තෙල් මිල ඉහළ ගියා. පහුගිය ආණ්ඩුව තියෙද්දි තෙල් මිල වැඩි නිසා අඩු කරන්න පෙරළපු ආණ්ඩුව මේ කරපු වැඩේ ගැන ගොඩක් අය දොස් කිවුව. තවත් සමහරු අවුරුදු තුනහමාරක් අඩුවට ඇදගෙන ගිය එක ගැන ආණ්ඩුවට හොඳ කිවුව. ඒත් ඒ කවුරුත් වාහනයක් අරං තෙල් ගහන්න ෂෙඩ් එකට ගියාම සතුටු වෙන්නෙ නෑ. ත්‍රීවීල් එකකින් බහිද්දි වෙනද ගෙවන ගාණට වඩා ගාණක් ගෙවන්න කැමති වෙන්නෙ නෑ. ඒ කොහොම වුනත් තෙල් මිල ඉහළ ගිය එක ගැන සතුටු වෙන පිරිසක් මේ රට ඇතුළෙ ඉන්නව. ඒ කට්ටිය ගැනයි මේ කතාව.
1. මල් ශාලා හිමියන්
මල් ශාලා හිමියන්ට බිස්නස් එන්නෙ කොහොමද කියල දන්නවනෙ. ඔවු. එයාලට බිස්නස් එන්නෙ කට්ටිය මැරුණම. ලංකාවෙ මිනිස්සු තාම පරිසර දූෂණේ හින්දා ලොකුවට මැරෙන්න පටන් ගත්තෙ නැතත්, තෙල් මිල වැඩි කරපු ගමන් අලුත් අවුරුද්දට ගමේ යන්න විතරක් පාරට බස්සන කාර් ටිකත් ඒ පෝලිමට සෙට් වෙන නිසා ට්‍රැෆික් වැඩියි. එක තැන පිච්චෙන තෙල් ටිකයි උඩට යන කළු දුමයි වැඩියි. ඉතිං දූෂණේ. ඔන්න ඔය විදියට පරිසර තත්ත්වය අන්ත අසරණ වුනාම ඒ අයගෙ බිස්නස් එකට හොඳයිනෙ. ඉතිං එයාලා සතුටු නොවී කොහොමද?
2. ආහාරපතියන්
හැම ෂෙඩ් එකක් ගාවම සෙනග. අයිඕසීද සිපෙට්කොද බේදයක් නැතුව සෙනග. පෝලිං නිසා හෙනට ට්‍රැෆික්. නිතර මෙහෙම ට්‍රැෆික් වැඩි වෙනවනං ෂෝට් ඊට්ස් බුවාලට ෂෝක්. තෙල් ගහන්න පෝලිමේ ඉන්න ගෙදරින් බත් බැඳගෙන එන්න බැහැනෙ. ඒ මදිවට ඒ හරහා අතුරු බිස්නසුත් හැදිලා. කඩේ රෝල් එක කාර් එක ගාවට ගේද්දි තිස්පහ පනහක් බවට පත් කරවන පිරිසක් හැදිලා. කාර් එකෙන්ම විසිකරන ප්ලාස්ටික් වතුර බෝතලේ පාරෙ වතුරෙන් පුරෝල තිහට බෙදන බුවාලා බිහිවෙලා.
3. නන්ගවර්න්මන්ටල් ඕගනයිසේෂන්ස්
දන්නවනෙ ඉතිං අපේ රටේ ඉන්නවනෙ ගඟ ගැලුවම ඔකෙස්ට්‍රා කියන, ස්ත්‍රී දූෂණය වුනාම ඔලුවෙ රෙදි බැඳගෙන පාරට වෙලා ඉන්න, මිනිස්සු මැරුණම ඉටිපන්දං පත්තු කරන ප්‍රජාවක්. ඔය ඈයොන්ව බොහෝදුරට මෙහෙයවෙන්නෙ රාජ්‍ය නොවන සංවිධානවලින්. එයාලට ඔය වගේ ප්‍රොජෙක්ට් කරලා ෆොටෝ හෝ වීඩියෝ ෆුටේජ් යැවුවම සෙට්වෙනව සල්ලි. ඉතිං දැන් මේ තෙල් ප්‍රශ්නෙ නිසා වාහන පෝලිං පාරෙ ඇති වෙලා නිතර නිතර තෙල් වැඩි වෙන නිසා හැමදාමත් වාහන පෝලිං ඇවිත් පරිසර දූෂණය වෙලා වගේ ටෝකක් දෙනව. ඊට පස්සෙ පරිසර දූෂණය වලක්වන ෂෝට් ෆිල්ම් තරඟ වගේ එකකට එකක් නොගැලපෙන අන්ධභූතයක් සෙට් කරගන්නව. ෂෝට් ෆිල්ම් බුවාලා ටික වැඩ කරලා දෙනව. මුං ඒව පෙන්නල ගරාගන්නව.
4. හරක්
පෙට්‍රල් මිල වැඩිකරාම ඉහළ යන සේවා අතරේ අපි කවුරුත් නොහිතන සේවාවක් තමයි තණකොල කපන අංකල්ලා සපයන සේවාව. ඒ මැෂිමට ගහන පෙට්‍රල් වියදමත් මේ එක්කම ඉහළ යනවනෙ. අන්න ඒ නිසා තණකොල කපන අංකල්ලා ගන්න ගාණත් උඩ යනවා. ඒ වගේම ඒ කේස් එක නිසා ඒ අංකල්ලට ලැබෙන වැඩ ප්‍රමාණෙත් අඩු වෙනවා. අන්න එතකොට හරකුන්ට වාසියි. උන්ට කන්න තියෙන කොළ ටික ඉතුරු වෙනවනෙ.
5. ටෙලිකමියුනිකේෂන් සර්විසස්
දැන් ඉතිං හැම මිනිහම ඉන්නෙ තෙල් මිල වැඩි කරලා ආණ්ඩුව කරපු දේ ගැන කේන්තියෙන්. ඒ වගේම වෙනදට වඩා දවසකට මුහුණ දෙන අත්දැකීම් ප්‍රමාණයත් තෙල් පෝලිංවල ඉඳලම වැඩි වෙලා. ඒ නිසා ඕනම යාලුවෙකුට ගන්න කෝල් එකක් ඉවර වෙන්නෙ තෙල් ගැනත් කතාවක් ගිහිල්ලමයි. තෙල් ගැන ආණ්ඩු විරෝධයයි, අර අපි කියපු මගදි ලැබෙන අත්දැකීම් ටිකයි නිසා කෝල් හුඟක් දුරදිග ගිහිල්ලයි ඉවර වෙන්නෙ. අන්න ඒ නිසා දුරකතන සේවා පහසුකම් සපයන ආයතන ඉන්නෙ හරිම සතුටෙන්.
6. දේශපාලක හොරු
දේශපාලනේ ඉන්නවනෙ සල්ලි හොරකං කරන බුවාලා. ඒ අයට මේ වගේ තෙල් වැඩිවීම් ගැන තියෙන්නෙ පුදුම ආසාවක්. මොකද ඒ අයට තෙල් නොමිලේ. ඒ ඇරත් ඒ අයට තව පොඩි සහනයක් තියෙනව. ඒ අයට හිනා යනව රටේ උන්ගෙ ගොන් කම ගැන. නැතිවෙන රුපියල් 20 ගැන කතාකරත්, ඒ රුපියල් විස්ස වැඩි කළේ එයාලා හොරකං කරලා රටට කරපු පාඩු පියවන්න කියල නොදන්න අපේ ගොන් කමට එයාලා අපි දිහා බල බල බයිට් එකට හිනා වෙනවා.
7. ගැරඬි
ගෙවල්වලට ගැරඬි බැහැපු ගමන් කට්ටිය කරන වැඩේ තමයි පෙට්‍රල් පාරක් හරි භූමිතෙල් පාරක් හරි ගහන එක. දැන් ඉතිං එහෙම බෑ. භූමිතෙල් දැන් ගැරඬින්ට ගහන්න තියා ලාම්පුවකටවත් ළං කරන්න අමාරු තත්ත්වයක් තියෙන්නෙ. හතලිහකින්ම වැඩි වුනානෙ. ඒ හින්දා දැන් ගැරඬි සතුටෙන්. ඇයි හම පිච්චෙන්නෙ නැහැනෙ.
Cover Image Source – fth / facebook.com / freepik.com
Leave a Reply