වයිෆ් එක්ක ට්රැවල් කිරීම කියන්නේ දෙන්නා අතර හිත හොඳ වැඩිවෙන, බොහොම ලෙන්ගතු බවක් ජීවිතේට එකතු වෙන අමුතු දෙයක්. ඒත් ඉතින් පොත්වල ඔහොම තිබුණාට, පෙම්වතිය කාලේ හමුවෙන්න දවස්, පැය ගණන් පෙරුම් පිරුවට බැන්දට පස්සේ ඒවා වෙනස් වෙනවා. නිවාඩු දවසක් ඉදිරියේ තියෙනවා නම් ට්රැවල් විත් වයිෆ් කියන්නේ මතක් වෙනකොටත් ටිකක් අප්සට් යන සීන් එකක් වෙනවා. “ට්රැවල් විත් වයිෆ් ඉන් මයි ස්ටයිල්” අපි බලමු මේකේ ඇත්තටම වෙන්නේ මොනවද කියලා.
1. වයිෆ් නිදි, මම ඩ්රයිවින්

Image Source – youtube.com
දුර ඉන්න නෑයෙක්ගේ ගෙදර හෙම යනවා නම් මුලින්ම ඒකෙ උනන්දු කිරීම, නෑයින්ට දැනුම් දීම, එනවා යැයි කීම ආදී රට ගිනි තැබීමේ මූලික පියවර ටික වයිෆ් විසින් ගාණට නූලට සම්පූර්ණ කරනවා. පෙළක් වෙලාවට එක තැනකට ගිහින් එන්න තියන සිම්පල් ගමන පළාතේ ඉන්න නෑදෑ හිතවතුන් කිහිප දෙනෙක්ම බලාගෙන එන ගමනක් බවට පත් කරගන්නට වයිෆ් ගෙන් ලැබෙන්නේ ලොකු දායකත්වයක්. ඒත් ඉතිං වාහනේට නැග්ග වෙලාවේ ඉඳලා මොනවා හරි ගැන කියවමින් ඉඳලා වයිෆ් නින්දට යනවා. ළමයි ඉන්නවා නම් ඒ අයත් එක්කම වයිෆ් වාහනේට නැගලා විනාඩි ගණනාවක් ඇතුළත නිදියනවා. ඉතිං මුලු දුරම ඩ්රයිව් කරලා ලොකේශන් එක ගාවින් බහිනකල් “එයා නිදි- මම ඩ්රයිවින්” ස්ටයිල් එක තමයි ෆලෝ කරන්න වෙන්නේ.
2. සැලෝන් යනවා

Image Source – mydailylifetips.com
ඉස්සර සැලෝන් ගියේ කොණ්ඩේ කපන්න. ඒත් දැන් වයිෆ්ට සතියකට දෙකකට වතාවක් සැලෝන් යන්න ඕනා වෙනවා. වැලි කඩදාසි ඇල්ලීම, පොටි ඇදීම, පේන්ට් කිරීම ආදී නොයෙකුත් වැඩ වෙනමම ආකාරයට සැලෝන් වලදි සිද්ධ වෙනවා කියල තමයි සැලෝන් එකකට වයිෆ් එක්ක ගිය පේන්ට් බාස් මාමා කෙනෙක්ගේ අදහස වුනේ. කොහොම හරි ඉතිං වයිෆ් එක්ක සැලෝන් යෑම එච්චරම නරකම නැහැ. සැලෝන් එකේ ඉන්න නංගිලාත් හැඩයි, එන අයත් ටිකක් හැඩයි. වට පිට බල බල, තියෙන මැගසින් එකක් බලාගෙන ඉන්න තමයි සැලෝන් ට්රැවල් වලදි වෙන්නේ.
3. වයිෆ් එක්ක රෙදි ගන්න යනවා

Image Source – eblogfa.com
“අනේ මේක හොඳයි නේද? මේ පාට, මේ ඩිසයින් එක අරයටත් තිබුණා.” ආදී සැමියාණෝ උත්තර නොදෙන මුත් ප්රශ්න නැගීම අඹු සැමි රෙදි කඩ සවාරිවලදී බිරිඳගේ සිරිතක්. අවසානයේ ගොලුවෙකු වගේ කිසිම අදහසක් නැතිව සිටියොත්, “ඔයා ඉතිං හොල්මන වගේ ඉන්නවා මොකුත් කියන්නේ නැහැ නේ…” කියා බැනුම් ඇසීමට සිදුවන්නේ සැමියාටමයි. ඇය තෝරාගන්නා ෆැෂන් එක ගැන ඇගේ හිතේ තියෙන දේම කිව්වත් එයින් හොඳක් අහන්නට ලැබෙන්නේ නම් කලාතුරකින් තමයි. කොහොම වුනත් අපේ ඇඳුම් ගැනත් හොයාබලලා අපිට ඕනි සස්පෙන්ඩර් එක පවා අරන් දෙන නිසා වයිෆ් විත් ටෙක්ස්ටයිල් කියන්නෙත් ලොකු ආබාධයක් තියෙන ගමනක් නෙමෙයි.
4. ඕ පරෙස්සමෙන් අනේ!

Image Source – dissolve.com
වයිෆ් එක්ක ගමන් යන්න ගියාම එයාගේ අධීක්ෂණ සෙන්සර් එක එපාම වෙන වෙලාවක් තමයි ඩ්රයිව් කරන්න උපදෙස් දෙන එක. රියදුරෙක් විදියට සැමියා යනවා නම් මේ කරදරය ඇතැම් සැමියන්ට හුරු වෙන්නට සිද්ධ වෙනවා. ඇයට ඇතැම්විට කාර් එක කෙලින් පාරකවත් ගෙනියන්න බැරි වුනත්, වංගුව ගත්ත විදියේ වැරැද්ද, එතනදි ඉස්සර කළ එකේ වැරැද්ද ආදී බොහෝ දේ සම්බන්ධයෙන් උපදෙස් දෙන්නට විශේෂඥ හැකියාවක් වයිෆ්ට තියෙනවා. අලුතින් එන වාහන වල වේගය නොදැනීම වැඩිවෙන වෙලාවට එහෙම මේ විදිහේ ලර්නර්ස් ඉන්ස්ට්රක්ටර් වයිෆ් වැදගත් වෙනවා. “ආහ්… වාහනේ වේගේ වැඩියි අනේ… ඇයි ඔයාට මෙච්චර හදිස්සි?” කියා අහලා අපේ වේගය පාලනය කරගන්න හැකියාව ට්රැවල් විත් වයිෆ් වලදි අපිට ලැබෙන තවත් වාසියක්.
5. ඇදගෙන, උස්සගෙන යන්න සිද්ධ වීම

Image Source – youtube.com
කපල් ගිහින් ලස්සන තැන්වල ලස්සන ලස්සන පොටෝ දැම්මාම අපි ජෝඩුවටත් එහෙම යන්න ඕනි වෙන වෙලාවල් තියෙනවා. එතකොට ඔන්න ඉතිං සෙට් වෙලා යනවා. සමහර තැන්වල ගස්, ගල්, කඳු ගිරිහිස් මුදුන් වල උඩ ඉඳන් ගත්තු කපල් පොටෝ ලස්සන වුනාට ඒ තැන්වලට ළඟා වෙන්න හරි අමාරුයි. ඒක උඩට ගිහින් ගහන කපල් පොටෝව දැකලා වහ වැටිලා ගියාට එතනට ළඟා වෙන්න පයින් යන්න ගියාම එපා වෙනවා. කොටින්ම අනුරාධපුරේ, පොළොන්නරුවේ වුනත් දෙන්නත් එක්ක ගිහින් මළුවට වෙලා බුදුන් වඳින පොටෝවක් හැඩට ගන්න බලන් ගියාට, කාෂ්ඨක අවුවේ කකුල් පිච්චි පිච්චි උඩ බලන්න බැරි තරම් තද ගිරීස්මේ ඇවිදන් යන්න ගියාම ආසාව හමාර වෙනවා. සමහර වෙලාවට බොහොම උනන්දුවෙන් ගමන වයිෆ්ගේ අදහස ඇතුව ප්ලෑන් කරත්, එයාව වත්තන් කරගෙන, ඇදගෙන, එයාගේ බර දරාගෙන යන්නත් සැමිවරුන්ට සිද්ධ වෙනවා.
6. සප්ලයි

Image Source – youtube.com
වයිෆ් එක්ක ට්රැවලින් කිව්වාම ඉතින් ළමයි ඉන්නවානම් බොහෝවිට ළමයිත් එක්ක යන්න වෙනවා ප්රායෝගිකව. එතකොට ගමන ඉස්සර වගේ ජෝඩුව සෙට් වෙලා යන්න අමාරුයි. බඩු බාහිරාදිය ගොඩක් සැලසුම් කරගන්න වෙනවා. මේ විදියට ගමන ප්ලෑන් කරද්දි ඇඳුම්, බබාලට ඕනි කරන දේවල්, ගමනේ කෑම බීම ආදී වගකීම් ගොඩක් එකතු වෙනවා. මේ වගකීම් බොහෝවිට පැවරෙන්නේ වයිෆ්ට. වයිෆ් දරුවන්ගේ කෑම බීම ගැන හිතලා, බජට් ප්ලෑන් කරලා, ඇඳුම් පැළඳුම් සැමියටත් එක්ක අරගෙන, සමහර වෙලාවට සැමියාට අලුත් තැනකට ගියාම ටවල් එක හොයලා දෙන්නෙත් වයිෆ්ම තමයි. කෑම බීම වල ඉඳන් ටූත්පේස්ට් එක දක්වා සප්ලයි ගැන වයිෆ් දැඩි අවධානයකින් ඉන්නේ. ඒ වගේම ළමයි ගැනත් සැමියාට වඩා වැඩි අවධානයකින් යන නිසා ඇත්තටම වයිෆ් එක්ක ට්රැවල් කරන එකේ පොඩි ලල් එකකුත් තියෙනවා.
7. බොන්නෙහෙම නෑ ඔන්න!

Image Source – i0.wp.com
සිංගල් කාලේ වගේ නෙමෙයි බැන්දාම. වෙනදා තොග ගණන් තියාන හිටිය ෆෝන් එකේ ෆෝල්ඩර්, චැට් ලයින්, ගෲප් චැට් පවා බැන්දාට පස්සේ ඩිලිට් කරන්න වෙනවා. ඉතිං වයිෆ් එක්ක යද්දි බොන එකට නම් සීමාවක් බොහෝවිට එනවා. කන බොන වයිෆ් කෙනෙක් හිටියනම් හොඳයි කියලා හිතුනත් එහෙම කන බොන වයිෆ් කෙනෙක් එක්ක ජීවිතේ ගෙනයෑම පහසු නැහැ. බොන්න සෙට් වුනත් සොට් දෙක තුනක් දාද්දි මිස් කෝල් එනවා, නැත්නම් ඇවිත් කරේ එල්ලෙනවා, නැත්තම් රවනවා ආදී ලක්ෂණ බොහෝවිට වයිෆ් එක්ක ගියාම දකින්නට ලැබෙනවා.
8. ට්රැවල් විතවුට් වයිෆ් ඇන් විත් වයිෆ්

Image Source – shutterstock.com
ජීවිතේ සමහර සවාරි වර්ග තියෙනව ඇත්තටම අපේ වයිෆ්ව එක්කරන් යන්න අමාරුයි. දරුණු මට්ටමේ කඳු තරණයන්, ඇඩ්වෙන්චර් ගමන්, මුහුදු ගමන්, අවදානම් ගමන් ආදිය වයිෆ් එක්ක සෙට් වෙලා යන්න අමාරුයි. ඒ වගේම සමහර ගමන් ලස්සන කරගන්නත් වයිෆ් වැදගත් වෙනවා. පවුල් බැඳීම වැඩිවෙන්න, හැමදාම ඔෆිස් එකේ සිට ගෙදර දක්වා තියෙන ඒකාකාර ගමන් රටාව වෙනස් කරන්න වයිෆ් එක්ක ෆැමිලියම එක්ක සවාරියක් යෑම ගොඩක් හොඳ දෙයක්. කසාද බැඳීම එක්ක ට්රැවලින් ස්ටයිල් එකත් පොඩ්ඩක් වෙනස් කරන්න වෙනවා ෆැමිලි ලයිෆ් එක වෙනුවෙන්. ඒක වෙලාවකට ටිකක් බෝරින් වුනත් වයිෆ් විත් ට්රැවලින් වලට ටිකක් හුරුවෙන්නට සැමියෙකුට සිද්ධ වෙනවා තමුන්ගේ පවුල් ජීවිතය වෙනුවෙන්.
Cover Image Source – blogiism.com
Leave a Reply