ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ලිලිපුට්ටන් දැවැන්තයින්ව පැරදවූ පෙරළිකාර ජයග්‍රහණ

ක්‍රිකට් ලෝක කුසලානයක් කියන්නේ යම්කිසි කණ්ඩායමක් අත්හදාබැලීම් කරන තරඟාවලියක් නෙමෙයි. තමන් සතුව ඉන්න ප්‍රබලම ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් තමයි ඒ තරඟාවලියට ඉදිරිපත් කරන්නෙ. ක්‍රිකට් කියන්නෙ කොයිතරම් අවිනිශ්චිත ක්‍රීඩාවක් වුණත් ක්‍රිකට් ලෝකයේ ඉහළම සම්මානය වන එක්දින ක්‍රිකට් ලෝක කුසලානයකදී දැවැන්ත කණ්ඩායමක් ලබන නොසිතූ විරූ පරාජයක් කියන්නේ ක්‍රීඩා ලෝකයම පුදුමයට පත් කරවන සිදුවීමක්. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ ක්‍රිකට් ලෝක කුසලානයේදී දැවැන්තයින්ව පරාජයට පත් කරමින් ලිලිපුට්ටන් විසින් වාර්තා කරපු කවුරුත් නොසිතූ ජයග්‍රහණ කීපයක් ඔබේ මතකයට කැඳවන්නයි.

 

1. ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලකුණු 47කින් ජය ගැනීම – 1979 ලෝක කුසලානය

Image Source – sportskeeda.com

1979 වෙද්දි ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවෙලා තිබුණේ නැහැ. නමුත් 1979 අයිසීසී ශූරතා තරඟාවලිය ජයගැනීමත් එක්ක ශ්‍රී ලංකාව එක්දින ලෝක කුසලානය සඳහා තේරෙනව. ජූනි 16 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය ඇරඹෙද්දි, නවසීලන්තය එක්ක පවත්වපු පළමු තරඟය පරාජය වීමත්, කොදෙවුවන් එක්ක පවත්වපු තරඟය අවළංගු කිරීමට සිදුවීමත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියෙන් ඉවතට විසිවෙලයි ඉන්නෙ. අපි විතරක් නෙමෙයි, ඉන්දියාවත් මුල් තරඟ දෙකම පරාජය වෙලා තරඟාවලියෙන් ඉවතට විසිවෙලයි ඒ වෙද්දි හිටියේ. එහෙම වුණත් ගවස්කාර්, වෙන්ග්සාකර්, කපිල් දේව්, බිෂන් බේඩි වගේ දැවැන්තයො ක්‍රීඩා කරපු ඉන්දියානු කණ්ඩායම ඉස්සරහා ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන්ම පරදීවි කියලා තමයි කවුරුත් විශ්වාස කළේ. මේ තරඟයේ මුලින් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 60ක් තුළදී කඩුලු 5කට ලකුණු 238ක් වාර්තා කරනවා. සුනිල් වෙත්තමුණි, රෝයි ඩයස් සහ දුලිප් මෙන්ඩිස් අර්ධ ශතක වාර්තා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය හඹායන ඉන්දීය කණ්ඩායමත් සාර්ථක ආරම්භයක් ගන්නවා. ඒත් නොසිතූ අයුරින් ඔවුන්ගේ මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වෙන්න පටන් ගන්නවා. ඩී. ඇස් ද සිල්වාගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් ඒ කඩා වැටීම ඉක්මන් කරනවා. අන්තිමේදී ක්‍රිකට් ලෝකය පුදුමයට පත් කරමින් ලකුණු 191කට ඉන්දීය ඉනිම අවසන් වන්නේ ශ්‍රී ලංකාවට ලකුණු 47ක ජයක් අත්කර දෙමින්.

 

2. ශ්‍රී ලංකාව පරදවමින් කෙන්යාව ලකුණු 53කින් ජයගැනීම – 2003 ලෝක කුසලානය

Image Source – p.imgci.com

අවාසනාවකට වගේ මේ පුදුම සහගත අමිහිරි පරාජය හිමිවන්නේ අපේ ලංකා කණ්ඩායමට තමයි. ඒ දවස්වල මේක මාර පරාජය නමින් තමයි ක්‍රිකට් ලෝලීන් විසින් හැඳින්වුවෙ. 2003 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවත් කෙන්යාවත් අතර තරඟය පැවැත්වෙන්නේ කෙන්යාවෙ නයිරෝබි නුවරදීයි. එහිදී මුලින් පන්දුවට පහර දෙන කෙන්යා කණ්ඩායමට ලබාගන්න හැකි වෙන්නේ ලකුණු 210ක් විතරයි. සනත්, මාවන්, අරවින්ද, මහේල සහ සංගක්කාර වගේ අති ප්‍රබල පිතිකරණ බල ඇණියකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ඉලක්කය කජු කන්නා සේ පහසු වේවි කියලා තමයි මුළු ක්‍රිකට් ලෝකයම හිතුවේ. ඒත් ඒ හිතුවිල්ල විහිළුවට ලක් කරන්නේ කෙන්යානු පා දඟ පන්දු යවන කොලින්ස් ඔබූයා තමයි. අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 24කට කඩුලු 5ක් දවාගනිමින් ශ්‍රී ලංකා මැදපෙළ ඉනිම විනාශ කර දමන්නට ඔබූයා සමත් වෙනවා. දෙවෙනි ඉනිමේ කිසිම අවස්ථාවක ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟයේ වාසිය ගන්නට ඉඩ නොතබමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 157කට සීමා කරන්න කෙන්යාව සමත් වනවා. මේ පරාජය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමිහිරිතම පරාජය හැටියට තමයි කාලයක් තිස්සේ සැළකුණේ.

 

3. කෙන්යාව බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම ලකුණු 73කින් පැරදවීම – 1996 ලෝක කුසලානය

Image Source – espncricinfo.com

2003 දී ශ්‍රී ලංකා කණ්ඩායමත්, මුළු මහත් ක්‍රිකට් ලෝකයත් හොල්මන් කරන්න කලින් 1996 වසරේ ලෝක කුසලානයේදි ලෝක පුදුම ජයක් වාර්තා කරන්න කෙන්යාව සමත් වෙනවා. ඒ කොදෙවු දැවැන්තයන්ව ලැජ්ජා සහගත පරාජයකට පත් කරමින්. ඉන්දියාවේදි පවත්වපු මේ තරඟයේදි මුලින් පන්දුවට පහර දෙන කෙන්යානුවන්ට රැස් කරගන්න හැකි වෙන්නේ ලකුණු 166ක් විතරයි. මේ අඩු ලකුණු ප්‍රමාණය හඹා යන්න පිටියට එන කොදෙවු කණ්ඩායමට බ්‍රයන් ලාරා, රිචී රිචර්ඩ්සන්, චන්ද්‍රපෝල්, මයික් ආතර්ටන් වැනි දක්ෂ පිතිකරුවන් රැසක් ඇතුළත් වී හිටියා. කොහොම නමුත් කෙන්යානු නායක මොරිස් ඔඩුම්බේ සහ රාජබ් අලීගේ පන්දු යැවීම ප්‍රබල කොදෙවු කණ්ඩායම අන්ත අසරණ කරන්නට සමත් වෙනවා කිසිම කොදෙවු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවවත් ඉක්මවන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. අන්තිමේදී ලකුණු 99කට කොදෙවු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දැවී යනවා.

 

4. ඉන්දියාව පරදා බංග්ලාදේශය කඩුළු 5කින් ජය ගැනීම – 2007 ලෝක කුසලානය

2007 ලෝක කුසලානය කියන්නේ ක්‍රිකට් ලෝකය හොල්ලපු නොසිතූ ජයග්‍රහණ දෙකක්ම වාර්තා වුණු තරඟාවලියක්. එයින් එක තරඟයක් තමයි මේ කියන ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරඟය. මේ තරඟය තමයි ලෝක කුසලානයේ මේ දෙරටම ක්‍රීඩා කරපු පළමු තරඟය වුනේ. මේ තරඟයේ මුලින්ම පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම එක් අවස්ථාවක ලකුණු 159ට කඩුලු 9ක් දැවිල අන්ත අසරණ තත්ත්වයට පත්වෙනවා. කොහොම නමුත් අවසාන කඩුල්ලට යම් පමණක සාර්ථක සම්බන්ධතාවයක් පවත්වා ලකුණු 191ක් කරා යන්නට ඉන්දියාව සමත් වෙනවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට පිටියට පිවිසෙන බංග්ලාදේශ කණ්ඩායම වැඩි අපහසුවකින් තොරව කඩුලු 5ක් පමණක් දැවී මේ ලකුණු සංඛ්‍යාව සාර්ථකව හඹා යන්න සමත් වෙනවා. ටමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම් සහ ෂකිබ් අල් හසාන් අර්ධ ශතක රැස් කරන්නට සමත් වෙනවා. තරුණ කණ්ඩායමකින් සමන්විත වූ බංග්ලාදේශය ප්‍රබල ඉන්දියාව පරාජය කිරීම ක්‍රිකට් ලෝකය පුදුමයට පත් කරන කාරණයක් වනවා සේම එම පරාජයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග පවත්වන තරඟයෙනුත් පරාජය වන ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලාන මුල් වටයෙන්ම තරඟාවලියෙන් ඉවත් වෙනවා.

 

5. අයර්ලන්තය විසින් කඩුලු 3කින් පාකිස්ථානය පරාජය කිරීම – 2007 ලෝක කුසලානය

Image Source – hindustantimes.com

2007 ලෝක කුසලානයේ සිදුවූ දෙවැනි පෙරළිය තමයි මේ. මේ පෙරළිකාර ජයග්‍රහණ දෙකම එකම දවසකදී සිදුවීමත් විශේෂ වූ කරුණක් හැටියට දක්වන්න පුළුවන්. ලෝක කුසලාන තරඟාවලිවලට ආධුනික කණ්ඩායමක් වුනු අයර්ලන්තය සමග තරගයේදි මුලින්ම පිතිකරණයට පිවිසෙන්නේ පාකිස්ථාන කණ්ඩායමයි. මුල සිටම අයර්ලන්ත පන්දුයවන්නන් පාකිස්ථානුවන්ට දැඩි පීඩනයක් එල්ල කරනවා. ඔවුන්ගේ මද වේග පන්දු යවන ක්‍රීඩක අන්ඩ්‍රේ බෝතා පන්දුවාර 8ක් තුළදී නිලකුණු පන්දුවාර 4ක් සමගින් ලකුණු 5කට කඩුලු 2ක් දවාගන්න සමත් වෙනවා. පාකිස්ථාන ලකුණු පුවරුව ලකුණු 132කට සීමා වෙනවා. පිළිතුරු ඉනිම හඹායන අයර්ලන්ත කණ්ඩායමේත් කඩුලු ඉක්මනින් බිඳ වැටුණත් අවසානයේදී කඩුලු 7ක් පමණක් දැවී මේ ඉලක්කය පසු කරන්න ඔවුන් සමත් වෙනවා. මේ පරාජය හේතුවෙන් පාකිස්ථානයේත් ලෝක කුසලාන සිහිනය බොඳ වී යනවා.

 

6. අයර්ලන්තය එංගලන්තය පරදා කඩුලු 3ක ජයක් වාර්තා කිරීම – 2011 ලෝක කුසලානය

2007 ලෝක කුසලානයේ වගේම පෙරළිකාර ජයග්‍රහණයක් ලබන්නට 2011 අවුරුද්දේත් අයර්ලන්තය සමත් වෙනවා. ඒ ප්‍රබල එංගලන්ත කණ්ඩායමට නොසිතූ පරාජයක් අත්කර දෙමින්. මේ තරඟයේදි මුලින්ම පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම ලකුණු 327ක් රැස් කරන්න සමත් වෙනවා. බොහොමයක් දෙනා හිතන්නේ ඇන්ඩර්සන්, ස්ටුවට් බ්‍රෝඩ් සහ ග්‍රැහැම් ස්වෝන් වැනි ප්‍රබල පන්දු යවන්නන් සිටින එංගලන්තය පහසුවෙන් මේ ලකුණු ගණන ආරක්ෂා කර ගනීවි කියලයි. කොහොම නමුත් එංගලන්තයෙන් තරඟය උදුරාගන්නට සමත් වෙන්නේ අයර්ලන්ත කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කෙවින් ඕ බ්‍රයනුයි. වරක් ලකුණු 111කට කඩුලු 5ක් දැවී පරාජයේ මාවතක සිටින අයර්ලන්ත කණ්ඩායම තමන්ගේ ප්‍රහාරාත්මක ඉනිම මගින් ජයග්‍රහණය වෙත කැඳවාගෙන යන්නට ඔහු සමත් වෙනවා. පන්දු 63කදී රැස් කරනු ලබන ලකුණු 113 ඉනිම නිසා කඩුලු 7ක් පමණක් දැවී අවසාන පන්දු වාරයේදී එංගලන්තය පරාජය කරන්නට අයර්ලන්ත කණ්ඩායම සමත් වෙනවා.

 

7. ඉන්දියාවේ 1983 ලෝක කුසලාන අවසන් තරඟ ජයග්‍රහණය

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය උඩු යටිකුරු කළ පළමු පෙරළිකාර ජයග්‍රහණය හැටියටයි ක්‍රිකට් විචාරකයන් මේ තරඟය හඳුන්වන්නෙ. ඒ වනවිට පවත්වා ඇති ලෝක කුසලාන තරඟාවලි දෙකේම ශූරයන් හැටියට අභිෂේක ලැබූ කොදෙවුවන් තුන්වෙනි ලෝක කුසලාන අවසන් තරඟයටත් පිවිසෙන්නේ ජයග්‍රාහී මානසික තත්ත්වයකින්. ඇන්ඩි රොබර්ට්ස්, මයිකල් හෝල්ඩින්ග්, ජොඑල් ගාර්නර් සහ මැල්කම් මාර්ෂල් ඇතුළුව එවකට ලෝකයේ හොඳම පන්දු යැවීමේ බල ඇණිය සතු වන්නේ කොදෙවුවන්ටයි. ඒ වගේම විව් රිචර්ඩ්ස්, ගෝර්ඩන් ග්‍රිනිච්, ක්ලයිව් ලොයිඩ්, ඩෙස්මන් හේන්ස් ඇතුළු ප්‍රබල පිතිකරණ ලැයිස්තුවකිනුත් කොදෙවුවන් සමන්විත වුණා. මේ තරඟයේදී කාසියේ වාසිය දිනන කොදෙවුවන් මුලින්ම පන්දුවට පහර දීමට ඉන්දියානු කණ්ඩායමට ආරාධනා කරනවා. කොදෙවු වේග පන්දු හමුවේ අසීරුවෙන් පිතිකරණයේ නිරත වෙන ඉන්දියානුවන්ට රැස්කරගත හැකි වන්නේ ලකුණු 183ක් පමණයි. කොදෙවුවන් මේ ලකුණු සංඛ්‍යාව පහසුවෙන් හඹා යනු ඇතැයි කියා තමයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. කෙසේ වෙතත් පන්දුවට පහර දෙන්න පිටියට එන කොදෙවුවන්ට මේ හඹායාම සිතූ ලෙසට ලේසි වන්නේ නැති බව මද වේලාවක් ගතවෙද්දීම පෙනෙන්නට පටන් ගන්නවා. කොදෙවුවන්ට සාර්ථක සම්බන්ධතා පවත්වන්නට නොදෙමින් ඔවුන්ගේ කඩුලු විටින් විට දවාගන්න ඉන්දියානු පන්දු යවන්නන් සමත් වෙනවා. විශේෂයෙන්ම මොහින්දර් අමරනාත් සහ මදන් ලාල් කඩුලු 3 බැගින් දවාගනිමින් කොදෙවුවන්ගේ කඩා වැටීම ඉක්මන් කරවනවා. අවසානයේ පන්දු වාර 52ක් තුළ සියලු දෙනා දැවී කොදෙවුවන් ලබාගන්නේ ලකුණු 140ක් පමණයි. මෙය එකල ක්‍රිකට් ලෝකයම විශ්මයට පත් කරන ජයග්‍රහණයක් වගේම ඉන්දියානු ක්‍රිකට් ක්ෂේත්‍රය පෙරළියකට ලක් කරන්න හේතු වූ සිදුවීමක් වුණා.

 

අපේ ලංකා කණ්ඩායම 1996 අවසන් තරඟයේදී ලබපු ජයග්‍රහණයත් නොසිතූ විරූ ජයක් හැටියට කෙනෙක් හඳුන්වන්න පුළුවන්. ඒ වුණත් අපේ නම් අදහස් ඒ කුසලාන තරඟාවලිය මුල සිටම අපේ කණ්ඩායම ක්‍රීඩා කරපු පරිණත ස්වභාවය නිසා අවසන් තරඟය වෙද්දි ඕස්ට්‍රේලියාවට ප්‍රබල තර්ජනයක් එල්ල කරන මට්ටමක පෙරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායම හිටියා කියන එකයි. අන්න ඒ නිසයි ඒ ජයග්‍රහණය අපි මේ ලිපියට ඇතුළත් නොකළේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *