එලිවේටර් එකකට නැග්ගහම කරන්න පුළුවන් ආතල් වැඩ කීපයක්!

දැන් මේක කියවන හැමෝම විදුලි සෝපානයක ගිහිල්ලා ඇතිනේ? විදුලි සෝපානය කියලා සිංහලෙන් කිව්වට ඉතින් අපි සාමාන්‍යයෙන් ඕකට කියන්නේ ලිෆ්ට් එක කියලනේ. සමහරු එලිවේටර් එක කියනවා. දැන් ඔය ලිෆ්ට් එකකට නැග්ගට පස්සේ ආතල් එකක් තියෙනවා පුංචි කාලේ නම්. ඒ කාලේ ලිෆ්ට් එක කියන්නේ මාර මැජික් එකක්. අර එක එක බට්න් ඔබන එක, ලිෆ්ට් එක සීස් ගාගෙන උඩට පහළට යන එක. ලිෆ්ට් එක උඩට යනකොටම දැනෙන අර බර අඩු වෙනවා වගේ හැඟීම එහෙම ඒ කාලේ පට්ට ආතල්. කොයි තරම් ආතල්ද කියනවා නම්, පොඩි කාලේ එක පාරක් ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ලෙඩෙක් බලන්න ගිහින්, අපි පොඩි එවුන් කීප දෙනෙක් ෂේප් එකේ ලිස්සලා ගිහින් ලිෆ්ට් එකේ උඩ පහළ ගියා විසිතිස් වතාවක්. අන්තිමට සිකියුරිටි එකට මාට්ටු වෙලා තමයි නවත්තන්න වුණේ.

 

හරි, ආයෙමත් කතාවට ආවොත්, පොඩි කාලේ එහෙම ලිෆ්ට් එකක යන එක ආතල් වුණාට, ලොකු වෙනකොට ලිෆ්ට් එකක යන එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා, ඒ ආතල් එක නැතිවෙනවා. එතකොට ඉතින් ලිෆ්ට් එකේ ආතල් එකක් ගන්නනම්, කවුරුත් නැති හිස් ලිෆ්ට් එකක තමන්ගේ කෙල්ල හරි කොල්ලා හරි එක්ක යන්න ඕන. දැන් කාලේ නම් ඒකත් අමාරුයි. ඇයි හැම ලිෆ්ට් එකකම වගේ කැමරා හයි කරලනේ!

 

හැබැයි එහෙමයි කියලා සැලෙන්න එපා. ඒත් ලිෆ්ට් එකක ආතල් එකක් ගන්න ක්‍රම සහ විධි තියෙනවා. ඇස් රතුවෙන්නෙ නැති ලෙවල් එකේ විහිළුවක් කරලා පොඩි ජොලියක් දැම්මට කමක් නෑනේ!

 

1. මැජික් දොරවල්!

ඔන්න අපි ලිෆ්ට් එකට නගිනවා. ලිෆ්ට් එකේ තව සෙනඟත් ඉන්නවා. අපි ඉන්නවා ලිෆ්ට් එකේ දොර ගාවටම වගේ වෙලා. දැන් ඔන්න ලිෆ්ට් එක යනවා. එතකොට ලිෆ්ට් එක එනවනේ අපිට ඕන තට්ටුවට. ආන්න එහෙම ලිෆ්ට් එක ඒ තට්ටුවට ආපු ගමන්ම අපි කරන්නේ ලිෆ්ට් එකේ දොර අත් දෙකෙන් දෙපැත්තට කර කර අරින්න ට්‍රයි කරන එක. ලිෆ්ට් වල ගිහින් තියෙන අය දන්නවනේ ලිෆ්ට් එක තට්ටුවකට ආපු සැණෙන් දොර ඇරෙන්නෙ නැහැයි කියලා. ආන්න ඒ නිසා තමයි අපි තට්ටුවට ආපු සැණෙන් දොරවල් අරින්න ට්‍රයි කරන්නේ. නිකනුත් නෙවෙයි “ඇරියං මගුල, කිව්වහම ඇරියං ඉතින්, පරක්කුයි, පරක්කුයි” වගේ මොනා හරි කිය කියා, ඕන නම් ලිෆ්ට් එක හදපු එකාටත් බැන බැන ඔන්න දොරවල් අරින්න ට්‍රයි කරනවා. දැන් තත්පර කීපෙකින් ලිෆ්ට් එකේ දොරවල් ඇරෙනවනේ. ආන්න එතකොට කරන්න තියෙන්නේ ගල් ගැහිලා, බය වෙලා වගේ ඔටෝ ඇරෙන දොරවල් දිහා බලාගෙන ඉන්න එක!

 

ඔව්, ලිෆ්ට් එකේ ඉන්න අනික් එවුන් හිතයි තමයි පිස්සෙක් කියලා. කවුද ගණන් ගන්නේ!

 

2. පැමිණියාට ස්තුතියි!

ඔන්න ලිෆ්ට් එක ඇරෙනවා. ඔක්කොම ලිෆ්ට් එකට නගිනවා. අන්තිමට අපිත් නගිනවා. ඊට පස්සේ ලිෆ්ට් එකේ දොරවල් වැහුණු ගමන් ඔන්න අපි අනික් පැත්ත හැරෙනවා. “අද මෙතනට රැස්වුණු හැම දෙනාටම බොහොම ස්තුතියි. අපි දන්නවා අපි අමාරු කාලයක් තමයි ගත කළේ කියලා. හැබැයි අපි හැමෝම ලාභ වගේම නව අවස්ථා උපයා ගැනීම ගැනත් අවධානයෙන් වැඩ කරනවා නම්, අපිට මේ අමාරු කාලයේත් නැගිටින්න බැරි කමක් නෑ.” ඔන්න ඔය වගේ සීරියස් ටෝක් එකක් දෙනවා. එතකොට අදාළ තට්ටුවට ලිෆ්ට් එක ඇවිත් දොරවල් ඇරුණහම, “එහෙමනම් හැමෝටම ස්තුතියි” කියලා පිට වෙලා යනවා.

 

ඕන නම් මේක වෙන විදියකට කරන්නත් පුළුවන්. “මේ හැමෝම අද මෙතනට රැස් වුණාට බොහොම ස්තුතියි. ඔබලා හැමෝම වෙන වෙනම අපි මෙතනට ගෙන්වා ගත්තේ මේ මිෂන් එක වෙනුවෙන්මයි. අපි මේ මිෂන් එක එක අකුරක්වත් නොවරද්දා ක්‍රියාත්මක කළොත් අපි හැමෝටම හෙට වෙනකොට කෝටිපතියෝ වෙන්න පුළුවන්. එහෙමනම් හැමෝම දන්නවනේ තමන් කරන්න ඕන දේ මොකද්ද කියලා? ගුඩ් ලක්” එහෙම කියලා පිට වෙලා යන්නත් පුළුවන්!  

 

3. ඉන්විසිබල් ෆ්‍රෙන්ඩ්!

ඔන්න කට්ටියම ලිෆ්‍ට් එකට නගිනවා. හැබැයි අපි ලිෆ්‍ට් එකේ දොරවල් වැහෙන්න දෙන්නෙ නැතුව ඉන්නවා. අනික් අයට හැරිලා කියන්න පුළුවන් “මේ යාළුවෙක් එනකල්” කියලා. එහෙම තත්පර කීපයක් ඉඳලා ඔන්න කෙනෙක් ආවහම පිළිගන්නවා වගේ හැසිරිලා දොර වහනවා. ඊට පස්සේ අර හිස් අවකාශයට කතා කරලා අහනවා “ඇයි බං පරක්කු වුණේ? මං ලිෆ්ට් එකත් නවත්තගෙන හිටියා” කියලා. ඊට පස්සේ මොකුත් නොවුණා වගේ ඉන්නවා.

 

ඕන නං ඉතින් දිගටම මේ අදෘෂ්‍යමාන මිත්‍රයා එක්ක කතාවක් දාගෙන ඉන්නත් පුලුවන් ලිෆ්ට් එක අදාළ තට්ටුවට යනකල්. හැබැයි ඒකෙන් ජෝක් එකේ පන්ච් එක නැතිවෙන්න පුළුවන්! 

 

4. ටාගට්!

මේක නං ඇමරිකාවේ ජෝක් එකක්ලු. ඔන්න ලිෆ්ට් එක එනවා. අපි වයර්ලස් හෙඩ්සෙට් එකත් එක කණක ගහගෙන ඉන්නවා. දැන් අපි ලිෆ්ට් එකට නගින්න ඉන්න කවුරුහරි කෙනෙක්ව ස්පොට් කරලා, එයා ගාවින්ම ඉන්නවා. ඊට පස්සේ ලිෆ්ට් එකට නගිනකොටත් එයා එක්කම නැගලා, ගාණට එයාගේ පිටිපස්සෙන් ඉන්නවා. ඒ කෙනා තමන් යන තට්ටුවටම යනවා කියලා දන්නවා නම් වැඩේ සෑහෙන්න ලේසියි. ඊට පස්සේ අදාළ තට්ටුවට ලිෆ්ට් එක ඇවිත් නැවතිලා දොරවල් ඇරුණහම අදාළ මනුස්සයා එළියට යන්න පටන් ගන්නවනේ. ආන්න එතකොට අර වයර්ලස් හෙඩ්සෙට් එකට ඇඟිල්ල තියලා අපි කියනවා “ටාගට් ඔන් ද මූව්” කියලා. එහෙම කියලා මනුස්සයගේ පස්සෙන්ම යනවා!

 

ඕක සිංහලෙන් කියන්නත් පුළුවන්. හැබැයි ඉතින් ගතියක් නෑ!

 

5. සිංදුවක්

සාමාන්‍යයෙන් ලිෆ්ට් එකක යනකොට කවුරුවත් කතා කරන්නෙ නෑනේ. කතා කරන්නේ දන්න අඳුනන කෙනෙක් ඉන්නවා නම් ඒකෙනා එක්ක විතරයි. වැඩිම වුනොත් නාඳුනන කෙනෙක්ට නොඩ් එකක් හෝ හිනාවක් දෙයි. එච්චර තමයිනේ. හැබැයි නිකමට හිතන්න, ලිෆ්ට් එකේ දොරවල් වැහිලා ඉහළට හෝ පහළට යනකොට අපි සිංදුවක් කියන්න පටන් ගන්නවා. මහ හයියෙන් නෙවෙයි. ගාණට. එක්කෝ කට්ටිය නිකං අමුතු සතෙක් දිහා බලනවා වගේ බලයි. එහෙම නැතුව ලිෆ්ට් එකේ තව ආතල් එකෙක් හෝ දෙන්නෙක් හිටියොත් උනුත් සිංදුවට එකතු වෙයි!

 

6. ටික් ටැක් එකක් ඕනැද?

මේක නම් ඉතින් ජෝක් එකක් නෙවෙයි. හැබැයි ලිෆ්ට් එකට නගින හැමෝමත් එක්ක පොඩි මොහොතකට හරි සුහදතාවය වර්ධනය කරගන්න කරන්න පුළුවන් දෙයක්. ඔන්න අපි ලිෆ්ට් එකට නගින්න කලින් මෙන්ටෝස් එකක්, ටික් ටැක් එකක්,පෙබ්ල්ස් එකක් වගේ පොඩි දෙයක් අරගෙන ලිෆ්ට් එකට නගිනවා. ඊට පස්සේ ඒ ගත්ත එක කඩලා, තමන් එකක් අරගෙන කටේ දාගෙන, ඊට පස්සේ ලිෆ්ට් එකේ ඉන්න හැමෝටම මේවැයින් එක එක දෙනවා. සමහරු ගන්න එකක් නෑ. සමහරු ගනී. සමහරු අරගෙන තැන්ක්‍යූ කියයි. සමහරු හිනාවෙයි. ඊට පස්සේ ලිෆ්ට් එක නැවතුණහම හැමෝම බැහැලා යයි. ඒත් ඒකෙන් හොඳ හැඟීමක් අපිට දැනෙයි, නැද්ද හා?

 

7. වෙන වැඩක් නැත්තං!

ඔන්න අපි ලිෆ්ට් එකට නගිනවා. නැගලා යනවා ලිෆ්ට් එකේ මුල්ලකට. ගිහිල්ලා එතන කොණේ ලිෆ්ට් එකේ බිත්තිය පැත්තට මුහුණ දාලා, පුළුවන් තරම් ලිෆ්ට් එකේ කොණටම ලං වෙලා සද්ද නැතුව ඉන්නවා. ඕන නම් දොරවල් වලට ප්‍රතිවිරුද්ධ පැත්තේ ලිෆ්ට් එකේ බිත්තිය ගාවට ගිහින් බිත්තියේ නහය ගෑවෙන තරමට ලං වෙලා ඉන්නත් පුළුවන්. දැන් ලිෆ්ට් එක අදාළ තට්ටුවක නැවතුණත් අපි නෙවෙයි හෙලවෙන්නේ. ඔහේ සද්ද නැතුව ඉන්නවා. ඔහොම ඉහළ පහළ යන ලිෆ්ට් එකේ තමන්ට ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්. ඕන නම් ඒ වෙලාවේ හිත එකඟ කරගැනීමේ භාවනාවක් එහෙමත් කරන්න පුළුවන්. ඊට පස්සේ තමන්ටම වැඩේ ඇතිවුණහම හොඳ හුස්මක් අරන්, ප්‍රබෝධමත් විදියට වට පිට බලලා ලිෆ්ට් එකෙන් බැහැලා යන්න පුළුවන්. 

 

මෙව්වා ගොන් ආතල්ද? වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මිනිස්සු තමන් ගැන හිතන්නේ මොනවද වගේ කාරණා වලට වැළලෙන්නෙ නැති මානසිකත්වයක් තියේ නං, ලිෆ්ට් එකේ උඩට යනවා ඇරෙන්න වෙන කරන්න වැඩකුත් නැති නං, මේ වගේ ගොන් ආතල් එකක් හරි අරගත්තට මොකෝ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *