දැන් දෙන්නෙක් විවාහ වෙන එකට ඉස්සර පැරැන්නෝ කියන්නේ “රන් රස සේ බැඳෙනවා” කියලනේ. ඒ කියන්නේ රත්රන් සහ රසදිය මුසුවූවාක් වගේ කියන එක තමයි. රන් සහ රසදිය එකට මුසු කළහම ඉතාම ඉක්මනට බැඳිලා සංයෝගයක් හැදෙනවා. ආන්න ඒක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ එකිනෙකා එක්ක හොඳින්ම ගැලපෙන දෙන්නෙක් එකතු වුණහම ඉක්මනටම ඒ දෙන්නා එකට බැඳිලා සුසංයෝග වෙනවා කියන එක. හැබැයි ඉතින් කීමට එහෙම කිව්වට, ඇත්තටම එහෙම වෙන්නේ නෑ. එකිනෙකා එක්ක සම්පූර්ණයෙන්ම ගැලපෙන දෙන්නෙක් වුණත් එකතු වුණාට පස්සේ, ඒ දෙන්නා බුද්ධියෙන් සහ අවබෝධයෙන් එකිනෙකා එක්ක ජීවත් වෙන්න ඕන. මොකද, දෙන්නෙක් ජීවත් වෙනකොට සුළු සුළු ප්‍රශ්න ගැටළු ඇති වෙන්න පුලුවන්. ජීවිතේ හැටි එහෙමනේ. හැබැයි සමහර යුවළවල් ඉන්නවා, මොකක් හරි හේතුවක් නිසා එකතු වුණත්, එකතු වුණු දවසේ ඉඳන් ප්‍රශ්න. පෑහීමක් නෑ. ආයෙ වතුරයි තෙලුයි එකට මිශ්‍ර කරන්න උත්සාහ කළා වගේ තමයි.
දැන් මේ විදියේ සමහර අය දැනුවත්ව හෝ නොදැනුවත්ව එකිනෙකාට කරන වැරදි තියෙනවා. මේ වැරදි කොයි තරම් නරකද කියනවා නම්, දෙන්නා අතර තියෙන සමගිය සමාදානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා, දෙන්නව දෙපැත්තට කරන්න තරම් මේ විදියේ වැරදි ප්‍රබලයි. ඉතින් අපි කියලා තියෙනවනේ කාලයක් යනකොට විවාහ වෙලා හරි නැතුව හරි එකට ජීවත් වෙන දෙන්නෙක් අතර තියෙන සම්බන්ධතාවය හොඳින් පවත්වා ගන්න වැඩ කලේ නැතිනම්, ඒ දෙන්නා අතර තියෙන සම්බන්ධතාවය වියැකිලා යන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඒ වගේම, යුවළක් එකිනෙකාට කරන නරක වැරදි ගැන දැනගෙන ඉඳීමෙනුත්, ඒ වගේ දේවල් නොකර ඉන්න ඕන කියලා අවබෝධයෙන් ජීවත් වෙන්න පුලුවන්. අන්න ඒ නිසා තමයි අපි එකට ජීවත් වෙන, විවාහ වුණු දෙන්නෙක් එකිනෙකාට කරන නරකම වැරදි ගැන ලියන්න හිතුවේ.
01. ඔළුව කන්න හදන එක
සාමාන්‍යයෙන් ඔය ගැටවර වයසේ කොල්ලො කෙල්ලො අතරේ මීම් එහෙමත් ෂෙයාර් වෙනවා, තමන්ගේ කොල්ලගෙ ඔළුව කන එක, ඒ කියන්නේ හැම පොඩි දේකටම කොල්ලත් එක්ක රණ්ඩු කර කර, ඩ්‍රාමා කරන එක ආදරේ පෙන්නන විදියක් කියලා. ඇත්තටම ඔය කසාද බැඳපු සමහර ගෑණු පිරිමි අතරත් ඕක තියෙනවා. ඒකට ආයෙ ගෑණු පිරිමි භේදයකුත් නෑ. දෙගොල්ලන්ම ඔය වැරැද්ද කරනවා. හැබැයි අපි කියන්නේ මේක වැරදියි කියලා තමයි. ඕනම මනුස්සයෙක්ට ජීවිතේ අත්‍යවශ්‍යම කාරණයක් තමයි සැනසීම. එතකොට, හැම පොඩි දේකටම ඔළුව කන්න හදන එකෙන් සිද්ධ වෙන්නේ, ඒ සැනසීම නැති වෙන එක. එතකොට ඉතින් පවුල් ජීවිතෙත් ඒ එක්කම නැතිවෙලා ගියත් පුදුම වෙන්න දෙයක් නෑ.
02. කොච්චර කළත් ඔච්චරයි
මේක ඇත්තටම සමහර කපල්, එකට ජීවත් වෙන්න පටන් අරගෙන කාලයක් යනකොට සිද්ධ වෙන දෙයක්. දැන් එකට ජීවත් වෙනවා කියන්නෙම යම් කිසි කැපකිරීමක්නේ. එකිනෙකා ගැන බලන්න ඕන. අමතරව එකට ජීවත් වෙනකොට පැවරෙන වගකීම් සහ යුතුකම් ඉෂ්ට කරන්න ඕන. එකිනෙකාට සහාය වෙන්න ඕන. දැන් අපි කියමු එක පාර්ශවයක් ඔය දේවල් නොපිරිහෙළා ඉටු කරනවා කියලා. හැබැයි ඔය දේවල් වඩාත් සතුටින් කරන්න පුලුවන් වෙන්නේ, අනික් කෙනා ඒ කරන දේවල් අගය කරනවා නම්නේ. හැබැයි විවාහ වෙලා කාලයක් යනකොට අනික් කෙනා කොයි තරම් උදවු කළත්, කොයි තරම් කැප කිරීම් කළත් ඒකේ අගය දැනෙන එක අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආකල්පයක් ඇතිවෙනවා අනික් කෙනා එව්වා කරන්න ඕනමයි වගේ එකක්. ආයෙ කොච්චර කළත් හොඳක් නෑ. මෙන්න මේකත් විවාහ ජීවිතේට බොහොම අවදානම්. මොකද, අනික් කෙනාට කරලා කරලා ඇති වෙන වෙලාවකුත් එනවා.
03. ඇබ්බැහි වීම්
ඇබ්බැහියක් කියපු ගමන් අපිට මුලින්ම ඔළුවට එන්නේ මත්ද්‍රව්‍ය, හා නැද්ද? ඊට පස්සේ මතක් වෙනවා මත්පැන්. ඊලඟට මතක් වෙනවා දුම්බීම. සමහර වෙලාවට සූදු කෙලින එක එහෙම මතක් වෙන්නත් පුලුවන්. මේ හැමදෙයක්ම නිතරම කරනවා කියන්නේ බොහොම භයානක විදියේ ඇබ්බැහි වීම් තමයි. හැබැයි ඇත්තටම ඇබ්බැහි වීම් කියන්නේ මේවා විතරක් නෙවෙයි. අපි සෝෂල් මීඩියා වලට වුණත් ඇබ්බැහි වෙන්න පුලුවන්. සරලවම කියනවා නම්, ඇබ්බැහියක් කියන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතේට, සෞඛ්‍යයට, සමාජ ජීවිතේට බලපෑමක් වෙන්න පුලුවන් විදියට යම් දෙයක් දිගින් දිගටම සිදු කරන්න පෙළඹීම. ඇබ්බැහියක් කියන්නේ ඇත්තටම සරල කාරණයක් නෙවෙයි. ඇබ්බැහියකට හේතු ගණනාවක් තියෙන්න පුලුවන්. ඇබ්බැහියකින් මිදෙන්නත් කෙනෙක්ට උදව් අවශ්‍ය වෙනවා.
හැබැයි අපි මෙතනදී කතා කරන්නේ, ඇබ්බැහියක් නිසා පවුල් ජීවිතේට සිද්ධ වෙන නරක බලපෑම. ඒක ඇත්තටම අපි එකට ජීවත් වෙන අනික් පාර්ශවයට කරන නරක දෙයක්. ඇබ්බැහි වීම් නිසා අපි අනික් කෙනාට ලබාදෙන්න ඕන කැපවීම සහ අවධානය නැතිවෙලා යනවා විතරක් නෙවෙයි, අනික් කෙනාගේ ජීවිතේටත් බොහොම අහිතකර බලපෑම් ඇති කරනවා,
04. එයාට අවධානය නෑ
අපි ඕනම කෙනෙක්ට සමාජ ජීවිතයක් ඕනනේ. යාළු මිත්‍රයෝ, ආදරේ කරන අය අපිට ජීවිතේට අවශ්‍යයි. ඒකේ කිසිම වැරැද්දක් නැහැ. හැබැයි මෙතනදී වැදගත්ම කාරණාව වෙන්නේ සමබරතාවය. තමන්ගේ වෘත්තිය ජීවිතය, සමාජ ජීවිතය සහ පුද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යෑම. හැබැයි විවාහ වෙලා කාලයක් ගියාට පස්සේ, සමහරුන්ට ඔය සමබරතාවය අමතක වෙලා යනවා. එහෙම වුණාට පස්සේ සමහරු තමන්ගේ ෆ්‍රී වෙලාව සම්පූර්ණයෙන්ම වගේ වෙන් කරනවා එක්කෝ යාලුවොත් එක්ක සෙට් වෙන්න, එක්කෝ යාලුවොත් එක්ක ට්‍රිප් යන්න, එක්කෝ යාලුවොත් එක්ක ෂොපින් කරන්න, එහෙමත් නැතිනම් ඔය ආගම ධර්මය අතේ කටයුතු වලට. මේ දේවල් වලට කාලේ වෙන් කරන එක ගැටළුවක් නෙවෙයි. හැබැයි තමන් එක්ක එකට ජීවත් වෙන, තමන්ගේ සහකරුවා හෝ සහකාරිය සමඟ තියෙන පුද්ගලික ජීවිතේට කිසිම කාලයක් වෙන් නොකර, මේ සමාජ ජීවිතේට හරි ආගමික ජීවිතේට හරි වෙලාව වෙන් කරනවා නම් අන්න ඒක නරක දෙයක්. ඇත්තටම දෙන්නෙක් එකට ජීවත් වෙනවා නම්, එකිනෙකාට කාලය ලබාදෙන්න ඕන. එකිනෙකාට අවධානය ලබාදෙන්න ඕන. එතකොට තමයි දැනෙන්නේ ඇත්තටම දෙන්නා එකට ජීවත් වෙනවා කියලා. එහෙම අවධානය දෙන්නෙ නැති වුණහම තමයි රණ්ඩු සරුවල්, හිත් රිදීම් පටන් ගන්නෙත්.
05. නෝ සෙක්ස්
නෝ සෙක්ස් කියපු ගමන් සමහරු අහන්න පුලුවන් සෙක්ස් විතරද ජීවිතේ කියලා. නෑ, සෙක්ස් කියන්නේ ජීවිතේම නෙවෙයි තමයි. හැබැයි සෙක්ස් කියන්නේ ජීවිතේ බොහොම වැදගත්, ප්‍රධාන කොටසක්. එතකොට දෙන්නෙක් එකට ජීවත් වෙන්න පටන් ගන්නවා කියන්නෙම, ඒ දෙන්නගේ ලිංගික ජීවිතෙත් හොඳින්, සාර්ථකව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා කියන එක. හැබැයි ඉතින් ඔය එකට ජීවත් වෙන්න පටන් ගත්තු කාලෙම ලිංගික ජීවිතේ ගැන තියෙන උද්යෝගය ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගන්නවනේ. ඊට පස්සේ සමහර කපල් එක තැනකට එනවා, දෙන්නත් එක්ක සෙක්ස් කරන්නේ සමහර විට අවුරුද්දකටම එක වතාවයි. සමහරු එහෙමවත් නෑ. මේකට ඉතින් විවිධ හේතු තියෙන්න පුලුවන්. වැඩ වැඩිවෙනකොට, ලිංගික ශක්තිය අඩු වෙනකොට වගේ කාරණා නිසා වගේම, එකම කෙනා එක්ක සෙක්ස් කරලා ඇති වගේ හිතෙන නිසාත් ලිංගික ජීවිතය බෙලහීන වෙන්න පුලුවන්. ඒ වගේම, සෙක්ස් කරන්න අනියම් සම්බන්ධතාවයක් වගේ දෙයක් තියෙන නිසත්, ගෙදර ඉන්න පාට්නර් එක්ක සෙක්ස් ලයිෆ් එක නැති වෙන්න පුලුවන්.
දැන් අපි කියන්නේ, කපල් එකක් ගත්තහම දෙන්නගෙන් කෙනෙක්, අනික් කෙනාට සෙක්ස් ඕන වෙන හැම වෙලේකම ඒකට සැදීපැහැදී ඉන්න ඕන කියන එක නෙවෙයි. හැබැයි එකට ගෙවන ජීවිතේ සාර්ථක වෙන්න නම්, දෙන්නට සක්‍රිය, සාර්ථක ලිංගික ජීවිතයක් තියෙන්න ඕන. උඩ කියලා තියෙන හේතු නිසා දෙන්නගේ ලිංගික ජීවිතය මඟ හැරිලා නම්, ඒවලට විසඳුම් හොයාගන්න ඕන.
06. අප්‍රියජනක පුරුදු
සාමාන්‍යයෙන් දෙන්නෙක් යාලු වෙනකොට, එහෙම නැතිනම් ලව් කරන්න පටන් ගන්න කාලේ ආයෙ ඉතින් සුපිරියටම ඉන්න සුපිරි ඩයල් එකක් කියලා පෙන්නන්නේ ට්‍රයි කරන්නේ. සති දෙකකට සැරයක් නාන එකා වුණත්, කෙල්ලව බලන්න යනකොට නාලා සෙන්ට් එහෙමත් නාලා තමයි යන්නේ. හරි, ඒක කොහොම වුණත්, ඔය රඟපෑම් දිගටම කරන්න බැහැනේ. දෙන්නෙක් කසාද බඳින ලෙවල් එකට එනකොට, දෙන්නම එකිනෙකාගේ තියෙන හොඳ නරක හැමදේම අවබෝධ කරගෙන තමයි එකට ජීවත් වෙන්න පටන් ගන්නේ. සාමාන්‍යයෙන් එකට දෙන්නෙක් ජීවත් වෙනකොට, එකිනෙකාගේ හොඳ නරක දෙවර්ගයම ගැන දෙන්නම කම්ෆර්ටබල් වෙනවා.
හැබැයි ඔය එකට ජීවත් වෙලා කාලයක් ගියපු කපල් වල සමහර වෙලාවට මේ වගේ දේවල් වෙනවා. දෙන්නගෙන් එක්කෙනෙක් හරි දෙන්නම හරි කලින් නොතිබුණු අප්‍රසන්න, අප්‍රියජනක පුරුදු පටන් ගන්නවා. ඔය තැන නොතැන නොබලා රාමතෙල් පිටකරන එක, අධෝවාතය පිට කරන එක වගේ දේවල් වල ඉඳලා, එකම නයිටිය නැතිනම් එකම සරම දවස් ගණන් ඇඳගෙන ඉන්න එකේ ඉඳලා, පිරිසිදුකම බිංදුවකට මායිම් නොකර ජීවත් වීම දක්වා ඔය අප්‍රසන්න පුරුදු ඇති වෙන්න පුලුවන්. ආන්න එව්වා පවුල් ජීවිතේට ප්‍රශ්න. ඇත්තටම ඒ වගේ අප්‍රසන්න පුරුදු ඇති කරගන්න එක තමන් එක්ක එකට ජීවත් වෙන අනික් කෙනාට කරන නරක වැරැද්දක් තමයි!
07. ඇරියස් කවර් රණ්ඩු
දෙන්නෙක් එකට ජීවත් වෙනවා කියන්නේ ඉතින් දෙන්නා එක්කෙනෙක් වෙනවා කියන එක නෙවෙයි. දෙන්නා දෙන්නෙක්. හැබැයි එකට ජීවිතේ ෂෙයාර් කරගන්න තීරණයක් ගන්නවා. ඒක හොඳයි. හැබැයි දෙන්නම මනුස්සයොනේ. ඉතින් දෙන්නම අතින් විවිධ වැරදි, අතපසුවීම් සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට එකට ජීවත් වෙන්න පටන් ගත්තු මුල් කාලෙදි ඔය වැරදි අතපසුවීම් ගණන් නොගෙන ඉන්නත් පුරුදු වෙනවා. හැබැයි ඉතින් කාලේ ගතවෙනකොට, ඔය ඉවසිල්ල ටිකක් අඩුවෙන්න පටන් ගන්නවා. ඉඳලා හිටලා හරි රණ්ඩුවක් දෙකක් ඇතිවෙන්නත් පටන් ගන්නවා. හරි, ඒකත් ගැටළුවක් නෑ. මිනිස්සුනේ, රණ්ඩු සරුවල් ඇතිවෙනවනේ. හැබැයි එහෙම රණ්ඩුවක් ඇතිවුණු වෙලාවක කරන්න ඕන, තාර්කිකව ඒ රණ්ඩුවට මුල් වුණු කාරණාව අරගෙන, එක්කෝ පැහැදිලි කිරීමක් කරලා, වැරැද්ද තමන්ගේ නම් සමාව ඉල්ලලා, වැරැද්ද අනික් කෙනාගේ නම් එයාට සමාව දීලා කතන්දරේ ඉවර කරන එක. හැබැයි ඔය ගොඩක් කපල් පහුකාලීනව රණ්ඩු පටන් ගත්තහම ඔය තරම් ලේසියෙන් විසඳගන්නෙ නෑ. ඇත්තටම ඒ රණ්ඩු ඇරියස් කවර් කරන ගමන් තමයි ඇදෙන්නේ. ඉස්සර කරපු වැරදි, එයාගෙ අම්මලා තාත්තලාගේ වැරදි, එයා මඟුල් කතා කරන්න ආපු දවසේ එයාගෙ ආච්චි “දුව පොඩ්ඩක් සුදු වෙන ක්‍රීම් එකක් ගෑවනම් හොඳයි නේද” අහපු එව්වා. මඟුල දවසේ එයාගෙ මාමා ඇවිත් “පුතාට ඉතින් මීට කලින් කසාද හරියන්නත් නැතුව ඇති, රස්සාවෙ ඉස්තීර නැති නිසා නේද” කියලා අහපු එව්වා, ඔන්න ඔය වගේ මෙකී නොකී කතන්දර ඇදලා අරගෙන තමයි රණ්ඩුව ඇදගෙන යන්නේ. ඇත්තටම ඒක අනික් කෙනාට කරන්න පුලුවන් නරකම වැඩක්. දෙන්නත් එක්ක එකට ජීවත් වෙනවා කියන්නේ අවබෝධය, සමඟිය, ටීම් වර්ක් තියෙන්න ඕන කියන එක තමයි.
Leave a Reply