ඉන්ටර්නෙට් එකේ කරන කියන දේවල් හැමෝටම පේන්න තියෙනවා නේද? එහෙමනම් ඩිජිටල් ෆූට්ප්‍රින්ට් එක අඩු කරමුද?

දැකලා තියෙනවද සාමාන්‍යයෙන් ඔය ෆේස්බුක් එකේ එහෙම පෙන්නන ඇඩ්ස් ගොඩක් වෙලාවට අපිට ඕන දේවල්, අපි කැමති දේවල් ගැනම තමයි කියන එක? උදාහරණයක් විදියට කිවුවොත්, ඔන්න අපි ගූග්ල් එකේ සර්ච් කරනවා ලැප්ටොප් වල මිල ගණන්. ඔන්න ඊලඟ දවසේ ඉඳලා ෆේස්බුක් එකේ පෙන්නන්න ගන්නවා ලැප්ටොප් ඇඩ්ස්. සමහර වෙලාවට යාලුවෙක්ගෙන් චැට් එකේ අපි අහනවා බොන්සායි පැළ ගැන. මෙන්න හෙට ඉඳන් බොන්සායි පැළ විකුණන තැන් වල ඇඩ්ස් පෙන්නනවා. සමහර වෙලාවට මේවා අපිට පහසුවක්. හැබැයි නිකමට හිතුවද මෙහෙම අපි කැමති දේවල් ගැන හොයාගන්න, අපි ඉන්ටර්නෙට් එකේ කරන කොයි තරම් දේවල් අපි දන්නෙම නැතුව එකතු කෙරෙනවා ඇතිද කියන එක? ආන්න ඒක තමයි ඩිජිටල් ෆූට්ප්‍රින්ට් කියන්නේ. අන්තර්ජාලයේ අපි කරන කියන දේවල් වලින් අපි ගැන ඉතුරුවෙන ශේෂමාත්‍රයන්. මේ තොරතුරු බොහොම වටිනවා විවිධ පාර්ශවයන්ට.

අපේ මේ තොරතුරු වෙබ්සයිට් වලින්, ඔන්ලයින් ෂොපින් සයිට් වලින් එකතු කෙරෙනවා. සෝෂල් මීඩියා වලින් අනිවා එකතු කෙරෙනවා. එතකොට ඇත්තටම අපි පාවිච්චි කරන ස්මාට්ෆෝන්, ටැබ්, ලැප්ටොප් වලින් වුනත් මේ තොරතුරු එකතු කරගන්න පුළුවන්. නිකම් හිතෙන්නෙ නැද්ද මේක හරි භයානකයි කියලා? ඒ කියන්නේ අපේ නිදහස එක්තරා විදියකට නැතිවෙනවා කියලා?

සමහරු කියයි ඇයි අපේ එහෙම එකතු කරන්න තියෙන සෙන්සිටිව් ඉන්ෆොමේෂන් මොනාද ඕයි කියලා. හැබැයි අමතක කරන්න එපා, අපි නොහිතන තැන් වලින් අපිට අපේ නිදහස වටින්න පුළුවන් කියන එක. උදාහරණයක්. අපි වැලක් බලනකොට ඒක හොරෙන් නෙ බලන්නේ? හැබැයි අපි ඒ වැල බැලුවා කියන විස්තරත් තව අය දැනගන්නවා කියන එකම අවුලක් වෙන්නෙ නැද්ද? ආන්න ඒ නිසා තමයි අපි ඩිජිටල් ෆූට්ප්‍රින්ට් එක ගැන දැනගෙන ඉන්න එක වටිනවා වගේම, ඩිජිටල් ෆූට්ප්‍රින්ට් එක අඩු කරගන්න එකත් වටින්නේ. 

 

1. ෂුවර් නැති ඇප්ස් සහ සොෆ්ට්වෙයාර්

අපි හිතන්නෙ නෑ ඔය කම්පියුටර් ආපු අලුත වගේ නොදන්න ඕනම සොෆ්ට්වෙයාර් එකක් හොයන්නෙ බලන්නෙ නැතුව කම්පියුටරේට ඉන්ස්ටෝල් කරගන්න තාලේ අයිටී දැනුම බිංදුවේ අය තවදුරටත් ඇති කියලා. හැබැයි, අපිට සමහර වෙලාවට ඔය හදිසියකට එහෙම වැඩක් කරගන්න ඇප් කෑල්ලක් ඕන වුනහම, ගොඩක් අය කරන්නේ ඉන්ටර්නෙට් එකට ගිහින් හොයලා බලන එකනේ. එහෙම හොයනකොට පරිස්සමෙන්. මොකද, නොමිලේ දෙන දෙයක් ඉන්ටර්නෙට් එකේ තියෙනවනං, ඒකේ හිලව්වට මොකක් හරි හැංගිච්ච දේකුත් තියෙනවා. ඒක ඔය ඇඩ්ස් දෙකතුනක් පෙන්නීම වගේ දෙයක් නං අවුලක් නෑ. හැබැයි එතනින් එහාට අපේ පෞද්ගලිකත්වයට එබෙන තාලේ එව්වා නං අවුල්.

හොඳම දේ තමයි එහෙම ඇප් එකක් සොෆ්ට්වෙයාර් එකක් ඕන වුණහම, පුළුවන් තරම් නිදහස් හා විවෘත මෘදුකාංග තෝරගන්න එක. ඒ වගේම පැන්න ගමන් ඩවුන්ලෝඩ් කරගන්නෙ නැතුව ඒ වෙබ්සයිට් එක, ඒකේ ප්‍රතිපත්ති, එකඟතා මොනවද කියන එක පොඩ්ඩක් කියවලා බලන එක.

 

2. යූසර් ඇග්‍රිමන්ට්ස්!

කීයෙන් කීදෙනාද ඇත්තටම ඔය සොෆ්ට්වෙයාර් එකක්, ඇප් එකක් එක්ක එන යූසර් ඇග්‍රිමන්ට් එක කියවන්නේ? ඒක දිග වැඩි නිසා ඔහේ ඇක්සෙප්ට් කරල දානවා. හැබැයි දන්නවද ඒ ඇග්‍රිමන්ට් එකේ අපි මොනවගේ දේවලටද එකඟ වෙලා තියෙන්නෙ කියන එක? මේ ගැන විශේෂයෙන්ම මේ දවස් වල තියෙන හාහෝව තමයි වට්ස්ඇප් වල යූසර් ඇග්‍රිමන්ට් එක ලඟදිම අප්ඩේට් වෙනවය, ඒකෙන් අපේ ෆෝන් නොම්බර, ඉන්න තැන වගේ දත්ත ෆේස්බුක් එකත් එක්ක ෂෙයාර් කරන්න අවසර දෙනවය කියන එක. ප්‍රශ්නේ තියෙන්නේ ඒක කොයි තරම් අවදානම්ද නැද්ද කියන එක නෙවෙයි, අපි නොදැන ඔය වගේ මොන තරම් දේවලට අවසර දෙනවද කියන එක. සාමාන්‍යයෙන් අලුත් ඇප් එකක් කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරනකොට වුනත් අපි පුරුද්දට හැම එකටම ඇග්‍රී වෙන එක නෙවෙයිද කරන්නේ?

ඒ විතරක් නෙවෙයි, ඒ වගේ මොකක් හරි ඉන්ස්ටෝල් කරනකොට විකල්ප මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්න ඇහුවත්, අපි නොකල්පනාවෙන් ඕකේ කරනවා! අන්න ඒක කරන්න එපා. මින් පස්සේ ඔය දේවල් සම්බන්ධයෙන් අතිශයින්ම සැලකිලිමත් වෙන්න.

 

3. ඇප් පර්මිෂන්

උඩ කියපු එකේම තව කෑල්ලක් තමයි අපි ස්මාට්ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන ඇප්ස්. අපි කවදද ඒ ඇප්ස් වලින් අපෙන් ඉල්ලන පර්මිෂන් මොනවද කියලා හොයා බලලා ඇක්සෙප්ට් කළේ. ඔහේ ඉල්ලන ඔක්කොම ඇක්සෙප්ට් කරලා දානවා. අන්න එතකොට අපි දන්නෙ නෑ අපි ඉන්ස්ටෝල් කරගන්න ඇප් එකක් අපේ ෆෝන් එකේ තියෙන දත්ත, සම්පත් කොයි විදියට පාවිච්චි කරනවද කියලා වත්.

අන්න ඒ නිසා, ඇප් එකක් ඉන්ස්ටෝල් කරනකොට අපෙන් පර්මිෂන් ඉල්ලන දේවල් ඇත්තටම දෙන්න අවශ්‍යද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. උදාහරණයක් ගමු. ඔන්ලයින් බඩු විකුණන ඇප් එකක් අපෙන් ෆයිල්ස් වල තියෙන දේවල් බලන්න සහ වෙනස් කරන්න අවසර ඉල්ලුවොත්, හිතල බලන්න ඒ පර්මිෂන් එක මේ වගේ ඇප් එකකට මොකටද කියන එක. වැඩක් නෑනේ. ඩිලිවරි ඇප් එකක් අපෙන් ඉන්න තැන දැනගන්න පර්මිෂන් ඉල්ලන එක හරි. හැබැයි අපේ කන්ටැක්ට් ලිස්ට් එකට ඇක්සස් ඉල්ලනව නම් ඒක අවුල් වගේ නේද? අන්න ඒ නිසා ඒ දෙන්න ඕන සහ නොදෙන්න ඕන පර්මිෂන් ගැන අවධානයෙන් ඉන්න. ගොඩක් ඇප්ස් වල ඔය අනවශ්‍ය පර්මිෂන් ඉල්ලන්නේ විකල්පයක් විදියට. ඒ කියන්නේ ඒ පර්මිෂන් නොදුන්නත් ඇප් එකෙන් වැඩ ගන්න පුළුවන්.

 

4. කුකීස්!

දැන් කාලේ අපි යන ඕනම වෙබ්සයිට් එකකින් අපේ කම්පියුටරේ කුකීස් ඉතුරු කරන්න පර්මිෂන් ඉල්ලනවා. මොනවද මේ කුකීස් කියන්නේ? කුකීස් කියන්නේ අපේ බ්‍රවුසර් එකේ අපි කරන දේවල් ට්‍රැක් කරන්න, අපි ඒ අදාළ වෙබ් සයිට් එකේ කරන කියන දේවල් වල තොරතුරු එකතු කරන්න වගේ දේවලට ඩිසයින් කරලා තියෙන කේත. දැන් තියෙන සමහර වෙබ්සයිට් වල අපිට කුකීස් පිළිගන්නවා කියන එක ඇක්සෙප්ට් කළත්, රිජෙක්ට් කළත් අපිට වෙබ්සයිට් එකට ගිහින් ඕන දේ කරගන්න පුලුවන්. හැබැයි තවත් සමහර වෙබ්සයිට් වල කුකීස් ඇක්සෙප්ට් කළේ නැතිනම් වෙබ් එක ඇතුළට යන්න දෙන්නෙ නෑ. අන්න එහෙම වෙලාවට පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. ලොකුවට පෙන්නන්නේ ඇක්සෙප්ට් කරන බට්න් එක වුණාට, පොඩියට තියෙනවා කුකීස් කස්ටමයිස් කරගන්න සෙටින්ග්ස් වලට යන්න බට්න් එකකුත්. අන්න ඒකට ගියහම අනිවාර්යයෙන්ම පිළිගන්න කියලා පෙන්නන්නේ අත්‍යාවශ්‍ය සරල කුකීස් විතරයි. එතනින් එහාට අපි ගැන අලගිය මුලගිය දත්ත ඔක්කොම හොයාගන්න තියෙන කුකීස් ඩිසේබල් කරන්න අපිට පුළුවන්!  

ඒ ඇරෙන්න වෙබ් බ්‍රවුසර් එකෙන්ම කුකීස් බ්ලොක් කරන්නත් සෙටින්ග්ස් තියෙනවා. නැත්තං ඒකට බ්‍රවුසරේට ඇඩ්-ඔන්ස් දාගන්න පුළුවන්. අන්න ඒක කරන්න.

 

5. ප්‍රයිවට් බ්‍රවුසින්ග්!

දැන් කාලේ හැම බ්‍රවුසර් එකේම, සර්ච් එන්ජින් එකේම වගේ තියෙන පහසුකමක් තමයි Incognito mode කියන්නේ. අපිට කිසිසේත්ම වෙනත් පාර්ශව දැනගන්න වුවමනා නැති ක්‍රියාකාරකම් කරනවා නම්, Incognito mode එකෙන් ගිහින් ඒවා කලාට කමක් නෑ.  ඒක ඔන් කලාට පස්සේ, අපේ යූසර් ඩේටා බ්‍රවුසරේ මතකයේ රැඳෙන්නෙ නෑ. ඒ වගේම ඔය සයිට් වලින් එවන කුකීස් එහෙම වුනත් රැඳෙන්නෙ නෑ. මේකට තමයි කියන්නේ ප්‍රයිවට් බ්‍රවුසින් කියලා.

ඕන නම් තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහින් කෙලින්ම VPN දාගන්නත් පුළුවන්. ඒ කියන්නේ වර්චුවල් ප්‍රයිවට් නෙට්වර්ක් එකක්. Incognito mode එකටත් වඩා VPN එකක් පාවිච්චි කරන එකෙන් අපේ රහස්‍ය භාවය රැකෙනවා. VPN එකකින් අපි කොහේද යන්නේ කියලා බලන්න හදන තුන්වෙනි පාර්ශවයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. 

 

6. හැම මගුලකටම පුද්ගලික තොරතුරු දෙන්න එපා!

සාමාන්‍යයෙන් ඔය ඔන්ලයින් ෆෝම්ස් පුරවන්න තියෙනවනේ. ඒ කියන්නේ ඕනම වෙබ්සයිට් එකකට පාහේ යනකොට රෙජිස්ටර් වෙන්න ඕන. තොරතුරු දෙන්න ඕන. හැබැයි ඊලඟ වතාවේ ඔය ෆෝම්ස් පුරවනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. දැන් අපිට අත්‍යාවශ්‍ය මොකක් හරි සේවාවක් ලබාදෙන වෙබ් අඩවියකදී නම්, ඒ සේවා ලබාගැනීමෙදී ඒකට අපේ තොරතුරු අවශ්‍ය නම් ලබාදුන්නට කමක් නෑ. හැබැයි ඒ ඇරෙන්න යන යන වෙබ් සයිට් එකට තොරතුරු දෙන්න යන්න එපා.

එක්කෝ මුලින් බලන්න යම් කිසි වෙබ් සයිට් එකකින් මොකක් හරි අපිට ඕන දෙයක් කරගන්න රෙජිස්ටර් වෙන එක අත්‍යාවශ්‍යද කියලා. සමහර වෙලාවට ලෑන්ඩින් පේජ් එකේම තඩි ෆෝම් එකක් පෙන්නුවට, ඒක පුරවන එක විකල්පයක් විතරයි. ඕන නම් ඒක ක්ලෝස් කරලා වෙබ් සයිට් එකට යන්න පුළුවන්. එහෙම නැතුව තොරතුරු දීලා රෙජිස්ටර් වෙන්නම ඕන නම්, පොඩ්ඩක් බලන්න ඒකේ අනිවාර්යයෙන් ඉල්ලන තොරතුරු මොනවද කියලා. සාමාන්‍යයෙන් ෆෝම් එකක අනිවා පුරවන්න ඕන කොටු රතු තරුවකින් මාක් කරලා තියෙන්නේ. එහෙම මාක් කරලා නැති ඒවලට තොරතුරු නොදුන්නා කියලා අවුලක් නෑ. 

ඒ වගේම මොකක් හරි වෙබ් අඩවියකට තොරතුරු දෙන එක සැකයි සැකයි වගේ නම්, ඒ වැඩේ කරගන්න පුළුවන් වඩාත් ආරක්ෂිත වෙබ් අඩවියක් හොයාගන්න. ඒකත් අමාරු දෙයක් නෙවෙයි.

 

7. පරණ එකවුන්ට් ඩිලිට් කරලා දාන්න

සාමාන්‍යයෙන් අපි නිකමට හිතලා බැලුවොත්, ඉන්ටර්නෙට් එකේ අත්පොත් තියන්න පටන් ගත්තු කාලේ ඉඳලා හදපු, පටන් ගත්තු එක එක වෙබ්සයිට් වල, එක එක සේවාවන් වල එකවුන්ට්ස් කීයක් විතර ඇත්ද? අපිට අමතකත් වෙලා ගිහින් ඇති. හැබැයි ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. හොඳම දේ තමයි අපිට මොකක් හරි එකවුන්ට් එකකින් ආයෙ වැඩක් නෑ කියලා ෂුවර් නම්, කම්මැලි කමට ඒක අමතක කරලා යන්නෙ නැතුව කෙලින්ම ඩිලිට් කරලා දාන එක. මේවා ඔය MSN, Hi5 වගේ අතිශයින්ම ඩයිනසෝර් යුගයේ පාවිච්චි කරපු සයිට් වල එකවුන්ට්ස් වෙන්නත් පුළුවන්, ඩිලිට් කරලා දාන්න!

 

8. සෝෂල් මීඩියා වල කියන්නේ කරන්නේ මොනවද කියන එක ආයෙත් හිතන්න

මේක නම් සරල කතන්දරයක්. කන බොන නාන හැම මගුලම ෆේස්බුක් එකේ දාන්න එපා. එච්චරයි. සරලයි. මෙතන අපි ෆේස්බුක් කිව්වට ඇත්තටම අපි කියන්නේ හැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් ගැනම තමයි. මොකද, අතිශයින්ම සෝෂල් මීඩියා වල සක්‍රීය, සෝෂල් මීඩියා වල හැම දෙයක්ම පළ කරන කෙනෙක් ගැන බොහොම නිරවද්‍ය ප්‍රොෆයිල් එකක් තවත් මනුස්සයෙක්ට වුනත් හදාගන්න පුළුවන් . එහෙම කෙනා ගැන ඉන් ඇන්ඩ් අවුට් දැනගත්තහම, බොහොම ලේසියෙන් එයාව ටාගට් කරගන්නත් පුළුවන්. ඕකේ සරලම ලෙවල් එකක් තමයි හස්බන්ඩ් තමන්ට සලකන්නෙ නෑ කියලා ෆේස්බුක් එකේ දාන කෙල්ලොන්ට හායි කියාගෙන එන අයියලා!!

ඒ නිසා සෝෂල් මීඩියා තමන්ගේ ට්‍රේඩ්මාක් එක, තමන්ගේ බ්‍රෑන්ඩ් එක, තමන්ගේ වෘත්තිය වෙනුවෙන් පාවිච්චි කළාට, පර්සනල් හැමදේම සෝෂල් මීඩියා වල නොදා ඉන්න, පර්සනල් ලෙවල් එකෙන් ගත්තහම අඩුවෙන් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න පුළුවන් විනයක් හදාගන්න.

 

9. ලොකේෂන් සෙටින්ග්ස්!

ඒ කියන්නේ අපේ ස්මාට්ෆෝන් වල තියෙන ජීපීඑස් ගැන. සාමාන්‍යයෙන් ඔය ජීපීඑස් අත්‍යාවශ්‍ය වෙන ඇප්ස් තියෙනවා. ගූග්ල් මැප්ස් හරි පික්මී හරි වගේ. ඒවා ඇරෙන්න ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ හැම ඇප් එකකටම අපි ඉන්න තැන දැනගන්න පර්මිෂන් දෙන්න ඕනද? වඩාත් හොඳ දේ තමයි උඩ ඇප් පර්මිෂන් සම්බන්ධයෙන් කියලා තියෙන විදියට, අදාළ නැති ඇප්ස් වලට අපේ ලොකේෂන් සෙටින්ග්ස් පාවිච්චි කරන්න අවසර නොදී ඉන්න එක. ඊලඟට, අපිට අවශ්‍ය වෙලාවක ඇරෙන්න අනික් හැම වෙලේම ලොකේෂන් සෙටින්ග්ස් ඕෆ් කරලා තියාගන්න එක!

 

10. සෝෂල් මීඩියා වල ප්‍රයිවසි සෙටින්ග්ස්

මෙන්න මේක බොහොම පරිස්සම් වෙන්න ඕන දෙයක්. දැන් කාලේ සෝෂල් මීඩියා වල නැති කෙනෙක් නැහැනේ. හැබැයි මොකක් හරි සෝෂල් මීඩියා වෙබ්සයිට් එකක හරි ඇප් එකක හරි එකවුන්ට් එකක් හදාගෙන සැපේ හිටියට, ගොඩක් දෙනෙක් ඇත්තටම ඔය සෝෂල් මීඩියා සේවයේ සෙටින්ග්ස් වලින් පාවිච්චි කරන්නේ ප්‍රොෆයිල් සෙටින්ග්ස් විතරයි. එතනින් එහාට හිතන්නෙ නෑ.

හැබැයි සෝෂල් මීඩියා එකවුන්ට් එකක් හදාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම යන්න ඕන සෙටින්ග් එක තමයි ප්‍රයිවසි සෙටින්ග්ස්. අන්න ඒකට ගිහින් බලන්න අපි පර්මිෂන් දීලා තියෙන්නේ මොනවටද, අපේ විස්තර, අපේ ෆොටෝස්, අපි දාන ඒවා, අපේ යාළුවෝ වගේ තොරතුරු දකින්න පුළුවන් මොන මොන අයටද කියන එක. එහෙම බලලා, පුළුවන් තරම් එකවුන්ට් එකේ ප්‍රයිවසි සෙටින්ග්ස් උපරිම ආරක්ෂාවෙන් තියන්න. තමන්ගේ යාළුමිත්‍ර කවයේ ඉන්න අයට ඇරෙන්න අනික් අයට තමන්ගේ ජෙනරල් ෆොටෝ එකක් ඇරෙන්න අනික් ඒවා බලන්න බැරි විදියට සෙටින්ග්ස් හැදුවත් කමක් නෑ.

උදාහරණයක් විදියට ගත්තොත්, ෆේස්බුක් එකේ සෙටින්ග්ස් වල තියෙනවා “ඕෆ් ෆේස්බුක් ඇක්ටිවිටි” කියලා එකක්. ඒක සාමාන්‍යයෙන් ඔන් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ෆේස්බුක් එකේ නැතුව ස්මාට්ෆෝන් එකේ කරන වෙනත් දේවල් වල විස්තරත් ෆේස්බුක් එකට බලන්න පුළුවන් කියන එක! භයානක නැද්ද?

 

කවදාහරි දවසක අපිට අපේ පෞද්ගලිකත්වය ඉන්ටර්නෙට් එකට වඩා වටිනවා කියලා හිතෙන දවසක් එනවා කියන එක මතක තියාගන්න!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *