රසම රස චීස් කේක් හදාගන්න රෙසිපි 7ක්

අද අපි ඔයාලට ගෙනාවේ ලෝකෙ පුරාම ජනප්‍රිය ඒ වගේම ගොඩක් රසවත් කේක් වර්ගයක් වන චීස් කේක් රෙසිපියි. චීස් කේක් හදන ගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නෙ ක්‍රීම්චීස්. ලංකාවේ නම් ටිකක් මිලෙන් අධික උනත් රස වැඩි නිසාම චීස්කේක් කන්න ගොඩක් අය ආසයි. මේ චීස් කේක් හදාගන්න ක්‍රම ගොඩාක් තියනවා. අද ඒවයින් කිහිපයක් අපි කියලා දෙන්නයි යන්නෙ. 

 

1. පිලිපිනෝ බේක්ඩ් මැන්ගෝ චීස්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් ඉදුණු අඹ ගෙඩි 1
  2. ක්‍රීම්චීස් ග්‍රෑම් 500
  3. සීනි ග්‍රෑම් 250
  4. පාන්පිටි ග්‍රෑම් 30
  5. බිත්තර 2
  6. විපින් ක්‍රීම් මි.ලී. 250
  7. දියකරගත් බටර් ග්‍රෑම් 100
  8. දෙහි යුෂ ස්වල්පයක්
  9. කුඩුකරගත් බටර් කුකීස් ග්‍රෑම් 120

 

  • කුඩුකරගත් බිස්කට් හා බටර් කලවම් කරගන්න. මේක බේකින් ට්‍රේ එකේ අඩියට දාලා හැන්දකින් තද කරගන්න. 
  • අඹ ගෙඩිය කෑලි කරලා බ්ලෙන්ඩ් කරගන්න. සීනි හා ක්‍රීම්චීස් එකට බීට් කරගන්න. මේකට අඹ පියුරි එකත් දාගන්න. 
  • ඊළඟට විප් ක්‍රීම් දාලා දිගටම බීට් කරගන්න. බිත්තර එකින් එක දාලා බීට් කරගන්න. පාන්පිටි ටිකත් දාලා කලවම් කරලා අන්තිමට දෙහි යුෂ ටික දාගන්න. 
  • දැන් මේ බැටර් එක බිස්කට් ලේයර් එක දාපු පෑන් එකට දාලා 180°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 40ක් බේක් කරගන්න. 

 

2. ජර්මන් චීස් කේක් (German Cheesecake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බටර් කෝප්ප 1/2
  2. සීනි කෝප්ප 1/2
  3. බිත්තර 2
  4. බේකින් පව්ඩර් තේ හැඳි 1
  5. පාන්පිටි කෝප්ප 1 ¼ 
  6. ක්‍රීම්චීස් ග්‍රෑම් 500
  7. වෙනම සීනි කෝප්ප 3/4
  8. වැනිලා ස්වල්පයක්
  9. වැනිලා පුඩින් මික්ස් පැකට් 1
  10. බිත්තර කහමද 2
  11. කිරි කෝප්ප 2 ¼ 
  12. ලෙමන් යුෂ මේස හැඳි 2

 

  • බෝල් එකකට බටර් හා සීනි කෝප්ප 1/2 දාලා බීට් කරගන්න. පිටි වලට බේකින් පව්ඩර් මික්ස් කරලා හලාගන්න. බටර් සීනි මික්ස් එකට බිත්තර එකතු කරල බීට් කරගන්න. ඒකට පාන්පිටි එකතු කරගන්න. බේකින් පෑන් එකට දාගන්න. 
  • වෙනම බෝල් එකක ක්‍රීම්චීස්, සීනි කෝප්ප 3/4, පුඩින් මික්ස් එක ස්මූත් වෙනකල් බීට් කරන්න. මේකට බිත්තර කහමද, කිරි හා ලෙමන් ජුස් දාලා නැවත බීට් කරන්න. 
  • මේ මිශ්‍රණයත් බේකින් පෑන් එකට ඊලඟ ලේයර් එක විදියට දාගන්න. 
  • සෙල්සියස් 175°C ට ප්‍රීහීට් කරගත් අවන් එකක මේක විනාඩි 45ක් බේක් කරගන්න. 

 

3. බේක්ඩ් චොක්ලට් කැරමල් චීස්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

බේස් එකට

 

  1. කුඩුකරගත් බටර් කුකීස් 10-12
  2. කොකෝවා පව්ඩර් කෝප්ප 1/2
  3. සීනි කෝප්ප 1
  4. මෙල්ට් කරගත් බටර් කෝප්ප 3/4

 

චීස් මිශ්‍රණයට 

 

  1. සීනි කෝප්ප 2
  2. වතුර කෝප්ප 3/4
  3. හෙවි ක්‍රීම් කෝප්ප 1 1/2
  4. චොප්කරගත් චොක්ලට් ග්‍රෑම් 150
  5. සවර් ක්‍රීම් කෝප්ප 3/4
  6. ක්‍රීම්චීස් ග්‍රෑම් 250
  7. බිත්තර 4
  8. වැනිලා ස්වල්පයක්

 

  • බිස්කට් ටික බ්ලෙන්ඩර් එකට දාලා කුඩු කරගන්න දැන් මේකට මෙල්ට් කරගත් බටර්, කොකෝවා පව්ඩර් හා සීනි දාලා නැවත බ්ලෙන්ඩ් කරගන්න. මේක පෑන් එකේ යටට දාලා හැන්දකින් තදකරගන්න. 
  • වෙනම භාජනයකට සීනි කෝප්ප 2ක්  දාලා වතුර දාලා ලිපේ තියන්න. අඩු ගින්දරේ රත්කරගන්න. ටික ටික පාට වෙනස් වෙලා කැරමල් එක හැදෙනවා පෙනෙයි. අඩු ගින්දරේ කැරමල් එක හැදුනම ලිපෙන් බාගන්න. 
  • නිවෙන්න තියලා මේකට හෙවි ක්‍රීම් හා චොක්ලට් ටික දාලා චොක්ලට් දියවෙනකල් හැඳිගාන්න. චොක්ලට් දිය උනාම සවර් ක්‍රීම් ටික දාලා හැඳිගාන්න. 
  • වෙනම බෝල් එකකට ක්‍රීම්චීස් ටික දාලා බීට් කරගන්න. හොඳට ෆ්ලෆ් වෙනකල් බීට් කරලා චොක්ලට් කැරමල් එක එකතු කරන්න. 
  • බිත්තර එකින් එක එකතු කරන්න. වැනිලා එකතු කරන්න. හොඳට කලවම් කරලා බේස් එක දාගත්ත බේකින් පෑන් එකට දාගන්න. දැන් මේ පෑන් එක වතුර පුරවපු ට්‍රේ එකක් මැද තියලා සෙල්සියස් 175°ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 50ක් වගේ බේක් කරගන්න. 

 

4. නෝ බේක් මැංගෝ චීස් කේක් (No bake mango cheesecake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

බේස් එකට

 

  1. කුඩුකරගත් බටර් කුකීස් ග්‍රෑම් 120
  2. දියකරගත් බටර් ග්‍රෑම් 60

 

චීස් මිශ්‍රණයට 

  1. ජෙලටින් තේ හැඳි 3
  2. ක්‍රීම්චීස් ග්‍රෑම් 250
  3. යෝගට් 1
  4. කෑලි කපා බ්ලෙන්ඩ් කරගත් අඹ ගෙඩි 1
  5. විප් ක්‍රීම් ග්‍රෑම් 100
  6. දෙහි යුෂ ස්වල්පයක්
  7. සීනි ග්‍රෑම් 50

 

අඹ ලේයර් එකට 

  1. ජෙලටින් තේ හැඳි 1 ½ 
  2. කෑලි කපා බ්ලෙන්ඩ් කරගත් අඹ ගෙඩි 1
  3. සීනි ග්‍රෑම් 30

 

  • බිස්කට් වලට මෙල්ට් කරගත් බටර් ටික දාලා කලවම් කරලා කේක් ට්‍රේ එකේ අඩියට දාගන්න. මේක විනාඩි 15ක් ෆ්‍රිජ් එකේ තියන්න. 
  • ජෙලටින් වලට ලා රස්නෙ වතුර ටිකක් දාලා දියකරගන්න. ක්‍රීම්චීස් හා සීනි බීට් කරගන්න. මේකට දෙහි යුෂ එකතු කරන්න. ඊළඟට යෝගට් එක එකතු කරන්න. මේකට ජෙලටින් ටික දාලා විස්ක් කරගන්න. 
  • විප් ක්‍රීම් ටික වෙනම බීට් කරලා එකතු කරන්න. බ්ලෙන්ඩ් කරගත් අඹ පියුරි එකත් එකතු කරන්න. කලවම් කරලා බේස් එක දාපු කේක් ට්‍රේ එකට දාගන්න. මේක පැය 4ක් ෆ්‍රිජ් එකේ දාගන්න. 
  • ඊළඟට අඹ ලේයර් එක හදන්න ජෙලටින් වලට මද උණුසුම් වතුර ටිකක් දාලා දියකරගන්න. පෑන් එකකට වතුර කෝප්ප කාලක් දාලා අඹ පියුරි එක දාලා කලවම් කරගන්න. ඊළඟට සීනි ටික දාලා උතුරවගන්න. 
  • මේකට ජෙලටින් ටික දාලා කලවම් කරලා නිවෙන්න තියලා ක්‍රීම්චීස් මිශ්‍රණය උඩින් දාගන්න. තවත් පැය 2ක් ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න. 

 

5. ලෙමන් මරෑංග් චීස් කේක් (Lemon Meringue Cheesecake) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

බේස් එකට

  1. කුඩු කරගත් බටර් කුකීස් 15-18
  2. මෙල්ට් කරගත් බටර් කෝප්ප ¼

 

චීස් මිශ්‍රණයට 

  1. ක්‍රීම්චීස් ග්‍රෑම් 250
  2. සීනි කෝප්ප 1
  3. සවර් ක්‍රීම් කෝප්ප 1
  4. බිත්තර 4
  5. ලෙමන් යුෂ කෝප්ප 1/4
  6. ග්‍රේට්කරගත් ලෙමන් ගෙඩියක පොතු

 

ටොපින් එකට

  1. බිත්තර සුදුමද 4
  2. සීනි කෝප්ප 1/4
  3. ක්‍රීම් ඔෆ් ටාටාර් තේ හැඳි1/4

 

  • කුඩුකරගත් බිස්කට් හා බටර් කලවම් කරලා ට්‍රේ එකේ අඩියට දාල තද කරල බේස් එක දාගන්න.
  • ක්‍රීම්චීස්, සවර් ක්‍රීම් හා සීනි කෝප්ප 1ක් එකතු කරලා බීට් කරගන්න. බිත්තර එකින් එක දාලා බීට් කරගන්න. 
  • මේකට ලෙමන් ජූස්, වැනිලා, ලෙමන් පොතු ටික දාලා හොඳට කලවම් කරගන්න. මේ මිශ්‍රණය කලින් සාදාගත් ට්‍රේ එකට දාලා සෙල්සියස් 170ට ප්‍රීහීට් කරගත් අවන් එකට දාලා විනාඩි 40ක් බේක් කරගන්න. 
  • බේක් කරගත් කේක් එක නිවෙනකල් ටොපින් එක හදමු. නැවත අවන් එක ප්‍රීහීට් වෙන්න දාන්න. බිත්තර සුදුමද බීට් කරන්න. සීනි හා ක්‍රීම් ඔෆ් ටාටාර් දාලා ස්ටිෆ් වෙනකල් හොඳට ස්ටිෆ් වෙනකම් බීට් කරගන්න. දැන් මේක කේක් එක උඩින් දාලා තව විනාඩි 10ක් බේක් කරගන්න. 

 

6. ක්‍රීමි චීස්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

බේස් එකට

  1. කුඩුකරගත් බටර් කුකීස් 10-12
  2. මෙල්ට් කරගත් බටර් කෝප්ප ¼

 

චීස් මිශ්‍රණයට 

  1. ක්‍රීම්චීස් ග්‍රෑම් 250
  2. බිත්තර 2
  3. සීනි කෝප්ප 3/4
  4. වැනිලා තේ හැඳි 2
  5. ග්‍රේට්කරගත් ලෙමන් පොතු ස්වල්පයක්

 

ටොපින් එකට

  1. කුකින් චොක්ලට් ග්‍රෑම් 100
  2. චොප්කරගත් කජු ටිකක්
  3. කිරි මි.ලී. 30

 

  • බටර් හා බිස්කට් කුඩු කලවම් කරල බේකින් ට්‍රේ එකේ අඩියට දාල බේස් එක හදාගන්න.
  • ක්‍රීම්චීස් ටික සොෆ්ට් වෙනකල් බීට් කරගන්න. මේකට බිත්තර හා වැනිලා දාලා බීට් කරන්න. ටිකකින් ලෙමන් පොතු ටික දාගන්න. හොඳට කලවම් කරලා ට්‍රේ එකට දාලා සෙල්සියස් 170ට ප්‍රීහීට් කරගත්ත අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න. නිවෙන්න තියන්න. 
  • චොක්ලට් ටික ඩබල් බොයිල් කරලා කිරි ටික දාගන්න. මේ හදාගත් ගනාච් එක කේක් එක උඩින් වක්කරලා චොප්කරගත් කජු ඉහගන්න. 

7. ඇපල්  කැරමලයිස්ඩ් චීස්කේක්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

කැරමල් එකට

 

  1. කපාගත් ඇපල් ගෙඩි 2
  2. සීනි කෝප්ප 1
  3. වතුර කෝප්ප 1/4

 

කේක් එකට

  1. කුඩුකරගත් බටර් කුකීස් 10-12
  2. මෙල්ටඩ් බටර් ග්‍රෑම් 100
  3. ක්‍රීම්චීස් ග්‍රෑම් 250
  4. සීනි කෝප්ප 1/2
  5. වැනිලා ස්වල්පයක්
  6. බිත්තර 2

 

  • කුඩුකරගත් බිස්කට් වලට බටර් කලවම් කරලා ට්‍රේ එකකට දාල තද කරල බේස් එක හදාගන්න. 
  • ක්‍රීම්චීස්, සීනි හා වැනිලා දාලා බීට් කරගන්න. බිත්තර එකතු කරලා බීට් කරගන්න. මේ බැටර් එක පෑන් එකට දාලා සෙල්සියස් 170ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 20ක් බේක් කරගන්න. 
  • ඒ අතරෙ ඇපල් කැරමල් එක හදන්න පෑන් එකකට සීනි ටික දාලා රත්වෙනකොට වතුර ටික දාගන්න. 
  • කැරමල් එක හැදීගෙන එනකොට ඇපල් ටික දාලා තවත් විනාඩි 2ක් තියලා ලිපෙන් බාගන්න. මේක බේක් කරගත් චීස්කේක් එක උඩට දාලා තවත් විනාඩි 15ක් බේක් කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *