ජපානෙට යන කෙනෙක්ට ජපානේ නතර වෙන්නම හිතෙන හේතු 8 ක්!

 

අපි පුංචි කාලේ ඉඳලම ජපානේ කියන්නේ මොන වගේ රටක්ද කියලා අදහසක් තිබුණනේ, හා නැද්ද? විශේෂයෙන්ම ඔෂීන් වගේ ටෙලිනාට්‍ය හින්දත් අපිට ජපානය කොයි තරම් ලස්සන රටක්ද කියලා අදහසක් ලැබුණා. ඊට පස්සේ ලොකු වෙනකොට වුණත් ජපානය ගැන අහන්න දකින්න ලැබුණු දේවල්, ශ්‍රී ලංකාව සහ ජපානය අතර තියෙන සමීප සබඳතා වගේ දේවල් හින්දා අපිට ජපානය ගැන ලොකු ආසාවක් ඇතිවෙලා තිබුණා කියලා කිව්වොත් ඒක බොරු නෙවෙයි. හැබැයි ඉතින් අපිට ඒ ආසාව ඇතිවෙලා තිබුණේ අර සුන්දර සාම්ප්‍රදායික ජපානය ගැන. ඒක ඉතින් දැන් ඉතිහාසයටනේ අයිති. දැන් තියෙන්නේ බොහොම නවීන ජපානයක්. ඒත් ඉතින් තාමත් ජපානය කියන්නේ අපේ හිත් වල තියෙන අපූරු, අරුම පුදුම රටක්. සමහර වෙලාවට ජපානේ කියන්නේ අපි හිතන තරම්ම සුන්දර දේශයක් නොවෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත්, තාමත් ජපානය කියන්නේ අපිට සමහර වෙලාවට ගියොත් ආයෙමත් එන්න හිතෙන්නෙ නැති රටක් වෙන්නත් පුළුවන්. 

අන්න ඒ නිසා අපි හිතුවා, කෙනෙක්ට ජපානේ දාලා එන්න හිතෙන්නේ නැති හේතු කීපයක් ගැන ලියන්න.

 

1. ජපාන කෑම

දැන් ජපානේ කෑම ගැන කියනකොට ගොඩක් දෙනෙක්ට එක පාරටම ඔලුවට එන්නේ සුෂි නේ. හැබැයි සුෂී වලට හැමෝම කැමතියි කියන්න බෑ. හැබැයි ජපානේ ආහාර සංස්කෘතිය ගැන සුෂී වලින් විතරක් මනින්න යන්න එපා. ජපානේ තියෙන ගණන් කරන්න බැරි තරම් රෙස්ටුරන්ට්, ස්ට්‍රීට් ෆුඩ් ජොයින්ට්ස් අරවා මේවා ඔක්කොම ගත්තහම ජපානේ ආහාර සංස්කෘතිය හිතාගන්න බැරි තරම් විවිධාකාරයි. ඒ වගේම වර්ණවත්. විශේෂයෙන්ම සීෆුඩ් ලෝලීන්ට එහෙම නම් ජපානේ කියන්නේ දිව්‍යලෝකයක් වගේ තමයි. ඇයි, ජපානේ වැඩි හරියක් මුහුදනේ තියෙන්නේ වටේටම. ලාබෙට කෑම ගන්න ඕන නම් එහෙමයි. ෆයින් ඩයිනින් ඕන නම් එහෙමයි. ඔය කෝක වුණත්, ජපානේ කෑම රස බලන්න ගියහම එකිනෙකට වෙනස් අත්දැකීම් සෑහෙන්න ලබාගන්න පුළුවන් වෙයි.

 

2. විනීත ආචාරශීලීත්වය

ඇත්තටම අපි පුංචි කාලේ හිතාගෙන හිටියේ ජපන්නු කියන්නේ ඕන දේකට දෙකට නැවිලා ආචාර කරන හරිම විනීත ජාතියක් කියලනේ. ඒක බොරු නෙවෙයි. හැබැයි ඉතින් ජපන් ජාතිකයෝ කියන්නේ ඕනම දේකට දෙකට නැවිලා “හරි හරි” කියන ජාතියේ මිනිස්සු ජාතියක් නම් නෙවෙයි. විශේෂයෙන්ම විදේශිකයින්ට ජපානේ සිරිත් විරිත්, ආචාරශීලී ආකල්ප එහෙම හරි විදියට අල්ලගන්න බැරි වුණොත්, ජපන් ජාතිකයෝ එක්ක ගනුදෙනු කරන එක අතිශයින්ම අසීරු වෙන්න පුළුවන්. හැබැයි හොඳ ගෞරවයකින් යුතුව, හොඳ පරිස්සමකින් යුතුව ජපාන ජාතිකයෝ එක්ක ගනුදෙනු කරලා ඒ අයගේ ගෞරවය දිනාගත්තහම, ජපන් ජාතිකයින්ගේ චරිතයේ තියෙන හොඳ පැත්ත දකින්න පුළුවන්. ඒක ඇත්තටම හොඳ අත්දැකීමක්. අපිටත් ඒ අය සෑහෙන්න ලැදියාවකින් සලකයි අන්න එතකොට. හැබැයි ඉතින් ආරංචි වෙන විදියට ජපානෙට ශ්‍රී ලංකාවෙන් ගියපු සමහර උන්දැලා නිසා, ශ්‍රී ලංකා කිව්වහම ජපන් ජාතිකයෝ දැන් දැන් පොඩ්ඩක් පරිස්සම් වෙනවලු.

3. වෘත්තිය සංස්කෘතිය

මේක නම් ගැලපෙන්නේ ඉතින් අර අයියා මල්ලි අක්කා නංගි ලෙවල් එකෙන් ඔෆිස් එකෙත් වැඩ කරන්න පුරුදු වුණු අයට නෙවෙයි. ඊට වඩා හොඳ වෘත්තිමය ගතිගුණ එක්ක වැඩ කරන්න පුරුදු, රස්සාවට හොඳ කැපවීමක් ලබාදෙන්න, මහන්සි වෙලා වැඩ කරන්න පුරුදු අයට ජපානේ වෘත්තිය සංස්කෘතිය නියමෙටම ගැලපෙයි. හැබැයි එකක්. ජපානේ වෘත්තිය සංස්කෘතිය ඉලක්ක වෙලා තියෙන්නේ තනියෙන් වැඩ කරලා, තනියෙන් ගොඩනැගෙන්න, තනියෙන් ගොඩ යන්න නෙවෙයි. ඊට වඩා ජපානේ සෑහෙන්න උතුම් කොට සලකන්නේ එක්සත්ව වැඩ කරන කණ්ඩායම් හැඟීම. විශේෂයෙන්ම ඔය ජපානේ ලොකුම කොම්පැණි වල වුණත් මේ කියන ටීම්වර්ක් කියන සංකල්පය සෑහෙන්න ප්‍රබලයි. ඉතින් ජපන් ජාතිකයෙක් වගේම මහන්සි වෙලා හරි වෘත්තිය භාවයකින් වැඩ කරන්න කැමති කෙනෙක්ට ජපානේ වෘත්තිය සංස්කෘතිය හොඳටම ගැලපෙයි.

4. සංස්කෘතියේ විශිෂ්ටභාවය

ඇත්තටම සාම්ප්‍රදායික ජපාන සංස්කෘතිය වගේම නූතන ජපාන සංස්කෘතිය වුණත් ශ්‍රී ලංකාවේ මනුස්සයෙක්ට හරිම සුන්දර අත්දැකීමක් තමයි ලබාදෙන්නේ. විශේෂයෙන්ම උපරිම වශයෙන් නවීන තෝකියෝ වගේ අල්ට්‍රා මෙගාපොලිස් නගරයක වුණත් ඔය ජපන් සංස්කෘතික ලක්ෂණ සෑහෙන්න දකින්න තියෙනවා. ජනාකීර්ණ තෝකියෝ මෙගාපොලිස් එකේ වුණත් දකින්න තියෙන පරණ තාලෙ ෂිටමාචි වගේ දිස්ත්‍රික්කයක එහෙම සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණ දකින්න පුළුවන්. ඒ වගේම වඩාත් පරණ කියෝතෝ වගේ නගරවල අර පරණ තාලේ කඩසාප්පු එක්ක අපිට ඉස්සර ජපන් ටෙලිනාට්‍ය වල එහෙම දැකලා හුරුපුරුදු ඉපැරණි සාම්ප්‍රදායිකත්වය සහ ඉතිහාසය හොඳින්ම දැකබලා ගන්න පුළුවන්. 

5. කලබල නැති කාර්යක්ෂමතාවය

නිකමට හිතලා බලන්න ලංකාවේ බස් එකකට නගින්න ගියහම කොයි තරම් ඔලුවෙ කැක්කුමක්ද කියලා. පීක් ටයිම් එකේ ප්‍රයිවට් බස් එකක නැගලා පැයක විතර ගමනක් ගෙවලා ආවට පස්සේ ඔලුව විකාර වෙලා, තෝන්තු වෙලා තමයි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, පොදුවේ ලංකාවේ හැම තැනකම වගේ අපිට දකින්න තියෙන්නේ කිසිම විනයක් නැති කමනේ. හැබැයි ජපානේ කොයි තරම් කාර්යබහුල වුණත්, කොයි තරම් ජනාකීර්ණ වුණත්, මිනිස්සුන්ගේ දැඩි විනයක් තියෙනවා. අන්න ඒ විනය නිසාම අනවශ්‍ය කලබලකාරීත්වයක් නැහැ. ඒ වගේම හැම දෙයක්ම හරිම කාර්යක්ෂමව කරගන්න හැකියාවත් ලැබෙනවා. එතකොට පිරිසිදුකම? අන්න ඒකත් උපරිමයි ජපානේ. ආන්න ඒක නම් ලංකාවෙන් යන කෙනෙක්ට විශේෂ අත්දැකීමක් වෙයි. ඒ විතරක් නෙවෙයි හැබැයි, ලංකාවේ පුරුද්දට කිසිම විනයක් නැතුව හැසිරෙන්න ගියොත් නං ඉතින් ජපානේ ජීවත් වෙන එක කිසිසේත්ම ලේසි වෙන්නෙ නෑ!

6. තාක්ෂණය උපරිමයි

ඇත්තටම ජපානේ කියන්නේ හැම දේකටම උපරිමයෙන් තාක්ෂණය භාවිතා කෙරෙන රටක්. ඒකත් හරිම අපූරු විශේෂ ගතියක් තමයි තියෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත්, ජපානේ තියෙන ටොයිලට් අපි ලෝකේ කොහේවත් දැකලා නැති විදියේ අමුතුම ගැජමැටික්ස් තියෙන, අපූරු වැඩ කෑලි තියෙන හයි ටෙක් විශේෂාංග තියෙන ටොයිලට්. ඒක එක උදාහරණයක් විතරයි. ජපානේ බුලට් ට්‍රේන්ස් ගැන එහෙමත් අහලා ඇතිනේ. ඉතින් ඔය වගේ එදිනෙදා ජීවිතේටත් සෑහෙන්න උදවු උපකාරී වෙන නව තාක්ෂණික දේවල් ජපානේ තියෙනවා. ඒ සමහර දේවල් වලින් ඇත්තටම කරන්නෙ මොනවද කියලත් අපිට අමුතුවෙන් ඉගෙන ගන්න වෙයි.  

7. පිස්සු හැදෙන සුපර් මාකට්

ලංකාවේ තියෙන අපි දකින, හැමදෙයක්ම වගේ තියෙන ලොකුම සුපර්මාකට් වෙන්නෙත් ඔය ග්ලෝමාර්ක්, ස්පාර්, එතකොට ආර්පිකෝ එහෙමනේ. හැබැයි ජපානේ තියෙනවයි කියන සුපර්මාකට් එක්ක බලනකොට ඒවත් නිකම්ම සිල්ලර බඩු කඩ ගාණට වැටෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. වෙන සුපර්මාකට් වල ගන්න තියෙන විදියේ එදිනෙදා අවශ්‍ය වෙන ආහාර පාන වර්ග, මස් මාළු වර්ග අනං මනං වුණත්, ජපානේ සුපර්මාකට් එකකට ගියහම දකින්න තියෙන්නේ හරිම අපූරු විදියකට. ඇත්තටම ජපානෙට ආගන්තුක මනුස්සයෙක් ජපානේ සුපර්මාකට් එකකට ගියහම නිකම් අර නාර්නියා දේශෙට ගියා වගේ තමයි. බැලූ බැලූ අත තියෙන්නේ හරිම අපූරු දේවල්. ගොඩක් වෙලාවට ජපානේ සුපර්මාකට් එකක තියෙන බඩුභාණ්ඩ කන්දරාව සහ ඒ හැම එකකම තියෙන අපූරු ගතියත් එක්ක ජපානෙට ආගන්තුකයෙක් නං දුක්වෙන්නේ මුළු සුපර්මාකට් එකම ගෙදර ගෙනියන්න සල්ලි නැතිකම සහ සල්ලි තිබ්බත් මුළු සුපර්මාකට් එකම තියාගන්න ඉඩක් නැතිකම ගැන තමයි!

8. විනෝද සංස්කෘතිය

ජපානේ විනෝද සංස්කෘතිය කියන්නෙත් වෙනමම කතන්දරයක්. ඒක නවීනත්වය, සාම්ප්‍රදායිකත්වය සහ ජපානෙට ආවේණික අර එක්ස්ට්‍රීම් ගතියත් එක්ක එකතුවෙලා හැදුණු අතිවිශාල සංස්කෘතියක් කියලා කියන එක වැරදි නැහැ. උදාහරණ විදියට කියනවා නම්, ජපානේ ඔය කබුකි, බුන්රකු වගේ නර්තන අංගයන් වෙනුවෙන් හැදුණු සාම්ප්‍රදායික රංගශාලා එහෙම තියෙනවා. ඊට පස්සේ කියෝතෝ කල්චරල් ෂෝ වගේ සංස්කෘතික සන්දර්ශන තියෙනවා. ඒ වගේම නවීන චිත්‍රපටි, සංගීත නාටක වගේ දේවලුත් පෙන්නනවා. ඒ අතරේ, ඕන නම් ඩිස්කෝ ක්ලබ්ස්, නයිට් ක්ලබ්ස් එහෙමත් ඕන තරම් නගර පුරා තියෙනවා. හැබැයි ඉතින් ජපානේ නයිට් ලයිෆ් එක ගත්තත්, ඒක අපිට හුරුපුරුදු ලංකාවේ නයිට් ලයිෆ් එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්, සෑහෙන්න එක්ස්ට්‍රීම් කියලා තමයි ජපානේ හිටපු අය කියන්නේ. වෙන විදියකට කියනවා නම්, තරම දන්නෙ නැතුව ගියොත් වලේ තමයි!

 

දැන් පැහැදිලිද ජපානේ මොන වගේ අපූරු රටක් ද කියලා? හැබැයි ඉතින් වෙන රටකට ජීවත් වෙන්නම යන එක සෙල්ලමකුත් නෙවෙයි. අන්න ඒ නිසා අපි තව දවසක කියන්නම් ජපානෙට යන්න තියෙන අවස්ථා ගැනත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *