ලංකාවෙ කලාකාරයො කොහොමත් සැමරෙන්නෙ මැරුනාට පස්සෙනෙ. හැබැයි මේ කතාවට දේශසීමා භේදයක් නැහැ. මේ කතාවට ලංකාවෙ වගේම විදේශයන්ගෙත් ප්‍රකට කලාකාරයො අයත් වෙනවා. හැබැයි මේ අය මේ වෙද්දි මිය ගිහින්. මේ අය මිය ගියත් ලෝකෙට නියම වැඩ කරපු සහ කරන්න පුළුවන් කම තිබුණු මිනිස්සු. අන්න ඒ නිසා මේ අය තව ටිකක් කල් ජීවත් වුණානම් හොඳයි. හැබැයි මේ අය එක දවසක් ලංකාවට ආවනං මැරිච්ච එකමයි හොඳ කියලා හිතෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ තරං අජූව විදියට ලංකාව ඇතුළෙ ඒ අයව අවභාවිතා වෙනවා.
1. ජෝතිපාල
හදවත රත්තරං ජෝති මහත්තයා ගැන ලියන්නම උවමනායි. මොකද ජෝති පාල මහත්තයාව අතිශය නරක විදියට ලංකාව ඇතුළෙ පට්ට ගැහෙනවා. බොහෝ අය බනින්නෙ රියැලිටි ගායකයොන්ට විතරයි. හැබැයි රියැලිටි තරගවල ගායකයො ඒ ගීත ගයන්නෙ තරගය දිනන්න මිසක් මුදල් උපයන්න නෙමෙයි. මුදල් උපයන්න මේ ගීත කියන ජෝතිගෙ වගේ කටහඬ තියෙන අය වගේම ගෑණු හඬින් ජෝතිගෙ සින්දු කියන අයත් ඉන්නව.
2. ජැක්සන්
කට්ටියට ජැක්සන් කිවුව ගමන් මතක් වෙන විවිධ චරිත ඉන්නවා. කොතරම් විවිධ වූ චරිත හිටියත් මේ කියන්නෙ පොප් ලෝකෙ රජ්ජුරුවො වෙච්චි අති උත්තම ජැක්සන් ගැනයි. මයිකල් ජැක්සන් වගේ අය තෝරන්න ලෝක මට්ටමෙන් රියැලිටි තරග පවා තියෙනවා. ඒ වුණත් ලංකාවෙ තරං මයිකල් ජැක්සන්ව ගලේ ගගහ හෝදපු නොහොත් උත්කර්ෂයට නග නගා බෙල්ල කපපු රටක් තවත් නැතුව ඇති.
3. මාලේ
බොබ් මාලේ කියපු සින්දු ඇතුළෙ තිබුනෙ සෞම්‍ය සංගීතයක් නෙමෙයි. ඒ තුළ තිබුනෙ විප්ලවයක්. වචනයක් තණුවක් ගානෙ හඬ නැංවුනේ විප්ලවයයි. ඒ විප්ලවය තමන්ට ගවු ගානක් දුරින් තිබුණු විප්ලවයක් නොව තමුන්ගෙ මිනිසුන් වෙනුවෙන් තමුන් විසින් කරපු විප්ලවයක්. හැබැයි අපේ අයියලට විප්ලවකාරී අදහස් මොකුත් නෑ. එයාලා ගහනව ගංජා. ගංජා ගහද්දි එන පොඩි සමාජ ප්‍රතිරෝධයක් තියෙනවා. අන්න ඒ ප්‍රතිරෝධයට පහර දෙන්න ඔවුන්ට බෑ. ඔවුන් දුප්පත්. ඒ නිසා ඔවුන් ගංජා බීපු පොහොසත් මිනිසෙක් වුණු බොබ් මාලේගේ පොහොසත් බව යොදාගන්නවා. ගංජා බීපු හොඳ මිනිස්සුත් නරක මිනිස්සුත් ඉන්නවා. ඒක ගංජාවල වැරැද්දක් නෙමෙයි කියලා මාලේට ලංකාවෙ මිනිස්සු පෙන්වලා දුන්නා.
4. විජය කුමාරණතුංග
තමුන්ගෙ රට වෙනුවෙන් කලාකාරයෙක් විදියට ඔහු සිදු කළ දේ බොහෝමයි. දේශපාලකයෙක් විදියටත් මේ රට ඉදිරියට ගෙනියන්නට සිදු කළ දේ බොහෝමයි. ඒත් විජය කුමාරණතුංග කියන්නෙ කොණ්ඩයක් විතරයි කියලා හිතාගෙන ඉන්න ඩයල් විජයව උයාගෙන කනවා අපි දැකලා තියෙනවා. ඒ විදියට උයාගෙන කන අතරෙම විජය ගැන ඔවුන් පොර ටෝක් දෙනවා. තමුන්ගෙ රසිකයොන්ගෙ හදේ හිටපු අයිඩෙන්ටියක් නැතුව පාරට බැහැපු මිනිහට අයිඩෙන්ටියත් හංගගන්න හිතෙන වැඩ කරන මිනිස්සුන්ට අපේ රටේ කලාකාරයො කියලා කියනවා.
5. චැප්ලින්
අන්තිමට ගේන උත්තම කලාකරුවා විදේශිකයෙක්. වචනයක්වත් තමුන්ගෙ කලාව ඇතුළෙ කතා නොකරට ඒ තුළ ඔහු ගෙනා සිනහවත් ශෝකයත් මිනිසුන්ට එක ලෙසින් දැණුනා. වචනයකුදු නොඇසුනත් ඔහු දෙස සිනහාවෙමින් බැලූ මිනිසුන් හඬමින් රඟහලෙන් පැමිණියා. චාලි චැප්ලින් අද ඔහුගේ වෙස්ගත් ලංකාවෙ උන් දිහා බැලුවොත් අඬන්න කඳුලු හොය හොයා ඉඳීවි. ඒතරම් ග්‍රාම්‍ය මට්ටමකින් චාලි චැප්ලින්ගෙ කලාව අල්ලපු කලාකාරයො ලංකාවෙ හිටියා. ඒ අය තාම ඉන්නව. හැබැයි හොඳ වෙලාවට චැප්ලින් නෑ.
Cover Image Source – time.com/youtube.com/twitter.com/ balance.com
Leave a Reply