ගෙදර ඉඳන් පොඩියට ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්නවා නම්, මේ උපදෙස් වැදගත් වෙයි

කොවිඩ්-19 වසංගතයත් එක්ක ලෝකේ ගොඩක් දේවල් උඩුයටිකුරු වුණා. මිනිස්සුන්ට තමන්ට හුරුපුරුදු ජීවිත වලින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න සිද්ධ වුණා. ඔෆිස් යන අයට වර්කින් ෆ්‍රොම් හෝම් සංස්කෘතියකට හුරුවෙන්න වුණා. හැමදාම ඉස්කෝලේ ගියපු, කැම්පස් ගියපු, ක්ලාස් ගියපු අයට ස්ටඩි ෆ්‍රොම් හෝම් සංස්කෘතියකට හුරුවෙන්න සිද්ධ වුණා. කඩේ ගිහිල්ලා බඩු ගත්ත මිනිස්සුන්ට වැඩි වැඩියෙන් ඔන්ලයින් සහ ඕෆ්ලයින් ඩිලිවරි සංස්කෘතියකට හුරු වෙන්න සිද්ධ වෙන්න වුණා. හැබැයි මේ වසංගතය සම්පූර්ණයෙන්ම නරකයි කියන්නත් බෑ. ඒකත් එක්ක මිනිස්සු අළුත් අළුත් දේවල් වලට හුරු වුණා. ටෙක්නොලොජි එක ලෝකේ පවතින අළුත් තත්වයට අනුකූලව යාවත්කාලීන වුණා. ඒ වගේම, මේ වසංගත තත්ත්වයත් එක්ක සෑහෙන්න ව්‍යවසායකයෝ, හෝම් බිස්නස්, ස්ටාර්ට්-අප් බිහිවෙන්න පටන් ගත්තා. ඉතින් මේ දේවල් ඇත්තටම හොඳයි. මේ වෙනකොට ඉස්සර එක ජොබ් එකක් කරගෙන හිටපු අය වුණත් ගෙදර ඉඳන් පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතලා තියෙනවා. ඒ වගේම ගෙදර ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න එක වෙන කවදාටත් වඩා මේ කාලේ වෙනකොට ලේසි කාරණයක් වෙලා තියෙනවා. ඉතින් එහෙම හෝම් බිස්නස් එකක් පටන් ගන්න හිතන අයට වටිනා කියන ටිප්ස් ටිකක් තමයි අපි මේ දෙන්න හදන්නේ.

 

1. වට් යූ කැන් ඩූ, වට් යූ වෝන්ට් ටු ඩූ

ගෙදර ඉඳන් පොඩියට බිස්නස් එකක් කරන්න ඕන කියලා හිතුවට මදි. මොනවද කරන්නේ කියලා හිතන්නත් ඕනනේ. ඇත්තටම ගෙදර ඉඳන් කරන්න පුළුවන් ඔන්ලයින් බිස්නස් ඕන තරම් තියෙනවා. තමන්ගේම නිමි ඇඳුම් ව්‍යාපාර වල ඉඳන් කේක් සෑදීම දක්වා, මල් වැවීමේ ඉඳන් කැක්ටස් පැළ විකිණීම දක්වා, ග්‍රීටින් කාඩ් වල ඉඳන් ෆෙල්ට් නිර්මාණ දක්වා නොයෙකුත් දේවල් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි බලන්න ඕන අපිට කරන්න ඕන මොනවද කියන එක සහ ඒක කරන්න අපිට පුළුවන්ද කියන එක. මොකද, තමන් ආස දෙයක් බිස්නස් එක විදියට කරනකොට ඒකෙන් අපිට ලැබෙන තෘප්තියත් වැඩියි.

 

අනික් අතට, අපිට එහෙම විශේෂයෙන් කරන්න ඕන කියලා ආස දෙයක් නැති නම්, ඊට වඩා අපිට අවශ්‍ය කරන්නේ හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න නම්, ඒක වෙනම දෙයක්. එහෙම දේකදී යන්න ඊලඟ ස්ටෙප් එකට.

 

2. රිසර්ච් ෆර්ස්ට්

මේ රිසර්ච් කියලා ඇත්තටම කියන්නේ, තමන් බිස්නස් එක පටන් ගන්න කලින්, බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන් වෙයිද, බැරි වෙයිද කියලා හොයලා බලන කාරණාවට. මේකට ලොකුවට බිස්නස් මැනේජ්මන්ට් දැනුමක් අවශ්‍ය නැහැ. අපිට මොන වගේ බිස්නස් එකක්ද කරන්නේ කියලා ලොකුවට අයිඩියා එකක් නැතිනම්, පොඩ්ඩක් හිතලා බලන්න මේ වෙලාවේ විකුණන්න පුළුවන් හොඳ මාකට් එකක් තියෙන්නේ මොනවටද කියලා. එතනදී ඒක භාණ්ඩයක්ම වෙන්න ඕන නෑ. සේවාවක් වෙන්න පුලුවන්, සමහර වෙලාවට අදහස් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකට මාකට් එකක් තියෙනවද කියලා හඳුනාගැනීම තමයි වැදගත්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි ගම් පලාතක ප්‍රීමියම් ඉංග්‍රීසි නවකතා පොත් විකුණන බිස්නස් එකක් පටන් ගත්තට සාර්ථක නොවෙන්න පුළුවන්. 

 

ඒ වගේම, තමන් කරන රිසර්ච් එකේදී තමන්ට ඉන්න තරගකරුවන් කවුද, එතකොට ඒ අයට වඩා තමන්ට ලබාදෙන්න පුළුවන් දේවල් මොනවද කියන එකත් හොයලා බලන්න ඕන. උදාහරණයක් විදියට කිවුවොත්, ඕනම ටවුන් එකක හෝම් කේකරි එකක් කරන, කේක් හදන අය කීප දෙනෙක්වත් අඩු තරමින් ඉන්නවා. හැබැයි අපි ඒ අයගේ ප්‍රඩක්ට්ස් චෙක් කරලා බැලුවට පස්සේ අපිට ඊට වඩා රසට කේක් හදන්න පුළුවන් කියලා ෂුවර් නම්, අන්න ඒක හොඳ සෙලින් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. 

 

3. කරන එක හරියට

මෙන්න මේකත් හෝම් ඔන්ලයින් බිස්නස් එකකට ඉතාමත් වැදගත්. ඒ තමයි කොලිටිය. මේ කොලිටිය කියන එක සාපේක්ෂ වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙදර ඉඳන් කේටරින් සර්විස් එකක් කරන මනුස්සයෙක්‍ට ගෙදර දෙන්නෙක්ට තුන්දෙනෙක්ට කෑම හදනකොට ගන්න විදියට බඩුමුට්ටු අරගෙන වැඩේ කරන්න බැහැ. ඊට වඩා හෝල්සේල් බඩු ගන්න වෙනවා කේටරින් කරන්න නම්. හැබැයි එහෙමයි කියලා කේටරින් බිස්නස් එකේ කෑම ෆුල් අප්සට් නං ඒකෙන් වෙන්නේ බිස්නස් එක ක්‍රමයෙන් ඩවුන් වෙන එක. අන්න ඒ නිසා, තමන් කරන බිස්නස් එකේ විකුණන දේ ගැන තමන්ට හොඳ එක්ස්පර්ටීස් එකක් හදාගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත් අපි කියමු බිස්නස් එක සබන් හදලා විකිණීම කියලා. එතනදී රෙසිපියක් දෙකක් හොයාගෙන, බඩු ටිකක් අරගෙන ඇවිත් සබන් කැට ටිකක් හදලා, ඒ හාහාපුරා කියලා හදපු සබන් කැට ටික මාකට් එකට දාලා බැහැ. ඊට කලින් පොඩ්ඩක් සබන් හදලා හදලා, එක්ස්පෙරිමන්ට් කරල කරලා, ප්‍රඩක්ට් එක හොඳට ෆයින් ටියුන් කරලා ගන්න ඕන. දැන් ප්‍රඩක්ට් එක කොලිටි ලෙවල් එකකට ආවා කියලා ෂුවර් වුණහම විකුණන්න පුළුවන්. 

 

 

4. බජට්

මෙන්න මේකත් පොඩි පහේ හෝම් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක්ට ඉතාම වැදගත් කාරණාවක්. බජට් එක මොකද්ද කියන එක. ඇත්තටම හෝම් ඔන්ලයින් බිස්නස් එකක තියෙන වාසිය වෙන්නේ, සාමාන්‍ය බිස්නස් එකක් පටන් ගන්නකොට දරන්න වෙන විදියේ ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවෙන එක. ආයෙ ඔෆිස් වලට, සේවකයන්ට, බඩුමුට්ටු වලට වියදම් නෑ. හැබැයි ඉතින් පටන් ගැන්මට අර උඩ කියපු විදියට එක්ස්පෙරිමන්ට් කරලා හොඳම ප්‍රඩක්ට් එකක් දෙන්න, ප්‍රඩක්ට් එක ගැන රිසර්ච් කරන්න එහෙම යම් පිරිවැයක් දරන්න වෙනවා. හොඳම දේ තමයි ඒක විනෝදාංශයක් විදියට ගන්න එක. එතකොට අපි වියදම් කරන්නේ විනෝදාංශය සඳහා. ඊට පස්සේ අපි ඒකේ එක්ස්පර්ට් වුණාට පස්සේ පුළුවන් විකුණන ලෙවල් එකට යන්න.

 

5. බ්‍රෑන්ඩින්ග්

හෝම් ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම් වෙන ඕනම බිස්නස් එකකදී වගේ බ්‍රෑන්ඩින් කියන දේ අත්‍යාවශ්‍යයි. ඒ කියන්නේ බිස්නස් එකට හොඳ නමක් ඕන. ඒක හොඳට මාකට් කරන්න පුළුවන් නමක් වෙන්න ඕන. ඊට පස්සේ බිස්නස් එකට ලෝගෝ එකක් අනං මනං දේවලුත් හදාගන්න ඕන. ඕන නම් ඒවා ඔන්ලයින් ෆ්‍රී කරගන්න පුළුවන් තැන් ඕන තරම් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, tailorbrands.com වෙබ් අඩවිය ගන්න පුළුවන්. ඒකට ගිහින් තමන්ගේ බිස්නස් එකේ බ්‍රෑන්ඩ් එක හදන්න අවශ්‍ය කරන්නේ මොන ෆොන්ට්‍ද, මොන පාටවල්ද කියන දේවල් වල ඉඳන් තීරණය කරලා, සරල ලෝගෝ එකක් හදාගෙන, සෝෂල් මීඩියා වලට අවශ්‍ය හැම දෙයක්ම ඒ අනුව නිර්මාණය කරගන්න පුළුවන්. හරි, සල්ලි ගෙවලා ගන්න සර්විස් එකක වගේ විශේෂත්වය අඩුයි තමයි. හැබැයි බිස්නස් එකකට නොමිලේ ඉතාම ආකර්ෂණීය බ්‍රෑන්ඩින් කොන්ටෙන්ට් මේ වගේ තැනක තියෙනවා.

 

6. සෝෂල් මීඩියා වල වටිනාකම අවබෝධ කරගමු

දැන් බිස්නස් එක ඔන්ලයින්නේ අපි කරගෙන යන්නේ. එතකොට වෙබ් සයිට් එකක් එහෙම හදන්න වියදම් කරන්නත් ඕනද? ඒක ඇත්තටම තමන්ගේ වැඩක්. ඕන නම් වෙබ් සයිට් එකක් හදාගන්නත් පුළුවන්. වෙබ් සයිට් එකක් නැතුව බිස්නස් එක කරගෙන යන්නත් පුළුවන්. හැබැයි ඒකට සෝෂල් මීඩියා බහුලව භාවිතා කරන්න වෙනවා. දැන් ඔය ඉන්ස්ටග්‍රෑම් බිස්නස් එකවුන්ට් එකක්, ෆේස්බුක් පේජ් එකක් එහෙම හදාගත්තත්, ඒ වල එලින්ම මාකට්ප්ලේස් විදියට බිස්නස් එකක් රන් කරන්න පහසුකම් තියෙනවා. හැබැයි එතනින් නතර වෙන්නත් එපා. ඔය යූටියුබ්, ට්විටර්, ටික්ටොක් වගේ අනික් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එහෙමත් බිස්නස් එකට භාවිතා කරන්න ඕන. 

 

7. හොඳ ඩිලිවරි සොලියුෂන් එකක්

මේකත් අනිවාර්යයෙන්ම හිතන්න ඕන කාරණාවක්. ඔන්ලයින් හෝම් බිස්නස් එකක් කරනකොට අපි විකුණන්නේ බඩු නම්, එක්කෝ අපිට බඩු ඩිලිවර් කරන්න වෙනවා. නැත්නම් තැපැල් කරන්න වෙනවා. අපි කියමු ඩිලිවරි තමයි ඔප්ෂන් එක කියලා. එහෙමනම් අපි ඒකට හොඳ ඩිලිවරි සේවාවක් තෝරගන්න ඕන. ඇත්තටම දැන් වෙනකොට ලංකාවේ ඩිලිවරි සර්විස් බරගාණක් තියෙනවා. හැබැයි ඒ හැම එකක්ම ඉතා හොඳ සේවාවක් ලබාදෙන්නේ නෑ. තව සමහර ඒවල සේවාව හොඳ වුණත් මිල ගණන් වැඩියි. ආන්න ඒ නිසා මේ හැමදෙයක්ම කිරලා මැනලා බලලා හොඳ ඩිලිවරි ක්‍රමයක් තෝරගන්න ඕන. ඒක අත්‍යාවශ්‍යයි හොඳ කස්ටමර් සැටිස්ෆැක්ෂන් එකකට. ඩිලිවරි සර්විස් එක හොඳ නැති නිසා බිස්නස් එක කඩං වැටුණොත් ඒක අපරාදයක්නේ.

 

8. රෙපියුටේෂන් රෙපියුටේෂන් රෙපියුටේෂන්

හෝම් බිස්නස් එකක් නෙවෙයි, මොන බිස්නස් එක කළත්, මේක අනිවාර්යයෙන්ම සිහියේ තියාගන්න ඕන කාරණාවක්. ඒ තමයි හොඳ ප්‍රසිද්ධියක් සහ කීර්තියක්, බිස්නස් එකට හොඳ නමක් ලබාගන්න එක. මෙතනදී උඩ කියපු විදියට අපි ලබාදෙන භාණ්ඩ හෝ සේවාවන්ගේ කොලිටිය බලපානවා. හොඳ ඩිලිවරි සර්විස් එකක් තියෙන එක බලපානවා. ඉක්මන් ඉවසිලිවන්ත සහ සුහදශීලී සේවයක් ලබාදෙන එක බලපානවා. ඒ වගේම අපිට මොනවා හරි කම්ප්ලේන් එකක් ආවොත් අපි ඒක හැන්ඩල් කරන විදිය, බිස්නස් එකට තියෙන ෆේස්බුක් පේජ් එකේ කියන දේකට රිප්ලයි කමෙන්ට් කරන විදිය පවා බලපානවා.

 

පැහැදිළියිනේ. අපි කියන්නේ සීරියස් බිස්නස් මොඩ්ල්ස් හදාගෙන වැඩකට බහින එක ගැන නෙවෙයි. ඊට වඩා සරල තැනක ඉඳන්, තමන්ටත් පාඩුවක් නොවෙන විදියට සයිඩ් ඉන්කම් එකක් එන බිස්නස් එකක් හදාගන්න එක ගැන තමයි මේ කියන්නේ. මෙතනදී එක පාරටම හඳ අල්ලන්න යන්න ඕන නැහැ. බොහොම ඉවසිල්ලෙන් තමන්ගේ බිස්නස් එක ඩිවලොප් කරන එක තමයි මෙතන වැදගත්ම කාරණාව වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *