මේ වැලන්ටයින් එකට රොමෑන්ටික් සන්ධ්‍යාවක් සඳහා යන්න හොඳ තැන් කීපයක්!

වැලන්ටයින් දවස කියන්නේ තනිකඩ කොල්ලන්ට කෙල්ලන්ට නං, කපල් වලට ගල් ගහන්න හිතෙන දවසක් වුනත්, හාද වෙලා ප්රේම ගඟේ පීන පීනා ඉන්න උදවියට නං වැලන්ටයින් දවස අති විශේෂයි. තුන්සිය හැට හතර දවසක්ම ආදරේ සැමරුවත්, වැලන්ටයින් ඩේ එකටත් මොකුත් කළේ නැත්තං නිකං ලව් එකේ ඉන්න කපල් එකකට හිතට හරි නෑ නෑ වගේ. ආන්න නිසා අපි හිතුවා, ෆුල් ලව් එකේ ඉන්න කපල් එකකට වැලන්ටයින් ඩේ එකට රොමෑන්ටික් හැන්දෑවක් ගෙවන්න සෙට් වෙන කොළඹ අවට තියෙන රෙස්ටුරන්ට් කීපයක් හඳුන්වලා දෙන්න

 

1. The Gallery Café

වැලන්ටයින් එකට ඉටිපන්දම් එළියෙන් ආලෝකවත් වුණු ආහාර වේලක් තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තී එක්ක ගන්න නම් යන්න හොඳම තැනක් තමයි ඇල්ෆ්රඩ් හවුස් පාරේ තියෙන ගැලරි කැෆේ. විශේෂයෙන්ම බොහොම නිස්කලංක සුන්දර තැනක් වීම නිසාත්, කොලෝනියල් ගතියක් තියෙන වෙනස් හැඟීමක් ලබාදෙන තැනක් වීම නිසාත්, විශිෂ්ට ආහාර පාන පරාසයක් තිබීම නිසාත්, මෙතන පොඩ්ඩක් ගණන් වැඩියි කියන එක අමතක කරන්න පුළුවන්. අනික වැලන්ටයින් එන්නේ අවුරුද්දකට සැරයයිනේ. කෑම ඕඩර් කරලා මේසෙට එනකල් දෙන්නත් එක්ක කොක්ටේල් එකක් හරි මොක්ටේල් එකක් හරි රස විඳින ගමන් නිසංසලේ කතාබහ කර කර ඉන්න පුළුවන්.

 

2. Brasserie

Brasserie කියලා සාමාන්යයෙන් ප්‍රංසයේ කියන්නේ, නිස්කලංකේ ගිහින් ඉඳගෙන කෑමක් කන්න පුළුවන් විදියේ රෙස්ටුරන්ට් වර්ගයක්. හැබැයි ලංකාවේදී Brasserie කියලා කියන්නේ ඉහළ පෙළේ ප්‍රංස අවන්හලක්. මේක ෆයින් ඩයිනින් වලට අයිති වෙන, ටිකක් ගණන් හිලව් ඉහළ තැනක්. හැබැයි විශේෂිත දවසකට දෙන්නත් එක්ක ගිහින් නිස්කලංකේ ඩිනර් එක ගන්න හොඳ තැනක්. වැලන්ටයින් කියන්නෙත් එහෙම විශේෂ දවසක් කියලා ගන්න පුළුවන්නේ. මෙතන තියෙන කෑම බීම ඉහළම මට්ටමේ, සුවිශේෂී ඒවා කියලා අපිට සහතික කරන්න පුළුවන්. වගේම මෙතන තියෙන වයින් එකතුවත් විශේෂයි කියලා අපිට කියන්න පුළුවන්. ඕන නම් සාමාන්‍ය මිලකට තියෙන වයින් වීදුරුවක් වගේම, අතිශයින්ම මිලාධික වයින් බෝතලයක් වුනත් ගන්න පුළුවන්. ඇත්තටම මෙතන වටපිටාවත් අර ඉහළ මට්ටමේ රෙස්ටුරන්ට් එකක් කියන හැඟීම තමයි ලබාදෙන්නේ. හැබැයි රොමෑන්ටික් ඩිනර් එකකට වුනත් තැන නරක නෑ.

 

3. Peggie’s Café

ආදරේ සමරන්න ෆයින් ඩයිනින් රෙස්ටුරන්ට් එකක වගේම, පුංචි මුල්ලක තියෙන ලස්සන හුදෙකලා කැෆේ එකකත් පුළුවන්. අන්න නිසා තමයි අපි ලිස්ට් එකට, කොළඹින් ටිකක් ඈතට වෙන්න තියෙන පෙගීස් කැෆේ එකත් ඇතුළත් කරන්නේ. පෙගී ගේ කැෆේ එක තියෙන්නේ කඩවත, කිරිල්ලවල ප්රදේශයේ. එක පාරටම හොයාගන්න බැරි පුංචි තැනක හැංගිලා තිබුණත්, ඇතුළට ගියාට පස්සේ මේ කැෆේ එකේ තියෙන රොමෑන්ටික් ගතිය පේන්න පටන් ගන්නවා. ඇත්තටම රොමෑන්ටික් ගතිය නිසාම, වැලන්ටයින්ස් ඩේ එකට දෙන්නත් එක්ක ගිහින් හවස් වරුව නිදහසේ ගත කරන්න අපිට පෙගී ගේ කැෆේ එක රෙකමදාරු කරන්න පුළුවන්. එයා චොකලට් රසට කැමති නම්, චොකලට් උතුරන මයිලෝ ෂේක් එකක් අරගෙන දීලා, ඔයාට පුළුවන් මොහිතෝ එකක් තොලගාන්න. පෙගීගේ කැෆේ එකේ ආදරේට කිසිසේත්ම බාධා නෑ!

 

4. August Colombo

මමා ඒඩාගේ ඕගස්ට් ක​ළම්බෝ රෙස්ටුරන්ට් එක කාලෙක තිස්සේ ඉඳන් කොළඹ තියෙන මිඩ්ල් ඊස්ට් කෑම රසවිඳින්න පුළුවන් රෙස්ටුරන්ට් එකක්. වැලන්ටයින් ඩේ එකට එහෙම තැනක් හරියනවද? ඔව්. විශේෂයෙන්ම මේ අයගේ රෙස්ටුරන්ට් එක ඇතුළේ තියෙන නිස්කලංක කමත්, අපූරු අසම්ප්රදායික පෙනුමත් නිසා තමයි. ඇත්තටම ඕගස්ට් ක​ළම්බෝ එකේ තියෙන ෆයින් ඩයිනින් පැත්තට බරයි කියලා හිතෙන මිඩ්ල් ඊස්ටන් කෑම, රෙස්ටුරන්ට් එකේ තියෙන මල් වැල් එල්ලෙන නිදහස්, සැහැල්ලු සහ විනෝදකාමී ගතියට ගැලපෙන්නෙ නැති තරම්. මෙතන කොහොමත් ඉටිපන්දම් ආලෝකය තියෙන නිසා, අමුතුවෙන් ඉටිපන්දම් ඕනත් නැහැ. කෑම ඕඩර් කරලා දෙන්නත් එක්ක වැලන්ටයින් ඩේ එකේ රොමෑන්ටික් වෙන්න තමයි තියෙන්නේ.

 

5. Barracuda

මිනිස්සු පිරුණු කලබලකාරී, ඝෝෂාකාරී මුහුදු වෙරළක, රොමෑන්ටික් හැන්දෑවක් ගත කරන එක ගැන ගැටළුවක් නැතිනම්, බැරකූඩා කියන්නේ කපල් එකකට ගිහින් කාලා බීලා නිදහසේ ඉඳලා එන්න ගැලපෙනම තැනක්. කලිනුත් කිව්වා වගේ එකම ගැටළුව වෙන්නේ බැරකූඩා එක රෑ වෙනකොට ජනාකීර්ණ වෙන එක තමයි. ඕන නම් බැරකූඩා එකට එපිට මුහුදු වෙරළේ තියෙන මේසයක් තෝරගන්න පුළුවන්. එතනට සංගීත සද්දේ හරි හරියට ඇහුණත්, සී ෆුඩ් ප්ලැටර් එකක රස බලන ගමන්, දෙන්නට දෙන්නා කොයි තරම් ආදරේද කියලා කියාගන්න ඒක බාධාවක් නෙවෙයි. මේසේ උඩට එන ඉටිපන්දම් පහනේ ආලෝකයත්, බැරකූඩා එක වටේ සහ මුහුදු වෙරළ සීමාව දිගේ දැල්වෙන පොල් කෝම්බ ලාම්පු එක්ක, ගැහැණු පිරිමි පිරුණු බැරකූඩා එකේ ගෙවන හැන්දෑවක් කියන්නේ ලැබිය යුතුම අත්දැකීමක්. එතන තියෙන්නේ වෙනස්ම රොමෑන්ටික් හැඟීමක්. 

 

6. Havelock Place Bungalow

දැවැන්ත කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් පිරුණු, කඩිමුඩියෙන් එහා මෙහා ඇදෙන රථවාහන සහ ජනීජනයාගෙන් කලබල වුණු හැව්ලොක් ටවුමේ, ගස් කොළන් හෙවණ තියෙන තැනක් කියන්නෙත් ලොකු දෙයක්. හැබැයි මේ හැව්ලොක් ටවුමේම ප්‍රධාන පාරට පොඩ්ඩක් ඇතුළට වෙන්න තියෙන හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එකේ ගේට්ටුවෙන් ඇතුළු වුනහම අපිට දැනෙනවා, මේක මේ ජනාකීර්ණ ටවුම මැද්දේ හැංගුණු දිව්‍යමය පාරාදීසයක් කියලා. නිස්කලංක, රොමාන්තික ක්ෂේම භූමියක් විදියට හැඟෙන මේ හැව්ලොක් ප්ලේස් බංග්ලෝ එක වැලන්ටයින් දිනයේ සැමරුමකටත් කදිමයි. කෑම බීමත් හොඳ මට්ටමක තියෙන නිසා, වයින් ලිස්ට් එකකුත් තියෙන නිසා, වැලන්ටයින් දවසේ හවස දෙන්නත් එක්ක නිස්කලංකේ එළිමහන් මේසෙකට හරි බංකුවකට හරි වාඩි වෙලා, වයින් වීදුරුවක් තොල ගාන ගමන් දෙන්නගේ ආදරේ සැමරුම් සිහිපත් කරන්න මීට වඩා හොඳ තැනක් තියෙනවද?

 

7. The Courtyard – Tintagel

Tintagel කියන්නේ අර කොළඹ තියෙන යටත් විජිත සමයේ මතක නැවත ගෙන එන්නට සමත් අපූරු බංගලාවක්. ඒ වගේම කොළඹ ඉතිහාසයේ බොහෝ මතකයන් බැඳිලා තියෙන තැනක්. හැබැයි මේ වෙනකොට එතන අපූරු බූටික් හොටෙල් එකක් විදියට රූපාන්තරණය වෙලා තියෙනවා. මේකේ තියෙන එක රෙස්ටුරන්ට් එකක් තමයි The Courtyard කියන්නේ. එළිමහනේ ආහාර පාන ගන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තියෙන කෝට්යාඩ් එකේ, මේ බංගලාවේ තියෙන අපූරු රොමෑන්ටික් වටපිටාව හොඳින්ම විඳගන්න පුළුවන්. මේ අයගේ තියෙන අ-ලා-කාර්ටේ මෙනු එකේ වැලන්ටයින්ස් හැන්දෑවට හරියන අයිටම්ස් ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම මේ දවස වල හවස් වෙනකොට කොළඹ තියෙන උණුසුම් හුළඟත් එක්ක, එළිමහනේ දෙන්නත් එක්ක නිස්කලංක පරිසරයක වැලන්ටයින් සමරන්න ලැබෙන එකත් ආශ්වාදයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *