මදි නොකියන්න ඩම්ප්ලින්ග් කන්න කොළඹ අවටින් තැන් 7ක්

කොළඹ කෑම සංස්කෘතිය එන්න එන්න ම යාවත්කාලීන වෙනවා. දැන් මේක නිකන් ම කනවට වඩා ජීවන විලාසිතාවක්. ජීවිතයට එක් කරගන්න ආසා කරන අලුත් අත්දැකීමක්. ඒකාකාරී ජීවන රටාවෙන් මිදෙන්න මිනිස්සු හදාගත්තු දෙයක්. ඒකට එකතු වුණ විවිධ කෑම ජාති අතර ඩම්ප්ලින්ග් ගැන ආසාවක් එක පාරට ම අපේ උදවිය අතර ඇති වුණා. චීන රටෙන් අපිට ලැබුණු කෑමක් වෙන ඩම්ප්ලින්ග් කියන්නේ පිරවුමක් එක්ක එන පැටිස්වලට වඩා මුදු ආවරණයකින් වැහුණ ඒ වගේ ම කෑමක් තමයි. කන්න තියෙන තැන් එමටයි.

 

1. Momo’s By Ruvi

විශේෂයෙන් ම ඩම්ප්ලින්ග් වෙනුවෙන් වෙන් කෙරුණු මේ තැන හොයාගන්න තමයි ටිකක් අමාරු. MC එක ගාවට ගිහිල්ලා ගූගල් මැප්ස් පාරක් දාලා බලන්නකෝ. එතන ඉඳන් කොල්ලුපිටිය පැත්තට ඇවිදන් එන දුර. මෙතන වැඩි ආටෝප නෑ සරලයි. තැන පොඩියි. හැබැයි කෑම නම් සුම්මා. ඕනි කරන රහ ආටෝප ඔක්කොම තියනවා. චිකන්, ඉස්සෝ, බීෆ්, වෙජ් කියන ෆිලින්ග් හතර තමයි තියෙන්නේ. මෙයාලා ගාව ලොකු ප්ලැටර්ස් එහෙමත් තියනවා. නැත්තන් තමන්ට අවශ්‍ය දේට විතරක් සීමා වෙන්නත් පුළුවන්. තව එතකොට ශීත කළ වගේ ම උණුසුම් පාන වර්ගත් තියෙනවා. හවස් ජාමේ වෙලාවකට කිට්ටු කරන්නත් බැරි තරම් සෙනඟ. ඒ නිසා ඊට කලින් යන තරමට හොඳයි. ඩම්ප්ලින්ග් කන්න පටන් ගන්න හොඳ ම තැන තමයි මේ.

 

2. China Street Food

CCC එකේ Food Studio එකේ චීන සලකුණ තමයි මේ තැන. මෙතන ලොස් නැතුව චීන කෑම හැදෙනවා. ඒ අතරින් ඔයාට ඩම්ප්ලින්ග් 10ක් හදලා මේසෙට එවන එක මේ අයට මහා දෙයක් නෙවෙයි. ලේසියෙන් අපිට බැටළු මස් පිරවුම් එක්ක කෑම ජාති කන්න හම්බ වෙන්නේ නැහැනේ. මෙයාලා ළඟ තියනවා ඉතින් භාණ්ඩය. ඊට අමතර ව චිකන් එකත් නැගලා ම යනවා. නමුත් මෙතනට ගියපු අය කියන්නේ නම් එයාලා කාපු රහම ඩම්ප්ලින්ග් එක මේක නෙවෙයි කියලයි. CCC ඇවිල්ලා ඩම්ප්ලින්ග් කන්න ම ඕනි කියලා හිතුණොත් ඉතින් කාලා බලන්න ම වෙනවා.

 

3. Tastea

ඔව්ව්ව්ව්. නම වගේ ම තමයි වැඩත්. කරුණාවන්ත චීන ජාතික නෝනලා දෙන්නෙක් තමයි මේ කැෆේ එක කරන්නේ. මෙයාලා ගාව ඩම්ප්ලින්ග්ස්වලට අමතර ව තවත් කෑම ජාති තියනවා. ඒත් එහෙම කැෆේ එකක ඩම්ප්ලින්ග් වගේ කෑමක් තියන එකෙත් අමුතු ලල් එකක් තියනවනේ. ඩම්ප්ලින්ග්ස් 6ක ප්ලේට් එකක් සුවඳ ගගහා මේසෙට එන්න ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. බීෆ් නම් එහෙමයි. චිකන් නම් ඒත් එහෙමයි. ඩම්ප්ලින්ග් ප්ලේට් එකකට වග කියලා මෙයාලාගේ චීස් ටී එකක් බිව්වා ම පුල් සැටිස්.

 

4. Ming Han

කොළඹ චීන අවන්හල් සංස්කෘතියේ එක්තරා පුරාවෘත්තයක්. ඉතින් එහෙම තැනක අනිවාර්‍යයෙන් ඩම්ප්ලින්ග් තියෙන්න එපැයි. අනෙක් අවන්හල්වලට සාපේක්ෂව මෙතන තියෙන ඩම්ප්ලින්ග්ස්වලට ඔයා ව ආකර්ෂණය කරගන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ඌරු මස් ඩම්ප්ලින්ග්ස්. ආය ඉතින් මොනවද අහන්නේ රස බේරෙන ඩම්ප්ලින්ග්ස් 10කට වග කියන්න කාට ද බැරි? ඩීන්ස්ටන් පාරේ දී තමයි මේ රහ හමු වෙන්නේ.

 

5. Mainland China

බොරැල්ල පැත්තෙ ඉඳන් මල් පාර දිගේ ඇවිල්ලා ඒ පාර ආනන්ද කුමාරස්වාමි මාවතට වැටෙන තැන ම තමයි මේ ලස්සන රෙස්ටුරන්ට් එක තියෙන්නේ. කෑමවල මිල ගණන් සහ ඇතුළේ තියන සැපපහසු බව එක්ක බලද්දී මාර ම විදියට සාධාරණ සේවයක් ඔතනට යන බඩගිනිකාරයෙකුට ලැබෙනවා. මෙයාලගේ ඩම්ප්ලින්ග්ස් ගැන කතා කරොත් අනෙක් ඒවාට වඩා තියෙන විශේෂත්වය තමයි තනි පිරවුමක් වශයෙන් නොපැවතීම. උදාහරණයක් විදියට චිකන් විතරක් තනියම සෙට් වෙන්නේ නෑ. චිකන් එක්ක හතු ඒත් නැත්නම් ලෙමන්ග්‍රාස් හරි බැසිල් හරි මොනෝ හරි සම්මිශ්‍රණයක් තියෙනවාමයි.

 

6. Long Feng

Cinnamon Lakeside එකේ තියෙන චීන අවන්හල තමයි මේ. මෙතන ඩම්ප්ලින්ග් සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ ඒ සඳහා ම එයාලාගෙ තියෙන බුෆේ එක නිසා. ලොකු නමක් තියෙන හෝටලයක පිහිටලා තියනවා කියලා ගණන් නම් ඉහළ නැහැ. සමහරවිට ඇත්තට ම මෙතනින් එළියේ තියන ඩම්ප්ලින්ග්ස් මීට වඩා ගණන් වෙන අවස්ථා තියනවා. ඩම්ප්ලින්ග්ස් විතරක් නෙවී හැම කෑම වර්ගයක් ම එහෙමයි. දවල් 12 ඉඳන් 3 වෙනකන් මෙතනට ඇවිල්ලා බඩ එපා කියනකන් ඩම්ප්ලින්ග් කතහැකි.

 

7. Hari Bao

Bao කියන්නේ ඩම්ප්ලින්ග්වලට ම නෙවෙයි. හැබැයි ඩම්ප්ලින්ග් වගේමයි. ඉතින් මේ ලැයිස්තුවට මෙයාලා ව එක් කළේ මේ රහ වෙන කිසිම තැනක දී අත් විඳින්න නොලැබෙන නිසයි. මෙයාලා ගාවත් පිරවුම් වර්ග තියනවා. මෙයාලා ගාව චිකන් සහ පෝක් කියන දෙජාතිය තියනවා. වැඩේ කියන්නේ ඉතින් මේක නිවසක ඉඳන් කරන දෙයක් වීමයි. කෑම ඩිලිවරි කරන ඇප් එකකට කියලා ගෙන්න ගන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *