“දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා – වසන් කරන සිත මුහුණේ ලියවෙනවා.”
මේ කියන්නේ ගැහැණු ළමයෙක් ආදර සම්බන්ධයක් ආරම්භ කළාම එයා කාට ඒ ගැන කිව්වත් නැතත් එයාගේ මුහුණේ ඒ වෙනස සටහන් වෙනවා කියලනේ. ඒ කතාව නම් හරියටම හරි. ආදර සම්බන්ධයක් ආරම්භ වුන අළුත ගැහැණු ළමයින්ගේ හැසිරීමේ සිද්ධ වෙන එක එක වෙනස්කම් නිසා, කටින් කිව්වේ නැතත් වටේ ඉන්න අයට මේ ගැන ඉඟි ලැබෙනවා. පිරිමි ළමයි වගේ නෙමෙයි, තමන්ගේ ආදර සම්බන්ධය එකවරම ලෝකෙට කියන්න ගැහැණු ළමයි සුදානම් නැහැ. ගෙදරට හොරෙන්, වටපිටාවේ අයට හොරෙන් තමයි ඔවුන් තමන්ගේ සම්බන්ධය පවත්වන් යන්නේ.
අර ගීතයේ කියවුණා වගේ ආදර සම්බන්ධයක් පටන් ගත්තු අළුත ගෑණු ළමයාගේ මුහුණේ ඉඳන්ම ඒ වෙනස දිස් වෙන්න ගන්නවා. ඒ වගේමයි හැසිරීමත් වෙනදාට වඩා වෙනස් වෙන්න ගන්නවා. අන්න ඒ වගේ අළුත ආදර සම්බන්ධයක් ඇතිවුන ගැහැණු ළමයෙක්ගේ හැසිරීමේ වෙන පුංචි පුංචි වෙනස්කම් ටිකක් ගැන තමා අද අපි මේ කතා කරන්නේ…
1. වෙනදාට වඩා කැඩපතට ආදරෙයි
“හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ…” ගැහැණු ළමයි කොහොමත් ලස්සනට ඉන්න කැමැතියි තමයි. ඒත් ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තු අළුත කැඩපත වෙන කවරදාකටත් වඩා ගෑණු ළමයාගේ හොඳම යහළුවෙක් බවට පත් වෙනවා. වෙනදාට එක පාරක්, දෙපාරක් නම් කැඩපත ඉදිරියට ගියේ, දැන් වැඩිපුරම දුවන්නේ එතනට. මුහුණේ ලස්සන බල බලා, අඩුපාඩු හොය හොයා කැඩපත ඉස්සරහා හැඩවැඩ වෙවී ගත කරන කාලය මේ කාලයේදි හරිම වැඩියි.
2. වෙනදාට වඩා ලස්සන ගැන උනන්දුයි
ආදර සම්බන්ධතාවයක් පටන් ගත්ත අළුත ගෑණු ළමයා පෙම්වතා ඉදිරියේ පුළුවාන් තරම් ලස්සනට හැඩට ඉන්න හරිම උනන්දුයි. වෙනදා වගේ නෙමෙයි දැන් ගෑණු ළමයා ගෙයින් එළියට බහින්න ඉස්සර ඇඳුම් කීපයක්ම ඇඳලා තමයි ගැලපෙන එකක් තෝරගන්නේ. ලස්සන ගැන හරිම උනන්දුයි. එක පිම්පල් එකක් ආවොත් ඒක මකාගන්න ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ පුදුම විදිහට. මොකක් හරි වෙනසක් තියෙනවා කියලා නම් ගෙදර හැමෝටම පැහැදිලියි. වෙනදා විනාඩි විස්සකින් ගමන යන්න සූදානම් වුනානම් දැන් පැයකට වඩා වෙලාවක් යනවා කෙල්ලට හැඩ වෙන්න. ආදරේ කරන්න පටන්ගත්තාම ගෑණු ළමයා නිවසෙන් පිටවෙන්න පුදුම උද්යෝගයකින් තමයි සූදානම් වෙන්නේ.
3. තනියම ඉන්න වෙලාව වැඩියි
මේ කාලේ ගෑණු ළමයා හරිම කැමතියි පෙම්වතා සමග ගතවුන වෙලාව ගැන නැවත නැවත මෙනෙහි කර කර ඉන්න. ඉතින් පෙම්වතාගෙන් වෙන්වෙලා ආවාම වැඩිවෙලාවක් ගතවෙන්නේ කල්පනා ලෝකේ. ආදරේ පටන් ගත්තු අළුත මේ අලුත් අත්දැකීම ගැන ඔහේ කල්පනා කර කර ඉන්න ගෑණු ළමයි හරිම ආසයි. වෙනදා කතුර වගේ කියවපු ගෑණු ළමයා හරිම තැන්පත් වෙලා. වෙලාවකට තනියම හිනාවෙනවා, දුක්වෙනවා. ආදර සම්බන්ධයක් පටන් ගත්තාම ගැහැණු ළමයි බොහෝ වෙලාවට ඒ නැවුම් සිතිවිලිත් එක්කම තමයි දිනය ගෙවන්නේ. මේ නිසාම වටපිටාවේ අය එක්ක කතාබහට යොමු වෙන්නේ හරිම අඩුවෙන්. හැකිතරම් නිහඬ පරිසරයේ හුදෙකලා වෙන්න ඔවුන් කැමැතියි.
4. හොඳම යාළුවාගෙන් උදව්
පිරිමි ළමයි නම් තමන්ගේ ආදර සම්බන්ධතාවය අනෙක් පිරිමි ළමයින්ගෙන් හංගන්න උත්සහ නොගන්න තරම්. ඒත් ගැහැණු ළමයි සම්බන්ධයක් පටන් ගත් අළුත ආදර සම්බන්ධතාවය ගැන දන්න එකම පිටස්තරයා කෙල්ලගේ හොඳම යාළුවා විතරයි. මේ කාලේ හොඳම යාළුවා එක්ක තියෙන්නේ පුදුම කිට්ටු සම්බන්ධතාවයක්. තමන්ගේ අදහස් හුවමාරු කරගන්නත්, පෙම්වතා ගැන කතා බහ කරන්නත් තමන්ට මේ වෙලාවේ ලෝකේ ඉන්න එකම කෙනා හොඳම යාළුවා නිසා, ගෑණු ළමයා හොඳම යාළුවා එක්ක සම්බන්ධවෙන කාලය හරිම වැඩියි. වෙනදාට වඩා යාළුවාව තමන්ගේ කටයුතු වලට මැදිහත් කරගන්නවා. අපි හිතමු පෙම්වතා මුණගැහෙන්න යන ගමනක් කියලා. කලින්ම යාළුවාව නිවසට ගෙන්න ගෙන තමන් ඇය සමග යන බව නිවැසියන්ට තහවුරු කරලා යන්න වගේ පොඩි පොඩි හොර වැඩ කරගන්නේ හොඳම යාලුවා හරහා.
5. ෆෝන් එකට විශේෂ සැලකිලි
දැන් ඉස්සර වගේ හැංගි හැංගි පෙම්හසුන් ලියන්නෙ නැති නිසා දුරකතනය මඟින් තමයි ආදර සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ. වෙනදාට ඔහේ නිදහසේ තිබුණ ගෑණු ළමයාගේ ෆෝන් එක දැන් සයිලන්ස් දාලා තැන් තැන් වල හංගලා. ආදර සම්බන්ධයක් පටන් ගත්තු අළුත පෙම්වතුන් නිතරම උත්සහ කරන්නේ දෙන්නා එක්ක අදහස් හුවමාරු කරගන්න නිසා, ගෑණු ළමයාගේ අතේ නිතරම දුරකතනය ගැවසෙන ප්‍රමාණය වැඩියි. ෆෝන් එක පාවිච්චි කරන්නේත් වෙනදා වගේ සැහැල්ලුවෙන් නෙමෙයි. කරන්නේ පුංචි හොර වැඩක් නිසා හරිම සැකයකින් තමයි ගෑණු ළමයා ෆෝන් එක පාවිච්චි කරන්නේ. ඉස්සර නම් කවුරු ඉල්ලුවත් ටක් ගාලා දෙන ෆෝන් එක දැන් නම් කාගෙවත් අතකට දෙන්නේත් නැහැ.
6. වටපිටාවේ අයව මග හරින්නමයි හදන්නේ
ඉස්සර නම් රෑන පිටින් ගමන් ගිය ගෑණු ළමයා, ආදර සම්බන්ධය පටන් ගත්තාම බලන්නේ පුළුවාන් තරම් අනිත් අයව මඟ හරින්න. අනික් යෙහෙළියන් මඟ හැරලා තනි වෙන්න අවස්ථා හොය හොයා තමයි ඉන්නේ. පෙම්වතා සමඟ හුදකලාවේ වචනයක් දෙකක් හුවමාරු කරගන්න, ඔහුව මුණ ගැහෙන්න අවස්ථාවක් හොය හොය වටපිටාවේ අයව මග හරින්න තමයි ගැණු ළමයා උත්සහ කරන්නේ. වෙනදාට මුණ ගැහුනාම පැය ගණන් කතාවට අහුවුන හිත මිතුරෝ එහෙම මුණ ගැහුනාම මොනවාහරි හේතුවක් කියලා එතනින් පැනගන්න තමයි දැන් බලන්නේ. ඒ වෙලාව උනත් තමන්ගේ ආදර සම්බන්ධය වෙනුවෙන් වෙන්කරගන්න ගැහැණු ළමයි ගොඩාක් කැමැතියි.
7. ආදර ගීත අහන ප්‍රමාණය වැඩියි
ඉඳපු ගමන් හිටි හැටියේම ගෑණු ළමයාගේ කාමරේ ඇතුළෙන් ලයාන්විත ආදර ගීත ඇහෙන්න ගන්නවා. සම්බන්ධය පටන් ගත්තු අළුත මේ අලුත් අත්දැකීම හැකි සෑම මාධ්‍යයක් ඔස්සේම රසවිඳින්න ගෑණු ළමයි උත්සහ කරනවා. ඉතින් ආදරණීය ගීත අහන එක නිරුත්සාහයෙන්ම මේ කාලයේ සිද්ධ වෙන දෙයක්. නානකාමරයට වෙලා වෙනදා සද්ද බද්ද නැතුව නාලා කරලා ආපු කෙල්ල දැන් තාල අල්ල අල්ල සද්දෙට ආදර ගීත කියන්න අරන්.
8. ගෙදර අයට කාමරේට එන්න තහංචි
වෙනදා නම් ගෙදර කාට උනත් කාමරේට එන්න පුළුවන්. මොකද හංගන්න කරන්න දේවල් තිබ්බේ නැහැනේ. ආදර සම්බන්ධයක් පටන් ගත්තාම ඔන්න ගෑණු ළමයාගේ කාමරේට එන අයට නීති වැටෙනවා. ඒවා මේවා අදින්න තහනම්, කතා නොකර එන්න තහනම්. ඉස්සර හෝයි ගාලා ඇරලා දාලා තිබ්බ කෙල්ලගේ රූම් එක දැන් බැලුවොත් ඇත්තම් ලොක්. පෙම්වතා එක්ක හොරෙන් හොරෙන් දුරකතන ඇමතුම් ගද්දී ගෙදර අය එන්නත් පුළුවන් නිසා වගේම ගෑණු ළමයාට තනියම එයාගේ කල්පනා ලෝකේ සැරිසරන්න ඉඩ ඕන නිසාත් බොරුවට නිදිමත පෙන්නලා හරි කාමරේට වැදිලා ඉන්න එක ආදර සම්බන්ධයක් පටන් ගත්තු අළුත අපේ ගෑණු දරුවො කරන දේවල් වලම කොටසක්.
Cover Image Source – wallpaperswide.com/ independent.co.uk
Leave a Reply