ඉතිහාසයේ අමතක නොවන භූමිකම්පා

කලින් හඳුනාගැනීමට අපහසුම ස්වාභාවික විපත් අතර භූමිකම්පා ඉදිරියෙන්ම ඉන්නවා. ජපානය වැනි ලොවටම තාක්ෂණය හඳුන්වාදෙන රටවලට පවා භූමිකම්පා වලින් සිදුවන හානිය කලින් හඳුනාගැනීමට නොහැකි වූ අවස්ථා තියෙනවා. භූමිකම්පා නිතර සිදුවන අනතුරුදායක කලාපයේ පිහිටලා නැති නිසා, ලංකාව වාසනාවන්ත රටක්. ඒත් කිලෝමීටර 2000කටත් ඈත දුරක සිදුවෙච්චි 2004 ඉන්දුනීසියානු සුමාත්‍රා භූමිකම්පාව නිසා අපේ රටෙත් වටිනා ජීවිත තිස්දාහකට වඩා මුහුදු රළට බිලි වුනා.

 

 

1. 2011 ෆුකුෂිමා භූමිකම්පාව

Image Source – scmp.com

ජපානයේ ටොකෝහු පළාතේ මුහුදේ සිදුවුන භූමිකම්පාව රිච්ටර් මාපකයේ 9.1ක් වූ භූමිකම්පාවක් වුනා. එය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලම භූමි කම්පා අතර 4 වැනි තැන ගත් එකක් වුනා. මේ භූමිකම්පාවෙන් ජපාන වැසියන් 15,896ක් මරණයට පත් වුනා. එසේම මෙය නිසා ලක්ෂ දෙකකට අධික ජනතාවකට තවමත් ඔවුන්ගේ ගම් බිම් වලට යන්නට හැකියාවක් නැහැ. මේ භූමිකම්පාව නිසා ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ඨික බලාගාරය කාන්දු වෙන්නට ගත්තා. න්‍යෂ්ඨික බලාගාරයක ලීක් වීමක් පාලනය කරන්න බොහොම අමාරුයි. මේ ෆුකුශිමා න්‍යෂ්ඨික බලාගාරයේ පිපිරුම දෙවැනි වන්නේ 1986 දී සිද්ධ වූ රුසියාවේ චර්නොබිල් අනතුරට පමණයි. මේ සිදුවීමෙන් කෙලින්ම සිදුවූ මරණ සංඛ්‍යාව 1600ක්. ඒත් ඒ අවට පළාතේ ජනාවාස බොහොමයක් තවමත් පාලුවට ගිහින් තියෙන්නේ මේ බලාගාරයේ විකිරණ බලපෑම නිසා.

 

2. 2004 ආසියානු සුනාමිය

Image Source – earthobservatory.nasa.gov

සුනාමි ව්‍යසනයකින් සුවිශාල ජනකායක් අනතුරට පත් කළ බොක්සින් ඩේ සුනාමිය ලංකාවටද අඳුරු මතක සටහනක් වුනා. 2004 දෙසැම්බර් 26 වැනිදා පෝය දවසක්. ලංකාවේ ජනතාවත් නත්තල් නිවාඩුව සහ පෝය නිවාඩුවට විවේකයෙන් වන්දනා ගමන්, විනෝද ගමන් යන්න යොදාගෙන තිබුණා. අපේ රටට මුළුමනින් ආගන්තුක වූ සුනාමි ව්‍යසනය සැබෑ භූමිකම්පාව සිදුවී පැය තුනකටත් පස්සේ 26 උදේ ලංකාවට කඩාවදිනවා. රිච්ටර් මාපකයේ 9.1ක් වූ මේ භූමිකම්පාවේ බලපෑම සුමාත්‍රා වාසීන්ට බොහොම දරුණු අත්දැකීමක් වුනා.

2004 වෙද්දි සුමාත්‍රාවේ ඉහළ කෙළවරේ මේ භූමි කම්පාවට ආසන්න අචේ ප්‍රාන්තයට වෙනම පාලනයක් ඉල්ලලා අචේ ගරිල්ලන් අවි අතට අරගෙන තිබුණා. මේ භූමිකම්පාවෙන් අචේ ප්‍රාන්තයට සිදුවූ විනාශය කෙතෙක්ද යත්, භූමිකම්පාව සහ සුනාමියෙන් පසු යුද්ධ කරන්නට සැරසුණු අචේ ගරිල්ලන්ගෙන් තුනෙන් දෙකක්ම මිය පරළොව ගොස් සිටියා. මේ නිසා සුනාමියෙන් පසු ඉතිරි ගරිල්ලා භටයින් සාම මාවතට අවතීර්ණ වුනා. මේ ආසියානු සුනාමියෙන් ලංකාවෙන් තිස් එක්දාහකට වඩා පිරිසක් මිය පරලොව ගියා. මහා විපතින් මියගිය මුළු ගණන ලක්ෂ දෙකකටත් වඩා වැඩියි.

 

3. 1960 වල්ඩීවියා චිලී භූමිකම්පාව

Image Source – althistory.wikia.com

මෙතෙක් ඉතිහාසයේ සිදුවූ ප්‍රබලතම භූමිකම්පාව වාර්තා වන්නේ දකුණු ඇමරිකාවේ චිලී රටෙන්. රිච්ටර් මාපකයෙන් භූමිකම්පා මනින්නට ගත්තාට පස්සේ පෘථිවියෙන් වාර්තා වුණු ප්‍රබලතම භූමි කම්පාව වන්නේ මෙයයි. රිච්ටර් මානයේ 9.5ක් තරම් ප්‍රබල වූ මේ භූමිකම්පාවේ බලය ගිගාටොන් 178ක් තරම් විශාලතර එකක් වුනා. එනම් පරමාණු බෝම්බ දාහකටත් වැඩි බලයක් මේ භූමිකම්පාවේ ගැබ් වෙලා තිබුණා. 1960 මැයි 22 වන වැනිදා සිදුවූ මෙම භූමිකම්පාවෙන් ජීවිත 6000ක් බිලි ගත්තා. මේකෙන් වුණු හානිය ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වැඩියි කියලා ගණන් බලලා තිබුණා.

 

4. 1556 චීනයේ ශාන්ක්ෂි භූමිකම්පාව

Image Source – cdn2.destinationtips.com

මෙය සිදුවුනේ 1556 ජනවාරි 23 වෙනිදා. ලංකා ඉතිහාසය සැලකුවොත් ඒ කාලේ කෝට්ටේ රාජධානිය තියෙද්දි අපේ කෝට්ටේ වීරයින් පෘතුගීසින් සමග යුද්ධ කරපු කාලේ. චීනයේ ශාන්ක්ෂි කියන්නේ ෂියාන් පළාතට කිලෝමීටර 200ක් විතර ඈතින් තියෙන පළාතක්. මේ භූමිකම්පාව හේතුවෙන් නාය යෑම් රැසක් සිදුවුනා. ලොව සිදුවූ භූමිකම්පා වලින් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වෙන්නේ ශාන්ක්ෂි භූමිකම්පාවෙන්. මෙයින් මියගිය සංඛ්‍යාව අටලක්ෂ තිස්දාහක්. චීනයේ ඒ පළාතේ වාසය කළ ජනතාවගෙන් භූමිකම්පාවෙන් පස්සේ ජීවත් වෙන්න වාසනාව ලැබිලා තිබුනේ 40%කට පමණයි. ඒ කියන්නේ ජනයාගෙන් 60%ක්ම භූමිකම්පාවට බිලිවෙලා තිබුණා. මේ භූමිකම්පාවේ බලය රිච්ටර් මාපකයේ 8.0 පමණ වී ඇතැයි සැලකෙනවා.

 

5. 2015 නේපාල භූමිකම්පාව

Image Source – news.nationalgeographic

හිමාලය සීමාව උසම කඳු වලින් සමන්විත ලස්සන පළාතක් වුණත්, හිමාලය භූමිකම්පා සිදුවෙන්න පුලුවන් සීමාවක් ලෙස ලකුණු වෙලා තියෙනවා. පාකිස්ථානය, ඉන්දියාව, නේපාලය වගේම චීනයත් මේ හිමාල පළාතේ භූමිකම්පා වලට වරින් වර ලක් වුනා. අපේ දකුණු ආසියාතික රටක් වන නේපාලයේ 2015දි රිච්ටර් 7.8ක භූමිකම්පාවක් ඇති වුණා. ඒක උනේ පොකරා සහ කත්මන්ඩු අතර කලාපයේදී. මෙයින් මියගිය ගණන 5000කට වැඩියි.  නේපාලය කියන්නේ කඳුකර රටක්. මේකෙදි නාය යෑම් වගේම නාය යෑම් නිසා අවහිර වුණු දිය දහරා නිසා ඇතිවුණු ෆ්ලෑෂ් ෆ්ලඩ් හෙවත් හදිසි ගංවතුර තත්ත්වයන් නිසාත් මිනිස් ජීවිත සහ දේපළ ගොඩක් හානිවුනා. නේපාලය කඳු නගින අයගේ සුන්දර අඩවියක්. කඳු නගින්නට ගිය සිය ගණන් පිරිස් වලට මේ හදිසි භූමිකම්පාව නිසා අනතුරු වලට මුහුණ දී, ඇතැම් අයට ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිද්ධ වෙලා තිබුණා.

 

6. 1976 ටන්ග්ශාන් භූමිකම්පාව

Image Source – sixthtone.com

මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම හානියක් කළ භූමිකම්පාව ලෙස දැක්වෙන්නේ චීනයේ හෙබෙයි පළාතේ සිදුවූ රිච්ටර් මාපකයේ 7.6ක් පමණ වූ භූමිකම්පාවයි. මෙයින් මිය ගිය සංඛ්‍යාව චීනය විසින් 240,000ක් ලෙස දැක්වූවත්, සැබෑ ප්‍රමාණය එමෙන් තුන්ගුණයක් පමණ විය හැකි බව ඇතැම් වාර්තා පවසා තියෙනවා. මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේදි තරමක් අඩු එකක්. එහෙත් බෙහෙවින් ජනාකීර්ණ පළාතක සිදුවූ මෙම භූමිකම්පාවෙන් එම පළාතේ ගොඩනැගිලි 86%ක් පමණ බිමට සමතලා වුනා. දුම්රිය පාලම් සහ මහාමාර්ග දැඩි ලෙස හානියට පත් වුනා. 1976 ජූලි 28 වැනිදා සිදු වූ මෙම භූමිකම්පාව වාර්තා වුනේ උදෑසන 3.42 තරම් පාන්දර කාලයේදී. උමං කනිමින් ගල් අඟුරු මතුකරගැනීම සඳහා චීනයේ ටන්ග්ශාන් පළාත ප්‍රකට වෙලා තිබුනා. දස දහසක් පමණ වූ පතල් සේවකයින් මේ දැවැන්ත භූමිකම්පාව නිසා පතල් දෝනා වලම වැළලෙන්නට ඇති බව වාර්තා වල සඳහන් වෙනවා.

 

7. 2018 සුලවේසි භූමිකම්පාව

Image Source – time.com

රිච්ටර් 8.2ක් වුණු 2018 වර්ෂයේ සිදුවූ දැවැන්තම භූමිකම්පාව සිදුවුනේ නවසීලන්තයට උඩින් තියෙන ෆිජී දූපත් වල. ඒත් ෆිජී භූ කම්පනය මිනිස් ජනාවාස වලින් ඈත මුහුදේ තිබුන එකක් නිසා එයින් ජීවිත හානි සිද්ධ උනේ නැහැ.

සුලවේසි භූමිකම්පාව පසුගිය සැප්තැම්බර් 28 වැනිදා ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ පලු නගරය ආසන්නයේ සිදු වුනා. භූමිකම්පාවේ කේන්ද්‍රය තිබුනේ මූදේ. මුහුදු බොක්කක තිබුණු පලු නගරයට සුනාමි රළ කඩාවැදුනේ නගරයේ අය හිතුවෙවත් නැති විදියට. මේ නිසා නගරයේ ජනතාව එක් වරක් දැඩි භූමිකම්පාවෙන්ද දෙවැනි වර පැයකට පසු සුනාමියෙන්ද දෙවරක් බැටකෑවා. 2100ක් පමණ ජනයා මිය ගිය මෙම භූමි කම්පාව 2018 වර්ෂයේ දැනට වාර්තා වී ඇති, මිනිසුන්ට වැඩිම හානියක් වූ භූමිකම්පාව වෙනවා.

භූමිකම්පාවක හානිය කියන්නේ රිච්ටර් පරිමාණය වගේම සිද්ද වෙන තැන අනුවත් වෙනස් වෙන දෙයක්. ජපානය වගේ රටවල් භූමිකම්පා එන්න කලින් හඳුනාගන්න නවීන තාක්ෂණය යොදා ගන්නවා. ඒත් ඉන්දුනීසියාව වගේ භූමිකම්පා කටක තියෙන රටකට ඒ වගේ දියුණු තාක්ෂණය භාවිතා කරන්නට ආර්ථික හැකියාවක් නැහැ. ඒ වගේම ජපානයේ සහ භූමිකම්පා සිදුවන දියුණු රටවල ඉදිකිරීම් කරද්දි භූමිකම්පා වලට යම්තාක් දුරට ඔරොත්තු දෙන්නට ඉදිකිරීම් කරනවා. භූමිකම්පා වල මරු කටේ පිහිටි පාකිස්ථානය, ඉන්දියාව, නේපාලය, ඉන්දූනීසියාව, හයිටි, චිලී වගේ රටවලට එහෙම විශේෂ ආකාරයට ගොඩනැගිලි හදන්න හැකියාවක් නැහැ. ඒ අනුව ලෝකයේ භූමිකම්පා වලින් සිදුවන විනාශය භූමිකම්පාව සිදුවන රටේ ආර්ථික තත්ත්වය සහ පෙර සූදානම මතත් රඳාපවතින බව පේනවා.

2004 වනතෙක් අපේ රටේ අතලොස්සක් හැර සුනාමි හෝ භූමිකම්පා ගැන වැඩිමනක් තැකීමක් කළේ නැහැ. ඒත් අපි හදිසි සුනාමි ව්‍යසනය වෙලාවේ ඒ  ගැන කිසිදු පූර්ව සූදානමක් නැති කමින් හොඳටම බැට කෑවා. භූමිකම්පා කලාපයක පිහිටියේ නැතත්, භූමිකම්පා අනතුරින් සම්පූර්ණයෙන්ම අපි නිදහස් නැහැ. ඒ නිසා අපි යම්තාක් දුරට හෝ සුනාමි සහ භූමිකම්පා සම්බන්ධ අනතුරු ඇඟවීම් ගැන අවධානයෙන් සිටීම වැදගත් වෙනවා.

Cover Image Source – pointsoflight.org/ brookings.edu

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *