ශ්‍රී ලංකා ඉතිහාසයේ ආන්දෝලනාත්මක කතානායකවරු

කතානායකතුමා ගැන නිව්ස් එකක් නැති දවසක් මේ දවස්වල නෑ. අපිට නීති පනවන තැන, ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වෙන්නේ කතානායකතුමා. කිසියම් දේශපාලන පක්ෂයකින් කතානායකවරයා පාර්ලිමේන්තුවට තෝරා පත් වුණත්, එම ධුරයට පත්වීමෙන් පස්සේ කතානායකවරයා අපක්ෂපාතී ලෙස ක්‍රියා කිරීමට බැඳී සිටිනවා. ඒ වගේම කතානායකවරයාගේ තීරණයක් ප්‍රශ්න කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට පමණයි. ඒ හැරණම විධායකයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි ඒ තීරණ ප්‍රශ්න කිරීමේ හැකියාවක් නෑ. ලංකාවට පාර්ලිමේන්තු ක්‍රමය වගේම කතානායක තනතුරත් ලැබෙන්නේ මහා බ්‍රිතාන්‍යයෙන්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ The Speaker ලෙස හඳුන්වන තනතුර තමයි ලංකාවෙදි කතානායක බවට පත්වෙන්නේ. මේ වචනේ ගැනත් මුල් කාලීන භාෂා විශේෂඥයන් අතර වාදවිවාද ඇතිවෙලා තියෙනවා. ඇතැම් අය වාචස්පති, වදනිසුරු වගේම මැතිසබපති වගේ වචනත් යෝජනා කරලා තියෙනවා. ඒත් දැන් කතානායක කියන වචනේ අපේ ව්‍යවහාරයේ පැලපදියම් වෙලා තියෙනවා. මේ ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ ආන්දෝලනයට ලක්වෙන මට්ටමේ පුවත් මැවූ කතානායකවරු ගැන.

 

1. ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ

Image Source – wikivividly.com

ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා ඉතිහාසගත වන්නේ ශ්‍රී ලංකාවේ පළමුවන කතානායකවරයා  විදිහට. 1931 දි දැදිගම නියෝජනය කරමින් ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවට එක් වූ මොලමුරේ මහතා ස්ත්‍රී ලෝලියෙකු විදිහට ප්‍රසිද්ධියක් ලැබුවා. වරක් ආණ්ඩුකාරවරයාගේ බිරිඳට නොමනා විහිළුවක් කිරීම නිසා ආණ්ඩුකාර නිල නිවසේ සාද ඔහුට තහනම් වුණා. ඒ වගේම ඔහුට එරෙහිව මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව චෝදනා එල්ල වූ  නිසා මන්ත්‍රණ සභාවට පැමිණීමෙන් ඔහු වැළකී සිටියා. මාස තුනක් පුරාවට එසේ කිරීම නිසා ඔහුට කතානායක අසුන වගේම මන්ත්‍රී අසුන ද අහිමි වුණා. නැවතත් 1935 දී දේශපාලනයට පිවිසුණු මොලමුරේ 1947 වෙනකොට නියෝජනය කළේ බලන්ගොඩ ආසනය. ඊට පස්සේ ඔහු නිදහස් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ කතානායක ධුරය ලැබීමටත් භාග්‍යය ලැබුවා. තම ඥාතියෙකු වූ මඩුවන්වෙල දිසාවෙගේ බූදලය සාවද්‍ය ලෙස පරිහරණය කළා යැයි ද කතානායකවරයාට චෝදනා එල්ල වුණා. ඊට අමතරව දොස්තර අසරප්පා නම් මහතෙකු විසින් සිය දික්කසාද නඩුවේ විත්තිකරුවෙකු ලෙස මොලමුරේ මහතා නම් කිරීම නිසා ඔහුගේ ගෞරවයට වුණේ දැඩි හානියක්. පනාමුරේ ඇත්ගාලේ හිමිකරු ලෙස පනාමුරේ ඇත් රජු මරා දැමීම පිළිබඳව රටෙන්ම ඔහුට විරෝධය එල්ල වුණා. 1951 දී මොලමුරේ මහතා කතානායක අසුනේ සිටියදීම සිහිසුන් වෙනවා. ඊට දවස් තුනකට පස්සේ ඔහු මිය යනවා. ඒ දවස්වල කතාවක් ගියා කතානායකතුමා පුටුවේ සිහිසුන් වෙලා හිටියේ මරා දමපු පනාමුරේ ඇත් රජු විදිහටම කියලා.

 

2. ටී. බී. සුබසිංහ

Image Source – colombotelegraph.com

ටී. බී. සුබසිංහ මහත්තයා ආන්දෝලනාත්මක වෙන්නේ කල්ක්‍රියාවෙන් නෙමෙයි. ඒ එතුමාගේ පත්වීම ආන්දෝලනාත්මක නිසා. 1960 මාර්තුවේ පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 50කුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 46කුත් ලබා ගත්තා. ඒත් බහුතරය හිමි වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂයට. නමුත් එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මහතා ආණ්ඩුවක් පිහිටුවන්න තීරණය කළා. ආණ්ඩුවේ බලය පිළිබඳව මුල්ම සාක්කිය ලබා දෙන්නේ කතානායක ඡන්ද විමසීමෙන්. ආණ්ඩු පක්ෂය හිටපු කතානායකවරයෙකු වුණු ශ්‍රීමත් ඇල්බට් පීරිස් මහතා යෝජනා කරද්දි විපක්ෂයෙන් යෝජනා කළේ ටී.බී. සුබසිංහ මහතාගේ නම. සුබසිංහ මහතා ඡන්ද 93ක් ලබා ගනිද්දි පීරිස් මහතා ලබා ගත්තේ ඡන්ද 60ක් පමණයි. ඉන්පසුව ඉදිරිපත් කළ රාජාසන කතාවෙනුත් ආණ්ඩුව පරාද වුණා. මේ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නැවතත් ජූලි මාසයේ මැතිවරණයක් පවත්වන්න සිද්ධ වුණා.

 

3. හියු ප්‍රනාන්දු

Image Source – en.wikipedia.org

හියු ප්‍රනාන්දු මහතා කතානායක ධුරයට පත්වෙන්නේ ආර්.එස්. පැල්පොළ එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇමති ධූරයක් බාර ගැනීම නිසා. ඔහු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හිතවතෙකු වීම ඒ තෝරා ගැනීමට එක හේතුවක්. එහෙත් කතානායක ධූරයට පත් වීමෙන් පස්සේ හියු ප්‍රනාන්දු මහතා අපක්ෂපාතීව කටයුතු කරන්නට උත්සාහ කරනවා. 1964 දෙසැම්බර් මාසයේදී සිරිමාවෝ රජය ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීම සඳහා පනතක් ඉදිරිපත් කරනවා. මේ පනතට විපක්ෂව ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරු 13ක් ඡන්දය හාවිතා කිරීම නිසා දෙපක්ෂයේ ම ඡන්ද එක හා සමාන වෙනවා. මෙතනදි සිද්ධ වෙන්නේ කවුරුවත් බලාපොරොත්තු නොවුණු දෙයක්. කතානායකවරයා තම බලතල අනුව ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ පනතට විපක්ෂව. මේ නිසා පනත පරාජයට පත් වුණා විතරක් නෙමෙයි, ආණ්ඩුව විසුරුවා හරින්නත් සිදු වුණා. ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එකතු වුණු හියු ප්‍රනාන්දු මහතා 1980 වනවිට නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනවා. 1992 එතුමා සුප්‍රකට පාද යාත්‍රාව සමගින් එකතු වී සිටියදී ඇතිවුණු රෝගාබාධයකින් මිය යනවා.

 

4. ස්ටැන්ලි තිලකරත්න

Image Source – flickr.com

ඩඩ්ලි සේනානායක මහතා කියන්නේ අපේ රටේ හිටපු ශාන්ත ගතිගුණ තිබ්බ අගමැතිවරයෙක්. ඒත් දවසක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් නොනවත්වා සිදු කරන බාධා නිසා එතුමාට අධිකව කේන්ති යනවා. එම මන්ත්‍රීවරයාට පහර දීමට සැරසෙද්දි ආණ්ඩු පක්ෂයේ අනෙක් මන්ත්‍රීවරු අගමැතිවරයාව පාලනය කරගන්නවා. අගමැතිවරයාට වගේම බොහෝ  ඇමතිවරුන්ට දිගින් දිගටම බාධා කරපු මේ මන්ත්‍රීවරයා පස්සේ කාලෙක කතානායකවරයෙක් බවට පත් වෙනවා. ඒ 1970 දී. ඔහු කෝට්ටේ ආසනය නියෝජනය කරපු ස්ටැන්ලි තිලකරත්න. ඔහුගේ පත්වීමේදී යෝජනාව ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මෛත්‍රීපාල සේනානායක මහතාත්, ස්ථීර කිරීම විපක්ෂය වෙනුවෙන් ජේ. ආර්. ජයවර්ධන මහතාත් සිදු කරනවා. ස්ටැන්ලි තිලකරත්න මෙරට පළමු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා බවටත් පත් වෙනවා. 1977 මැතිවරණයෙන් පරාජයට පත් වුණත් නැවතත් 1989 ඔහු පාර්ලිමේන්තුවට ඇතුළු වෙනවා. ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහි විශ්වාසභංගයේදි ඒ පිළිබඳව ප්‍රේමදාස මහතාට දැනුම්දීම කළේ තිලකරත්න මහතා කියලත් කතාවක් තියෙනවා.

 

5. එම්. එච්. මොහොමඩ්

Image Source – en.wikipedia.org

2016 දී මිය ගිය එම්. එච් මොහොමඩ් මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙක්. ඒත්  අවසාන සමයේදි ඔහු සහයෝගය ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට. මොහොමඩ් මහතා කතානායක ධුරය දැරීමේදි සිදු වූ සිදුවීම් සමූහයක් ලංකා  ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ගන්නවා. ඒ විධායක ජනාධිපතිවරයෙකුට එරෙහිව පළමු වරට දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම නිසා. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ මෙම දෝෂාභියෝගය මුලින් කතානායකවරයා භාර ගන්නවා. නමුත් ප්‍රේමදාස මහතාගේ පීඩනය මත ඔහු එම දෝෂාභියෝගයේ අත්සන් ගණන නිවැරදි නොවන බව පවසනවා. මේත් එක්කම විපක්ෂ මන්ත්‍රීවරු කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාරදෙනවා. මෙහිදී නියෝජ්‍ය කතානායක ගාමිණි ෆොන්සේකා මහතා මුලසුනට පැමිණ විශ්වාසභංගයේ කටයුතු මෙහෙයවනු ලබනවා. අවසානයේ වැඩි ඡන්දයෙන් කතානායකවරයා සිය ධුරය රැක ගන්නවා.

 

6. වි. ජ. මු ලොකු බණ්ඩාර

Image Source – onlanka.com

2004 පැවති මහා මැතිවරණයෙන් පත් වූ පළමු පාර්ලිමේන්තුව තුළ මුල් කාලයේ පැවතුණේ සුළුතර රජයක්. මේ නිසා කිසිදා නොවුණු ආකාරයකට කතානායකවරයා තීරණය කිරීමේ ඡන්දය තීරණාත්මක වගේම ආන්දෝලනාත්මක වුණා. විපක්ෂයේ පක්ෂයක් වුණු ජාතික හෙළ උරුමය කතානායකවරයා තෝරන ඡන්දයේදී ස්වාධීන වීමට තීරණය කර තිබුණත් හදිසියේම එම පක්ෂයේ හිමිවරු දෙනමක් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා වුණු ඩිව් ගුණසේකර වෙනුවෙන් ඡන්දය භාවිතා කළා. මෙම ක්‍රියාවට ප්‍රතිරෝධය දැක්වීමක් විදිහට එම පක්ෂයේම තවත් හිමිවරු දෙනමක් විපක්ෂයේ අපේක්ෂකයා වුණු වි. ජ. මු ලොකු බණ්ඩාර වෙනුවෙන් ඡන්දය පළ කළා. මේත් සමගම විපක්ෂයේ අපේක්ෂක ලොකු බණ්ඩාර මහතා එක ඡන්දයක බහුතරයකින් කතානායකවරයා බවට පත් වුණා. පසු කාලීනව ආණ්ඩු පක්ෂය බහුතරය ලබා ගත්තත් කතානායකවරයා වෙනස් කිරීමට ඔවුන් බලාපොරොත්තු වූයේ නෑ. පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමත් සමගම වි. ජ. මු ලොකු බණ්ඩාර එක්සත් ජාතික පක්ෂය අත් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වී පළාත් ආණ්ඩුකාරවරයෙකු බවට පත් වුණා.

 

7. කරු ජයසූරිය

Image Source – google.com

කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පාක්ෂිකයන් අතර ජනප්‍රිය වූ අයෙක්. පසුව පක්ෂ නායකත්වය සමග ඇති වුණු ගැටුම් නිසා මහින්ද රාජපක්ෂ රජයට එක් වී නැවතත් එක්සත් ජාතික පක්ෂයට පැමිණියා. 2015 මහමැතිවරණයෙන් පසුව කතානායකවරයා බවට එතුමා පත් වුණා. විපක්ෂයේ ඇතැම් මන්‍ත්‍රීවරු ජයසූරිය මහතා පක්ෂග්‍රාහී යැයි දිගින් දිගටම චෝදනා කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කළ අගමැතිවරයා මාරු කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන ක්‍රියා සඳහා සිය දැඩි විරෝධය කතානායකවරයා පළ කළා. මීට පාර්ලිමේන්තුව තුළ පක්ෂවත් විපක්ෂවත් අදහස් පළ වුණා. මෙහි ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වරට පොලිස් ආරක්ෂාව යටතේ පාර්ලිමේන්තුවට පැමිණීමට කතානායකවරයාට සිදු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *