පොත් කියවන, පොත් හුවමාරු කර ගන්න එකත් හරි විදියට කරන්න ඕන, මෙන්න ඒකට උපදෙස්!

දැන් ඔය පොත් කියවන අය ඉන්නවනේ. සමහර වෙලාවට පොත් කියවනවා කියලා පෙන්නගෙන අපිට පොත් පෙරලන අයත් ඉන්නවා. ඔයා ඒ කොයි විදියේ කෙනෙක් වුණත් ඒක අපිට ගැටළුවක් නෑ. ඒක තමන් ගැටළුවක් කරගන්න අවශ්‍යත් නෑ. හැබැයි ඉතින් අපි එදිනෙදා ජීවිතේදී, සමාජයේදී කරන කියන ඕනම දේක සදාචාරාත්මක පැත්තක්, පිළිපදින්න ඕන ආචාර ධර්ම තියෙනවනේ. අන්න ඒ සදාචාරය, ආචාර ධර්ම පොත් කියවන එකට, පොත් හුවමාරු කරගන්න එකට පවා අදාළ වෙනවා. අන්න එතකොට තමයි පොත් කියවන කරන එක වුණත් තවත් කෙනෙක්ට හෝ තමන්ට කරදරයක් නැතුව කරන්න පුළුවන් දෙයක් වෙන්නේ. ආන්න ඒකට අදාළ ටිප්ස් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නේ. 

 

1. ගත්තොත් ආයෙමත් අහනකන් ඉන්නෙ නැතුව රිටර්න් කරන්න

මෙන්න මේක තමයි තව කෙනෙක්ගෙන් ඉල්ලගෙන පොත් කියවනවා නම් අනුගමනය කරන්න ඕන ගෝල්ඩන් රූල් එක. පොතක් කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය ඉල්ලගෙන ඇවිත් අමතක කරන දෙයක්. සමහරු ඇත්තටම කියවන්නත් නෙවෙයි පොත් ඉල්ල ගන්නේ. සමහරු ඇත්තටම කියවන්න හිතාගෙන පොතක් ඉල්ල ගත්තත්, ඒක ටික දවසකින් අමතක වෙලා යනවා. ආන්න ඒ නිසා, තමන් පොතක් ඉල්ලගන්නවා කියන්නේ වගකීමකට බැඳෙනවා කියන එක අවබෝධ කරගන්න. විශේෂයෙන්ම හොඳ දෙයක් තමයි, පොතක් ඉල්ල ගන්න කලින්, ඒක ආයෙමත් භාර දෙන දිනයක් ගැන සාකච්ඡා කරන එක. උදාහරණයක් විදියට මුලින් හිතලා බලන්න ඕන තමන්ට තියෙන වැඩ, තමන්ගේ කියැවීමේ වේගය එක්ක තමන්ට පොත රිටර්න් කරන්න පුළුවන් කොයි කාලෙද කියලා. අවුරුද්දක් වත් යයිද? එහෙමනම් කරුණාකරලා පොත ඉල්ල ගන්න එපා. හැබැයි අපිට සති දෙකකින් නැතිනම් මාසෙකින් දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම්, අන්න “සති දෙකෙන් කියෝලා දෙන්නම්” කියලා ඉල්ලගන්න. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අනිවාර්යයෙන්ම පොත කියවන එක තමයි. ආයෙ සති දෙකකින් කියවන්න බැරි වුණොත්, හරිම දේ නොකියවා හරි පොත රිටර්න් කරන එක. හිතවත්ම කෙනෙක් නම් තව සති දෙකක කාලය දීර්ඝ කිරීමක් ඉල්ල ගන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ආයෙ ඇද ඇද ඉන්න එපා. තමන්ට කියවන්න වෙලාවක් නැති නම්, පොත රිටර්න් කරන්න. කියවලා ඉවර නම් ඒත් පොත රිටර්න් කරන්න. ආයෙ අයිතිකාරයා පොත ගැන අහනකල් ඉන්න එක කැතම කැතයි!

 

2. අහන්නෙ නැතුව කවර දාන්න යන්න එපා

මේක ඔය ගොඩක් වෙලාවට හිත හොඳ දාසලා කරන වැඩක්. ඒ තමයි තමන් පොතක් ඉල්ල ගත්තහම අයිතිකාරයාගෙන් අහන්නෙ නැතුව ඒකට කවර දාන්න යන එක. ඇත්තටම හොඳ හිතින් තමයි කරන්නේ, හැබැයි සමහරු කැමති නෑ තමන්ගේ කියවන්න ගත්ත පොතකට වෙන වෙන කවර දාලා තියෙනවට. ආන්න ඒ නිසා විශේෂයෙන්ම ඔය ඉටි කවර දාලා ස්ටේප්ලර් කරන්න, කවර දාලා සෙලෝටේප් කරන්න වගේ පණ්ඩිත වැඩ කරන්න යන්න එපා. අවශ්‍ය නම් මෙහෙම කරන්න පුළුවන්. තමන් පොත ඉල්ලගෙන ආවට පස්සේ ඔය පත්තර කඩදාසියකින් වගේ කවරයක් දාන්න පුලුවන්. හැබැයි ස්ටෙප්ලර්, සෙලෝටේප් වගේ දේවල් ගාවගන්නවත් එපා. අන්න එතකොට තමන් අතින් පොතේ කුණු ගෑවෙන්නෙත් නෑ, පොත ආයෙ රිටර්න් කරන කොට කවරේ ගලවලා දාන්න විතරයි තියෙන්නෙත්. 

 

3. අතින් අත යවන්න එපා

මෙන්න මේක නම් ඔය පොත් ඉල්ලගන්න මිනිස්සු කරන හරිම කැත වැඩක්. ඒ තමයි පොත් අතින් අත යවන එක. ගොඩක් වෙලාවට පොතක අයිතිකාරයෙක් අපිට පොතක් දෙන්නේ අපි ගැන ලොකු විශ්වාසෙකින්. මොකද, පොතක් කියන්නේ ගොඩක් වෙලාවට පිටට දුන්නහම ආපිට නොලැබෙන දෙයක් කියන විශ්වාසය ගොඩක් දෙනෙක්ට තියෙන නිසා. එතකොට අපි ගැන විශ්වාස කරලා අපිට කියවන්න පොතක් දෙන්නේ තව කෙනෙක්ට දෙන්න නෙවෙයි. විශ්වාසය ඒ තරම් දුරට දිගු වෙන්නෙ නෑ. ආන්න ඒ නිසා, අපි කියවන්න කියලා ඉල්ලගත්තු පොතක් තව කෙනෙක්ට දෙන්න එපා. මොකද, ඒ කෙනා පොත අපි වගේ පරිස්සමකින් කියවන්නෙ නැති වෙන්න පුළුවන්. වෙන කෙනෙක් අතින් පොත නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම පොතක් අතින් අත යනකොට, අර මුලින් ඉල්ල ගත්තු කෙනාට තියෙන වගකීම එතනින් එහා අයට දැනෙන්නෙත් නැති වෙන්න ඉඩ වැඩියි!

 

4. ඩෝග් ඉයර් කැතම කැතයි!

දැන් අපි පොතක් කියවනකොට එක හුස්මට ඉවර වෙනකල් කියවගෙන යන්නේ කලාතුරකින්නේ. අපිට පොත පැත්තකින් තියලා වෙන වැඩ වලට නැගිටින්න සිද්ධ වෙන්න පුළුවන් එහෙම නැතිනම් පොත කියවන එකෙන් වෙන යම් දේකට අවධානය දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතකොට අපිට කියව කියව හිටපු තැන එක්කෝ මතක තියාගන්න වෙනවා. එහෙම නැතිනම් කියව කියව හිටපු තැන මාක් කරගන්න ඕන වෙනවා. ආන්න ඒකට සමහරු කරන්නේ පොත කියවමින් හිටපු තැන කොළය උඩින් නවන එක. අන්න ඒක බොහොම කැත වැඩක්. ඒක පොතට හානියක්. අන්න ඒ නිසා කරුණාකරලා බුක්මාර්ක් එකක් දාගන්න. ඒ බුක්මාර්ක් එකත් අනවශ්‍ය විදියට ලොකු නැති එකක් වෙන්නත් ඕන කියන එක මතක තියාගන්න. නැතිනම් පොතේ බැම්මට හානි වෙන්න පුළුවන්.

 

5. ආයෙ ඉල්ලන්න මැලි වෙන්න එපා

මේක පොත් දෙන අය හිතට ගන්න ඕන දෙයක්. දැන් අපි ඔය සමහරුන්ට ණය එහෙම දෙනවනේ. එහෙම ණයක් එහෙම දුන්නහම අපිට ඉල්ලන්න මොකද්ද මොකද්ද වගේනේ. අපිට හිතෙනවනේ එහෙම ඉල්ලන එක කැතයි වගේ කියලා. එහෙම එකක් නෑ. අපි දුන්නු දෙයක් නියම පොරොන්දු වුණු වෙලාවට අපිට ලැබෙන්නේ නැති නම් අපි ගිහින් ඉල්ලන්න ඕන. විශේෂයෙන්ම පොත් පත් සම්බන්ධයෙන් එහෙමයි. අපි කෙනෙක්ට පොතක් දෙනවා නම්, ආයෙ පොත දෙන්න පුළුවන් කොයි කාලෙද කියන එක මතක් කරලා අහන්න ඕන. ඊට පස්සේ, ඒ කාලේ පැන්නට පස්සේ තව ටික දවසක් දීලා, පොත ආයෙ ලබාදෙන්න කියලා මතක් කරන්න ඕන. එහෙම නැතුව “අනේ ඔය දීපුවා ඉල්ලන්න ලැජ්ජයි” කියලා හිටියොත් ගොඩක් දුරට පොතත් ආයෙ දකින්න නොලැබෙන්න පුළුවන්!

 

6. ස්පොයිල් කරන්න එපා!

දැන් ඔන්න අපෙන් කවුරුහරි පොතක් ඉල්ලනවා. එතකොට අපි පොත දෙන ගමන් පොත ගැන වර්ණනා කරනවා. එහෙම නැතිනම් ඉල්ලන කෙනා එක්ක පොත ගැන සාකච්ඡාවක් යනවා. අපි ඉතින් පොත ගැන කතා කරන උද්දාමයෙන් පොතේ ස්ටෝරියත් දඩස් ගාලා කියලා දානවා! ඒ මොකද්ද ඕයි කළේ? පොතක් කියවන එකේ ආතල් එක ප්‍රධාන වශයෙන් එන්නේ ඉස්සරහට මොනවද වෙන්නෙ කියලා නොදන්නවා නං තමයි. ඒක අපි කිව්වට පස්සේ ආයෙ පොත කියෝලා වැඩක් තියෙනවද? ආන්න ඒ නිසා එහෙම ස්පොයිලර් කෙනෙක් වෙන්න එපා. ඕක පොත දෙන මිනිහට විතරක් නෙවෙයි, පොත අරගෙන යන මිනිහටත් අදාළයි. තමන් පොත ගන්නේ අයිතිකාරයා කියවන්නත් කලින් නම්, පොත කියවලා අයිතිකාරයාට රිටර්න් කරනකොට පොතේ කතාවත් කියන්න යන්න එපා. ඔන්න දෙන්නම පොත කියවලා නම්, පොතේ කතාව ගැන දෙන්නට සාකච්ඡා කරන්න පුළුවන්. ආන්න ඒක ඉතාම හොඳ දෙයක්.

 

7. ඇත්තටම කියවන්න!

ඇත්තටම ඔය ගොඩක් පොත් ඉල්ලගෙන යන මිනිස්සු ඉන්නවා, ෂෝ එක විතරයි. කියවන්නෙ නෑ මළාට. පොතක් ඉල්ලගෙන යන්නේ එක්කෝ අර දැක්කහම ඉල්ලගෙන යන්න ඕන කියන ආසාවට. එහෙම නැතිනම් තමනුත් පොත් කියවනවා කියලා පෙන්නන්න තියෙන වුවමනාවට. ඒක කොහොම වුණත්, ආචාර සම්පන්න නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. තමන් කෙනෙක්ගෙන් පොතක් ඉල්ලගෙන යනවා නම්, ඒ ඉල්ලගෙන යෑමේ තේරුමක් තියෙන්න ඕන. ඒ ඉල්ලගෙන යෑමේ තේරුම තියෙන්නේ තමන් පොත කියවනවා නම්. එච්චරයි. 

 

8. නැති වුණොත් ගෙවන්න!

යම් හෙයකින් තමන් අතින් ඉල්ලාගත්තු පොතක් නැති වුණොත්? ඒක පිළිගන්න පුළුවන් වැරැද්දක් නෙවෙයි. අපි වගබලා ගන්න ඕන අපි පොතක් කෙනෙක්ගෙන් ඉල්ල ගත්තොත්, ඒක දිවිහිමියෙන් ආරක්ෂා කරන්න. ඇයි එහෙම කියන්නේ? සියලු දේ අනිත්‍යයි නම් පොත් වුණත් අනිත්‍යයි නේද? එහෙම නෑ. පොත අයිතිකාරයා අතින් පොතට මොනවා හරි වුණොත්, එයා හිත හදාගනී සියළු දේ අනිත්‍යයි කියලා. හැබැයි අපි අතින් නැති වෙන එක සෑහෙන්න ප්‍රශ්නයක්. මොකද, සමහර වෙලාවට ඒ පොත ආයෙ ප්‍රින්ට් එකේ නැතිවෙන්න පුළුවන්. ඒ පොත ප්‍රින්ට් එකේ තිබුණත්, අපි ගාව තිබුණු මුල් කාලේ මුද්‍රණයක තියෙන වටිනාකම, අලුතින් එන ප්‍රින්ට් එකක නැති වෙන්න පුළුවන්. ඒ පොතේ කතුවරයාගේ සමරු සටහනක් එහෙම තියෙනවා නම්, ඒ පොත දුන්නු විශේෂ කෙනෙක් ඉන්නවා නම්, අයිතිකාරයාට පොතත් එක්ක සෙන්ටිමෙන්ටල් බැඳීමක් තියෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, කළ යුතු දේ තමයි පොතක් ඉල්ලා ගත්තොත්, ඒක අපි අතින් නැති නොවෙන බවට, හානි නොවෙන බවට ෂුවර් කරගන්න එක. පොත උපරිමයෙන් පරිස්සම් කරන එක.

 

හැබැයි මොකක් හරි කරුමයක් නිසා පොත අපේ අතින් නැති වුණොත්, වහාම සමාව ඉල්ලලා, පුළුවන් නම් ඒ පොත හොයලා ආපිට ලබාදෙන්න. බැරි නම් අඩු ගාණේ පොතේ වටිනාකම හරි ගෙවන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *