නියම ලේඩීස්ලා ජෙන්ට්ල්මන්ස්ලා විදියට ෂොපින් මෝල් එකක හැසිරෙන්නේ මෙහෙමයි

ෂොපින් මෝල්ස් නැතිනම් සිංහලෙන් කියන විදියට සුපිරි සාප්පු සංකීර්ණ ලංකාවෙත් දැන් වැහිවැහැලා. සාමාන්‍ය ප්‍රමාණයේ සාප්පු සංකීර්ණ ඕනම ප්‍රධාන නගරෙක කීපයක් හොයාගන්න පුළුවන් වෙනකොට, කොළඹ පැත්තට යනකොට නම් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ සුපිරි සාප්පු සංකීර්ණ දැන් දකින්න පුළුවන්. ඉස්සරහට ඊටත් වඩා සුපිරි ලෙවල් එකේ ෂොපින් මෝල්ස් කීපයක්ම විවෘත වෙන්නත් නියමිතයි. මේවල ඇත්තටම තියෙන්නේ ෂොපින් කරන්න ගැලපෙන සුපිරි පන්නයේ කඩ සාප්පු විතරක් නෙවෙයි. ෆිල්ම් බලන්න සුපිරි ෆිල්ම් හෝල්, වෙනම ෆුඩ් කෝට්, විනෝද ක්‍රීඩා අංගන වගේ මෙකී නොකී හැම දෙයක්ම මේවා ඇතුළේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ෂොපින් නොකළත් ඕනම කෙනෙක්ට ගිහින් ඇවිදලා කරලා විනෝද වෙලා එන්නත් මේ ෂොපින් මෝල් වල ඉඩ තියෙනවා. හැබැයි ඉතින් කොයි තරම් සුපිරි ලෙවල් එකට ඇඳ පැළඳ ගෙන ෂොපින් මෝල් එකකට ගියත්, සමහරු හරියට මැනර්ස් ඇතුව හැසිරෙන්න නම් දන්නෙ නෑ. ඒක අනික් අයට කරදරයක් විතරක් නෙවෙයි, බලාගෙන ඉන්නත් අශෝභනයි. ආන්න ඒ නිසා අපි මේ කියලා දෙන්න යන්නේ ෂොපින් මෝල් එකකට ගිහින් හැසිරෙන්නේ කොහොමද කියන එක.

 

1. පාර්කින් වලින් පටන් ගමු

 ඔය කොළඹ අවට තියෙන සුපිරි පන්නයේ ෂොපින් මෝල් එකක පාර්කින් කතන්දරේ ටිකක් සංකීර්ණයි. පුළුවන් තරම් ස්වයංක්‍රීයව පාකින් ගොඩදාගන්න විවිධ තාක්ෂණික ක්‍රම මේ නවීන ෂොපින් මෝල් වල හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ප්‍රධානම කාරණාව තමයි හරියට, තමන්ට පාක් කරන්න අදාළ කොටසේ, නියමිත ඉඩේ වාහනේ පාක් කරන එක. උදාහරණයක් විදියට මෝටර් සයිකල් ගෙනිහින් කාර් පාක් කරන්න තියෙන තැනක රිංගවන එක වැරදියි. වාහනයක් පාක් කරන්න අවශ්‍ය ප්‍රමාණයේ විදියට ඇඳලා තියෙන අර කහ පාට කොටුව ගණන් නොගෙන ඇදේට, හරහට තමන්ගේ වාහනේ පාක් කරන එකත් වැරදියි. ඊට පස්සේ පැය ගාණක් ෂොපින් මෝල් එකේ ඉඳලා යනකොට පාකින් වලට ගෙවන්නෙ නැතුව ගේම ඉල්ලන එකත් වැරදියි!

 

2. කෑ ගහන ඇච්චෝ බැච්චෝ!

දැන් ඔය අලුතින් කොළඹ විවෘත කරපු වන් ගෝල්ෆේස්, කලම්බු සිටි සෙන්ටර් වගේ තැනකට සති අන්තෙකට එහෙම ගියොත් ඔළුව කැක්කුම හැදෙන තරමට ගෝසාව. ඇයි? පාසල් යන වයසේ කොල්ලෝ කෙල්ලෝ, තරුණ ගෑණු ළමයි, පිරිමි ළමයි ඇවිත් හරියට අර එක පොදියට කෑ ගහන වඳුරෝ රංචු වගේ. යාලුවෝ සෙට් වුනහම කතා බහ කරන එක, හිනා වෙන එක හරි. හැබැයි අවට ඉන්න අනික් අයටත් කන්දොස්කිරියාවක් වෙන විදියට මහ හයියෙන් කෑ ගහන එක, තරුණ මදේ පෙන්නන එක නම් හරිම කැතයි. අන්න ඒ නරක පුරුදු කවුරු වුනත් හදාගන්න ඕන.

 

3. අනික් මිනිස්සුන්ට ආචාරශීලී වෙන්න

මෙන්න මේක ෂොපින් මෝල් එකක විතරක් පිළිපදින්න ඕන කාරණයක් නෙවෙයි. පොදුවේ කොහේදී වුනත් තියෙන්න ඕන හොඳ ආචාර ධර්මයක්. ෂොපින් මෝල් එකකට ඇවිත් ඒකේ ඉන්නේ තමන් විතරයි කියලා හිතාගෙන හැසිරෙන එක හොඳ නෑ. ඒ කියන්නේ මිනිස්සුන්ව තල්ලු කරගෙන යන එක, මිනිස්සුන්ට ඉඩ නොදෙන එක, එලිවේටර් එකකට නැග්ගහම ඒක බදු අරගෙන වගේ හැසිරෙන එක මෙන්න මේ විදියේ නොකළ යුතු දේවල්. එතකොට ෂොපින් මෝල් එකකට ගිහින් වින්ඩෝ ෂොපින් කරන එක, ඒ කියන්නේ ඒ වල තියෙන බඩු දිහා වීදුරුවෙන් බල බලා ෆන් එකක් ගන්න එක ගැටළුවක් නෑ. හැබැයි බඩු ගන්න අයටත් බාධා වෙන විදියට සාප්පු වල දොරකොඩ, වීදුරු ඉදිරිපිට කල්ලි ගැහිලා ඉන්න එක හැමෝටම කරදරයක්.

 

4. නියම වේගෙන් යන්න

ෂොපින් මෝල් එකකට ගියහම හිසරදේ හැදෙන තවත් දෙයක් තමයි, හරි වේගෙන් යන්නේ නැති මිනිස්සු. මේක දෙකොටසකට බෙදෙනවා. එක කොටසකට කරදාසිය ලිපේ දාලා ඇවිල්ලා පුදුම හදිසියක්. ඉස්සරහින් යන මිනිස්සුන්ව තල්ලු කරගෙන, ඇඟේ හැප්පීගෙන කඩිමුඩියෙන් යන්නේ. දෙවෙනි කොටසට ෂොපින් මෝල් එකකට ගියාට පස්සේ ඉස්සරහට යන්න කිසීම උනන්දුවක් නෑ. ගැන්සිය පිටින් හිනා වෙවී, කතා කර කර ඉස්සරහට යන නොයන වේගෙන් පැද්දෙන්නේ හරියට හෙමීට බයිසිකල් පැදීමේ තරගෙකදි වගේ. ඉතින් ඊට පිටිපස්සෙන් එන මිනිස්සු ඉන්න ඕන මුන් ටික එහාට මෙහාට වෙනකල්. එහෙම නෙවෙයි. ෂොපින් මෝල් එකකට ගියාට පස්සේ සාමාන්‍ය වේගෙකින් යන්න වෙනවා. එහෙම නැතුව හෙමීට ගමන් කරනවා නම් අයිනකට වෙන්න ඕන. කයිය ගහනවා නම් ඔය නවීන ෂොපින් මෝල් වල ඒවලටත් විවිධ තැන් හදලා තියෙනවා. ඔය ලස්සනට ගස් වවපු, මුළු කොළඹම පේන බැල්කනි එහෙම ෂොපින් මෝල් වල හදලා තියෙන්නේ ඒවලට.  

 

5. ටෙක්ස්ටින් ඇන්ඩ් වෝකින්!

දැන් කාලේ උදවියට, විශේෂයෙන්ම දෙදාහෙන් පස්සේ ඉපදුණු පරම්පරාවට ස්මාට්ෆෝන් එක කියන්නේ ඇඟේ කෑල්ලක්. කොයි වෙලේ බැලුවත් ඒ අය අතේ ස්මාට්ෆෝන් එක තියාගෙන, ඒකට මූණ ඔබාගෙන, එක්කෝ මොනවා හරි බලන ගමන්, එහෙම නැතිනම් මොනවා හරි කොටන ගමන් තමයි ඉන්නේ. ඉතින් ෂොපින් මෝල් එකකට ආවා කියලා පුරුද්ද අත අරින්න බෑනේ. ඉතින් ඇවිදින ගමන් ෆෝන් එක දිහා බලාගෙන කොටනවා කොටනවා ඉවරයක් නෑ. ඔහොම ගිහින් එක්කෝ කාගේ හරි ඇඟේ හැප්පෙනවා. එහෙම නැතිනම් කීප දෙනෙක්ට යන්න ඉඩ නැති තැනක අපි ෆෝන් එක දිහා බලාගෙන හෙමීට යනකොට අපිට පිටිපස්සෙන් එන මිනිස්සු දත් මිටි කකා බලාගෙන ඉන්නවා. ආන්න ඒ නිසා ෆෝන් එක දිහා බලාගෙන ඇවිදින එක නෙවෙයි, වෙන කිසිම වැඩක් කරන එක හොඳ දෙයක් නෙවෙයි. ඒක හොඳ ගති සිරිතක් නෙවෙයි. ඒ වගේම අන්තරායදාක දෙයක්.

 

6. රොමෑන්සින්ග්!

ආදරේ කරන කපල් එකක් ෂොපින් මෝල් එකකට ඇවිල්ලා, ඒකේ හෙමිහිට හෙමිහිට ඇවිදගෙන යන ගමන් ආදර බස් දොඩන එක, තුරුල් වෙන එක, තොඳොල් වෙන එක, හීනියට කිස් එකක් දෙන එක අපි කිසිසේත්ම වැරැද්දක් විදියට දකින්නේ නෑ. හැබැයි, එක කොන්දේසියක් තියෙනවා. ඔය උඩින් කියලා තියනවා නේද ෂොපින් මෝල් එකට එන අනික් මිනිස්සුන්ට වදයක් වෙන්න පුළුවන් දේවල් ගැන? ආන්න ඒ දේවල් ගැන සිහියේ තියාගන්න වෙනවා. ඒ කියන්නේ දෙන්නා තුරුල් වෙලා ඉබි ගමනින් ඇවිදින එක තව කෙනෙක්ට කරදරයක් වෙන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි, ආල ලීලා පෑම් වල පොඩී සං‍යමයක් පවත්වා ගන්න ඕන ෂොපින් මෝල් එකක් ඇතුළේ. මොකද ෂොපින් මෝල් එකකට එන්නේ වැඩිහිටියෝ විතරක් නෙවෙයි, පොඩි ළමයිනුත් එනවා. ආන්න එතකොට ඔය මුල්ලකට වෙලා දෙන්නත් එක්ක, රූම් එකක කරන්න ඕන දේවල් කරන්න පටන් ගන්න එක හරිම අප්සෙට් වැඩක්!

 

7. පිස්සු නටන පොඩි දරුවෝ!

අපි හැමෝම පොඩි දරුවන්ට ආදරෙයිනේ. ඒකේ ආයෙ දෙකක් නෑ. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට ඕන ඕන විදියට අපේ පොඩි දරුවන්ට අනික් මිනිස්සුන්ට කරදරයක් වෙන්න දෙන්න ඕන කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි, ඕනම වෙලාවක බෙරිහන් දීලා අඬන්න පුළුවන් පොඩි දරුවෙක්ව ෂොපින් මෝල් එකකට එක්කගෙන යන එක ටිකක් අවදානම්කාරී දෙයක් වීම. මොකද ඒ බෙරිහන් සද්දේ නිසා අනික් මිනිස්සුන්ට වෙන කරදරයම නෙවෙයි, ෂොපින් මෝල් එකක් වගේ කලබලකාරී තැනක දරුවෙක් නලවා ගන්න එක අසීරු වෙන්න පුළුවන් නිසා. කොහොමත් කාර්යබහුල ෂොපින් මෝල් එකක් කියන්නේ පොඩි දරුවෙක්ව අරගෙන යන්න ඕන තැනක් නෙවෙන නිසා.

ඒ වගේම තමයි ඔය හසුරුවා ගන්න බැරි තරමට දඟ කරන දරුවෝ ෂොපින් මෝල් එකකට එක්කගෙන එනකොටත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන. හැබැයි මේක අදාළ වෙන්නේ අනික් මිනිස්සුන්ට මේ දඟ දරුවෙක්ගෙන් සිද්ධ වෙන කරදරකාරී හැසිරීම නිසාම නෙවෙයි. හැමතැනම කුතුහලයෙන් දුව පනින, දඟකාර දරුවෙක්ගේ ආරක්ෂාව ප්‍රශ්නයක් වෙන තැන් ෂොපින් මෝල් එකක තියෙන නිසා. උදාහරණයක් විදියට ගත්තොත්, එලිවේටර් එකකින්,  එස්කලේටර් එකකින් පුරුදු නැති දරුවෙක් ඉතාම පහසුවෙන් වැටෙන්න පුළුවන්.

ආන්න ඒ නිසා හොඳම දේ තමයි මේ විදියේ තනියෙන් ඇවිදින කුඩා දරුවෝ ෂොපින් මෝල් එකකට එක්කරගෙන එනවා නම්, තමන්ගේ සම්පූර්ණ අවධානය දරුවා කෙරෙහි තබා ගැනීම.

 

8. ෆුඩ් කෝට් එටිකට්!

සාමාන්‍යයෙන් කොයි තරම් ලොකු ෂොපින් මෝල් එකක වුනත් තියෙන ෆුඩ් කෝට් එක ඒ තරම් ලොකු ඉඩපහසු කම් තියෙන තැනක් නොවෙන්න ඉඩ වැඩියි. ආන්න ඒ නිසා ෆුඩ් කෝට් එකට කෑමට ආවහම පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න සහ ඉවසිලිමත් වෙන්න වෙනවා. එකක් තමයි පෝලිමක් තියෙනවා නම් පෝලිමේ ගිහින් අදාළ ආහාර පාන අරගෙන, සල්ලි ගෙවලා, හිස් මේසයකට එන්න ඉවසිලිවන්ත වීම. පෝලිමේ ගිහිල්ලා තමන්ගේ වාරෙ ආවට පස්සේ කැෂියර්ගෙන් මොනවද කන්න තියෙන්නේ කියලා අහමින් පැයක් විතර කෑම තෝරනවට වඩා සාර්ථක ක්‍රමය තමයි, මුලින් ඩිස්ප්ලේ එකෙන් හරි මෙනු එකකින් හරි මොනවද තියෙන්නේ කියලා දැනගෙන පෝලිමට සෙට් වෙන එක. තවත් කාරණාවක් තමයි, ගත්තු කෑම ෆුඩ් කෝට් ඒරියා එකේ ඉඳලම කාලා යනවා මිසක්, ෂොපින් මෝල් එක පුරාම කෑම කකා ඇවිදින එක පොඩ්ඩක් අප්සට්. 

අනික තමයි ෂොපින් මෝල් එකක ෆුඩ් කෝට් එකේ ඉඳගෙන ෂොට් එකක් දාන එක, දුමක් දාන එක එහෙමත් කැතයි. සමහර ෆුඩ් කෝට් වල තියෙනවා පබ් එකක් හරි බාර් එකක් හරි. අන්න ඒ ඒරියා එකේ ෂොට් එකක් දැම්මට කමක් නෑ. දුමක් දාන්නත් වෙනම ස්මෝකින් ඒරියා ලකුණු කරලා තියෙනවා. 

 

එහෙමනම්, මේ උපදෙස් ඔලුවේ තියාගෙන, මේ සති අන්තයේ කොළඹ තියෙන සුපිරි ෂොපින් මෝල් එකකට ගිහින්, ෆන් එකක් අරගෙන එන්නයි තියෙන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *