අපිරිසිදු ජනයා ගැන කියවෙන විට අපිට ඉන්දියාව අමතක කළ නොහැකිය. තවමත් ඉන්දියාවේ දුප්පත් බහුතරයක් නිසියාකාර වැසිකිලි භාවිතයක්වත් නැතිව අපිරිසිදුව ජීවත් වෙති. එහෙත් ඉන්දියාවේම ඊසාන දිග කොටසේ පිහිටා ඇති මෝලින්නොන් ඉන්දියාවේ පිරිසිදුම ගම ලෙසත්, ආසියාවේ පිරිසිදුම ගම ලෙසත් විරුදාවලි ලබා තිබේ. කසල බැහැර කිරීම ගැන අපකීර්තිමත් වාර්තා ඇති ඉන්දියාවේම ඊසාන දිග මෙවැනි පිරිසිදු බවින් අග තැන්පත් ගමක් පිහිටීම සැබැවින්ම ආශ්චර්යජනක සිද්ධියකි.
1. කුඩා කල සිට හුරුවන පිරිසිදුකම
මෙහි වෙසෙන මාතෘමූලික සමාජයක් වන කාසි ජනයා අතීතයේ පටන්ම පිරිසිදුකම සමග ජීවත් වූ ජනතාව වෙති. ඔවුන්ගේ දරුවන් අදද පාසැල් යනවිට මාර්ගයේ කුණු කසල දුටුවොත් ඒවා ඇහිඳලා බාල්දි වලට දමති. මාර්ගයේ කුණු ඉවත් කිරීම තවත් අයෙකුට පවරා පැත්තකට නොවන මෝලින්නොන් ජනයා, එදා පටන්ම මාර්ගවල කුණු කසල ඇතිනම් ඒවා තමුන්ගේ අතින්ම තමුන්ගේ වගකීමක් ලෙස ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
2. සම්මාන, ගරු බුහුමන්
ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා යටතේ පිරිසිදු ඉන්දියාවක් සංකල්පය රට පුරා ප්‍රචලිත වෙමින් පවතී. මේ ක්‍රියාදාමයේදී පිරිසිදු ගමට උදාහරණයක් ලෙස ගත්තේ 2003 සිට ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ මේ ගම්මානයමය. එහිදී නැවතත් 2016 දී මේ ගමට ඉන්දියාවේ පිරිසිදුම ගම යන සම්මානය ලබාදීමට මෝදි රජයේ පාර්ශවයන් කටයුතු කළේ ඒ ගම්මානයේ ජනයාගේ පිරිසිදුකමට ඇති කැපවීම සලකා බැලීමෙනි. 2003 දී මුල් වරට ඩිස්කවර් ඉන්දියා සඟරාවෙන් ආසියාවේ පිරිසිදුම ගම ලෙස විරුදාවලි ලත් මේ ගම මේ වනතෙක් ඒ කිරුළ රැකගන්නට සමත් වී තිබේ.
3. කුණු රැස් කිරීම සහ ඉවත් කිරීම
වර්තමානයේ සංචාරක ආකර්ෂණයත් සමගම ඒ ගම්මානයේ ජනයාට කසල එකතුවන ප්‍රමාණය වැඩිය. එහෙත් පැරණි ක්‍රමයටම ඔවුන් බට පතුරු වලින් කූඩා තනාගෙන ඒවායේ එකතු කරන කුණු ගමෙන් බොහෝ ඈතට ගෙනගොස් පුලුස්සාලීම සිදුකරති. ඇතැම් කාලවලදී පිරිසිදු කිරීමට ගම් වැසියන් සියල්ලෝම එක් දිනයක් යොදාගෙන, ඒ දිනයට ගම්මානයේම පිරිසිදු කිරීම් කටයුතු සියල්ල තම ශ්‍රම දායකත්වයෙන්ම සිදු කරති.
4. පිරිසිදු වැසිකිලි
මෙම ගම්මානයේ පිරිසිදුකම නිසා ඒ ගම් වැසියන්ට ලැබී ඇති කීර්තියට අමතරව ලැබී ඇති සෞඛ්‍යමය වාසීන්ද බොහෝය. ඉන්දියාවේ ඈත ගම් වල කොළරාව වැනි ජලය අපිරිසිදුවීම නිසා ඇතිවන රෝග බහුලය. එහෙත් මේ මේගලයාවේ මෝලින්නොන් වැසියන්ට එවැනි රෝග අවදානමක් නැත. ඔවුහු ඉන්දීය රජයෙන් මැදිහත් වෙන්නට පෙර කල පටන්ම වැසිකිලි ඉදිකර, ඒවාට මළ අපද්‍රව්‍ය බැහැර කිරීමට හුරු වී සිටියෝය. ඉන්දියාවේ ඇතැම් අපිරිසිදු පළාත්වල ජනයා කොතරම් රජයෙන් අධාර දී වැසිකිලි තැනූවත් ඒවාට නොයා පෙර පුරුදු ලෙසම බැදි කුට්ටි කරා වතුර බාල්දි රැගෙන යෑම දැඩි පාරිසරික, සෞඛ්‍යමය ගැටළුවක් බවට පත් වී තිබේ. මෝලින්නොන් ගම බැලීමට සංචාරකයින් ඒමට එහි පිරිසිදුකම හේතුවක් වූවා සේම, එහි වැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු වීමටද මෙකී පිරිසිදුකම හේතු වී තිබේ.
5. සංචාරක ආකර්ෂණීය ස්ථාන
මේගලයාව සහ ඇසෑමය ඇතුලු මේ ඊසාන දිග ඉන්දියාව සමස්ථ ඉන්දියාවට වඩා සාපේක්ෂව කොළ පැහැයෙන් යුතු ස්වභාවයක් ගනී. වසරේ වැඩිම වර්ෂාපතනයක් පතිත වන කලාපයක් වන මෝලින්නොන් ආසන්න මේගලයාව තුළ සංචාරක ආකර්ෂණය දිනාගන්නා දිය ඇලි සහ ජල මාර්ගයන් රැසක් වෙති. ඒ අතර මෝලින්නොන් ගම අසල ගස් වල මුල් වලින් සෑදුනු අපූරු පාලමක් තිබේ. ඒ පාලම සජීවී මුල් වලින් තැනී ඇති අතර ජනයා දොල පහරක් තරණය කිරීමට ඒ ස්වාභාවිකව තැනුණු පාලම උපයෝගී කරගෙන තිබේ. වැසි වැටෙන මෝසම් කාලයට ගස් වල මල් පිපී ලෙළදෙන බැවින් මෝසම් සමය මෝලින්නොන් බැලීමට සුදුසුම කාලය යැයි වාර්තා වල දැක්වේ.
6. මෝලින්නොන් යන ආකාරය
මෝලින්නොන්ට ආසන්නතම නගරය ශිලොන් වේ. ශිලොන් සිට කිලෝමීටර 90ක දුරින් මෝලින්නොන් ගම පිහිටා තිබේ. මේ කලාපයේ සංචාරක පැකේජයන් අතරද දැන් මෝලින්නොන් ගම ජනප්‍රිය වී තිබේ. ලංකාවේ සිට ගුවනින් යන්නේ නම් ඇසෑමයේ අගනුවර වන ගුවාටි වෙත ගොස්, ඒ හරහා මෝලින්නොන් වෙත පිවිසිය හැකිය. ඇසෑමය අලින්, රයිනෝසිරස්, දිවියන්, ව්‍යාඝ්‍රයන් සපිරි අලංකාර වන භූමි වලින් සහ මහායානික බෞද්ධ සිද්ධස්ථාන වලින් සපිරි අලංකාර භූමි බාගයකි.
7. මෝලින්නොන් වෙතින් අපිට ගත හැකි ආදර්ශ
සෑම විටම අනෙකාට අපේ කුණු ඉවත් කිරීම බාරදීම අපේ සාමාන්‍ය සිරිත වී තිබේ. දැන් දැන් ලංකාවේ ගම්මාන වලද ජනතාව වැඩි වන විට, නගරයේ පරිද්දෙන් කුණු බෑග් නිවෙස් ඉදිරිපිට තබා කුණු ට්‍රැක්ටර වලට බාර දීම සිදුවේ. කසල එකතු වීම අවම කිරීම මෙන්ම හැකි සෑම විටම පොදු හැඟීමෙකින් කසල ඉවත් කර මාර්ග සහ අවට පරිසරය පිරිසිදුව තබාගැනීම ආසියාවේ පිරිසිදුම මොලින්නොන් හි සිරිත වේ. නිවාඩු දිනක් යෙදේනම් අපි අපේ ගෙදර පිරිසිදු කරනවා මෙන් මෝලින්නොන් වැසියෝ අවට මාර්ග සහ පරිසරයද පිරිසිදු කරගනිති. ලොව පිරිසිදුම නගර සහ ගම්මාන දෙස බැලීමේදී ඒවායේ නගර සභා, ප්‍රාදේශීය සභා ආදී බලධාරින් මෙන්ම මහජනයාද ඒ වෙනුවෙන් දැඩි කැපකිරීම් සිදුකරන බව ඒ සෑම තැනකදීම පෙනීයන කරුණකි.
8. පිරිසිදුකම පුරුදු කරගමු
මෝලින්නොන් වැසියෝ නිවෙස කුස්සිය වැනි ස්ථානද සිය පෞරාණික සිරිත් වල එන පරිදි පිරිසිදුවම තබාගන්නට උත්සාහ ගනිති. ඔවුන් ලෝකයට පෙනෙන්නට පාරවල් ටික සහ උද්‍යාන පමණක් ලස්සන කරගන්නා පිරිසක් නොව, සාමාන්‍ය ජීවිතයේදී නිවෙස සහ රැකියා ස්ථාන වලදීද පිරිසිදුකම පවත්වාගෙන යන පිරිසකි. පිරිසිදු මේ ගම් වැසියෝ බොහොමයක් පුවක් වගාව සිය ජීවිකාව කරගෙන තිබේ. මේ ගමේ දරුවන්ගේ ලිවීමට කියවීමට ඇති හැකියාව 90%ත් ඉක්මවන අතර, දරුවන් මෙන්ම වැඩිහිටියන් බොහොමයකට ඉංග්‍රීසි බස යම්තාක් දුරකට හෝ හසුරුවන්නට හැකිය. එනම් ජනයාගේ සාමූහික හැඟීම තුළින් ඔවුන් පිරිසිදුකම මෙන්ම ලබාගත් වෙනත් ජයග්‍රහණද වේ.
Cover Image Source – traveltriangle.com
Leave a Reply