උදේ කෑමට, රෑ කෑමට කාපු, හවස තේ වේලට පැණි දාල කාපු ආප්ප ලංකාවේ පෙරළිකාර කෑමක් බවට පත් වෙලා හමාරයි. ලංකාවෙ පෙරළි කළාට ආප්ප කියන්නෙ ඉන්දියාවෙන් ආව කෑමක්. හැබැයි ඉන්දියාවෙ කේරළ ආප්පම් අපේ ආප්ප වගේ කරස් කුරුස් ගාල හැපෙන ආප්පයක් නෙවෙයි. අද අපි මේ කියන්න හදන්නෙ ඒ පෙරළිකාර ආප්පයට විප්ලවීය වෙනසක් කරන හැටි ගැන. හැමදාම කන ප්ලේන් ආප්පෙන්, පැණි ආප්පෙන් සහ බිත්තර ආප්පෙන් එහාට ගිය වෙනස්ම ආප්ප වර්ග කීපයක් හදන හැටි ගැන දැනගන්න කැමති ඔයාලටමයි මේ රෙසිපි ටික.
වෙනසට කලින් ප්ලේන් ආප්පෙ
වෙනස්කම් කරන්න කලින් මූලික ආප්ප මිශ්‍රණය හදාගන්න විදිය ගැන බලමු. මොන ආප්පෙ හදන්නත් හොඳ පදම් වෙච්ච තාච්චියක් නම් ඕන. අළුතෙන් ගන්න ආප්ප තාච්චියක් නම් වතුර ටිකක් එක්ක ගොරකා කෑලි හතරක් පහක් තම්බගෙන, ගොරක ටික පොඩි කරල තාච්චියේම අතුල්ලන්න. ටිකක් වෙලා තියල රෙදි කෑල්ලකින් පිහිදගෙන තෙල් ටිකක් ගාල පැයක් දෙකක් තියල ආයෙමත් පිහිදල ගන්න. සෝදගන්න එපා.
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදු කැකුළු හාල් කප් 2 (කැකුළු හාල් පිටි කප් 2ක් ගන්නත් පුළුවන්)
- උකු පොල් කිරි
- දිය කිරි
- යීස්ට් තේ හැඳි 3\4
- සීනි මේස හැන්දයි
- මාරි බිස්කට් එකක්
- ලුණු
- හාල් ටික සෝදල, ගරල පැය තුන හතරක් හෝ රැයක් පොඟවගන්න. දියකිරි පොඩ්ඩක් එකතු කරල මේ හාල් ටික ඝණකමට අඹරගන්න. දැන් මේකට දිය කිරේ පොඟවල පොඩි කරගත්ත මාරි බිස්කට් එකක්, යීස්ට් සහ සීනි එකතු කරල අනාගන්න.
- අවම පැය 6ක් හෝ උපරිම පැය 8ක් මේ මිශ්‍රණය වහල තියන්න. පැය හයකට පස්සෙ ආප්ප මිශ්‍රණයට අවශ්‍ය තරම් මිටි කිරි සහ ලුණු එකතු කරගෙන, මිශ්‍රණය පෙරාගෙන ආප්ප හදන්න ගන්න. තාච්චිය පදම් කරල ගත්තත් ඇලෙන ගතියක් එනව නම් මිශ්‍රණයට බිත්තරයක් එකතු කරගන්න.
1. බීට් රූට් ආප්ප
උඩින් කිව්ව ආප්ප මිශ්‍රණයට අමතරව මේකට බීට් ජූස් ඕන. පොතු ඇරගෙන, සෝදා, කෑලි කපාගත්ත බීට් ගෙඩියක් වතුර එක් නොකර බ්ලෙන්ඩර් එකක බ්ලෙන්ඩ් කරගන්න. මේ පල්ප් එක හොඳින් මිරිකල බීට් ජූස් පෙරාගෙන අපි කලින් හදාගත්ත ආප්ප මිශ්‍රණයට එකතු කරගන්න. මතක තියාගන්න ඕන දේ තමයි බීට් ජූස් ටික මිටිකිරි එකතු කරන්න කලින් දාගන්න එක. නැත්නම් ආප්ප මිශ්‍රණයේ දියාරු ගතිය වැඩි වෙන්න පුළුවන්.
පාට පාට ආප්ප ඕන නම් මේ විදියටම කැරට් යුශ, නිවිති යුශ සහ කොකෝවා පව්ඩර් එකතු කරල ආප්ප මිශ්‍රණය හදාගන්න පුළුවන්. කොකෝවා පව්ඩර් වෙනුවට නිව්ටෙලා ටිකක් එකතු කරගන්නත් පුළුවන්. කෘත්‍රිම වර්ණකාරක දානවට වඩා මේ විදියට හදන එකෙන් වෙනස්ම රසයකුත් ආප්පයට එකතු වෙනව.
2. සීනි සම්බෝල විත් බිත්තර ආප්පෙ
ආප්ප කන්න කියාපුම දේ තමා සීනි සම්බෝල. ලුණු මිරිසටත් වඩා ආප්පයට වෙනස්ම රසයක් එකතු කරන්න සීනි සම්බෝලෙ සමත්. ආප්ප හදල සීනි සම්බෝලෙ ඇනගෙන කනව වෙනුවට ආප්පෙ මැදටම සීනි සම්බෝල එකතු කරලම හැදුවොත්? හදලම බලන්නකො රස. මැද නොහිටින්න සාමාන්‍ය ආප්පයක් දාගෙන ඒක පිච්චෙන්න කලින් ටිකක් ගසාගත්ත බිත්තරයක් ආප්පය මැදට දාගන්න. පියනකින් වහල තියල බිත්තරය බාගෙට තැම්බීගෙන එනකොටම ඒ මැදට සීනි සම්බෝල අතුරගෙන ආප්පය දෙකට නවාගන්න. ආයෙමත් විනාඩියක් විතර වහල තියල ඉවත් කරගන්න.
3. ජගරි ඇන්ඩ් බනානා ස්වීට් හොපර්ස්
කෙසෙලුයි හකුරුයි එක්ක පොඩි කාලෙ ආප්ප කාපු රස තාම මතක නම් මෙන්න ඒ රස තවත් රසවත්ව ලබාගන්න විදියක්. හකුරු ටිකක් ග්‍රේට් කරල වතුර ඉතාම ස්වල්පයක් එකතු කරල ලිපේ තියල උණු කරගන්න. සාමාන්‍ය විදියට ආප්පය හදාගෙන සම්පූර්ණයෙන්ම පුච්චගන්න කලින් ආප්පය මැදට දිය කරගත්ත හකුරු දාගෙන ඊට උඩින් කපාගත්ත කෙසෙල් පෙති ටිකක් තියාගෙන ආප්පය දෙකට නවාගන්න. විනාඩියක් දෙකක් වහල තියල ලිපෙන් ඉවත් කරගන්න.
4. එග් ඇන්ඩ් බේකන් බ්‍රෙක්ෆස්ට් හොපර්ස්
උදේට සුද්දගෙ ක්‍රමේට අපේ තාලෙට ආප්පයක් කමුද? මැද හිටින්නෙ නැති වෙන්න සාමාන්‍ය විදියට ආප්පයක් දාගන්න. ඒක මැදට කහමදය කඩන්නෙ නැතුව බිත්තරයක් එකතු කරගන්න. ඒ එක්කම බිත්තරේ උඩට පොඩියට කපාගත්ත බැදගත් බේකන් කෑලි ඉහගන්න. පියනකින් වහල බිත්තරය ගාණට තැම්බුනාම ලිපෙන් ඉවත් කරගන්න.
5. පීසා ආප්පෙ
පීසා කන්න අපේ අයගෙ පුදුම කැමැත්තක්නෙ තියෙන්නෙ. ආප්පෙටත් පීසා ට්විස්ට් එකක් දීල බලන්නකො ඒකෙ රස. මදේ පොඩ්ඩක් හිටින්න ආප්පයක් දාගන්න. ඒක මැද තැම්බෙන කොට ඒකට උඩින් පීසා සෝස් හරි තක්කලි සෝස් හරි ටිකක් ගාගෙන බැදගත් චිකන් හරි සොසේජස් හරි ටිකක් අතුර ගන්න. පොඩියට කපාගත්ත ළූණු, මාළු මිරිස්, තක්කාලි ටිකක් එකතු කරන් ඒකට උඩින් ගාගත්ත මොසරැල්ල ටිකක් දාගෙන පියනෙන් වහල අඩු ගින්දරේ චීස් දියවෙනකම් පිසගන්න.
6. පෝර්ක් විත් එග් ඇන්ඩ් පොල් සම්බෝල
මේ ආප්පෙට නම් හොඳට සැරට හිඳෙන්න උයාගත්ත පෝර්ක් කරියක් ඕන. පොඩ්ඩක්වත් මදය හිටින්නෙ නැති වෙන්න ආප්පය දාගන්න. ඒ මැදට පොඩ්ඩක් ගසාගත්ත බිත්තරයක් එකතු කරන් පොඩ්ඩක් ආප්පෙ වටේට කරකවල ගාගන්න. දැන් මේ මැදට පොල්සම්බෝල ලේයර් එකක් දාගෙන ඒකට උඩින් පෝර්ක් කරියෙන් ටිකක් දාගෙන ආප්පය දෙකට නවාගන්න.
7. දකුණෙ කිරි ආප්පෙ
මේක නම් දකුණෙ අය දන්නවත් ඇති. මේ කියන්නෙ නොදන්න අයට. ටිකක් වැඩිපුර මැද හිටින්න ආප්පය දාගන්න. මැද තැම්බීගෙන එන කොටම හොඳ උකු මිටි කිරි ටිකක් ආප්පෙ මැදට දාගන්න. දැන් පියනෙන් වහල ආප්පෙ මැද සෙට් උනාම ලිපෙන් ඉවත් කරගන්න. මේක කිරිම කිරි රස ආප්පයක්.
Cover Image Source – jetwinghotels.com/ lavenderandlovage.com
Leave a Reply