ප්‍රේම සම්බන්ධතා කියන්නෙ ඉතින් ඉක්මනින් ඇතිවෙන්න වගේම නොහිතන වෙලාවක, නොහිතන විදිහට නැතිවෙලා යන්නත් පුළුවන් දෙයක්නෙ. නිකං කාලෙ ගෙවාගන්න, විනෝදෙට වගේ ලව් කරන කොල්ලො කෙල්ලොන්ට මේක හරිම සාමාන්‍ය දෙයක් වුණාට ඇත්තටම හිතින් ආදරේ කරපු කෙනෙකුටනම් ප්‍රේම සම්බන්ධතාවයක් කෙළවර වෙනව කියන්නෙ ටිකක් දරාගන්න අමාරු හැඟීමක්. ඒකනෙ අද කාලෙ අපිට අහන්න දකින්න වෙන හුඟක් සියදිවි නසාගැනීම් වලටත් හේතුවෙන්නෙ. ඉතින් එහෙම අවාසනාවන්ත සිදුවීම් අපේ අවට සමාජයෙන් ඇහෙන්නෙ නැතිවෙන්න නම් ඉතින් යාළුවොන්ගෙ ලව් පලහිලව් වලට උදව් කරනව වගේම ඒව මොනම හේතුවකට හරි කැඩිල ගියහමත් යාළුවා ලඟින්ම ඉඳලා හිත හදන එක අපේ ලොකු වගකීමක්. ඉතින් එහෙම ආදර සම්බන්ධතාවයක් කැඩුණු නිසා දුකින් ඉන්න ඔයාගේ යාළුවට හෝ යෙහෙළියට හිත හදාගන්න ලේසි වෙන්න ඔයාගෙන් කෙරෙන්න පුළුවන් උදව් කීපයක් ගැන තමයි මේ කියන්නෙ.
1. සවන් දෙන්න
කලිනුත් කිව්ව වගේ අද කාලෙ අහන්න ලැබෙන අවාසනාවන්ත සියදිවි හානිකරගැනීම් ගොඩකට හේතුව හොයාගෙන ගියහම අපිට තේරුම් යන දෙයක් තමයි ඒ හැම කෙනෙකුටම ලඟින් ඉඳල දුක අහන්න, කතා කරන්න කෙනෙක් ඉඳල නැති බව. හිතට තදින්ම දැනුන ආදර සම්බන්ධතාවයක් නැතිවෙනව කියන්නෙ කෙනෙක් ලේසියෙන්ම depression එහෙමත් නැත්තම් විශාදය කියන මානසික තත්ත්වයට ඇදල දාන්න පුළුවන් හේතුවක්. අන්න ඒ නිසා තමයි එහෙම තත්ත්වයකට පත්වුණ යාළුවෙක් ආපහු ටික කාලයක් ගිහින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙනකන්ම අපි එයාට නිතර නිතර සවන් දෙන්න ඕන. එයාගෙ හිතට දුක දැනෙන හැම වෙලාවකම එයා ඔහේ මොනවා හරි කියවයි. සමහරවිට එකමදේත් කියවයි. එත් අහගෙන ඉන්න. ඒක තමයි එයාට කරන්න පුළුවන් ලොකුම උදව්ව.
2. නිතර කතා කරන්න
ඊළඟට නිතර නිතර එයාට කතා කරල සැප දුක හොයල බලන්න. යාළුවෙක් කියන්නෙ අපි ලඟම ඉන්න කෙනෙක් නෙමෙයිනෙ. වෙන ගෙදරක, වෙනම පරිසරයක ඉන්න කෙනෙක්. ඒ නිසා දිනපතා මුණගැහෙන්නෙ නැතිවෙයි. ඒත් පුළුවන් හැම වෙලාවකම කතා කරන්න. මොකද කලින් ආදරේ කරන කාලෙ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක නිතරම කතා කරපු එකේ අඩුව එයාට තදින්ම දැනෙනවා මුල්ම දවස් වලදී. ටිකක් එපාවෙන වැඩක් උනත් යාළුවා වෙනුවෙන් මේ වැඩේ කරන්නම වෙනව ටික දවසක් යනකන්.
3. දුර ගමනක් යන්න
සම්බන්ධතාවය නතරවුණ මුල්ම දවස් කිහිපය තමයි යාළුවට අපහසුම දවස් කිහිපය. මේ දවස් ටික කොහොමින් හරි ගෙවාගත්තොත් ඊට පස්සෙ ටික ටික තත්වය තේරුම් අරන් සාමාන්‍ය ජීවිතේට ටික ටික හුරුවෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඉතින් මේ මුල්ම දවස් කිහිපයේ හිතට දැනෙන දේවල් අමතක වෙන්න, හිත වෙන පැත්තකට අරන් යන්න යාළුවා එක්ක කොහෙහරි දුරක ඇවිදින්න යන්න පුලුවන්නම් හොඳයි. ඔන්න වෙන වෙන ප්‍රශ්න නිසා ප්ලෑන් කරාට කල්ගියපු ට්‍රිප් එකක් එහෙම තියෙනවනම් මේක තමයි හොඳම වෙලාව. තනියම දුරක යන්න බැරි ගැහැණු ළමයින්ට උනත් දුර නෑදෑ ගෙදරකට හරි යන්න පුළුවන්නෙ.
4. යාළුවො එක්ක සෙට් වෙන්න
සෙට් එකේ යාළුවො එක්ක outing එකක් වගේ ලැහැස්ති කරගන්න. ඔක්කොමල එකතුවෙලා හොඳ ෆන් එකක් ගන්න. මේකට ගැහැණු පිරිමි දෙවර්ගෙන්ම යාළුවො ඉන්නවනම් තමා වැඩිය හොඳ. එතකොට අදාළ කෙනාට හිතෙනවනෙ අතඇරපු පෙම්වතා, පෙම්වතියට එයාගෙ වටිනාකමක් නොදැනුනාට විරුද්ධ ලිංගික කට්ටිය එයා එක්ක තාමත් ඉන්න බව. කට්ටිය එක්කම එලියට ගිහින් වෙනසක් නොදැනෙන්න ඉස්සර වගේම විනෝද වෙලා එන්න. මෙහෙම යන ගමන් වලදී යාළුවගෙ දුක අහන්න, හිත හදන්න දේවල් කරන්න යන්න එපා. සාමාන්‍ය පරණ විදිහටම හැසිරෙන්න.
5. සැලූන් එකට/ ජිම් එකට එක්කගෙන යන්න
ගැහැණු ළමයෙක්නම් සැලූන් එකකට එක්කගෙන යන්න. අළුත් හෙයාර්කට් එකක්, ක්ලීනප් එකක් කරාම ජීවිතේට අලුත්ම ආරම්භයක් ලැබුන වගේ. දුක බාගෙට බාගයක්ම අමතක වෙලා යයි. කොල්ලෙක්නම් ඉතින් ඕව කරන්න බැහැනෙ. කොල්ලෙක්ව එක්කන් යන්න හොඳම තැනක් තමයි ජිම් එක. ඒක ජීවිතේට අළුත් ටාර්ගට් එකක් නිසා දුක් වෙන්න, හිත හිත ඉන්න කාලය අඩුවෙයි. අනිත් එක ඔය වැඩ දෙකම අනාගතේට හොඳ දේවල්නේ.
6. ෆිල්ම් එකක් බලන්න
යාළුවා එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න. කලින් පෙම්පලහිලව් තියෙන කාලෙ වෙලාව හොයාගන්න බැරි නිසා ඔය ගමන් එකක්වත් යන්න බැරිවෙන්නත් ඇතිනේ. ඉතින් දෙන්න එක්ක කතාවෙලා හොඳ අළුත් ෆිල්ම් එකක් බලන්න යන්න. හැබැයි ඉතින් තවත් ටිකක් මූඩ් ගහන romantic movie එකක් නම් එපා. ටිකක් thriller, horror පැත්තට බර එකක්නම් වඩා හොඳයි. දෙන්නම කතාවෙලා දෙන්නගෙම choice එක අනුව හිතට අල්ලන චිත්‍රපටියක් තෝරාගන්න. සම්බන්ධතාවය තියෙන කාලෙ ඉතින් ෆිල්ම් බලන්නෙම බෝයි ෆ්‍රෙන්ඩ් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි එක්කනේ. ඉතින් මේක කාලෙකින් ලැබෙන අත්දැකීමක් නිසාත්, ෆිල්ම් එකේ කතාව නිසාත් යාළුවට දුක අමතක වෙනව ෂුවර්.
7. ජීවිතේ වෙනසකට උනන්දු කරවන්න
ඔය ඔක්කොම කියපු දේවල් තාවකාලික දේවල්. දුක ටික ටික අඩුවෙනකන් කරන්න පුළුවන් දේවල්. මේක ටිකක් ස්ථිර වෙනසක් ගැනයි. කොහොමටත් හිතට තදින් දැනුනු සම්බන්ධතාවයක් කියන්නෙ ඒකත් එක්ක බැඳුනු මතකයන් ගොඩාක් හැමතැනම තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් අමතක වෙන ටිකක් ලොකු වෙනසකට යාළුවව යොමු කරන්න. ඉන්න තැන, ඒ කිව්වේ ගෙදර කාමරය හෝ බෝඩින් කාමරය මාරුකරන්න. මාරු කරන්නම බැරිනම් කාමරේ අලුතින්ම වෙනස් කරල, වෙන පාටකින් තීන්ත ගාල වෙනස් කරගන්න. රැකියාව මාරු කරන්න. ඒ කිව්වෙ ඉන්න තැනින් ඉහලට අඩියක් යන්න, මඟ හැරුණු අවස්ථා ලබාගන්න උනන්දු කරවන්න. මඟ හැරුණු අධ්‍යාපන කටයුත්තකට යොමු කරවන්න.
Leave a Reply