ලෝකේ ලොකුම ඇටේ ලංකාවෙත් තියෙන බව ඔබ දැන සිටියාද?

කො​කෝ ඩිමෙයර් කියන ගස ලෝකයේ තියෙන මහ පුදුමාකාර ගහක්. ලෝකේ මේ ජාතියේ ගස් වලට ල​ඟ නෑදෑයෝ නැහැ. තියෙන්නේ මේ ගහ විතරයි. මේක පොල් තල් කුලයට අයිති ගහක්. ඉතිං ගහේ හැදෙන ලොකු ගෙඩිය තමයි බීජේ විදියට සලකන්නේ. මේ බීජයක් කිලෝ විස්සක් තිහක් බරයි. මේ එකක් විශාලත්වයෙන් අඩියක් හමාරක් ප​ළල් වෙනවා. මොකද්ද මේ අරුම පුදුම ගහ? අපි ටිකක් හොයාල බලමු. 

 

1. අතීතයේ තිබූ පුදුම ගහ 

කො​කෝ ඩි මෙ​යර් ගෙඩි සහ පිටත කටු මුලින්ම ඉන්දියානු සාගරේ නාවිකයින්ට හම්බවුනේ 1500 ග​ණන් වලදි. මාලදිවයින් වලට සහ ලංකාව ආදී දූපත් වලට කො​කෝ ඩිමෙ​යර් ගෙඩි සහ ගෙඩියේ වැස්ම ගහගෙන ඇවිල්ලා තිබුනා. මේ විසාල ගෙඩි සහ වැස්ම ගහගෙන ආවට 1744 වෙනකල් ​මේ ගහ කොහෙද තියෙන්නේ කියල කවුරුත් දැනගෙන උන්නේ නැහැ. මිත්‍යා විශ්වාස කරපින්නාගත් එදා ලෝකයේ මිනිස්සු සමහර අය හිතුවා මේක ඇවිල්ලා දේව කතාවල එන ගරුඬා කියන පක්ෂියාට සම්බන්ධ විසාල ගෙඩියක් වෙන්න ඕනි කියලා. ඒ වගේම තවත් එහාට ගිහින් හිතාපු අය මේක නම් මේ ගහක හැදෙන්න පුළුවන් ගෙඩියක් යැ. මේක මූද යට හැදෙන ගහක ගෙඩියක්ය කියලා ඒකාලෙ විශ්වාස කළා. 1744 දි ප්‍රංශ නාවිකයෝ මේ ගෙඩිය හැදෙන ගහ ඉන්දියානු සාගරයේ අප්‍රිකාව කිට්ටුව සීශෙල්ස් දිවයින් වලින් හොයාගත්තා. ඒ ගහත් මහ පුදුමාකාර ගති තිබුන ගස් රාජයෙක් වුනා. 

 

2. උද්භිද විද්‍යාඥයින් පුදුම කරන ගතිගුණ 

Image Source – nisa-ans.blogspot.com

ලෝකේ බරම බීජේ වෙන මේක කිලෝ විස්සක් තිහක් බරයි. ඊ​ළගට ලෝකේ බරම ගෙඩිය අන්දමන් පොල්. අපේ පොල් වලට වඩා බර අන්දමන් පොල් (එලොව පොල් කියන්නේ මේවටද දන් නෑ) ගෙඩියක් කිලෝ 2-3ක් තමයි බර වෙන්නේ. ඒ අනුව අන්දමන් පොල් වලට වඩා විශාල බ​ර පරතරයකින් කො​කෝ ඩි මෙ​යර් ඉස්සරහින් ඉන්නවා. හැබෑට මො​කෝ මේ? ඈත අතීතයේ මීට වසර මිලියන ගා​ණකට ඉස්සරවෙලා ලෝකේ ඩයිනෝසෝර ආදි සත්තු ජාති උන්නා. ඔයාල දැකල ඇති උන්ගේ සයිස් එක කොහොමද කියලා. ඒ කාලේ ඒ තරං විසාලව සත්තු ඉන්න ගහ කො​ළත් විශාලව තියෙන්න ඇති. විද්‍යාඥයින් හිතන විදියට කො​කෝ ඩි මෙ​යර් ඒ මිලියන ගා​ණක් ඈත අතීතයේ මහා පෙරිය සයිස් ගඩා ගෙඩි ගස් වල හැදුන කාලේට අයිති ගහක්. මුලු ලෝකෙන්ම මේ කො​කෝ ඩිමෙ​යර් සීශෙල්ස් දිවයින් වල දිවයින් දෙකකට විතරක් අයිති වෙලා තියෙනවා. ආසියානු මහද්වීපයෙන් ගැලවී ගිය සීශෙල්ස් දිවයින් වල මීට වසර මිලියන හැටක පමණ සිට මේ ගහ කාලයෙන් හුදකලා වී තියෙන්නට ඇති කියලා විද්‍යාඥයෝ හිතනවා. 

 

3. මයෙ අම්බේ ගහ පීදෙන්න යන කාලේ 

මෙ කොකෝ ඩි මෙ​යර් ගහේ එක කො​ළයක් ගොබේ ඇවිල්ලා දළුලන්න අවුරුද්දක් විතර යනවා. ඉතාම සෙමෙන් වැඩෙන මේ තාල වර්ගයේ ගහ පෙනුමෙන් තල් ගහක හැඩයට බාහිරව සමානකම් තියෙනවා. මේ ගහක් හැදිලා හා හාපුරා කියාල ගෙඩියක් හටගන්න අවුරුදු 20-30ක් විතර යනවා. මේ ගහේ ඉතින් ඔන්න ගෙඩිය හැදුනා කියමු. ඒ හැදෙන ගෙඩිය ලොකු වෙලා මෝරන්න තවත් අවුරුදු 6-7ක් යනවා. දැන් ඉතින් ඒ මෝරා හැදුන ගෙඩිය වේලිලා අර වේලුන පොල් ගෙඩියක් වගේ වියලි මට්ටමට ඇවිත් ආයෙත් තවත් පැ​ළයක් හදාගන්න කාලය අවුරුදු 2ක් විතර යනවා. මේ ගහක් අඩු වශයෙන් ශතවර්​ෂ අටක් වත් මේ මහපොලව මත තියනවා කියලා මිනිස්සු හිතනවා. ඒ කිව්වේ අවුරුදු 800ක් මේ මහපොලව බදාගෙන ඉන්න අරුම පුදුම තල්පොල් මොඩල් ගහක් තමයි කොකෝ ඩි මෙ​යර් කියන්නේ.. 

 

4. අපේ ගහ 

අපේ ලංකාවේ මේ ගහක් තියෙනවා කිව්වොත්? ඔවු ඔයාල පේරාදෙණියේ මල්වත්ත බලන්න ගිහින් ඒකේ තියෙන දෙබිඩි පොල් වීදියට ගියොත් මේ කොකෝ ඩි මෙ​යර් හෙවත් අපි හඳුන්වන සරල නම වෙන දෙබිඩි පොල් ගහ දකින්නට හැකියි. පේරා මල්වත්තේ තියෙන පරණම ගස් සැට් එකක් වෙන ​මේ කොකෝ ඩි මෙයර් පේරා මල් වත්තට එන්නේ 1850 දි. 1895 දි හෙන්රි ඩි කේව් කියලා සුද්දෙක් ඇවිල්ලා මල්වත්ත පොටෝ ගන්නවා. මිනිහෙක් විතර උස ගිය මේ ගහක් කේව් සුද්දගේ කැන්ඩි සහ පේරාදෙණිය කියන පරණ පොටෝ පොතේ තියෙනවා. ඒ කියන්නේ හිටෝල අවුරුදු 40ක් ගියත් අපේ කොකෝ ඩිමෙ​යර් මුල්ම ගහ අඩි හත අටකට වඩා උ​ස ගිහින් තිබුනේ නැහැ. කොටින්ම ක​ඳක් පේන තරමට වත් ලොකුවෙලා තිබුන් නැහැ. ලෝකේ කෘත්‍රිමව කොකෝ ඩිමෙ​යර් වවපු තැන් අතරත් පේරා මල්වත්ත වි​ශේෂ තැනක්. කඳුකර පරිසර​යට වඩාත් නෑකම් කියන අතරමැදි කලාපයේ තියෙන පේරා මල්වත්තේ තාල වර්ගයට අයත් මේ දුර්ලභ ගහ හැදිලා තියෙනවා. සීශෙල්ස් දිවයින් වල මේ ගහ ස්වභාවිකව හැදෙන වටපිටාව කුඩා දූපත් වටපිටාවක්. 

 

5. කල්කටාවේ අවාසනාවන්ත ඩිමෙ​යර් ගහ 

කොකෝ ඩි මෙ​යර් කියන්නේ ද්විලිංගික ගහක්. සිංහලෙන් කිව්වොත් ගෑනු ගස් වෙනයි පිරිමි ගස් වෙනයි තියෙනවා. පිරිමි ගස් වල හැදෙන මල මහා පුරුෂ ලිංගයක් වගේ මීටරයක් විතර දිගට හැදෙනවා. 1885 දි විතර ඉන්දියාවේ කල්කටා උද්භිද උද්‍යානයකත් මේ කොකෝ ඩි මෙ​යර් ගස් හිටෝගෙන තිබුනා. අවාසනාවක මහත. මේ හිටවපු ගස් දෙක තුනම ගෑනු ගස්. ඉතින් ගෑනු ගස් සහ පිරිමි ගස් දෙවංශයක් තියෙන ගහක ගෑනු ගහක් විතරක් තිබීම මුලු මහත් ඉන්දියාවටම තියෙන එකම එක කොකෝ ඩි මෙ​යර් ගහේ හිමිකරුවන්ට මදි පුංචි කමක් වුනා. ඔවුන් 2000 මුල් කාලේ ලංකාවෙන් පරාග අරගෙන ගිහින් තිබුනා. ඒත් ලංකාවෙන් අරං ගිය පරාග වලින් කල්කටා කොකෝ ඩිමෙ​යර් ගහ ​ඵලදැරුවේ නැහැ. ගහ වුනත් ගෑනුනේ ටිකක් ආඩම්බරේට ඉන්න ඇති ප​ළමුවෙනි වතාවේ. දෙවනි වතාවේ 2015 දි වගේ තායි රටේ පුකෙට් දිවයින ආසන්නයේ  උද්‍යානයක වවා තියෙන කොකෝ ඩි මෙ​යර් පිරිමි ගහකින් පරාග අරං ඇවිල්ලා මේ කල්කටා ගහ පරාගනය කළා. ඉතින් අවුරුදු 135ක් පරණ මේ ගහ ඔන්න දැන් යාන්තම් ගෙඩි ඵලදරලා තියෙනවා. 

 

6. ගෑනු පිරිමි ගස් 

මේ ගස් වල හැදෙන මහා විශාල ගෙඩිවලට පෝෂ​ණය ගොඩක් ඕනා. ඒ ආකාරයට විශාල ගෙඩි වලට පෝෂ​ණය කොහෙන් කොහොම ගන්නවාද කියලා විද්‍යාඥයෝ හෙව්වා. ගහේ තියෙන මීටර තුන හතරක් ප​ළල විශාල කො​ළ වලට වැටෙන වැහි වතුර ගහ මුලට වැටෙන විදියට ඒවා හැදිලා තියෙනවා. ඒ වගේම ගහේ මුල වටා වැස්මක් ඇතිවෙන විදියට ගහේ මුල පැරණි පත්‍ර විසින් වසාගන්නත් ගහ ක්‍රියාකරනවා. මේ කොකෝ ඩි මෙ​යර් ගහේ ගෑනු පිරිමි ගස් පරාගනය වෙන්නේ කොහොමද? ඉස්සරම කාලේ හිටපු අය හිතලා තිබුනා රෑට රෑට මේ පිරිමි ගස් ගෑනු ගස් වෙත ලංවෙලා ලිංගිකව පරාගනය කරනවා කියලා. ඒත් බොහොම පස්සේ කාලෙක කටුස්සෝ හූනෝ වගේ සත්තු  මගින් ගස් අතර පරාගනය සිද්ද වෙනවා කියලා විද්‍යාඥයින් මත පලකරලා තියෙනවා. 

 

7. ස්ත්‍රි රුවැති ගෙඩි 

කොකෝ ඩි මෙ​යර් ගහ හොඳින් දාර ඉල්පී පේන මැනවින් සැදුනු නාරි දේහයක් වගේ. කොටින්ම ගානට උකුල තියෙන යොවුන් වයසේ ටිකක් මහත ගෑනු ළමයකුගේ උකුලු පළාත වගේ තමයි මේ ගෙඩියේ හැඩේ පේන්නේ. මේ නිසාම මේ ගෙඩි විවිධ කලාත්මක දේවල් වලටත් යොදාගන්නවා.කොකෝ ඩි මෙ​යර් පිරිමි ගහේ හැදෙන පුෂ්ප මංජරිය දිග එකක්. පුෂ්ප මංජරිය තු​ළ කුඩා කුඩා මල් ගොඩක් තියෙනවා. මේ පුෂ්ප මංජරිය මීටරයක් විතර දිග එකක් නිසා ඒක සහ ගැහැනු හැඩයේ ඵලය එකට තියාලා සෙල්ෆි ගහන්න හෙම සීෂෙල්ස් යන සංචාරකයින් කටයුතු කරනවා. 

 

මේ ගහේ ගෙඩි දැනට සීශෙල්ස් දිවයින් වලින් එලියට ගෙනියන්න දෙන්​නෙ නැහැ. මේ ගෙඩි විශාල වුනාට ලොකු කාලයක් ගහේ එල්ලිලා තියෙන නිසා මුලු අවුරුද්දකට මුලු ලෝකයේම හැදෙන කොකෝ ඩි මෙ​යර් ගෙඩි ගා​ණ දෙදාහක් වත් නැහැ. අපෙත් පේරා මල් වත්තේ මේ කොකෝ ඩි මෙ​යර් තියෙනවා. සීශෙල්ස් වල මූද ආසන්නයේ වැවෙන ගහ වගේ ලංකාවෙත් මූද ආසන්න හො​ඳ තෙත් පරිසරයක වගා කරන්න පුළුවන් නම් අනාගත සංචාරක කර්මාන්තයට මේ දෙබිඩි පොල් හෙවත් කොකෝ ඩි මෙ​යර් ගස් පාවිච්චි කරන්​න පුළුවන් වේවි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *