ආතල් සැපයීමේ සහ ආතල් විඳීමේ ජාතියක් විදියට කොමඩි කියන්නේ අපේ ජීවිතයට සෑහෙන සමීප දෙයක්. අන්න ඒ නිසාම බයිස්කෝප් කර්මාන්තයේ කොමඩි පැත්තට අපි හරි හරියට ආසා කරා. අදටත් ආසා කරනවා. හැබැයි ඒ ආසාව තිබ්බ පළියට බයිස්කෝප් එකක් විඳින්න බැහැනේ. ඒකට රඟපාන ඇත්තන්ගේ දක්ෂතාව ඕනි කරනවා. නැත්තම් බලෙන් කිති කවාගෙන හිනා වෙන්න වෙන්නේ. අන්න එහෙම දක්ෂතාවයකින් අපේ රටේ ඇත්තන්ට ගොඩක් සමීප වුණ කොමඩි රජවරු කීප දෙනෙක් ගැනයි මේ කතාව.
1. රෝවන් ඇට්කින්සන්
නමින් පුරුදු නැත්නම් ඒක පිළිගන්න පුළුවන් දෙයක්. මොකද කොයි කවුරුත් මෙයාව දන්නේ මිස්ටර් බීන් කියලයි. බීන් කියන්නේ කොමඩි පුරාවෘත්තයක්. සුන්දර ළමා මතකයක්. VHS එකෙන් කොයි තරම් නම් මොහුගේ රංගනය බලලා අපි සතුටු වුණාද? දෙයියම්පා මේ මනුස්සයා ඒවායේ වචනයක්වත් කතා කරේ නැහැ නෙව. බීන් විදියට විතරක්ම නෙවෙයි ජොනී ඉන්ග්ලිෂ් කියලත් ප්‍රසිද්ධයි නේ. සිනමාවෙන් සමුගන්නවාය දැන් රඟපෑවා ඇතිය වගේ කතා විඩෙන් විඩ කිව්වත් මොකෝ ජොනී ඉන්ග්ලිෂ් 3 එළියට දැම්ම ලොක්කා මේ අවුරුද්දේ දී. හැබැයි ඉතින් බීන් විදියට නම් රඟපෑවේ 2007දී. දැන් වයස 63ක් වෙනවා කියන්නේ.
2. ජැකී චෑන්
ඇක්ෂන් කොමඩි කියන ශානරයේ හොඳම අත්දැකීම ලබා දුන්නේ මේ උත්තමයා කියලා බය නැතුව කියන්න පුළුවන්. මෑතක රඟපාපු The Foreigner (2018) වගේ චිත්‍රපටවල නම් සීරියස් පිට හිටියට මොකෝ හොඳම මතක තියෙන්නේ කොමඩි සීන් එකේ තමයි. Rush Hour, Drunken Master, Skiptrace (2016), Rob-B-Hood (2006) වගේ ඒවා එහෙම මතක හිතෙන දේවල් අතරින් කීපයක්. අනික මනුස්සයෙක් විදියට ඉතාම හොඳ පුද්ගලයෙක්. වරක් මොහුගේ කොමඩි රංගනය ගැන ප්‍රශ්න කරපු වෙලාවක උත්තරේ වුණේ ඒ මග ගත්තේ මිනිස්සු සතුටු කරන්න ඕනි නිසා ය කියලයි.
3. ජොනී ලීවර්
දැන් යන්නේ අල්ලපු රටට. මෙව්වා නම් ඉතින් සුපිරි ටැලන්ට් තමයි. ජොනීගේ රඟපෑමට ඇත්තටම මේ කරන්නේ රඟපෑමක් ද කියලත් හිතෙනවා. කොමඩි තාත්විකව රඟපාන එක මොන තරම් වුණත් ඒ දේ හරියට ම කරපු කෙනෙක් තමයි මේ. ප්‍රධාන නළුවා විදියට සික්ස් පැක් ආපු බයිසිකල් හැඬල් ගිලපු නළුවෙක් ඉන්නකොට ජොනීලා සහය නළුවෝ. හැබැයි චිත්‍රපටය ලස්සන වෙන්න ඕනිත් ජොනී ලා තමයි. කරන් ජෝහාර්ගේ Kabhi Khushi Kabhie Gham (2001) චිත්‍රපටයේ හල්වායි හල්දිරාම් මතක් වුණත් ඇස්වලින් කඳුළු පනිනකන් හිනා වෙන්න පුළුවන්. වයස 61ක් වෙනවා.
4. වඩිවේලු
තාමත් ඉන්නේ ඉන්දියාවේ තමයි. හැබැයි ලංකාවට ටිකක් ළං වෙන්න. තමිල්නාඩුව එක්ක කොච්චර ඇරියස් තිබ්බත් ඒ ඔක්කොම පොඩි වෙලාවකට අමතක වෙනවා දෙමළ පිච්චර් එකක් බැලුවම. කොමඩි කියන එක දෙමළ චිත්‍රපටවල ගොඩක් වෙලාවට අනිවාර්ය අංගයක්. ඒ තැන දී ගොඩක් දැකලා පුරුදු පුද්ගලයෙක් තමයි මේ වඩිවේලු. එයාට හරිම අකරතැබ්බ තමයි වෙන්නේ. කතා කරන විදියත් මේ දැන් ඇහෙනවා ඇහෙනවා වගෙයි. Villu (2009), Pokkiri (2007), Mersal (2017), Kaavalan (2011), Vaseegara (2003) වගේ විජෙයි රඟපාපු බොහොමයක් චිත්‍රපටවල කොමඩි කින්ග් වුණේ වඩිවේලු. Villu චිත්‍රපටයේ එන මේ ගීතය මතකයි නේද?
5. කෙවින් හාර්ට්
කෙවින් හාර්ට් කියන්නේ දැන් නම් විදියක උන්මාදයක්. මේ මනුස්සයා රඟපාන්න ඕනි නැහැ, එයාට ම අනන්‍ය වෙච්චි විදියට හිනා වුණා නම් ඒ ඇති ඉළ ඇදෙනකන්ම හිනා වෙන්න. ඇෆ්රෝ ඇමරිකානුවන්ට උරුම වාග්විලාසයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න නිසාදෝ එන්න එන්න ම ජනප්‍රියත්වය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. Ride Along, Get Hard (2015), Central Intelligence (2016), Jumanji: Welcome to the Jungle (2017) වගේ චිත්‍රපට ඔහුගේ චිත්‍රපටවලින් හොඳ ම ඒවා. ඩ්වේන් රොක් ජොන්සන් එක්ක චිත්‍රපටවල රඟපාන්න ජෝඩු වුණත් හරි හාර්ට්ගේ කොමඩි බමරේ කලින්ටත් වඩා හොඳට වැල්ලේ කරකැවෙන්න පටන් අරන් තියෙනවා. චිත්‍රපට විතරක්ම නෙවෙයි, තමන්ටම කියලා කොමඩි ෂෝ එහෙමත් තියෙනවා.
6. අයිස් කියුබ්
මනුස්සයෙක්ට හිනා නොවී කොමඩි කරන්න බැහැ කියලා කවුරුහරි කිව්වොත් ඒ යකාට ගහලා අයිස් කියුබ්ව පෙන්නන්න ඕනි. ඇත්තටම අනික් කොමඩි නළුවොන්ගේ තියෙන සිරික්කිය මෙයා ළඟ නැහැ. බුම්මගෙන තමයි ඉන්නේ. හැබැයි කොමඩි කප්පිත්තෙක්. Ride Along, Are We There Yet? (2005), Are We Done Yet? (2007) කියන්නේ ලංකාවේ අපි අතර ජනප්‍රිය වුණ මොහුගේ සුපිරිම චිත්‍රපට කිහිපයක්. කොමඩි සීන් එකට අමතරව ප්‍රොෆෙෂනල් රැපර් කෙනෙකුත් කියහන්කෝ.
7. විවේක්
මෙයාටත් වඩිවේලුගේ සෙතේම තමයි. කොයි වෙලේ බැලුවත් අකරතැබ්බ. හැබැයි ඒවා දැකලා දුක් වෙනවා වෙනුවට අපිට හිනා යනවා. ඒක තමයි මනුස්සයාගේ දක්ෂකම. දෙමළ සිනමාවට තවත් නැතුව ම බැරි කොමඩි චරිතයක්. තුන් පාරක් ම හොඳම කොමඩි නළුවට ෆිල්ම්ෆෙයාර් සම්මානය ගත්තා කිව්වම හිතන්නකෝ කොමඩි කෙරිල්ලේ දිග පළල! Run (2002), Saamy (2003), Velaiyilla Pattathari (2014) වගේ චිත්‍රපට බලලා ඇත්නම් ඔබටත් මතක ඇති.
Leave a Reply