නොහිතපු පැතිවලින් ආදර්ශවත් වුණ බොලිවුඩ් සිහින කුමරියෝ

බොලිවුඩය එක්ක අපිට තියෙන්නේ ගහයි පොත්තයි වගේ සම්බන්ධයක් නොවැ. ඉන්ටර්නෙට් වගේ ආයිත්තම් නැති කාලේ වුණත්  පත්තර කෑලි කපලා අලවලා හරි නළු නිළියන්ගේ රූප ළඟ තියාගත්තේ අන්න ඒ සම්බන්ධේ නිසා. රූපයට ආදරේ හිතිලා ඒ කරපු අහිංසක වැඩ අදටත් මිහිරි මතක. ඒ මතක ඇති කරපු බොහෝ නිළියන් ඒ නිළිකමට එහා ගියපු වටිනා මිනිස් චරිත. මේ එහෙම අය ගැන ලියමනක්.



1. සුෂ්මිතා සෙන්


තිරයේ දැක්කේ “Main Hoon Na” චිත්‍රපටයෙන් තමයි. ඒත් ඒ බොළඳිය සැබෑ ජීවිතයේ නම් නැහැ. බාහිර සහ අභ්‍යන්තර කියන දෙයාකාරයෙන් ම ලස්සන ම භාරතීය නිළිය ඇය කියලා බය නැතුව කියන්න පුළුවන්. විශ්ව රූ රැජින බවට පත් වුණ ඇයගෙන් ඒ තරඟාවලියේ දී අහනවා කාන්තාවක් වීමේ හරය මොකක් ද කියලා. ඒ වෙලාවේ ඈ කියන්නේ කාන්තාවක් වීම දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක් කියලා. අම්මා කෙනෙක් වෙන්නේ ගැහැනියක්. ලෝකයට ම ආදරය කරුණාව කියා දෙන්නේ ඇයයි. හරය ඒකයි කියලා ඈ කියනවා. කිව්වා විතරක් නෙවෙයි ඒක ක්‍රියාවෙන් ඔප්පු කරනවා. ඉන්දියාවේ කාන්තාවක් වී ඉපදීම සමඟම සංස්කෘතික වශයෙන් මායිම් රාශියක ඇය හිර වෙනවා. හැබැයි සුෂ්මිතා වෙනම මලක්. විවාහ නොවී ම දැරියන් දෙදෙනෙකුගේ මවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දරුවන් දෙදෙනෙකුව හදාගන්න ගන්නවා දරුවන් ඉපදෙන්න ඕනි හදවතින් බවයි ඇගේ මතය. ඊට අමතරව සන්නාම කළමනාකරණය පිළිබඳ තමන්ගේ නෛපුණ්‍යය නිසා අද දක්ෂ ව්‍යවසායකයෙකු බවට පත් වෙලා තියනවා.

2. නන්දිතා දාස්


“Dark is Beautiful”. එහෙම දෙයක් කිව්වේ නන්දිතා දාස්. ස්වාධීන මත දරන, ඉන්දියාව ලෝකයට දායාද කරපු අගනා වස්තුවක් තමයි නන්දිතා. නිකන් ම නිකන් නිළියක් කියලා වර්ගීකරණය කරන්න ම බැරි කාන්තා චරිතයක්. නිළියෝ බැහැලා සමාජ සේවය කරාට ආවට ගියාට නැතුව සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබපු ඉතා උගත් කාන්තාවක්. ඉන්දියාවේ නම ලෝකය පුරා ගෙනියන්න සමත් වුණ ඇයව සිනමාව වෙනුවෙන් දේශන කරන්න ලෝකය පුරා විශ්වවිද්‍යාලවලින් පවා ඉල්ලනවා. සම්මානලාභී මේ අරුම කාන්තාව සාමාන්‍යයෙන් නිළියෝ භාරගන්නේ නැතුව බයේ දඟළන භූමිකා භාරගෙන කරලා තියෙනවා. ඒ අතරින් සමලිංගික කාන්තාවකගේ චරිතය රඟ දක්වන Fire චිත්‍රපටය ඉතා ප්‍රසිද්ධ වුණා. ඊට අමතරව එක් භාෂාවකට කොටු නොවී භාෂා කීපයකින් ම කරපු නිර්මාණවලට ඇය දායක වුණා. බොරු ආලවට්ටම් සෝබන නැති නියම නිළියක් තමයි.


3. පරිනීති චොප්රා


ඉඟ සුඟ මිටින් ගතෑකි බොලිවුඩයේ මේ වෙනකොට නැතුව ම බැරි ලස්සන ම ලස්සන නිළියක් තමයි පරිනීති. ඉස්සෙල්ලා ම දැක්කේ නම් “Ladies Vs Ricky Bahl” චිත්‍රපටයෙන්. එතකොටත් පොඩ්ඩක් විතර චබ්බා පෙනුමක් තිබ්බා. හැබැයි දැන් නම් බුදු අම්මෝ සරාගී තාරකාවක්. රඟපාන්නත් කලියෙන් ඈ චබී කෑල්ලටත් එහා ගියපු කෙනෙක්. ඒ කියන්නේ ඇත්තට ම ෂේප් එකේ මහතයි ඈ. ඒ කියන්නේ කිලෝ 80කට එහා. ඉතින් එතන ඉඳන් අද ඉන්න නාරිලතාව බවට පත් වුණේ එක රැයකින් ඇස් දෙක පියාගෙන ඇස් ඇරියට පස්සේ එහෙම නෙවෙයි. ව්‍යායාම, ආහාර පාලනය වගේ දේවල් අකුරට ම කරලා තියෙනවා. ඇගේ මේ වෙනස එක්තරා විදියක උන්මාදයක් බවට පත් වෙලා තියනවා. මේක කවුරුත් ඇයට කිව්ව නිසා කරපු දෙයක් නම් නෙවෙයි. ඇයට සිහින් වීමේ සිහිනයක් තිබිලා තියෙනවා. ඉතින් ඒක අද හැබෑ කරගෙන.



4. දීපිකා පදුකෝන්


බොලිවුඩයේ මේ වෙනකොට සිහින කුමරිය තමයි දීපිකා. ඈ දැන් හිනා වෙලා හිටියට කාලයක් විෂාදය කියන කරුමක්කාර රෝගයට ගොදුරු වෙලා හිටියා. මිනිස්සු තමන් කොයි තරම් තද පොරවල් ද කියලා හිතාන හිටියට බිඳෙන තැනක් එනවා. අන්න එතන ඉඳලා ආපහු මුල ඉඳන් ජීවිතය හදා ගත් දීපිකාව ආය කලින් හිටපු තැනට පත් කරවන්න මොකකටවත් බැහැ. විෂාදය කියන්නේ පිස්සුවක් නොවෙන බවත්, බෙහෙත්වලින් සනීප කරන්න පුළුවන් දෙයක් බවත්, තමාටත් ඒ දේ ම වුණ බවත් ඉන්දීය මාධ්‍ය ඉදිරියේ ඈ ප්‍රකාශ කරනවා. එහෙම කියලා එතනින් හිත හදාගෙන පැත්තකට වෙන්නේ නම් නැහැ. තමන්ට වුණ දේ වෙන කාටවත් වෙන්න හොඳ නැති නිසා ඒ වෙනුවෙන් සංවිධානයක් පිහිටුවලා මිනිස්සුන්ට උදව් කරන්න ඈ පෙළඹුණා.



5. විද්‍යා බාලන්


අතිදක්ෂ නිළියක් විදියට අද ජනාදරයට පත් වෙලා ඉන්න විද්‍යාට තිබුණේ ලෝකේ මනුස්සයෙක්ට වෙන්න පුළුවන් ජරා ම දේ. ඒ තමයි තමන් ඇත්තට ම තමන් වීම නිසාම රට වටේ ඉන්න උන්ගෙන් පද අහගන්න සිද්ධ වීම. නිළියක් වෙන්න නම් බෝංචි කරල වගේ ලස්සනට ඉන්න ඕනි ය, අඳිනවා නම් ​මේ විදියේ ඇඳුම් අඳින්න ඕනි ය වගේ කතන්දරවලින් ඇය හෙම්බත් වෙන්නත් ඇති. හැබැයි ඔය ඉලව් අහන් ඉන්නවට වඩා වෙන කවදාටත් වැඩියෙන් හොඳට රංගන ජීවිතය ගැන අවධානය යොමු කරන්න ඇය හිතුවා. හැබැයි අවශ්‍ය වෙලාවට කට අරින්නත් ආයේ ඉතින් එවරෙඩි. මිනිස්සු කවුද වෙන්න ඕනි කියන එක බාහිර සමාජය මත තීරණය වන ඉන්දියාව වගේ රටක විද්‍යා බාලන් කියන්නෙ සැර අතුල් පාරක්. අදටත් ඈ ඉන්නේ ඈට ඕනි විදියට. ශරීරය පවත්වාගන්නේ තමන් කැමති හැඩේට.



6. ප්‍රියංකා චොප්රා


ජෝනස් අයියව බැන්දා කියන්න ඇරෙන්න වෙන අටමගලයක් ප්‍රියංකා ගැන බොහෝ දෙනෙක් දන්නේ නෑ. තමන්ගේ මිනිහව උස්සන් ගිහින් බැඳගත්තා වගේ කෑ ගහන ලෝකල් සෙලිබෙටිලා ඒ අතරින් සෑහෙන විශේෂයි. ඇමරිකාවෙ තමයි ඈ පාසල් ගියේ. තමන් ඉන්දීය ජාතිකයෙක් නිසා සමේ වර්ණය ගැන කියවලා ඉස්කෝලේ ඉන්න තගරියෝ ඈව කොලොප්පමට අරගෙන තියනවා. ඒත් දැන් තමන්ට එහෙම පල් පාට් දාපු උන්දලා ඉන්න රටට ම ගිහින් තමන්ගේ තරම පෙන්වන්න තරම් අන්තර්ජාතික අයිකන් එකක් බවට ඇය පත් වෙලා. පාට ගැන දුක හිතිලා පාට වැඩි කරගන්න මොකක් හරි සැත්කමක් හෙම කරා නම් ප්‍රියංකා කියන ආකර්ෂණීය ‘බ්‍රවුන් ගර්ල්’ ඉන්දියාවට ම වෙලා වාණිජ රැල්ලේ චිත්‍රපටවලට රඟ පපා ඉන්න තිබ්බා. කියන්න අමතක වුණා, කෙල්ල ලෝක රූ රැජිණත් වුණානේ.



7. ආලියා බාත්


රෝල් මොඩෙල් කෙනෙක් හොයන ඉස්කෝලේ යන වගේ ම ඉස්මාර්ට් පෝන් අත දැවටෙන කෙල්ලකට හරියන්නේ ආලියා බාත් තමයි. පළවෙනි ෆිලුම වන Student of the Year එකෙන් කට්ටිය හිතා ගත්තේ තවත් එක සීනි බෝල නිළියක් කියලා. මේන් ඊට පස්සේ එනවා Highway, Udta Punjab, Raazi… බුදු අම්මෝ. ෆිල්ම්ෆෙයාර් සම්මානෙකුත් හිමි වෙනවා ඒ රඟපෑමට නම්. සෝෂල් මීඩියාවල තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගන්න බොහෝ නිළියන් දත කන කොට ආලියා හැසිරෙන්නේ අපි පාරෙදිත් දකින අතිශය සාමාන්‍ය කෙල්ලෙක් ගාණටයි. යාළුවොත් එක්ක එළියට ගිහින් විනෝද වන, සතුන් සුරතල් කරන, ජයග්‍රහණයන් හඹා යන කෙනෙක් හැබෑ ජීවිතයකට ආදර්ශවත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *