එළිසබෙත් මහ රැජිණගේ ප්‍රියතම ලේලිය කවුද කියලා දන්නවද?

දෙවැනි එළිසබෙත් රැජනගේ සහ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමාරයාගේ විවාහ ජීවිතය ලොවපුරා රාජකීයයන්ගේ පමණක් නොව සාමාන්‍ය ජනතාවගේත් ගෞරවාදරයට පත් වුණා. ඊට හේතුව වන්නේ මුල් කාලයේදී ඇතැම් හැලහැප්පීම් තිබූ බවට වාර්තා පළ වුණත් ඔවුන් දෙදෙනාම සිය විවාහය වෙනුවෙන් කැපවීම නිසයි. මේ නිසාම දෙවැනි එළිසබෙත් රැජනට සිය සියළු වගකීම් ඉටු කිරීම උදෙසා පිලිප් කුමාරයාගෙන් වචනයෙන් විස්තර කළ නොහැකි මට්ටමේ සුවිශාල සහයෝගයක් ලැබුණා. නමුත් අවාසනාවකට වගේ ඔවුන් දෙදෙනාගේ දරුවන් හතර දෙනාගෙන් තිදෙනෙකුගේම විවාහ බිඳ වැටී ගියා. බාලම දරුවා වූ එඩ්වඩ් කුමාරයා පමණයි සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නේ. මේ නිසාම දෙවැනි එළිසබෙත් රැජින සහ පිලිප් කුමාරයා සිය ප්‍රියතම ලේලිය ලෙස සළකන්නේ එඩ්වඩ් කුමරුගේ බිරිඳ වන සොෆී හෙලන් රෙයිස්-ජෝන්ස් (Sophie Helen Rhys-jone) ආර්යාවයි. අපි අද ඔබට කියන්න යන්නේ ඇය ගැනයි.

 

1. මධ්‍යම පන්තියේ උපන් ඇය

එඩ්වඩ් කුමරුගේ වැඩිමල් සහෝදර සහෝදරියන් සියළු දෙනාම පාහේ සිය විවාහය සඳහා තෝරා ගත්තේ රජ පවුල සමග සමීප සබඳතා සහිත පවුල්වල සාමාජික සාමාජිකාවන්. නමුත් සොෆීගේ පවුල සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් වූ අතර ඔවුන්ගේ පවුලේ ඉතිහාසය හතරවෙනි හෙන්රි රජුට ඥාතීත්වයක් දක්වන බව කියවෙනවා. සිය උසස් අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසුව ඇය මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස සේවය කළ තැනැත්තියක්.

 

2. පෙම් සබඳතාවය

ඇය එක්තරා රේඩියෝ නාලිකාවක සේවය කරමින් සිටියදී එඩ්වඩ් කුමරුව පළමු වරට මුණගැසී තිබුණා. ඒ වන විට ඔහු සොෆීගේ මිතුරියකගේ පෙම්වතකුව සිටි බව කියවෙනවා. කෙසේ නමුත් ඉන් පසුව නැවත ඔවුන් මුණ ගැසුණේ ඉන් වසර හයකට පමණ පසුවයි. එම හමුවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් ඇති වුණු අතර 1999 වසරේ දී ඔවුන් දෙදෙනා විවාහයට පත් වුණා. කෙසේ නමුත් මෙම විවාහ මංගල්‍යය රජ පවුලේ අනෙකුත් සාමාජිකයන්ගේ එවැනි උත්සව මෙන් අතිදැවැන්ත උත්සවයක් වුණේ නැහැ.

 

3. ඇයට සහ සැමියාට පැවරෙන වගකීම්

දෙවැනි එළිසබත් රැජින නියෝජනය කරමින් බොහෝ උත්සව අවස්ථා සඳහා සහභාගී වීමට ඔවුන් දෙදෙනාට සිදු වුණා. විශේෂයෙන්ම යුරෝපයේ අනෙකුත් රාජකීය පවුල්වල පැවැත්වෙන උත්සව සඳහා ඔවුන් දෙදෙනා අනිවාර්ය ආරාධිත අමුත්තන් බවට පත්වුණේ නිරායාසයෙන්මයි. එඩ්වඩ්ගේ අනෙකුත් සහෝදර සහෝදරියන් සාර්ථක විවාහ ජීවිත ගත නොකිරීමත් මීට එක් හේතුවක් වන්නට පුළුවන්.

 

4. සමාජ සේවා කටයුතු

ඔවුන් දෙදෙනා සමාජ සේවා කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරන අතර ඒ වෙනුවෙන් පදනමක්ද පිහිටුවා තිබෙනවා. විශේෂයෙන්ම දරුවන් සහ තරුණ තරුණියන් බල ගැන්වීම කෙරෙහි ඔවුන් දෙදෙනා වැඩි අවධානයක් යොමු කරනු ලබනවා. එසේම මව් බිසව වන එළිසබෙත් බිසවගේ මරණයෙන් පසුව රාජකීය කථන චිකිත්සකයන්ගේ සංගමයේ අනුග්‍රාහක ධූරය ඇය වෙත හිමි වුණා. එසේම මාග්‍රට් කුමරියගේ මරණයෙන් පසුව එක්සත් රාජධානියේ කාන්තා බාලදක්ෂ කණ්ඩායමේ සභාපති ධුරයත් ඇයට හිමි වුණා.

 

5. දරුවන්

සොෆීගේ සහ එඩ්වඩ්ගේ කැදැල්ලට දියණියක් සහ පුතෙක් එක් වී සිටින අතර ඔවුන් දෙදෙනාම සාමාන්‍ය ජීවිතයකට හුරු කිරීමට දෙමව්පියන් ලෙස තමන් උත්සාහ දරන බව සොෆී පවසා තිබෙනවා. වැඩිමලා වන ලුවිස් වින්ඩ්සර් ආර්යාව මේ වන විට 18 වන වියේ පසුවන අතර වර්තමානයේ දී ඇය සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා සූදානම් වෙනවා. බාලයා වන ජේම්ස් දහහතර හැවිරිදි වන අතර ඔහු තම පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත වනවා.

 

6. එල්ලවුණු චෝදනා

ඇයට සහ ඇගේ සැමියාට බහරේන රජ පවුලෙන් ත්‍යාග ලෙස ස්වර්ණාභරණ ලබා ගැනීම පිළිබඳව චෝදනා එල්ල වුණා. ඒ වන විට බහරේනය තුළ පැවැති මානව හිමිකම් කඩකිරීම් වලට එරෙහිව විරෝධතා බ්‍රිතාන්‍ය තුළ වැඩි වෙමින් තිබූ පසුබිමක මෙවැනි ත්‍යාගයක් බ්‍රිතාන්‍ය රාජකීයයන් විසින් බාර ගැනීම දේශපාලන විචාරකයන්ගේද විවේචනයට ලක් වුණා.

 

7. ලංකාවට පැමිණි සොෆී

ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු පැවැත්වූ හැත්තෑ වෙනි අනුස්මරණ උත්සවය සඳහා දෙවැනි එළිසබත් රැජින නියෝජනය කරමින් එඩ්වඩ් කුමරු සහ සොෆී ආර්යාව සහභාගි වුණා. ඔවුන් දෙදෙනා දින පහක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි අතර මහනුවර ශ්‍රී දළදා මාළිගාව සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට ගියා. මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමුවී ඔවුන් ධෛර්යවත් කළ ඔවුන් රත්මලානේ පිහිටි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන පාසලද නිරීක්ෂණය කිරීමට කටයුතු කළා.

 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *