රට යන්න හිතාගෙන ඉන්න අයට වැදගත් උපදෙස්

මේ රට යන අත හොඳ නැති නිසා හොඳ අතකට යන රටක් බලලා යන එක හැමෝගෙම සිහිනයක්. පිරිසක් පිටරට පදිංචියටම යන්න හදනකොට තවත් අය කීයක් හරි හොයාගන්න රක්ෂාවක් සොයාගෙන රට යනවා. ඉතින් රට යන අයට වැදගත් වෙන උපදෙස් කිහිපයක් අපි සොයාදෙන්නට හිතුවා. 

 

1. යන රටේ භාෂාව 

අලුත් භාෂාවක් ඉගෙනගන්න එක අමාරු වැඩක්. ඒත් දැන් ඒ වෙනුවෙන් ඔන්ලයින් ඇප්ස් තියෙනවා, යූ ටියුබ් වීඩියෝ තියෙනවා. එහෙමත් නැතිනම් පරණ විදිහට ක්ලාස් එහෙමත් තියෙනවා. ඉතින් රටකට යද්දි ඒ රටේ මූලික භාෂාව ටිකක් දැනගෙන යන එකේ ලොකු වාසියක් තියෙනවා. අපිට රැකියාවක් සොයාගැනීමේදිත් ඇතැම් රැකියා අවස්ථා ගැන සඳහන් කිරිමේදී භාෂාවට ලොකු පිළිගැනීමක් ලැබෙනවා. ඔබ හොඳින්ම දන්නා විදිහට කොරියා යන්න, ජපන් යන්න ඒ භාෂාවන් දැනගෙන ඉන්න එක සෑහෙන වටිනවා. 

 

2. ඒජන්සි කිහිපයකට යෑම 

කිසිම තැනකට කෙලින්ම සල්ලි බඳින්න එපා. මොකද යවන ඒජන්සිය තීරණය කරන්නේ බොහෝවිට ඔබේ ඊළඟ අවුරුදු කිහිපයේ ඔබට තිබෙන වටිනා කාලය. මේ කාලය වයසට ගිහින් මොකවත් කරකියාගන්න බැරි වයසක් නෙමෙයි. ඔබේ තරුණ කාලය. පියෙක් නම්, මවක් නම් දරුවෙක් මල්ලෙක් සමග ගතකරන කාලය. කොල්ලෙක්, කෙල්ලෙක් නම් පෙම්වතිය, නිවසේ අය හෝ යාළුවෝ සමග සතුටින් ඉන්න වටිනාම කාලය. ඉතින් රටකින් රටකට යනකොට ඔබ නිකං දිවියලෝකේ අරං යනවා කියලා දෙසන එක ඒජන්සි කාරයකුගේ බණකට විතරක් අහු වෙන්න එපා. තවත් ඒ වාගේ වේකන්සි තියන තැන් හොයාගෙන, ඒ තැන්වල විස්තර කරන වැටුප, දීමනා, ඔබට ලැබෙන පහසුකම් ආදිය ගැනත් සොයාබලන්න. 

 

3. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තත්ත්වයන් හා දැනුවත් වීම 

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩපිළිවෙත ගැන එතරම් හොඳ මාධ්‍ය වාර්තා නැහැ. ඒත් විදෙස් සේවා නියුක්ති කාර්යාංශය හරහා ඇතැම් රැකියාවන්ට අවශ්‍ය තත්ත්වයන් නිර්දේශ කරලා තියෙනවා. උදාහරණ විදිහට ගෘහපාලිකා විදිහට යන අයට වෙනමම පාඨමාලාවක් හදාරන්නට තියෙනවා. ඉතින් ඒ වගේ අයට තියෙන විශේෂ දේවල් වගේම රැකියා ඇබෑර්තු ආදියත් විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියේ ඇතුළත් වෙනවා. ඒකේ රැකියාවක් සොයාගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒත් අමාරුවෙන් හරි ඒ ඒ රැකියා ක්ෂේත්‍රවලට කොපමණ ගෙවනවාද? ඒ වැඩිපුර ගෙවන්නේ මොන රටවලද? ඒ වැඩිය ගෙවන රටවලට යන්න සුදුසුකම් මොනවාද? ආදී දේවල් දැනගන්න ඔයාලට ඒ හරහා පුළුවන් වෙනවා.

 

4. දැනුම සහ සහතික උපයමු 

ලංකාවේ මිනිස්සු කොයි වෙලෙත් කියන දෙයක් තමයි අපි හම්බකළේ මිනිස්සු කියන එක. ඒත් අපි සරලවම දන්න දෙයක් තමයි අපිට අපි හම්බකළ මිනිස්සු ගාණ පෙන්වලා රස්සාවකට යන්න බැහැ. ඒ වගේම කඩේට ගිහින් ටොපි දෙකක් ගන්න පුළුවන් වෙයි කඩේ අයියාගේ ලොකු පුතා දන්නවා අඳුනනවා කියලා. ඒත් ඉන් එහා දෙයක් ගන්න බෑ. ඒ නිසා හැකි කාලේ අමාරුවෙන් හරි සහතික පත් උපයාගෙන තියාගෙන ඉන්න එක වටිනවා. රට යන්න අදහසක් තියෙනවා නම් ලෝකේ නැති ඉතිහාසය, පුරාවිද්‍යාව, ජ්‍යෝතිෂය, බෞද්ධ ශිෂ්ටාචාරය, අසුවල් ආගම ගැඹුරට ආදී කෝස් කරලා තේරුමක් නැහැ. රට රැකියා වල වැඩිපුරම ඉල්ලන ක්ෂේත්‍ර තියෙනවා. කාන්තාවන්ට නම් සාත්තු සේවිකාවන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. පිරිමි අයට නම් තාක්ෂණික සේවකයින්ට පළපුරුද්ද අනුව හොඳ ගෙවීම් ලැබෙනවා. ඉතින් ඒ දේවල් ටිකක් ඉගෙනගෙන සහතික එකතු කරගෙන තිබුණොත් ඒක බොහොම වටිනවා. 

 

5. ඒ රටේ ඉන්න අයියලාට, අක්කලාට කතා කරලා බලමු 

රට ඉන්න අයට කතා කරන්න කියන විශේෂ හේතු තියෙනවා. සමහර රටවල තියෙන තත්ත්වයන් අපිට දරාගන්න පුළුවන් සීමාවල තියෙනවාද? කොරියාවේ වුණත් කොපමණ ගෙවීම් හොඳ වුණත් වින්ටර් එකට අපේ ගිය අයට ඒක දරාගන්න බැරි අපහසුතා එනවා. මැදපෙරදිග රටවලත් ඒ තියෙන ග්‍රීෂ්මය මෙහෙ හම්බන්තොට, පුත්තලම දිහාටත් වැඩියි. ඇතැම් රටවල් මෙහෙ වගේ නෙමෙයි. ඇමරිකාවේ ගිය ලංකාවේ අයෙක් එහෙ දාලා මෙහෙ නිවාඩුවකට ඇවිත් කිව්වේ “මොනව තිබුණත් වැඩක් නෑ බන්. සිගරට් එකක් ගන්න කිලෝමීටර් පහළවක් විතර වාහනේ යන්න ඕන” කියලා. රටකින් රටකට ගියා කියලා අපි මැකෙන්නේ නැහැ. අපි සම්පූර්ණ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා කලින් ගිය යාළු හිත මිතුරෙක් නැතිනම් දන්න කන්ටැක්ට් එකකින් හරි කෙනෙක් හොයාගෙන එහේ කොහොමද තත්ත්වය කියලා අහන එක වටින දෙයක් වේවි. 

 

6. පවුලට මොකද වෙන්නේ? 

මේක ලංකාවේ තියෙන ටිකක් ඔඩුදුවපු සමාජ ප්‍රශ්නයක්. රට ගිය ඇත්තන්ගේ දරුවන්ට ඒ මාපියන් අහිමිවීම කියන දේ සැරට දැනෙනවා. ඇත්තටම රට ගිය අයට එහෙදි සෙට් වෙන්නේ සංවර්ධිත, භෞතික තත්ත්වයන් අතින් දියුණු රටක්. කොපමණ දුක් වින්දත් කාර් වලින් ගමන බිමන තියෙන, සැපට කෑම බීම ටික ලැබෙන, හොඳ ඉන්ටනෙට් කනෙක්ශන් තියෙන තත්ත්වයක් ඇතැම් විදෙස් රැකියාවල ඉන්න ගෘහ සේවකයින්ට රියදුරන්ට පවා හිමි වනවා. ඉතින් ඒ එක්ක ඔවුන් නැවත ලංකාවට පැමිණ දරුවන් දැකබලාගෙන ආයෙත් එහෙටම  යනවා. රැකියා සොයා රට යනවා නම් බිරිඳටත් රැකියාවක් සොයාදී ඇය සහ දරුවන්ද රැගෙන යන්නට හැකිනම් ගොඩක් හොඳයි.

 

7. පනින්න බලාගෙන රට යනවා නම් 

සාමාන්‍යයෙන් උපාධි සුදුසුකම් ඇති, හොඳ වෘත්තීය පළපුරුද්දක් ඇති, හොඳ ඉංග්‍රීසි හෝ භාෂා කුසලතාවයක් ඇති දක්ෂයෙක්ට නම් වෙන රටක පදිංචි වෙන්න යන එක ගේමක් නෙමෙයි. ඒත් එසේ නොවන අයටත් සාමාන්‍ය දැනුම් තත්ත්වයන්ගෙන් ළඟා වෙන්න පුළුවන් රැකියා ඒ රටවලත් තියෙනවා. ඒ සුදුසුකම් එක රැයින් ගොඩදාගන්න බැහැ. ඒත් කෙමෙන් කෙමෙන් තාක්ෂණික මට්ටමේ ඔවුන් පිළිගන්නා සහතික, ඒ අවශ්‍ය කරන පළපුරුද්ද, භාෂා ප්‍රවීණතාවය අරගත්තොත් ඔවුන්ට ඉක්මනින්ම හොඳ රටකට යන්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවල ලංකාවේ පළපුරුද්ද එතරම්ම වටින්නේ නැහැ. උදාහරණ විදිහට වායුසමන ක්ෂේත්‍රයේ ලංකාවේ තිබෙන වැඩ වලට වඩා මැදපෙරදිග තියෙන වැඩ වෙනස් සහ පිළිගැනීම වැඩියි . ඉතින් වයස තියෙන කෙනෙක්ට සහතික තියෙනවා නම් මැදපෙරදිග අවුරදු දෙකක් වැඩකරලා තියෙන එක හොඳ රටකට යන්න අමුතු තල්ලුවක් එකතු කරනවා. 

 

පොඩි කාලේ නම් අපි පන්ති තෝරන්නේ යාළුවා යන එක බලලා. ලොකු වුණාමත් එකට එකතු වෙලා ට්‍රිප් යන්න වගේ යාළුවෝ ඥාති මිතුරන්ගේ යම් යම් බලපෑම් වලට අපිට එකඟ වෙන්න වෙනවා. ඒත් රට යෑම කියන්නේ අතිශය පුද්ගලික තීරණයක්. තව කීපදෙනෙක් කීව පළියට හෝ ගෙදර අය බලකරන පළියට හෝ තව අය යන නිසා හෝ මෙහෙ තියෙන දේවල් දමලා රට යන්න ඕන නැහැ. ඒත් ඉතින් තමුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න ඉස්සරහට තවත් තවත් හිරවෙනවා වගේ නම් රට යන්න හිතන එක හැම අතින්ම හොඳයි. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *