අනියම් සම්බන්ධකම් කියන දේ අද සමාජයෙ බහුලයි. ඒ නිසා සිද්ධ වෙච්ච මිනීමැරුම් සහ දූෂණ ප්‍රශ්නවලින් පත්තර පිටු පිරිලා. ඒත් ඒ පත්තරවල නොගිය අනියම් සම්බන්ධතා නිසා සිද්ධ වෙච්ච අපරාධ තවත් බොහොමයක් තියෙනවා. තාමත් කිසිඳු හැලහොල්මනක් හාංකවිසියක් නැතුව නිදහසේ ගලායන අනියම් සබඳතාත් තියෙනවා. එහෙම තියෙන අයට ඒ පේළිය කියෙවුවාම හිනායන්න ඇති. හැබැයි ඒ විදියට අනියම් සබඳතාවයක් වෙනුවෙන් මනුස්සයෙක් යන්නෙ ඇයි? ගෑණු හෝ පිරිමි වේවා වලත්තකම කියලා සමාජයෙන් කියන දේට වඩා එහා ගිය හේතුවක් ඒ අතරෙ තියෙන්න පුළුවන්. හැමදේම වලත්තකමට පටවලා අතපිහදාගන්න පුළුවන් කමක් අපිට නැති නිසා අපි මේ සටහන ලියනවා.
1. සෙක්ස් අහිමි වීම

Source – wakingtimesmedia.com
කසාද බැන්දත් නොබැන්දත් මිනිස්සුන්ට ජීවිතේ ඕනෙම කරන දෙයක් විදියට ලිංගිකව එක්වීම හඳුන්වන්න පුළුවන්. ඇතැම්විට දරුවන් බිහිවීම, අනතුරකින් සිරුරේ අවයව අහිමි වීම වැනි තත්ත්වයක් නිසා සැළකිය යුතු කාලයක් ලිංගිකව එක්වීම මිනිසුන්ට අහිමි වීමට ඉඩ තිබෙනවා. එවන් සාධනීය තත්ත්වයකදී හැරෙන්නට තම සිරුර පතන සුපහස අහිමි වීම පිරිමියෙකුට හෝ ගැහැණියකට දරන්නට අපහසු තත්ත්වයක්. තමන්ගේ අනෙකා තමන්ගේ තත්ත්වය තේරුම් ගනිතැයි කියා ඉවසා සිටීම, එසේ නොවුනහොත් ඒ සම්බන්ධ ඉඟි ලබාදීම, එසේත් සිදුනොවුනහොත් මුහුණටම පැවසීම සහ බහින්බස් වීමක් දක්වා තත්ත්වය දුර යන්නට ඉඩ තියෙනවා. එයින් අනතුරුව බොහෝවිට තෝරාගන්නා ප්‍රමුඛම විකල්පය ලෙස මිනිසුන්, ඒ අවශ්‍යතාවය සපුරාගන්නට අනියම් සම්බන්ධතාවයක පැටලෙන්නට ඉඩ තිබෙනවා.
2. සෙක්ස්වලට පමණක් උවමනා වීම

Source – maxim.com
විවාහ දිවියක නිදහස් ගලායෑමට ලිංගිකව එක්වීම කොතරම් වැදගත් වුවත් ලිංගිකව එක්වීම පමණක් ලිංගික ජීවිතයට තිබීමෙන් පළක් නෑ. එනිසා එකඳු මොහොතක එක්ව නොසිටින, දකින සෑම මොහොතක් පාසා බහින්බස්වන, එකිනෙකා නුරුස්සන, එකිනෙකා අගය නොකරන, ආදරය නොකරන මිනිසුන් බලහත්කාරයෙන් හෝ මූනිච්ඡාවෙන් ලිංගිකව එක්වීමෙන් එක් පාර්ශවයක් අනියම් සම්බන්ධතාවයකට මුළ පුරන්නට ඉඩ තිබෙනවා.
3. අගය කිරීම් අහිමි වීම

Source – wikihow.com
අගය කිරීම් කියන්නෙ සැමියා සහ බිරිඳ අතරේ තියෙන සම්බන්ධතාවය ඉහළ දාන දෙයකට. සැමියා මහන්සි වෙලා ගෙදර එද්දි මේ මහන්සිය තනි පුද්ගලයෙක් වෙනුවෙන් නොවෙන මුළු පවුලක් වෙනුවෙන් වෙච්ච දෙයක් බව ඔහුට ඇඟවීම වගේම, ඔහු සතුටෙන් නිවසට ගෙනෙන දෙයක් අගය කිරීම බිරිඳකගේ පාර්ශවයෙන් විය යුතුමයි. ඒ වගේම තමුන් නිවසට එද්දි දරුවන් සමග ඔට්ටු වෙලා මහන්සියෙන් ගෙදර පිරිසිදුවට තියාගෙන ඉන්න බිරින්දෑ තමන්ට හදලා තියෙන කෑමක රස ගුණ අගය කරන්නත් ස්වාමිපුරුෂයෙකුට වගකීමක් තියෙනවා. ඒ අගය කිරීම අහිමි වන තැනදී බොහෝවිට අසාධාරණයට ලක්වෙන පාර්ශවය අනියම් සම්බන්ධතාවයක බැඳෙන්න ඉඩ තියෙනවා.
4. ඉර පෑවුවත් රණ්ඩු – හඳ පෑවුවත් රණ්ඩු

Source – dailypedia.net
“අයියෝ කෝ වදේ මේ ටූත් පේස්ට් එක?” කියල අහගෙන උදේට පටන් ගන්න රණ්ඩුව, “තමුසෙ මහ සද්දෙට ඔය ටීවී එක දාගෙන ඉන්නෙ නැතුව ඕෆ් කරනව ඕයි මට නිදාගන්න ඕන” දක්වා කාලය පුරාම පැතිරෙනවා කියන්නෙ, ඇහැරෙනවා වගේම නින්දට යන්නේත් දවසම ඉන්නේත් තමුන්ගේ සහකරුවා හෝ සහකාරිය ගැන පිළිකුලකින් කියන එක පැහැදිලියි. මෙහෙම වුනාම බොහෝ විට ඇතිවන බහින්බස් වීමක වචන මූලික කරගෙන පළිගැනීමක් වෙනුවෙනුත් මෙවැනි අනියම් සම්බන්ධතාවයක් ආරම්භ කරන්නට ඉඩ තියෙනවා.
5. පොදු වගකීම් ඉටු නොවීම

Source – freerangekids.com
බිරිඳගේ අතින් සැමියාට ආහාර වේලක් නොසැපයීම, සපයන ආහාර වේල පවා බොහෝවිට අඩුපාඩු වැඩි එකක් වීම, වෙහෙස මහන්සි වී නිවස තුළට එනවිට නිවස අපායක්ව දිස්වීම ගැහැණියකගේ පාර්ශවයෙන් සිදුවිය හැකි අවුලක්. ඒවගේම උපයන සෑම මුදලක්ම පාහේ නෑදෑ හිතමිත්‍රයින්ට, මධුවිතට වියදම් කිරීම නිසා නිවස පවත්වාගෙන යෑම වෙනුවෙන් ගැහැණියට තවත් අනවශ්‍ය වෙහෙසක් දරන්නට සිදුවීම පිරිමි පාර්ශවයෙන් සිදුවිය හැකි අවුලක්. මේ අර්බුදය බොහෝවිට සිත වෙනතක හරවන්නට ඉඩ තිබෙනවා. අනෙක් අතට මෙවැනි අනියම් සම්බන්ධතා වෙනුවෙන් අනෙක් පාර්ශවය යොදා ගන්නා කූඨ රැවටීම්වල උපක්‍රමශීලීත්වයත් හේතුවෙන බව තහවුරුයි.
6. රුව වියැකී යාම්

Source – empowher.com
බොහෝවිට ස්වාමිපුරුෂයින් සහ බිරින්දෑවන් තමන්‌ගේ අනෙකාගේ රුව ගුණ සම්බන්ධයෙන් බොහෝ සැළකිලිමත් වෙනවා. එනිසා ඔවුන් ඒ පිළිබඳ නොතකන අවස්ථාවක, වැරදි බෙහෙතක භාවිතාවකින් හෝ අනතුරකින් රුවට හානියක් වූ විට වගේම දෙදෙනා අතර ඇති වයස් පරතරය හේතුවෙන්ද මෙවැනි අනියම් සම්බන්ධතාවයක් සොයා යන්නට ඉඩ තියෙනවා.
7. සැක කිරීම්

Source – youtube.com
දෙදෙනා අතරේ සිදුවන සෑම දෙයක්ම කතාබහකින් විසඳාගන්නට විවාහක යුවලකට හැකි විය යුතුයි. ඒ ලෙසින් බොහෝ සැකසංකා දුරලන්නට හැකියාව තිබෙනවා. අනෙකා මෙසේ යැයි එසේ යැයි කියා සිතා සිටීමෙන් හා ඒ මතින් තීරණවලට එළැඹීමෙන් මනස වෙනත් ආදරයක් සොයා යන්නට හොඳින්ම ඉඩ තියෙනවා. එනිසා බොහෝ සැකසංකා කතාබහකින් දුරලා ගැනීම අනියම් සබඳතා වළකින්නට හොඳ ක්‍රමයක්. කෙසේවුවත් අනියම් සබඳතාවලට පෙළඹෙන්නට ප්‍රධානම හේතුවක් ලෙසින් අන්‍යෝන්‍ය සැක කිරීම් දක්වන්නට පුළුවන්.
Cover Image Source – youtube.com
Leave a Reply