කෝලිෆ්ලවර් (මල් ගෝවා) වලින් හදන්න පුළුවන් කෑම වර්ග 7ක්

කෝලිෆ්ලවර් නැත්තන් මල් ගෝවා කියන්නෙ ඉතා රසවත් කෑම ගොඩක් හදාගන්න පුළුවන් එළවළුවක්නේ. ඒ වගේම බර අඩු කරගන්න ට්‍රයි කරන අයට ගොඩක් ගුණදායක ආහාරයක් තමයි මේ. හැබැයි අපි දන්න එකම විදියට මේක හදලා කනවට වඩා වෙනස් රස වලින් ට්‍රයි කළොත් කන්න ආසා හිතෙයි. මීට වඩා වෙනස් රෙසිපි තිබ්බොත් අපිටත් කියන්න හොඳේ.

 

1. කෝලිෆ්ලවර් පීසා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 1
  2. කොටුවට කපාගත් ග්‍රීන් බෙල්පෙපර් ගෙඩි 1
  3. චොප්කරගත් ළූණු ගෙඩි  1
  4. කෝලිෆ්ලවර් කෝප්ප 3
  5. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/2
  6. සොසේජස් ටිකක්
  7. ගාලික් පවුඩර්
  8. ගම්මිරිස් කුඩු
  9. චොප් කරගත් පාස්ලි

 

  • මුලින්ම කෝලිෆ්ලවර් ටික තම්බාගන්න. බිත්තර 1, මොසරැල්ලා හා තම්බා වතුර පෙරා පොඩි කරගත් කෝලිෆ්ලවර් ටික එකතු කරලා ඩෝ එක හදාගන්න. ලුණු දාගන්න. 
  • දැන් ඔයිල් ස්ප්‍රේ කරගත් ට්‍රේ එකක් අරගෙන ඩෝ එක තුනී කරගන්න. ඒකට ගම්මිරිස් කුඩු, ගාලික් පව්ඩර්, චොප්කරගත් පාස්ලි ඉසගෙන විනාඩි 12-15ක් වගේ බේක් කරගන්න. 
  • දැන් මේ පීසා එක උඩින් මොසරැල්ලා චීස් අතුරලා ඊට උඩින් තක්කාලි හා බෙල් පෙපර් අතුරගන්න. දැන් පෙති කපාගත්ත සොසේජ් ටික අතුරගන්න. ඉතුරු මොසරැල්ලා ටිකත් උඩින් ඉසගන්න. නැවත විනාඩි 15ක් වගේ බේක් කරගන්න.

 

2. කෝලිෆ්ලවර් රයිස්

බර අඩු කරගන්නයි, නිරෝගි වෙන්නයි කැමති අයට මෙන්න නියම රයිස් එකක්

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බිත්තර 1
  2. හොඳින් ග්‍රේට් කරගත් කෝලිෆ්ලවර් ග්‍රෑම් 500
  3. තම්බාගත් චිකන් බ්‍රෙස්ට් කෝප්ප 1
  4. තම්බාගත් ග්‍රීන්පීස් කෝප්ප 1/2
  5. කොටුවට කපා තම්බාගත් කැරට් ග්‍රෑම් 200
  6. චොප්කරගත් සුදුළූණු ටිකක්
  7. චොප්කරගත් ඉඟුරු ටිකක්
  8. තෙල්
  9. සෝයා සෝස් මේස හැඳි 2
  10. තල තෙල් ස්වල්පයක්

 

  • මුලින්ම බිත්තර පෑන් එකකට දමා ස්ක්‍රැම්බල් කරගන්න. ඒක අයින් කරලා පෑන් එකට තෙල් ටිකක් දාලා ‍රත් කරගෙන චොප් කරගත් ඉඟුරු හා සුදුළූණු දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න. දැන් තම්බාගත් කැරට් හා ග්‍රීන්පීස් එකතු කරන්න. 
  • එයටම ග්‍රේට් කරගත් කෝලිෆ්ලවර් ටික එකතු කරන්න. ලුණු රස අනුව එකතු කරගෙන හොඳින් කලවම් කරන්න. දැන් සෝයා සෝස් ටික එකතු කරගන්න. තල තෙල් ටිකත් දාගන්න. දැන් තම්බලා පොඩියට කඩාගත් චිකන් බ්‍රෙස්ට් ටික එකතු කරන්න. ස්ක්‍රැම්බල් කරගත් බිත්තරය එකතු කර මද ගින්නේ පිසගන්න. 

 

 

3. බැටර් ෆ්‍රයිඩ් කෝලිෆ්ලවර්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෝලිෆ්ලවර් කෝප්ප 1
  2. ගම්මිරිස් කුඩු 
  3. ඔරිගානො ස්වල්පයක් 
  4. අනියන් පව්ඩර් තේ හැඳි 1/2
  5. මිරිස් කුඩු ටිකක්
  6. ගාලික් පව්ඩර් ටිකක්
  7. ලුණු ස්වල්පයක් 
  8. සෝයා කිරි කෝප්ප 1
  9. විනාකිරි කෝප්ප 1/4
  10. පාන්පිටි කෝප්ප 1
  11. කෝන්ෆ්ලා කෝප්ප 1/2

 

 

  • කෝලිෆ්ලවර් එකට ඔරිගානො, ගම්මිරිස් කුඩු, අනියන් පව්ඩර්, ගාලික් පව්ඩර්, ලුණු, මිරිස්කුඩු දාලා හොඳට කලවම් කරගන්න. ඒකට සෝයාමිල්ක් කෝප්ප 1 හා විනාකිරි එකතු කර හොඳින් කලවම් කරගන්න. දැන් පැයක් දෙකක් වගේ ෆ්‍රිජ් එකේ තියා ගන්න.
  • පාන්පිටි හා කෝන්ෆ්ලා මිශ්‍ර කරලා සෝයා මිල්ක් එකේ දාපු කෝලිෆ්ලවර් එකින් එක පිටි එකේ දාගන්න. දැන් ආයිත් සෝයා මිල්ක් එකේ දවටගෙන නැවත පිටි තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

 

4. කෝලිෆ්ලවර් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෝලිෆ්ලවර්
  2. කපා ගත් තක්කාලි
  3. කපා ගත් ළූණු
  4. සිහින්ව කපා ගත් මාළු මිරිස් ටිකක්
  5. දෙහි
  6. ලුණු
  7. ගම්මිරිස් කුඩු 

 

  • මුලින්ම කෝලිෆ්ලවර් ටික අතින් පොඩියට කඩා, සෝදා, ලුණු වතුර එකක විනාඩි දහයක් විතර තියාගන්න. ඉන්පසු ලුණු හා කහ ස්වල්පයක් දාලා තම්බන්න.
  • තක්කාලි, ළූණු හා කපා ගත් මාළු මිරිස් එකතු කර ලුණු හා ගම්මිරිස් කුඩු ටිකක් දමා අනාගන්න. ඉන්පසු එයට තම්බාගත් මල්ගෝවා ටික එකතු කරන්න. දෙහි දාන්න මතක ඇතුව

කාලා බලන්න හරිම රසයි…

 

 

5. බේක්ඩ් ගාලික් ඇන්ඩ් කෝලිෆ්ලවර් සුප්

ෆැට් අඩුවෙන් කාබ්ස් අඩුවෙන් ගන්න ඕනෙ අයට වේලක් ශේප් කරගන්න කියාපු කෑම එක

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුදුළූණු බික් 12-14
  2. ඔලිව් ඔයිල් ටිකක්
  3. ලුණු 
  4. බටර් තේ හැන්දක්
  5. ළූණු කො​ළ ටිකක්
  6. ගම්මිරිස් කුඩු 
  7. ලෙමන් යුෂ ටිකක්
  8. චිකන් බ්‍රොත් කෝප්ප 2
  9. කුඩා කෑලි කඩාගත් කෝලිෆ්ලවර් කෝප්ප 1
  10. වියලි රෝස්මරි ටිකක්

 

  • සුදුළූණු බික් වලට ඔලිව් තෙල් හා ලුණු ඉහලා ෆොයිල් පේපර් එකක ඔතලා විනාඩි 15ක් බේක් කරන්න. 
  • පෑන් එකකට බටර් ටික දාලා දියවෙනකොට ඔලිව් ඔයිල් දාගන්න. ලියාගත් ළූණු කොළ ටික එකතු කරන්න. රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු  එකතු කරන්න. දැන් රෝස්ටඩ් ගාලික් ටික එකතු කරගෙන හැන්දෙන් පොඩි කරමින් ෆ්‍රයි කරගන්න. 
  • දැන් මේකට චිකන් බ්‍රොත් කෝප්ප 2න් එකක්  එකතු කරගන්න. එයට කුඩාවට කඩාගත් කෝලිෆ්ලවර්  හා රෝස්මරි එකතු කරන්න. දැන් පියනකින් වහල හොඳට තැම්බෙන්න දෙන්න.
  • හොඳට තැම්බුණු කෝලිෆ්ලවර් සුප් එක ටිකක් නිවෙන්න තියල බ්ලෙන්ඩර් එකට දාගෙන බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ තික් බැටර් එකට ඉතුරු චිකන් බ්‍රොත් කෝප්ප 1 එකතු කරගන්න. 
  • දැන් ලෙමන් යුෂ ටිකක් දාගෙන හැඳි ගාන්න. ගම්මිරිස් කුඩු සහ ලුණු රස බලා අවශ්‍ය නම් එකතු කරගන්න. උඩින් පාස්ලි කොළ ටිකක් ඉහලා පිළිගන්වන්න. 

 

 

6. කෝලිෆ්ලවර් හෑශ්බ්‍රවුන්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට් කරගත් කෝලිෆ්ලවර් කෝප්ප 1
  2. ලුණු ස්වල්පයක් 
  3. ඔලිව්තෙල් 
  4. ළූණු කො​ළ කෝප්ප 1/4
  5. චොප්කරගත් සුදුළූණු ටිකක්
  6. ගම්මිරිස් කුඩු 
  7. පාමසාන් චීස් කෝප්ප 1/4
  8. බිත්තර 2

 

  • කෝලිෆ්ලවර් ටික ග්‍රේට් කරගෙන ඒකට ලුණු ඉහලා කලවම් කරගන්න. දැන් පිරිසිදු රෙදි කෑල්ලකට කෝලිෆ්ලවර් ටික දාලා වතුර මිරිකගන්න. 
  • දැන් ඉහතින් කී ඔක්කොම දේවල් කෝලිෆ්ලවර් එකට එකතු කරලා කලවම් කරගන්න. බේකින් ශීට් එකක් අතුරාගත් ට්‍රේ එකකට බෝල සාදා තුනී කරගත් හෑශ් බ්‍රවුන් ටික සෙල්සියස් අංශක 180ට විනාඩි 35ක් වගේ බේක් කරගන්න.

 

 

7. කෝලිෆ්ලවර් චීස් බෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ග්‍රේට් කරගත් කෝලිෆ්ලවර් කෝප්ප1
  2. ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් කෝප්ප 1/2
  3. ග්‍රේට් කරගත් පාමසාන් චීස් කෝප්ප 1/4
  4. ගම්මිරිස් කුඩු තේ හැඳි 1
  5. චොප්කරගත් සුදුළූණු ටිකක්
  6. පාන්පිටි කෝප්ප 1/4
  7. පාන්කුඩු කෝප්ප 1/4
  8. බිත්තර 3
  9. ඔලිව්තෙල් මේස හැඳි  2
  10. ලුණු කුඩු ස්වල්පයක් 

 

ඉහතින් කී ද්‍රව්‍ය සියල්ලම එකතු කරලා හොඳට කලවම් කරගන්න. ලුණු රස අනුව දාගන්න. දැන් කුඩා බෝල සාදා බේකින් ශීට් එකක් දැමූ ට්‍රේ එකක් මත එකිනෙක නොගෑවෙන සේ අතුරා 180c° විනාඩි 25ක් පමණ බේක් කරගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *