ලංකාවේ ස්ට්‍රීට් ෆුඩ්ස් කල්චර් එක තවම ඒ තරම්ම ජනප්‍රිය නැහැනෙ. හැබැයි ඉන්දියාව කියන්නෙ ස්ට්‍රීට් ෆුඩ්ස් වලට ජනප්‍රිය රටවල් අතරින් එකක්. ඔය ෆේස්බුක් එකේ ඉන්ස්ටා එකේ ෆුඩ් වීඩියෝ බලන අය නම් දන්නව මේ කෑම වල පෙනුමෙ තියෙන රස පාට. හැබැයි ඉතින් ඉන්දියාවෙ ගියා කියල හිතේ නිදහසේ මේව කන්න බැරි පිරිසිදුකම ගැන පැහැදිලිවම අපිට තියෙන බය හින්දා. ඔන්න දැන් එයාලට ආවේණික රසකින් හා පෙනුමකින් හදන මේ කෑම කන්න එහෙ යන්නම ඕනෙ නෑ. ගෙදරදීම පිරිසිදුව ස්ට්‍රීට් ෆුඩ්ස් හදාගන්න රෙසිපි ටිකක් තමයි අද ගෙනාවෙ.
1. පානි පූරි
අවශ්‍ය දේවල්
පූරි එකට
- රුලං 100g
- තෙල් තේ හැඳි 1
- බේකින් සෝඩා පින්ච් එකක්
- ලුණු රස අනුව
- පාන් පිටි මේස හැඳි 1
- වතුර ස්වල්පයක්
ෆිලින්ග් එකට
- තම්බා පොඩියට කපාගත් අල ගෙඩි 2
- චොප් කරගත් පොඩි බී ළූණු ගෙඩියක්
- චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 1 ½
- රෝස්ටඩ් සූදුරු කුඩු තේ හැඳි 1
- චාට් මසාලා තේ හැඳි 1
- මිරිස් කුඩු තේ හැඳි ½
- ලුණු
පානි එකට
- මිංචි කොළ කප් ½
- කොත්තමල්ලි කොළ කප් 1
- චොප් කරගත් ඉඟුරු අඟල් 1 කෑල්ලක්
- චොප් කරගත් අමුමිරිස් කරල් 2-3
- සියඹලා පේස්ට් මේස හැඳි 1
- ගාගත් හකුරු මේස හැඳි 4
- රෝස්ටඩ් සූදුරු කුඩු තේ හැඳි 1
- චාට් මසාලා තේ හැඳි 1
- වතුර කප් ⅓ (බ්ලෙන්ඩ් කරන්න)
- වෙනම වතුර කප් 1 ½
- ගී බූන්දි මේස හැඳි 2 (අත්‍යාවශ්‍යම නෑ)
- මුලින්ම ෆිලින්ග් එක හදන්න අවශ්‍ය සියළුම දේවල් එකට මිශ්‍ර කරගෙන පැත්තකින් තියාගන්න.
- පානි එකට අවශ්‍ය සේරම බ්ලෙන්ඩ් කරන්න අවශ්‍ය වතුර ටික එක්ක බ්ලෙන්ඩ් කරගන්න. ඒකට ඉතිරි වතුර කප් 1 ½ ටික ටික එකතු කරන ගමන් කැමති ඝණකමකට පානි එක හදාගන්න.
- රස බලල ලුණු, පැණි රස හෝ ඇඹුල් රස වෙනස් කරගන්න පුළුවන්. මේකට බූන්දි ටික පොඩි කරල දාගෙන පානි එක ෆ්‍රිජ් එකේ තියල කූල් කරගන්න.
- පූරි හදන්න රුලං එකට තෙල්, බේකින් සෝඩා, ලුණු දමා ඇඟිලි තුඩු වලින් මිශ්‍ර කරන්න. ඒකට පාන් පිටි දමා හොඳින් කලවම් කරන්න. වතුර දානකොට ටික ටික වතුර දාන ගමන් මිශ්‍රණය ඉක්මණින් අනා ගෙන සොෆ්ට් ඩෝ එකක් හදා ගන්න.
- ටික වේලාවක් හොඳින් අනා ගෙන විනාඩි 30 පමණ තෙත රෙද්දකින් වහලා තියන්න. ඒ වගේම මේ මිශ්‍රණය ඉලාස්ටික් එකක් වගේ ඇදෙන පදමට තියන්න ඕනා.
- අවසානයට එයින් කොටස් කඩා ගෙන රෝලින් පින් එකකින් හොඳින් තුනී කර ගෙන පොඩි රවුමක් එහෙමත් නැත්තම් කටර් එකක් තියා පොඩි රවුම් කපා ගෙන ගැඹුරු තෙලේ රන්වන් වන තුරු බැද ගන්න. මේ පූරි ටික හොඳට පිම්බිලා එන්න ඕනා.
- දැන් පානි පූරි හදන්න පූරි එකේ උඩ කොටස පොඩ්ඩක් කඩලා ඒක මැදට අල මිශ්‍රණය දාගෙන ඒක උඩට පානි එක දාගන්න. මේකට කැමති නම් උඩින් සියඹලා චට්නි ටිකකුත් එකතු කරගන්න පුළුවන්. හදපු ගමන් කන්න තමා තියෙන්නෙ. නැත්නම් පූරි එක පෙඟෙනවා.
2. මොමෝස් (Momos)
අවශ්‍ය දේවල්
ෆිලින්ග් එකට
- බිත්තර 2
- කැරට් අල 1
- ලීක්ස් ගහකින් 1/2
- ගෝවා පොඩි කෑල්ලක්
- සෝයා සෝස් මේස හැඳි 2
- තක්කාලි සෝස් මේස හැඳි 2
- ලුණු
- ගම්මිරිස්
- කෑලි මිරිස් තේ හැඳි 1
- අමු මිරිස් කරල් 2
- කරපිංචා
- එළවළු තෙල්
ඩෝ එකට
- පාන් පිටි කප් 2
- එළවළු තෙල් තේ හැඳි 2
- ලුණු ස්වල්පයක්
- වතුර ස්වල්පයක්
- එළවළු සියල්ලම සිහින්ව කපා ගන්න. පෑන් එකකට තෙල් ටිකක් දමා රත් වෙනකොට කපාගත් සියල්ලම එකතු කරල තෙම්පරාදු කරගෙන ඒකට බිත්තර දෙක කඩල දාල ස්ක්‍රැම්බල් කරගෙන සෝයා සෝස් තක්කාලි සෝස්, මිරිස්, ගම්මිරිස්, ලුණු දාලා කලවම් කරගන්න. සැරට අවශ්‍ය නම් මිරිස්, ගම්මිරිස් ප්‍රමාණය වැඩි කරන්න.
- ඩෝ එක හදාගන්න පාන් පිටි වලට පොල්තෙල්, ලුණු ටිකක් දාලා හොඳින් කලවම් කරලා වතුර දාලා අනාගන්න. මේක අතේ නොඇලෙන ගාණට අනාගන්න. විනාඩි 30ක් වගේ වහල තියලා පිටි මෝලිය අරන් තුනී කරලා රවුම් හැඩයට කපා ගන්න.
- සාදා ගත්ත ෆිලින්ග් එක මැදට දාලා ඔතා ගන්න. රවුමට, පැටිස් හැඩයට මෙන්ම දිගට රෝල් එකක් වගේ හරි ඔයාලා කැමති විදියට ඔතා ගන්න. දැන් මේ මොමෝස් ටික විනාඩි 15 පමණ ස්ටීම් කර ගන්න.
3. Pav Bread රෙසිපි
ඊළඟට තියෙන ස්ට්‍රීට් ෆුඩ්ස් දෙකටම මේ පාව් බ්‍රෙඩ් එක ඕන නිසා ඒක අපි මුලින්ම හදාගෙන ඉමු.
අවශ්‍ය ද්‍රව්‍ය
- මද රස්නෙ කිරි කෝප්ප 1
- සීනි තේ හැඳි 2
- යීස්ට් ග්‍රෑම් 7
- පාන්පිටි කෝප්ප 3
- බටර් මේස හැඳි 2
- කිරි වලින් ටිකකට යීස්ට් හා සීනි දාලා යීස්ට් ඇක්ටිව් වෙනකල් විනාඩි 5ක් තියන්න.
- පාන්පිටි වලට ඇක්ටිව් වුණ යීස්ට් දාලා රස අනුව ලුණු දාලා හොඳට අනාගන්න. මේකට ඉතිරි කිරි ටික ටික දාලා විනාඩි 10ක් විතර අනලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. දැන් මේකට බටර් දාලා අනාගන්න. ඩෝ එක සොෆ්ට් වෙනකල් අනලා පැයක් පිපෙන්න තියන්න.
- ඩෝ එක පිපුනම අතින් තද කරලා වාතය එළියට යවාගෙන නැවත විනාඩි 5ක් විතර හොඳට අනලා මේක කොටස් 8කට කඩාගන්න.
- එක් එක් බෝල හොඳට නීඩ් කරලා ඔයිල් බ්‍රශ් කරපු ට්‍රේ එකක එකිනෙක ගෑවෙන්න තියාගන්න. උඩින් කිරි ටිකක් බ්‍රශ් කරලා විනාඩි 20ක් පිපෙන්න තියලා සෙල්සියස් 180°ට විනාඩි 20ක් බේක් කරගන්න.
4. Pav Bhaji
අවශ්‍ය ද්‍රව්‍ය
- බටර් මේස හැඳි 2
- චොප්කරගත් තක්කාලි ගෙඩි 3
- ග්‍රීන්පීස් කෝප්ප 1/4
- චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1/4
- තම්බා පොඩිකරගත් අල ගෙඩි 2
- මිරිස්කුඩු තේ හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/4
- බාජි මසාලා මේස හැඳි 1 (සුපර්මාර්කට් වල තියෙනවා)
- චොප්කරගත් උළුහාල් කොළ ස්වල්පයක්
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- දෙහි බෑයක යුෂ
- පෑන් එකට බටර් මේස හැඳි 1ක් දාල චොප්කරගත් තක්කාලි, බෙල්පෙපර්, ග්‍රීන්පීස් හා අල ටික එක් කරන්න. රස අනුව ලුණු දාලා හොඳට කලවම් කරගන්න. විනාඩි 2ක් වගේ පිසුනම වතුර කෝප්ප 1/4ක් වගේ දාල කලවම් කරගන්න. නැවත විනාඩි10ක් වහලා පිසගන්න.
- විනාඩි 10කින් පියන ඇරලා හොඳට පොඩි
- කරගන්න. ඊළඟට මේකට මිරිස්කුඩු, කහකුඩු, බාජි මසාලා දාලා උළුහාල් හා කොත්තමල්ලි කොළ එකතුකරලා හොඳට කලවම් කරලා පෑන් එකේ මිශ්‍රණය මැද වලක් හදලා ඉතුරු බටර් ටික දාගන්න.
- ඒ මැදට චොප්කරගත් ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාගන්න. දෙහි යුෂ එකතුකරන්න. දැන් මේක හොඳට වටේ
- මිශ්‍රණය එක්ක කලවම් කරන්න. වතුර ටිකකුත් දාගන්න. උකු වෙනකම් හින්දලා
- ලිපෙන් බාගන්න.
- වෙනම පෑන් එකකට බටර් ටිකක් දාලා මේකට බාජි මසාලා පව්ඩර් චුට්ටක් දාලා අඩු ගින්දරේ හැඳිගාන්න. මේක පෑන් එක පුරාම විසුරුවලා මැදින් කපපු පාව් බ්‍රෙඩ් එකක් බ්‍රෙඩ් එක මැද බටර් තැවරෙන්න පෑන් එකට දාලා පොඩ්ඩක් ෆ්‍රයි කරලා ගන්න.
- හදාගත්ත මිශ්‍රණය බ්‍රෙඩ් එක මැදට දාල උණුවෙන්ම පිළිගන්වන්න.
5. Street style Dabeli
අවශ්‍ය ද්‍රව්‍ය
දබේලි මසාලා (Dabeli masala) පවුඩර් එකට
- වියළි මිරිස් කරල් කිහිපයක්
- සූදුරු ස්වල්පයක්
- කුරුඳු පොතු කෑල්ලක්
- කරාබු නැටි 2
- මහදුරු ස්වල්පයක්
- කොත්තමල්ලි ඇට ස්වල්පයක්
ෆිලින්ග් එකට
- සූදුරු ස්වල්පයක්
- තුනපහකුඩු තේ හැඳි 1/2
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1/2
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- කහකුඩු තේ හැඳි ¼
- දබේලි මසාලා කුඩු තේ හැඳි 2
- තම්බා පොඩිකරගත් අල ගෙඩි 2
- ලුණු ස්වල්පයක්
- දෙහි බෑයක යුෂ
- සීනි තේ හැඳි 1
පාව් එකට
- පාව් බ්‍රෙඩ්
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- ගාලික් චට්නි ස්වල්පයක්
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- ගාගත් පොල් ස්වල්පයක්
- බැදගත් රටකජු ස්වල්පයක්
- දෙළුම් ඇට ස්වල්පයක්
- මුරුක්කු ස්වල්පයක්
- දබේලි මසාලා පවුඩර් එක හදාගන්න පෑන් එකකට අවශ්‍ය සියල්ලම දාලා විනාඩි 3-4ක් කබලේ බැදගන්න. දැන් මේ ටික ග්‍රයින්ඩ් කරගන්න.
- ෆිලින්ග් එක හදාගන්න වෙනම පෑන් එකකට සූදුරු තේ හැඳි 1/2ක් දාලා තුනපහකුඩු එකතු කරන්න. මේකට ඉඟුරු, අමුමිරිස් ටිකත් එකතු කරන්න. මේක බැදෙනකොට කහකුඩු, දබේලි මසාලා කුඩු එකතු කරන්න.
- ටිකකින් මේකට තම්බා පොඩිකරගත් අල එකතු කරන්න. රස අනුව ලුණු දාලා දෙහි යුෂ දාගන්න. හොඳට කලවම් කරලා සීනි සහ වතුර කෝප්ප 1/4ක් වගේ දාලා හොඳට කලවම් කරගන්න.
- තව විනාඩි 2-3ක් කලවම් කරලා චොප්කරගත් කොත්තමල්ලි කොළ දාගන්න.
- දැන් පාව් බ්‍රෙඩ් එක අරගෙන වෙන් නොවෙන විදියට මැදින් කපලා. බටර් ගාගන්න. ඊළඟට මේක විනාඩියක්
- පෑන් ෆ්‍රයි කරගන්න. දැන් මේකට ගාලික් චට්නි ටිකක් ගාලා දබෙලි මසාලා ෆිලින්ග් එක තියාගන්න. ගාගත් පොල් ටිකක් උඩින් අතුරලා චොප්කරගත් ළූණු දාගන්න. ඊළඟට චොප්කරගත් කොත්තමල්ලි කොළ දාලා රටකජු අතුරගන්න. කැමතිනම් දෙළුම් ඇට ටිකක් දාලා උඩින් දබේලි මසාලා කුඩු ටිකක් ඉහළා හීනි මුරුක්කු ටිකක් දාලා වහගන්න. බ්‍රෙඩ් එක රස්නෙන්ම පිළිගන්වන්න.
6. බොම්බේ මසාලා ටෝස්ට් සැන්ඩ්විච්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පෙති කිහිපයක්
- අබ ස්වල්පයක්
- එළවළු තෙල් මේස හැඳි 2
- සූදුරු ස්වල්පයක්
- චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1
- තම්බා පොඩිකරගත් අල ගෙඩි 2
- කහකුඩු තේ හැඳි 1/2
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- චාට් මසාලා තේ හැඳි 1/2
- ලුණු
සැන්ඩ්විච් එකට
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- ග්‍රීන් චට්නි මේස හැඳි 2
- ළූණු පෙති කිහිපයක්
- තක්කාලි පෙති කිහිපයක්
- බටර් ස්වල්පයක්
- බෙල්පෙපර් පෙති කිහිපයක්
- මුරුක්කු ස්වල්පයක්
ග්‍රීන් චට්නි එකට
- කොත්තමල්ලි කොළ කප් 2
- මිංචි කොළ කප් 1
- අමුමිරිස් කරල් 4
- ඉඟුරු අඟල් ½ කෑල්ලක්
- සුදුළූණු බික් 2
- සූදුරු ඇට තේ හැඳි 1
- ලුණු
- දෙහි
- පොල් මේස හැඳි 2
- මුලින්ම ග්‍රීන් චට්නි හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය සේරම වතුර මේස හැන්දක් දෙකක් එකතු කරල ඝණ පේස්ට් එකක් එන්න බ්ලෙන්ඩ් කරගන්න. පාවිච්චි කරනකම් ෆ්‍රිජ් එකේ තියන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාගන්න.
- ටිකකින් අබ දාල, ඊළඟට සූදුරු හා ඉඟුරු දාලා බැදෙන්න ඇරලා අල ටික දාගන්න.
- කහකුඩු, මිරිස්කුඩු, චාට් මසාලා හා ලුණු එකතු කරගන්න. හොඳට කලවම් කරලා චොප්කරගත් කොත්තමල්ලි කොළ දාගන්න. ටිකකින් ආලු මසාලා එක ලිපෙන් බාගන්න.
- පාන්පෙති වල ග්‍රීන් චට්නි ගාලා උඩින් ළූණු පෙති ටිකක් තියන්න. ඊළඟට තක්කාලි පෙති තියලා චාට් මසාලා පොඩ්ඩක් ඉහගන්න. දැන් ආලු මසාලා හැන්දකින් අරන් හොඳට ගාලා බෙල්පෙපර් පෙති ටිකක් තියාගන්න. ඊළඟට පාන් පෙත්තෙන් වහලා උඩින් බටර් ගාගන්න.
- මේක පෑන් ෆ්‍රයි කරගන්න. ලිපෙන් බාලා උඩින් ග්‍රීන් චට්නි ටිකක් දාලා මුරුක්කු ඉහගෙන කෑමට ගන්න.
Leave a Reply