දෙමවුපියන්ට දෙන්න පුළුවන් හොඳම තෑගි 7ක්

හරි ඉතින් අම්මටයි තාත්තටයි ලැබුණ හොඳම තෑග්ග තමුන්නාන්සේ තමයි. ඒත් වෙනසකටත් එක්ක එයාලාට තෑග්ගක් දෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතිලා නැද්ද? හොඳ පුරවැසියෙක් වෙනවා වගේ රචනාවල එන තෑගි හෙම නෙවෙයි. අපි හදපු දරුවා දුන්නු දෙයක් ය කියලා පස්සේ කාලෙක දී අම්මටයි තාත්තටයි ආසාවෙන් බලන්න පුළුවන් දෙයක් වෙන්නත් ඕනි. එහෙමයි කියලා කඩවල්වල නිකන්ම තියන සරුව පිත්තල කෑලි උස්සන් යනවා එහෙම නෙවෙයි.

 

1. පාද සම්බාහන යන්ත්‍රය

Image Source – picclick.co.uk

වයසට යන එකත් හරි කකුල් අමාරුව සර්වාංගෙටම දැනෙන එකත් ඉබේටම සිද්ධ වෙන දෙයක්. ඔන්න ඕකට අනේකවිධ බෙහෙත් තියනවා. ඒත් දවසක් අවසන් වෙන තැනදීම කකුල් දෙකට පොඩි මසාජ් පාරක් සෙට් වෙනවා නම් මල් මසුරංනෙ ලොක්කා. පාද සම්බාහන යන්ත්‍ර කියලා අමුතුවෙන් සිංහල භාෂාවට දාපු ෆුට් කෙයාර් මසාජ් මැෂිම නිර්මාණය දෙමව්පියන්ගේ ජීවිත පහසු කරවන්නක්. ඉතින් ඕකක් තෑගි දුන්නා කියන්නේ තමන්ගේ දරුවා වගකීමෙන් සහ ආදරණීය මනුස්සයෙක් විදියට ජීවත් වෙනවා කියන එක සම්බන්ධයෙන් දෙන ඉඟියක්.

 

2. කස්ටම් ෆොටෝ පුස්තකය

Image Source – pinterest.com

මේ කියන්නේ ෆොටෝ ඇල්බම් එකේම අප්ඩේට් එකක් ගැනයි. ෆොටෝ වැඩකෑලි දාන ඕනම තැනකින් මේක හදාගන්න පුළුවන්. දෙමව්පියන්ගෙ තරුණ කාලයේ ෆොටෝ සහ එයාලාගේ ජීවිතයට ඔයා ආ දා පටන් තියෙන සිහිවටන තියෙන ෆොටෝ එකතු කරගන්නව. ඕක නිකන්ම ඇල්බම් එකක දාලා දුන්නම කිසි ලල් එකක් නැහැනේ. පොතේ පිටුවක් විදියට එක ෆොටෝ එකක් එන විදියේ ආතල් එකක් දුන්නම බලන්නත් ආසයි. සෑහෙන කාලයක් පවතිනවත් එක්ක.

 

3. Amazon Echo

Image Source – mashable.com

තෑගි දෙනවා නම් මෙන්න භාණ්ඩේ. සින්දු අහනවා නම් එහෙමයි, එලාම් තියන්න, ප්‍රශ්න අහන්න (උත්තර සෙනිකව ආපහු ලබාගන්න), ගෙදර තියෙන අනික් ඉස්මාට් ගැජමැටික් පාලනය කරන එක මේකත් එක්ක හරිම ලේසියි. අපිට කියන්න විතරයි තියෙන්නේ එතකොට වැඩ කෙරිලා තියෙයි. දරුවෙක් වගේම සමහරවිට ඊටත් වඩා කීකරු විදියට ඉන්න නිසාම මේකට නම් සෑහෙන හිත යාවි.

 

4. ගුවන් ප්‍රවේශපත්‍ර

Image Source – mashable.com

මේකත් හෙන ආදරේ හිතෙන වැඩක්. දන්න කාලේ ඉඳන් දෙමව්පියන්ට උවමනාව තිබුණේ මේ ලෝකය ඔයාට පෙන්වන්නයි. ඒ වගේ දෙමව්පියන්ට ආපහු අනික් අතට ලෝකය පෙන්වනවා වගේ වැඩක් තමයි මේ. කොහේ හරි ලස්සන තැනකට ගිහින් විනෝද වෙලා එන්න සියලු සැපපහසුකම් එක්ක ටිකට් අරන් දෙන එක සුපිරි පුතණ්ඩියෙක්ට හරි දුවෙක්ට හරි එන සිතිවිල්ලක්.

 

5. රෑ කෑමකට ආරාධනාවක්

Image Source – citylifemadrid.com

එසේ මෙසේ රෑ කෑමක් නෙවෙයි. සුපිරි ගණයේ එකක්. මෙතනදී තේරීම් දෙකක් තියෙනවා. එකක් තමයි ගුණසේන සූප ශාස්ත්‍රේ හරි බලාගෙන පුල් මාවලස් කෑමක් ගෙදරදී හදලා දෙන එක. අනික් එක තමයි එයාලාවත් එක්කගෙන තරු පන්තියෙ ප්ලේස් එකකට යන එක. ඔය දෙකම නැගලා යනවා.

 

6. පැන්සල් සිතුවමක්

Image Source – visitphilly.com

පොටෝවලට දෙමව්පියෝ කොච්චර ආසා වුණත් ඒවා විතරක්ම දෙන එකත් වස කම්මැලි වැඩක්. ඉතින් ඒකට පොඩි ආට් එකකුත් එකතු කරලා පැන්සල් පාරවල්වලින් ඇඳුණු සිය පවුලේ චිත්‍රයක් හිමි වුණා කියන්නේ ඒක සිරා දෙයක්. මේක ෆ්‍රේම් කරලා දෙන එකයි හොඳ. නැත්තම් අම්මලා ඕක අල්මාරි අස්සෙ දාලා තියෙනෝ ඊළඟ පරම්පරාවක් ඕක දකිනකන්ම.

 

7. පරණ චිත්‍රපට, ටීවී සීරීස් සහ ගීත ඇල්බම

Image Source – mashable.com

රසවින්දනයේ ඉහළම අවධියක දෙමව්පියන් තරුණ කාලය සහ මැදි වයස ගෙවා දැම්මට කිසිම සැකයක් නැහැ. අද කාලේ අහන්න දකින්න ලැබෙන දේවලුත් එක්ක එයාලාට ඇත්තටම ඒ කාලේ දේවල් හරියට මතකයට නැගෙනවා. අන්න ඒ නිසා මේ විදියට පැරණි රසාංග දෙන එක හොඳයි.

 

මේ දේවලට අමතරව රචනාවල ලියනවා වගෙ වැඩදායී පුරවැසියා, සද්ගුණවත් කොල්ලා, චරිතවත් දෝණියන්දෑ වගේ තෑගිත් දෙන්න ඕනි. ඒවා නැතුව ඉහත සඳහන් කරපු කිසි දේකින් වැඩක් නැහැ. ඕකේ අනික් පැත්තත් එහෙමයි. ඒ කියන්නේ කොච්චර හොඳ පුතා වුණත් ඒ ගැනම නොකියා ඉඳන් මේ වගේ භෞතික දෙයකුත් අරන් දෙන්න ඕනි.

Cover Image Source – oilforimmigration.org/ studiojones1.com/ le-bonbouquet.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *