් මේක බටර් ගාගත් ට්‍රේ එකකට දාගන්න. නිවෙන්න තියලා පැය 2ක් ෆ්‍රිජ් එකේ තියාගන්න.
- දැන් වෙනම භාජනයක් ලිපේ තියලා ඉතුරු දොඩම් යුෂ ටික දාගෙන කෝන්ෆ්ලා මේස හැඳි 2ක් දාගන්න. හොඳට හැඳිගාමින් මද ගින්නෙ උතුරවගන්න. මිශ්‍රණය උකු උනාම ලිපෙන් බාගෙන නිවෙන්න තියන්න.
- කලින් කිරි මිශ්‍රණය දාගත් ට්‍රේ එකටම ලේයර් එක විදියට උඩින් මේක දාගෙන පැය 2ක් ෆ්‍රිජ් එකේ දාගන්න.
3. මිල්ක් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- කිරි මි. ලී. 500
- සීනි මේස හැඳි 2
- බටර් මේස හැඳි 1
- බිත්තර කහමද 3
- බිත්තර සුදුමද 3
- වැනිලා ස්වල්පයක්
- කිරි ටික ලිපේ තියලා රත්කරගන්න. ටිකකින් කෝන්ෆ්ලා ටික දාලා කැටි ගැහෙන්නෙ නැතිවෙන්න හැඳිගාන්න. කිරි ටික උතුරනකොට ලිපෙන් බාගන්න.
- මේ මිශ්‍රණය ටිකක් නිවෙන්න ඇරලා සීනි හා බිත්තර කහමද ටික දාලා හොඳට විස්ක් කරන්න.
- බිත්තර සුදුමද ටික වෙනම පුළුන් වෙනකල් බීට් කරලා මේකට එකතු කරන්න. වැනිලා දාලා හොඳට කලවම් කරලා බටර් ගාගත් පුඩින් ට්‍රේ එකකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 40ක් වගේ බේක් කරගන්න. උඩ රන්වන්පාට වෙනකල් තිබ්බම ඇති.
4. ඩේට් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත් කළ රට ඉඳි කෝප්ප 2
- පාන් පෙති 3ක්
- බිත්තර 5
- කිරි කෝප්ප 1
- පැණි මේස හැඳි 6
- රස අනුව ලුණු
- කිරි, බිත්තර, පැණි, පොඩියට කඩාගත්ත පාන් සහ ලුණු හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මේකට චොප් කරගත්ත රට ඉඳි ටික දාල ආපහු බ්ලෙන්ඩ් කරගන්න.
- බටර් තවරගත්ත බෝල් එකක දාල ෆොයිල් එකකින් කවර් කරල සෙල්සියස් 180°ට රත් කරගත්ත අවන් එකක විනාඩි 40-45 බේක් කරගන්න. නැත්නම් ස්ටීමරයක ස්ටීම් කරගන්නත් පුළුවන්.
5. වරකා පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- වරකා මදුළු 25ක් පමණ
- සීනි ග්‍රෑම් 200
- කස්ටඩ් පව්ඩර් ග්‍රෑම් 150
- බටර් මේස හැඳි 2
- මුද්දරස්පලම් ස්වල්පයක්
- චොප්කරගත් කජු ස්වල්පයක්
- කිරි කෝප්ප 2
- කුරුඳු පොතු කෑල්ලක්
- වරකා තීරු කපාගෙන භාජනයකට දාගන්න. මේකට කිරි, සීනි ග්‍රෑම් 100ක් සහ කුරුඳු පොතු කෑල්ල දාලා ලිපේ තියලා, තැම්බෙන්න අරින්න.
- ටිකකින් වතුර ටිකක දියකරගත් කස්ටඩ් ටික දාලා කැටි නොගැසෙන්න හැඳිගාන්න. කිරි උතුරනකොට ලිපෙන් බාලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා නිවෙන්න තියන්න.
- බටර් හා ඉතිරි සීනි එකතු කරලා හැන්දකින් කලවම් කරලා පුඩින් මිශ්‍රණය උඩට දාලා 180°ට විනාඩි 45ක් බේක් කරගන්න.
6. රයිස් පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- වතුර කෝප්ප 1
- කිරි කෝප්ප ¾
- ලුණු
- හාල් කෝප්ප 1
- බටර් මේස හැඳි 1
- වෙනම කිරි කෝප්ප ¾
- හෙවි ක්‍රීම් ¼
- වැනිලා ස්වල්පයක්
- බිත්තර කහමද 2
- සීනි කෝප්ප 1
- භාජනයකට වතුර ටික දාලා රත්වෙන්න තියන්න. ඒකට කිරි කෝප්ප ¾ දාලා රස අනුව ලුණු දාගන්න. ටිකකින් සෝදා, වතුර බේරාගත් හාල් ටික එකතු කරන්න.
- ගින්දර අඩු කරලා හැඳිගාන්න. බටර් ටික එකතු කරන්න. විනාඩි 20ක් විතර අඩු ගින්දරේ හැඳිගාන්න. පෑන් එක වහලා පිසගන්න. බත් ටික ඉදෙනකම් හොඳට හැඳිගාන්න කිරි කැටි වෙන්න නොදී.
- වෙනම භාජනයකට කිරි කෝප්ප ¾ සහ හෙවි ක්‍රීම් ටික දාලා වැනිලා දාල උතුරනකම් හැඳිගාමින් රත් කරගෙන ලිපෙන් අයින් කරන්න.
- බිත්තර කහමද හා සීනි වෙනම භාජනේක හොඳට විස්ක් කරගන්න. මේ කහමද මිශ්‍රණයට උණුකරගත් කිරි ටික ටික දාලා කලවම් කරගන්න.
- කිරි සහ කහමද මිශ්‍රණය ලිපේ තියල ආපහු රත් කරගන්න. උකු වෙනකල් හැඳිගාන්න.
- දැන් මේ හදාගත් සෝස් එක කලින් පිළියෙල කරගත් බත් මිශ්‍රණයට දාලා කලවම් කරගන්න. දැන් මේක පොඩි කප් වලට දාලා ෆ්‍රිජ් එකට දාගන්න.
7. චොකෝ මිල්ක් ජෙලි පුඩින්
අවශ්‍ය ද්‍රව්‍ය
- කුකින් චොකලට් කෝප්ප 2
- ජෙලටින් මේස හැඳි 2 1/2
- කිරි කෝප්ප 2 ½
- මදරස්නෙ වතුර කෝප්ප 1
- සීනි මේස හැඳි 4
- ජෙලටින් ටික මදරස්නෙ වතුර කෝප්පයක දියකරගන්න. පෑන් එකකට කිරි, චොකලට් සහ සීනි ටික දාලා ලිපේ තියලා චොකලට් දියවෙනකම් හොඳට හැඳිගාන්න.
- මේකට ජෙලටින් ටික එකතු කරල මිනිත්තු දෙක තුනක් හැඳිගාල ලිපෙන් බාගන්න. බටර් ගාගත් බෝල් එකකට දාලා නිවෙන්න තියන්න. නිවුනට පස්සෙ ෆ්‍රිජ් එකේ දාලා සෙට් වෙන්න තියන්න.
Leave a Reply