ලෝක ඉතිහාසයේ දරුණුම නැව් ඛේදවාච​ක

ලංකාවේ මුහුදු සීමාවට ඇවිල්ලා ගිනි ගැනීමට ලක්වුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැනනෙ මේ දවස්වල හැමෝම වගේ කතාවෙන්නෙ. මේ නැවෙන් පිටවෙන රසායනික ද්‍රව්‍ය, මයික්‍රො ප්ලාස්ටික් සහ ඉන්ධන වලින් සාගරයට වගේම වෙරළට සිදුවෙන හානිය අතිමහත්. හැබැයි ඒ ගැන හැමෝම කතාවෙන නිසා අපි හිතුව වෙන නැව් ගැන කතා කරන්න. මේ ලෝක ඉතිහාසයේ දරුණු ලෙසම අනතුරට පත්වුණ නැව්. ඈත ඉතිහාසයේ ඉඳලා මේ වෙනකන්ම නැව් අනතුරුනම් කොයිතරම්නම් ප්‍රමාණයක් මේ මහමුහුද මැද්දෙ සිද්ධ වෙලා තියෙනැවද. එක එක කෝණයන්ගෙන් බැලුවහම මේකයි ලොකුම අනතුර කියල කියන්න එකක් දෙකක් තොරගන්නත් බැරි තරම්. ඒ තරමටම ලොකු හානියක් මුහුද මැද්දේ නැවක් අනතුරකට ලක්වීමෙන් වෙන්න පුළුවන්.

මේ කියන්න යන්නෙ සිදුවෙලා තියෙන ජීවිත හානි ප්‍රමාණය සළකල බැලුවහම ඉදිරියෙන්ම තියෙන නැව් අනතුරු කිහිපයක් ගැනයි.   

 

1. Doña Paz

මේ Doña Paz කියන පිලිපීන නෞකාවේ අනතුර තමයි දැනට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණු නැව් අනතුර විදිහට ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්නෙ. මේ නැව ජපානයේ නිෂ්පාදන කරපු, පිලිපීන නෞකාවක්. මේ නැව අනතුරට පත්වෙලා තියෙන්නෙ 1987 දෙසැම්බර් 20 වෙනිදා පිලිපීනයේ Leyte දුපතේ ඉඳල පිලිපීනයේ අගනගරය වන මැනිලා වලට ගමන් කරන අතරතුරේ පිලිපීනයටම අයිති වෙක්ටර් කියන ඉන්ධන ප්‍රවාහනය කරන Oil Tanker වර්ගයේ නෞකාවක ගැටීමෙන්. මේ අනතුර සිදුවෙන වෙලාවේ නැව එහි ධාරිතාවයට වඩා විශාල සෙනඟ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් ඉඳලා තියෙන බව තමයි කියවෙන්නේ. මිනිස්සු 2000කගේ පමණ නම් මගී ලැයිස්තුවේ ඇතුළත් වෙලත් නැහැ. නැවේ ගමන් කරපු මගීන්ගෙන් 25 දෙනෙකුගේ විතරයි ජීවිත බේරිලා තියෙන්නෙ. ඉතිරි මගීන් 4386ක වගේ ප්‍රමාණයක් මරණයට පත්වෙලා තියෙන බව ඇස්තමේන්තු කරල තියෙනවා. 

 

2. Kiangya

Kiangya කියන්නෙ චීනයට අයත් මගී නෞකාවක්. මේ නැව අනතුරට පත්වෙලා තියෙන්නෙ 1948 දෙසැම්බර් 3 හෝ 4 කියන දවස් දෙකෙන් එකකදී. හරිම දවසක් ගැන තොරතුරු සඳහන් වෙන්නෙ නැහැ. නැව අනතුරට පත්වෙලා තියෙන්නෙ චීනයේ, ශැන්ග්හයි නුවරට උතුරු දෙසින් Huangpu කියන ගංගාවට ඇතුළු වෙන ස්ථානයේදී පිපිරීමකට ලක්වීමෙන්. 1956 වසරේදී මේ නැවේ ඉතිරි කොටස් එම ස්ථානයෙන් ඉවත් කරල ප්‍රතිසංස්කරණය කරල නැවත SS Dongfang Hong 8 විදිහට නම් කරල සේවයට යොදවල තියෙනවා. නැව අනතුරට පත්වෙන වෙලාවේ ඒ කියන්නේ චීන සිවිල් යුද්ධය අතරතුරේදී මේ නෞකාව ශැන්ග්හයි නගරයේ Shiliupu නැව් තටාකාංගනයේ ඉඳලා Ningpo වෙත කොමියුනිස්ට්වාදීන්ගෙන් පලා යන සරණාගතයින් ප්‍රවාහනය කරමින් තමයි ඉඳලා තියෙන්නෙ. ටොන් 2100ක බරක් මේ අවස්ථාව වෙනකොට නැවෙන් ප්‍රවාහනය කරමින් තිබිල තියෙනවා. අනතුර සිදුවුනා කියල සැක කරන්නෙ දෙවෙනි ලෝක යුද්ධ සමයේදී ජපානය විසින් මුහුදේ තැන්පත් කරපු බෝම්බයක් සමඟ ගැටීමෙන්. මේ අනතුරින් ජීවිත හානි 2750ත් 3920ත් අතර ප්‍රමාණයක් සිදුවුණ බව තමයි විශ්වාස කරන්නේ. 

 

3. Mont-Blanc

මේක ප්‍රංශ සමාගමකට අයිති නැවක්. නිෂ්පාදනය කරල තියෙන්නෙ එංගලන්තයේ. අනතුරට ලක්වෙන්නෙ කැනඩාවේ නොවා ස්කෝටියා ප්‍රාන්තයේ Halifax කියන වරාය ආසන්නයේදී. පටු මාර්ග ඔස්සේ බෙඩ්ෆර්ඩ් ද්‍රෝණිය දෙසට ගමන් කරමින් ඉන්නකොට මේ නැව තවත් නෞකාවක් සමඟ ගැටෙනවා. ගැටීමෙන් ඇතිවෙන ගින්නෙන් නැවේ ප්‍රවාහනය කරමින් තිබුණු ටොන් 2300කට අධික අධි වාෂ්පශීලී පුපුරණ ද්‍රව්‍ය සියල්ල පිපිරීමට ලක්වෙනව. මරණ 2000ක් සිදුවුණ බවට ඇස්තමේන්තු කරල තියෙනවා වගේම තවත් පුද්ගලයින් 9000කට ආසන්න සංඛ්‍යාවකට අනතුරු සිදුවෙලා තියෙනවා. 

 

4. RMS Titanic

මේක ගැනනම් නොදන්න කෙනෙක් නැති තරම්නේ. මේ RMS Titanic කියල කියන්නෙ අපි හැමෝම දන්න Titanic නෞකාව. දැනට ලෝක ඉතිහාසයේ සිදුවුණ දරුණුතම, වගේම ප්‍රසිද්ධම මගී නැව් අනතුරු වලින් එකක් තමයි මේ අනතුර. මේ නැව අයිති බ්‍රිතාන්‍යයට. අනතුරට ලක්වෙන්නේ 1912 අප්‍රේල් 14 වෙනිදා එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය දක්වා වූ නැවේ මංගල ගමනේදී අයිස් කන්දක ගැටීමෙන්. මේ කාලයේදී ලෝකයේ ලොකුම නෞකාව විදිහටත් මේ නැව සළකලා තියෙනවා. නැවේ ගමන් කළ පිරිසගෙන් 706 දෙනෙකුගේ පමණක් ජීවිත බේරිලා 1516 දෙනෙකුට ජීවිත අහිමිවෙලා තියෙනවා.  

 

5. Taiping

චීනයේ ඉඳලා තායිවානයට ගමන් කරමින් සිටින අතරතුරේදී වෙනත් නෞකාවක් සමඟ ගැටීමෙන් අනතුරට පත්වුණ මේ Taiping නෞකාව චීනයට අයත් නෞකාවක්. අනතුර සිදුවෙන්නෙ 1949 ජනවාරි 27 වෙනිදා. අනතුරෙන් මගී ජීවිත 1500කට අධික සංඛ්‍යාවක් අහිමි වෙලා තියෙනවා. චීන සිවිල් යුද්ධයෙන් පස්සේ කොමියුනිස්ට්වාදීන්ගෙන් පලායමින් සිටි සරණාගතයින් 1000කට අධික සංඛ්‍යාවකුත් එක්ක නැවේ ධාරිතාවයට වඩා සෙනඟ මේ අනතුර සිදුවුණු අවස්ථාවේ ගමන් කරමින් ඉඳල තියෙනව කියල තමයි පසුව සොයාගත් තොරතුරු වල සඳහන් වෙන්නෙ. 

 

6. RMS Lusitania

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඉඳල එංගලන්තයේ ලිවර්පූල් නගරය වෙත ගමන් කරමින් සිටින අතරතුර ජර්මානු හමුදාවේ U-20 නම්වූ සබ්මැරීනයේ ගැටීමෙන් තමයි මේ නැව අනතුරට පත්වෙන්නෙ. RMS Lusitania නැව බ්‍රිතාන්‍යයට අයිති නෞකාවක්. 1906 වසරේ මුලින්ම දියත් කළ මාසයේදී ලොව විශාලතම, වේගවත්ම හා සුඛෝපභෝගීම නෞකාව විදිහට සැළකුණු මේ නෞකාව අනතුරට ලක්වෙන්නේ 1915 මැයි 07 වෙනිදා. අනතුරෙන් ජිවිත හානි 1198ක් පමණ සංඛ්‍යාවක් සිදුවුණ බවත් ඒ මරණයට පත්වුණු පිරිසගෙන් වැඩි කොටසක් ඇමරිකානුවන් බවත්, පසුකාලීනව ඇමරිකානුවන් ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරමින් දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වෙන්නත් මේ අනතුර ලොකු හේතුවක් වුණ බවත් කියවෙනවා. 

 

7. Toya Maru

Toya Maru කියන්නෙ ජපානයට අයිති නෞකාවක්. අනතුරට පත්වෙන්නෙ 1954 සැප්තැම්බර් 26 වෙනිදා ජපානයේ හොකයිදෝ සහ හොන්ෂු දූපත් අතර සුගාරු සමුද්‍ර සන්ධියේදී. ඒ සුළි කුණාටුවකට හසුවීමෙන්. මේ අනතුරෙන් දල වශයෙන් ජිවිත 1153 ක් වගේ ප්‍රමාණයකට හානිවෙලා තියෙන බව තක්සේරු කළත් අවසන් මොහොතේ ප්‍රවේශපත් අවලංගු කළ පිරිස සහ ප්‍රවේශපත් නොමැතිව නැවට ඇතුළත් වූ පිරිසත් සිටි බවට තොරතුරු වාර්තා වන බැවින් මියගිය නිවැරදිම සංඛ්‍යාව ගණනය කරන්න හැකියාවක් නැහැ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *