ඔයාගේ තාත්තත් අම්මලයි පුතාලයි ඕන දෙයක් කරගන්නෙකයි කියල කාමරේට ගිහින් පොතක් පත්තරයක් කියවල තියෙනවද? අන්න ඒක තමයි පවුලෙ සාස්තරේ. ඒක අම්මලගෙයි පුතාලගෙයි තියෙන ස්පෙෂල් කෙමිස්ට්‍රියක්. අන්න ඒ ස්පෙෂල් කෙමිස්ට්‍රිය ගැන තමයි අපි අද කියන්නෙ. මේක කියවන කොට අම්මව මතක් වෙන්න පුළුවන්. අඩු තරමෙ ළඟ නැත්තං කෝල් එකක්වත් දෙන්න ඉතිං. හැමදේම කරලා, උඹ ෆේල් වුනාම හොරෙන් අඬලා, බෝධි පූජා තිය තිය හොඳ මිනිහෙක් කරන්න මහන්සි වෙච්ච අම්මනෙ මචං. මේ කියන කතාව කොයි අම්මටයි පුතාටයිත් පොදු ඇති. අන්න ඒ නිසා සාවධානව අහගෙන ඉන්න. මේ දේවල් වැඩිමල්ලු විදියට බලද්දි තරමක විහිළුවක් කියලත් හිතේවි.
1. අම්ම සමාව ගන්න විදිය
දැන් ඔන්න යනව වලියක්. වලිය පටන්ගන්න මහ හේතුවක් ඕන නෑ අම්මෙකුටයි පුතෙකුටයි. “මොකද මාළු නොකෑවෙ?, කවදද උඹ ඔය කාමරේ අස් කරන්නෙ?, උඹට අඳින්න කළු පාට ටීෂර්ට් ඇරෙන්න වෙනිං ඇඳුමක් නැද්ද?” වගේ ප්‍රශ්නයක් අහල තමයි අපි මේ කියන වලිය පටන්ගන්නෙ. ඉතිං ඔන්න දැන් පුතා කතා කරන්නෙ නෑ. උදේ තේක බීලත් නෑ. අම්මට පපුව පිච්චෙනව දැන්. එහෙමයි කියල සටන පාවලා දෙන්නත් බැහැනෙ. එයා අම්මනෙ. අරූ පුතානෙ. හැබැයි දැන් පුතාව යාළු කරගන්නත් ඕන. යටත් නොවෙන්නත් ඕන. අම්ම ඒකට පාවිච්චි කරන්නෙ අමුතුම එකක්. කාමරේ දොර ගාවට ගිහින් තරමක් සද්දෙට කියනව. “ඇවිල්ල කන්න!” කියල. අන්න එහෙමයි දැන් යාළු වෙයං කියල අම්මෙක් පුතාට ආරාධනා කරන්නෙ.
2. පුතා සමාව ගන්න විදිය
දැන් ඔහොම්මමනෙ පුතත්. පුතාටත් කේන්තියි. අම්ම හොඳටම දන්නව තියෙන්නෙ කළු පාට ෂර්ට් විතරයි කියල. දැන දැන බනිනව තැනකට යනකොට තොට කළු පාට ඇඳුම් විතරමද තියෙන්නෙ කියල. පුතාට කේන්ති අම්ම බනිනවට නෙමෙයි. මේව ඇහිල කොයි වෙලේ හරි තාත්ත කුලප්පු වෙයි කියලයි පුතාට බය. ඉතිං මේ අවුඅස්සෙ මෙහෙම එවුව දරාගෙන ඉන්න බැරුව පුතා කියන වචනෙකට අම්මගෙ හිත රිදෙනව. වෙනද වගේ එදාට තේක දීලා ඔලුව අතගාගෙන යන්නෙ නෑ. තේක මේසෙ උඩින් තියල රානි මුඛර්ජි වගේ ගස්සගෙන යන්නෙ. එවුව යාළු කරගන්න පුතා දාන්නෙ එක වචනයයි. “අම්මෙ! බඩගිනියි!” අනේ කිවුව ගමන් පපුව හෝස් ගාලා දාලා ගිහිං සියළු තරහමරහ අමතක කරලා ඇවිත් අහනව කන්න මොනවහරි උයනකං තේකක් හදල දෙන්නද කියල.
3. අදනං හොඳටම අමාරුයි
ඔන්න පුතාට ඉස්කෝලෙ යන්න කම්මැලි හිතුනම යනව උදෙන්ම තාත්තා ළඟ නැති වෙලාවක් බලලා අම්මා ගාවට. අම්ම ළඟට එද්දිම දන්නව පුතාගෙ ලෙඩේ.
“බොරු කියාගෙන නං එන්නෙපා. අද ඉස්කෝලෙ යන්න ඕන.”
“කෑ ගහන්න එපා අම්මෙ”
“ඇයි?”
“තාත්තට ඇහෙයි”
“තාත්තා කඩේ ගියා”
“අක්කට ඇහෙයි”
“ඇහුනම?”
“ඇහුනම එයා තාත්තට කියයි, අනේ අම්මෙ”
දැන් ඔහොම නාහෙන් අඬන පුතාට අම්ම කියනව හොඳ පුවතක්. ඉස්කොලෙ ගිහින් එද්දි චිකන් බැදලා උයලා තියන්නං වගේ ඔෆර් එකක් දෙනව. ඒත් කොල්ල සැලෙන්නෙ නෑ. ඉතිං අනේ ගෙදර ඉඳගෙන කන්න හදල දෙන්නකො කියලයි කොල්ලා කියන්නෙ. ඔන්න ඊටපස්සෙ අම්මගෙ හිත උණුවෙලා හරි දැන් ගිහින් තාත්තා එන්න කලින් නිදාගන්න කියනව. ඔන්න ඊටපස්සෙ කඩේ ගිහින් එන තාත්තට පුතාගෙ අසනීපයක් ගැන බොරුවක් කියලයි අම්මා පුතාව බේරගන්නෙ. ඉතිං පුතා අම්මව හුරතල් කරනව ඉවරයක් නැතුව.
4. පොඩි සීන් එකක් තියෙනව
කොල්ලෙක් අම්මගෙ කන ගාවට ඇවිත් පොඩි සීන් එකක් කියල කියන්නෙම අවුල් සීන් එකකට. අම්මත් ගැම්මෙන්ම අහනව මොකද කියල.
“අම්මෙ මේ… මේ දවස්වල කෙල්ලෙක් කතා කරනවනෙ”
“ඔවු මං අහගෙන පැටියො පැටියො කිය කිය ඉඹිනව”
“ඒ කොයි වෙලේද?”
“ඊයෙ රෑ”
“මං ඉතිං එයා ගැන අම්මට කියන්නයි ආවෙ”
“කොහේ කෙල්ලෙක්ද?”
“දෙහිවල”
“මොනවද කරන්නෙ”
“ඉගෙනගන්නව තාම”
“ඉතිං ඉගෙනගෙන ඉන්න කියපං”
“තාත්තට කියන්නෙ නෑ නේද?”
“තාත්තා දැකලා තිබුනා දෙන්නව ගල්කිස්සෙදි”
“හප්පා”
“මගෙන් ඇහුව පුතා කිවුවද කියල. මම දන්නෑ කිවුව”
“හා එහෙනං.”
“හා නෙමෙයි මට ඒ කෙල්ලගෙ නොම්බරේ දියං කතා කරන්න”
ඔන්න පුතේ ඔතන ඉඳන් තමයි හොඳම හරිය. නැන්දම්මයි ලේලියි ෆිට් වෙනව නියමෙට. මේ අනාගතේ දවසක එක ගෙදරට ඇවිල්ලා මරාගන්න ඉන්න ජෝඩුව නේද කියල හීනෙකින්වත් හිතාගන්න බැරි විදියට දෙන්න එක්ක එකතු වෙලා කොල්ලගෙ රැවුලටයි, ටීෂර්ට්වලටයි, පච්චාවලටයි බනිනවා.
5. මගෙ අතින් තාත්තගෙ පැපොල් ගහ කැපුනනෙ
මේකත් අම්මගෙයි පුතාගෙයි කෙමිස්ට්‍රියෙම කෑල්ලක්. තාත්තා ආසම දෙයක් ගැන හිතමුකො. ඔන්න ඔය දේට පුතා අතින් වෙනව අලාබ හානියක්. තාත්තගෙ සපත්තු දෙකක් දාගෙන ගිහින් පුතා අතින් ඒක කැඩෙනවා. තාත්තාම හිටෝපු පැපොල් ගහ පිහියක් ටෙස්ට් කරන්න ගිහින් කැපිලා යනව. ඔන්න පුතේ මෙවුව වුනාම තාත්තටම කේන්ති යනව අසූ හාරදාහට. ඒකට කරන්න පුළුවන් එකම දෙයයි. ඒ තමයි ගිහින් අම්මව ෂේප් කරන එක. අම්ම ගාව අඬලා තාත්තගෙන් කන්න වෙන ගුටි මතක් කළාම, අම්ම ගිහින් “සත්තු වගයක් බෝ වෙලා හිටියා අනේ. මමයි ගහ කැපුවෙ” කියල තාත්තව ෂේප් කරනව.
6. මේ මොනවද උඹෙ කාමරේ?
අම්මත් බලං ඉන්නෙ පුතා දවස් දෙකක ට්‍රිප් එකක් යනකං. ගිහින් එද්දි මුළු කාමරේම කන පිට ගහලා. ඇඳ වෙනම පැත්තකට දාලා. බිත්තිවල ගහල තිබ්බ ගෑනු රූප ටික අයින් කරලා. හඩු සරම කොහෙද කියල නෑ. පරණ පුරුදු බෙඩ් ෂීට් එකත් මාරු කරල. කොල්ල මුලින්ම බලන්නෙ කබඩ් එකේ යට අලවලා තිබ්බ වැල පත්තර ටික තියෙනවද කියල. ඒ ටිකනං තියෙනව. ඒත් එදා අන්තිමට ගත්තු ගංජා පැකට් එක නෑ. කාමරේට ගිහින් එළියට එද්දි අම්ම ඉන්නව ඉනට අත තියං.
“මොනවද මේ?”
“ඔය ඉස්කෝලෙන් අල්ලපුව”
“කොහොම අල්ලපුවද?”
“ඇයි අනේ මම ප්‍රිෆෙක්ට් කෙනෙක්නෙ”
“ප්‍රිෆෙක්ට්ලට මොනවටද මේව?”
“අද ඉස්කෝලෙ කොල්ලො වගයක් ගෙනල්ල මේවා අපි ඇල්ලුවා.”
“ඇල්ලුවා නං ප්‍රින්සිපල්ට දීලා එන්නැතුව ගෙදර ගෙනල්ල හරියනවද?”
“ප්‍රින්සිපල්ට දෙන්න පුළුවන්ද ගංජා?”
“උඹ මං එක්ක විහිළු කරන්න එන්නෙපා”
“දැන් කෑගහන්නෙපා අම්මෙ. තාත්තට ඇහෙයි”
“මං මේ ටික විසික් කරනවා”
“හා කැමති එකක් කරන්න.”
7. ඒක කෝ?
කොල්ලෙක් හැම දේම හොයාගන්නෙ අම්මට කියල තමයි. විශේෂයෙන්ම හොඳට තියෙන කාමරේ අම්මා අස් පස් කළාම තමයි මේ කතාව අහන්න වෙන්නෙ.
“කෝ අම්මෙ මගේ සරම?”
“මං ඒක හේදුව”
“ගිය මාසෙනෙ අනේ අඳින්න ගත්තෙ”
“මාසයක් තිස්සෙ ඇන්දද ඒ හඩු සරම”
“මම සාමාන්‍යයෙන් මාස තුනක් අඳිනවනෙ සරමක්”
“උඹ ඔය සරම ගල් වෙනකංද බලං ඉන්නෙ”
“මට බෑ අලුත් සරම අඳින්න”
“ඇයි?”
“ඒක සැප නෑ”
“දෙනව මං දැන් උඹට.”
ඊළඟට
“මගේ බෙල්ට් එක කෝ?”
“ඒක ඇති රැක් එකේ”
“මම බැලුවනෙ”
“මේ මොකද්ද එතකොට?”
“හප්පා… කෝ අම්ම මගෙ අන්ඩර්වෙයා එකක්වත් නැහැනෙ”
“උඹට ලැජ්ජ නැද්ද ඕකත් මගෙන්ම ඉල්ලන්න”
“ඇයි මොකට ලැජ්ජ වෙනවද?”
“මං ඒව විසික් කරා”
“ඒ මොකෝ?”
“ලැජ්ජ නැද්ද මනුස්සයො හැම තැනම හිල්”
“එතකොට දැන් මම අද අඳින්නෙ?”
“අන්න අලුතෙන් ගෙනල්ලා හෝදලා තියලා ඇති.”
ඔයාගෙ අම්මයි ඔයයි අතරෙත් මේ වගේ කෙමිස්ට්‍රියක් තිබ්බද? තිබ්බනං ඒ ගැන අතීත කතාත් අපිත් එක්ක කියන්න. සමහරවිට ඔයාගෙත් අම්ම මේ වෙද්දි ඔයා ලඟ නැති වෙන්න පුළුවන්. එහෙම දුකක් දැනුනනං සමාවෙන්න ඕන.
Leave a Reply