ෆේස්බුක් හරහා ආදරයක් හොයාගන්න නම් මේ උපදෙස් 7 පිළිපදින්න

facebook dating tips

ඉස්සර ගෑණු ළමයෙක්ට පිරිමි ළමයෙක්ව හොයාගන්න, පිරිමි ළමයෙක්ට ගෑණු ළමයෙක්ව හොයාගන්න අවස්ථා ඕනෑ තරම් තිබුණනේ. වෙන මුකුත් නැතිනම් පෝය දාට පංසලේදී හරි, ඉරිදාට පල්ලියේදී හරි වුනත් ඔය චාන්ස් එක එනවා. හැබැයි දැන් කොල්ලෝ කෙල්ලෝ එළියට බහිනවට වඩා ඉන්නේ ෆේස්බුක් එකේමනේ. ආන්න ඒ නිසා ඉතින් අපි ෆේස්බුක් එකෙන් හරි ගෑණු ළමයෙක්, පිරිමි ළමයෙක් හොයාගන්න එපැයි. ඇත්තටම ෆේස්බුක් කියන්නේ ලෝකේ ලොකුම සමාජ ජාල අඩවිය විතරක් නෙවෙයි, හරියට බැලුවොත් ලෝකේ ලොකුම ඩේටින්ග් සයිට් එක කියන්නත් පුලුවන්. ඇයි ඉතින් මේ වෙනකොට ෆේස්බුක් එකෙන් සැට් වෙච්ච ජෝඩු කීයක් නං ඉන්නවද!

කොහොම කොහොම හරි ඉතින් ෆේස්බුක් එකේ හිටියට බැහැනේ. ඕකෙන් අවංක ආදරයක් හොයාගන්න සාස්තරෙත් දැනගන්න එපෑ. ආන්න ඒ සාස්තරේ තමයි අපි මේ ගුරු මුෂ්ටි තියානොගෙන දෙන්න හදන්නේ.

 

1. එළ කිරි වගේ ප්‍රොෆයිල් එකක්!

facebook dating tips

Source – facebook.com

කෝක කරන්නත් කලින් ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් හදාගන්න එපැයි. මෙතනදී වැදගත්ම දේ තමයි ප්‍රොෆයිල් එකේ මුත්තා නුවර ගල විදපු කතාවේ ඉඳන් පරම්පරා විස්තර දාන එක සහ අඩු ගාණේ ප්‍රොෆයිල් එක අයිති ගෑණියෙක්ටද මිනිහෙක්ටද කියන එකවත් හොයාගන්න බැරි විදියට කිසිම තොරතුරක් නොදාන එක කියන දෙකම නොකර ඉන්න ඕනය කියන එක. ඩීසන්ට් ෆොටෝ එකක් තියෙන, තමන් ගැන ප්‍රමාණවත් තොරතුරු තියෙන විදියට ප්‍රොෆයිල් එක හදාගත්තහම ඇති. එතකොට දුරකථන අංක, ගෙදර සම්පූර්ණ ලිපිනය වගේ පුද්ගලික තොරතුරු දාන්නේ නැති තරමට හොඳයි.

ප්‍රොෆයිල් එකට දාන ෆොටෝ ගැන කියනවා නම්, ගල් බමුණා ගහලා වගේ ඉන්න ෆොටෝ, මහ කරුවලේ ගේ ඇතුළේ සන්ග්ලාස් දාගෙන ගත්තු ෆොටෝ එහෙම නැති තරමට හොඳයි.

ගොඩක් අය ෆේස්බුක් වෝල් එකේ රටේ නැති මඤ්ඤං ෂෙයාර් කරන ගමන් කියනවනේ, මේක මගේ හැබෑ ජීවිතේ නෙවෙයි කියලා. හැබැයි මතක තියාගන්න, තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක මෝඩ චූන් නැති කොලිටි ප්‍රොෆයිල් එකක් වෙන තරමට තමන්ට ලකුණු වැඩියි.

 

2. හරි කෙනාට රික්වෙස්ට් යවන්න!

facebook dating tips

Source – techcrunch.com

හරිද වැරදිද කියලා දැනගන්න වෙන්නේ රික්වෙස්ට් එක යවලා, ඇක්සෙප්ට් කරලා, කතා බහත් කලාට පස්සෙනේ. එහෙමද හිතන්නේ?

ෆේස්බුක් එකෙන් නංකියෙක් යාලු කරගන්න හිතන කොල්ලෝ කරන දෙයක් තමයි එක්කෝ ෆ්‍රෙන්ඩ්ස් සජෙෂන්ස් වල පෙන්නන කෙල්ලටයි, ඇන්ටියි, ආච්චිටයි ඔක්කොටම රික්වෙස්ට් යවන එක. නැත්තං ආස කරන ගෑණු ළමේක්ගේ නමක් ෆේස්බුක් එකේ සර්ච් කරලා, ඒ නමෙන් ඉන්න හැමෝටම රික්වෙස්ට් යවන එක. අන්තිමට මොකද වෙන්නේ, සකර්බර්ග් අයියා රික්වෙස්ට් යවන එක බ්ලොක් කරනවා දන්නෙ නැති මිනිස්සුන්ට රික්වෙස්ට් යැව්වා කියලා.

ආන්න ඒ නිසා රික්වෙස්ට් එකක් යවන්න කලින් පොඩ්ඩක් හිතන්න තමන්ට පොදු යාලුවෝ ඉන්නවද කියලා. එතකොට තමන්ට පොදු කරුණු කාරණා තියෙනවද කියන එකත් පොඩ්ඩක් කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකේ ඇවිදලා බැලුවහම තේරුම් ගන්න පුලුවන්. අනික අනිවාර්යයෙන්ම විවාහ වෙලා, නැතිනම් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්, ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා පේන කෙනෙක්ට ලව් කරන්න හිතාගෙන රික්වෙස්ට් යවලා ඇති වැඩකුත් නැහැනේ. ආන්න ඒ නිසා රික්වෙස්ට් එකක් යවන්න කලින් පස් මහ බැලුම් බලන්න කියලා තමයි අපි කියන්නේ.

 

3. පළවෙනිම මැසේජ් එක!

facebook dating tips

Source – bgr.com

මෙන්න ගොඩක් දෙනෙක් නොවරදින්න වරද්දාගන්න තැනක්. නොදන්න කෙනෙක්ට ෆේස්බුක් රික්වෙස්ට් එකක් යවලා ඇක්සෙප්ට් කලාට පස්සේ Hi Dear කියලා පළවෙනි මැසේජ් එක යවනවා. නොදන්න කෙනෙක්ට එහෙම මැසේජ් කරන්න කලින් පොඩ්ඩක් වැදගත් විදියට කතාබහ ආරම්භ කරන එක හොඳයි නේද?

Hi, Hello එකකින් කතාව පටන් ගත්තට කමක් නැහැ. හැබැයි නිකම්ම Hi එකකට වඩා තමන් කවුද, කොහොමද එයාව දැනගත්තේ කියන එක ගැන කෙටියෙන් විස්තරයක් එක්ක මැසේජ් එකක් යවන එක වඩාත් හොඳයි. එහෙම නැතිනම් Thanks for accepting the request කියලා පටන් ගත්තත් කමක් නැහැ. ඒක කොහොමත් හොඳ ගතිගුණයක්නේ. මෙහෙම කියන්නේ සරල හේතුවක් නිසයි. කෙල්ලෙක්ට සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ මැසේජ්ස් ටොන් ගාණට එනවා. ඒවයින් ටොන් තුන්කාලක්වත් හායි ඩියර් එව්වා තමයි. හැබැයි තමන් ඒ මැසේජ් කරන හුදීජනයාගෙන් වෙනස් වෙන්න නම් වෙනස් පළමු හැඟීමක් ලබාදෙන්න ඕන. ආන්න ඒ නිසා තමයි විධිමත්, ශීලාචාර සහ තොරතුරු අඩංගු පළවෙනි මැසේජ් එකක් ප්‍රයෝජනවත් වෙන්නේ.

 

4. කෙලින්ම ලව් සීන් එපා!

facebook dating tips

Source – ibtimes.com.au

මෙන්න මේක බොහොම සෙන්සිටිව් පොයින්ට් එකක්. සාමාන්‍යයෙන් කොල්ලෙක් නං කෙල්ලෙක් ඇවිත් ‘අය්යාහ් මං ඔයාට ආදරම්’ කියලා කිවුව ගමන් පැනලා දෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක කෙල්ලෙක් සම්බන්ධයෙන් ඒ තරම් වලංගු වෙන්නෙ නෑ. ආන්න ඒ නිසා ගෑණු ළමයෙක් ගැන ෆුල් ආදරම් හිතක් ඇතිවෙලා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යවලා කතාව පටන් ගත්තත්, පැනපු ගමන් ආදරේ ප්‍රකාශ කරන්න නරකයි. විශේෂයෙන්ම කවදාවත් දැකලා නැති, වැඩි විස්තරයක් දන්නෙ නැති කෙනෙක්ට එහෙම කියන එක අප්සට්. ආන්න ඒ නිසා සාමාන්‍ය කතාබහ ටික ටික කුළුපග මිතුරු කතාබහක් බවට පෙරළා ගන්න දැනගන්න ඕන. මෙන්න මෙතනදී තමයි ඉතින් හැකියාව අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ මනුස්සයෙක්ගේ හිත යන විදියට කතා බහ කරන්න දැනගන්න ඕන මෙතනදී.

හැබැයි තව වෙන්න පුලුවන් පොඩි අප්සට් එකක් තියෙනවා. ඒ තමයි ඕනෑවට වඩා කෙල්ලගේ හොඳම යාලුවා වෙන්න යන එක. එහෙම ගිහින් අන්තිමට ආදරේ ප්‍රකාශ කළාම කෙල්ල බහ් ගාලා කියයි “අනේ අයියේ ඔයා මට හොඳ යාලුවෙක්, සහෝදරයෙක් විතරයි, ඉන් එහා දෙයක් මට දැනෙන්නේ නැහැ” කියලා. සෝචනීයයි නේද පිංවත. ආන්න ඒ නිසා ෆ්‍රෙන්ඩ්සෝන් වෙන්න යන්න එපා. කෙලින්ම ආදරේ ප්‍රකාශ නොකළට තමන් ඉන්නේ සීන් එකේය කියන එක ඇඟවෙන්න දෙන්න ඕන.

 

5. බොරු සීන් වානා, අවංක සීන් එක තමා ඕනා!

facebook dating tips

Source – flashlightfilmreviews.wordpress.com

මෙන්න මේක තරයේ පිළිපදින්න ඕන කාරණාවක්. අවංක වෙනවා කියන්නේ තමන්ගේ ගෙදරට එන පාරයි, මාසෙකට ලැබෙන පඩියයි වගේ හැම කෙහෙල්මලම කියලා දාන එක නෙවෙයි. හැබැයි පොදුවේ කතාබහ ඇතුළේ අවංක වෙන එක. උදාහරණයක් විදියට කාගේ හරි කාර් එකකට හේත්තු වෙලා ෆොටෝ එකක් දාලා, චැට් එකේදී ලොකු සල්ලිකාරයෙක් විදියට රඟපාන එක අප්සට්. තමන් කැමති අකමැති දේවල් වුනත් කෙල්ල කැමති අකමැති දේවල් වලට මැච් වෙන්න කියලා බොරු ගොතන එකත් අප්සට්. ඔය වගේ පච බෝම්බ පත්තු වෙන්නේ අනාගතේදී. ආන්න ඒ නිසා අවංක කොල්ලෙක්, අවංක කෙල්ලෙක් විදියට වැඩ කරන එක ඉස්සරහට හොඳයි.

අනික් එක තමයි බොරු කැටයම් සහ ලොකු සීන් දාන්න නොයන එක. ගොඩක් වෙලාවට තමන් ඒවා මාරයි කියලා හිතාගෙන හිටියත්, චැට් එකේ අනික් කෙනා ඉස්සරහා ඒවා ගොන් පාට් වෙන්න තියෙන ඉඩ වැඩියි.

 

6. හදිසි නොවන්න, අත පුච්චා නොගන්න!

facebook dating tips

Source – youtube.com

ෆේස්බුක් හරහා ආදරේ හොයන අයියලා, නංකිලා තරයේ සිහි තබාගන්න වුවමනා කාරණයක් තියෙනවා. ඒ තමයි තමන් මේ කතා බහ කරන්නේ කවදාවත් දැකලාවත් නැති, අඳුනන්නේ නැති කෙනෙක් එක්කය කියන එක. හරි, දෙන්නටම පොදු යාලුවෝ ඉන්න පුලුවන්. හැබැයි ඒකෙන් අපිට කෙනෙක්ව සියේට සීයක් විශ්වාස කරන්න බැහැ. විශේෂයෙන්ම දැන් කාලේ ෆේස්බුක් හරහා හැමෝම හැමදෙනාවම අඳුනනවා. ආන්න ඒ නිසා එහා පැත්තේ පුද්ගලයා ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් හිටියට කමක් නැහැ. විශේෂයෙන්ම කතාබහ මුදල් ගනුදෙනු තත්ත්වෙට යනවා නම් වහාම ඉවත් වෙන්න. එතකොට තමන් ගැන අනවශ්‍ය විදියට විස්තර හොයනවා කියලා තේරෙනවා නම් ඒත් පැත්තකට වෙන්න.

අනෙක් කාරණාව තමයි මේ ෆේස්බුක් සම්බන්ධතාවය හැබෑ ජීවිතයට එන්න කලින්ම ආදරයක් දක්වා මෝරන්න අරින එක නම් එච්චර සුභදායක නැහැ. අඩු තරමින් ආදරේ ගැන හිතන්නවත් කලින් අඩු තරමෙන් එක පාරක් හරි හැබෑ ජීවිතේදී මුණගැහිලා තියෙන්න ඕන. කෙනෙක් හිතන්න පුලුවන් නොදන්න කෙනෙක්ව එහෙම මුණගැහෙන එක අවුල් නැද්ද කියලා. හැබැයි ඩේට් අවුට් එකකට නොදන්න කෙනෙක් එක්ක යන එක අවදානමෙන් අඩුයි, ජීවිතේට ඇත්තට දැකලා නැති මනුස්සයෙක් එක්ක ලවු කරන්න යනවට වඩා.

 

7. හරියන්නෙ නැතිනම් වහාම මාරු වෙනු!

facebook dating tips

Source – memegenerator.net

අපි කියමු දැන් අපි කැමති කෙනාට යවන මැසේජ් එකට රිප්ලයි එකක් නැහැයි කියලා. ඒකම තමයි රිප්ලයි එක. ඒ කියන්නේ කතා කරන්න කැමැත්තක් නැහැයි කියන එක. එතකොට ආචාරශීලී කම නිසා උත්තර දුන්නත්, ඒකෙන් කියන්නේ ‘එයා මට කැමතියි’ කියන එක කියලා හිතන්න හදිසි වෙන්න එපා. ඒකට තව කල් යන්න ඕන. හැබැයි අපි හිතමු රිප්ලයි කරන්නේම නැහැ කියලා. එහෙම නැතිනම් කෙටි උත්තර දීලා දිගින් දිගට කතා කරන්න අකමැතියි කියන එක පැහැදිලිවම අඟවනවා කියලා. ආන්න එතකොට තමන්ගේ ආත්ම ගෞරවය තියාගෙන මාරු වෙන්න. කොච්චර කෙල්ලෙක්ට හරි කොල්ලෙක්ට හරි හිත ගිහින් තිබුණත්, තමන් ගැන උනන්දුවක් නැති කෙනෙක් එක්ක බලෙන් එල්ලිලා කතා කරන්න යන එක තරම් කණගා‍ටුදායක දෙයක් නැහැ. අන්න ඒ නිසා ඒ වගේ වෙලාවට වැඩේ අත ඇරලා දාලා මූදේ ඉන්න වෙන මාළුවෙක් හොයාගෙන පීනගෙන පැත්තකට යන එක හොඳයි.

ඒ වගේම තමයි තමන්ට කැමැත්තක් නැති කෙනෙක්ගෙන් ගේම ඉල්ලන්න යන එක, ගේම දෙන්න කියලා කුණුහරුප කියාගෙන, ෆේස්බුක් ගෘප් වල පෝස්ට් දාගෙන දඟලන එකත් අන්තිම කැතයි. කෙනෙක් එක්ක කතා කරන්න හරි කැමති අකමැති වෙන එක පුද්ගලික නිදහසක්. අන්න ඒකට බාධා කරන්න යන්න එපා.

ඔන්න ඔහොමයි ෆේස්බුක් හරහා ලව් එකක් හොයාගන්න යනවා නම් ඔලුවට ගන්න ඕන මූලික කතන්දර ටික. එහෙමනම් ජය ෆේස්බුක් මංගලම්!

 
Cover Image Source – digitalbrandexpressions.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *