දැන් ඔන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, එහෙම නැතිනම් අපි හැමෝම දැනෙන විදියට කියන බුක් ෆෙයාර් එක කට උඩටම ඇවිල්ලනේ. ජාත්‍යන්තර කිවුවට ඉතින් ඔක්කොම වගේ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ තමයි. හැබැයි අපිට සිරාම පොත් ප්‍රදර්ශනේ මේක තමයි. බිග් බෑඩ් වුල්ෆ් ගිහින් ඇවිත් පොකැට් එකට කෙලවගෙන මාස දෙකක් හාමතේ ඉන්න අපි වගේ ඩයල්ස් අගෝස්තු මාසේ දහ අතේ දිවුරන්නේ කලම්බු බුක් ෆෙයාර් නං මේ පාර යන්නෙ නෑ නෑ නෑමයි කියලා. එහෙම කිවුවට ඉතින් ඔන්න අපිත් කාන්දමට යකඩ කුඩු ඇදෙන්නා වගේ කොළඹ බුක් ෆෙයාර් පෝලිමේලු!
හරි, කියන්න ආවේ ඒක නෙවෙයි. දැන් බුක් ෆෙයාර් යන ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි මොනවද ගන්න පොත් කියලා. පරණ පොත් නම් කොහොමහරි ගන්න පුලුවන්නේ. අලුත් පොත් මොනවද තෝරගන්නේ? ආන්න ඒ ගැන පොඩි උදවුවක් කරන්නයි මේ යන්නේ. මේ වෙනකොට හොඳයි කියලා අහන්න ලැබෙන අලුත්ම පොත් කීපයක් ගැනයි මේ කියන්න හදන්නේ. හැබැයි මේ පොත් වලින් සමහර ඒවා සමහරුන්ට අල්ලන්නෙ නැති වෙන්න පුලුවන්. සමහරුන්ට රස වැටෙන්න පුලුවන්. සමහරුන්ට මෙලෝ රහක් නෑ කියලා හිතෙන්න පුලුවන්. ඒ කොහොම වුනත් මේ පොත් ගැන ගොඩක් දෙනෙක් හොඳ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඒ නිසා අපේ ලිස්ට් එකට මේ පොත් 7 ගන්නවා!
1. ඒ අහඹු අතීත හැන්දෑව – මංජුල වෙඩිවර්ධන

Image Source – facebook.com
මංජුල වෙඩිවර්ධන කියන්නේ මොන වගේ විශිෂ්ට ලේඛකයෙක්ද කියන එක ගැන අටුවාටීකා වුවමනා නෑ. හැබැයි මංජුල ලියලා තියෙන, මේ පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතයි කියලා අහන්න ලැබෙන මේ පොත ගැන අටුවාටීකා කොහොමත් අපිට කියන්න විදියක් නෑ. මොකද පොතේ පිටුවක් දෙකක් විතරයි මේ වෙනකොට සමාජ ජාලයන් ඔස්සේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් බත්තලංගුණ්ඩුව, දුස්ටකමේ සවුන්දර්යය සහ තවත් කෙටිකථා, ශුද්ධ වූ ජුදාස්, ආදරණීය යක්ෂණී වගේ මංජුලගේ පොත් කියවපු අය මේ වෙනකොටත් මේ පොත ගැන බලාපොරොත්තු තියාගෙන ඇත්තේ. ඇත්තටම මේ දකින්න තියෙන කොලේ අකුරු ගැනත් දෙයක් කියන්න ඕන. ඒ අකුරු අලුත් වගේම පරණයි. ඉස්සර ප්‍රගති ප්‍රකාශන මන්දිරයෙන් ගහපු රුසියානු පරිවර්තන වල තිබුණු අකුරු වගේ. දකින්නත් ආසයි!
ප්රකාශනය : අහස මීඩියා
2. තීන්ත නදිය – පෝල් එම් එම් කූපර් (පරිවර්තනය- සමන් කළුආරච්චි)

Image Source – facebook.com
කාලිංඝ මාඝ ගැන කිසි කෙනෙක් නොදැන ඉන්න විදියක් නෑ. ඒත් කාලිංඝ මාඝ සහ ඔහුගේ ශ්‍රී ලංකා ආක්‍රමණය, ඉන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් ඛේදජනක ඉතිහාසය ගැන සවිස්තරව අපි දන්නෙ නැහැනේ. ඒ ගැන පර්යේෂණයක් කරපු පෝල් එම් එම් කූපර් කියන යුරෝපීය තරුණයා ඒ ගැන පොතක් ලියනවා River of ink කියලා. අන්න ඒ පොත සිංහලයට පරිවර්තනය කරනවා ශ්‍රී ලංකාවේ හිටපු හොඳ මාධ්‍යවේදියෙක් සහ සාහිත්‍යධරයෙක් වෙන සමන් කළුආරච්චි විසින්. මේ පරිවර්තනයේ නම “තීන්ත නදිය”. මේක ඉතිහාසයට කැමති හැම කෙනෙක්ගේම සිත් ගනී කියලා අපි හිතනවා.
ප්රකාශනය : සූරිය ප්‍රකාශන
3. බෝදිලිමානය – ගාමිණී බස්නායක

Image Source – facebook.com
ගාමිණී බස්නායක විසින් රචනා කරන බෝදිලි මානය කියන්නේ බින්තැන්න මූලික කරගත් කථා වස්තුවක්. මේ කථාවේදී වැදගත් වෙනවා 1818 වර්ෂය. ලංකා ඉතිහාසයට අතිශයින්ම වැදගත් මේ අවුරුද්දේදී වෙල්ලස්සේ ස්වදේශිකයින්ට කැරැල්ල නිසා කැලෑ වදින්න සිද්ධ වෙනවා. ඉන් පස්සේ 2018 වෙනකොට ආයෙමත් සංවර්ධනයේ නාමයෙන් තමන්ගේ උපන් ගම් වලින් නික්මිලා යන්න මේ මිනිස්සුන්ට සිද්ධ වෙයිද? ගාමිණී බස්නායක විසින් කාලය හරහා ඓතිහාසික ගමනක පාඨකයාව ගෙන යන මේ පොතෙන් තමන්ගේ උපන් ගම් අත් හැර දමා වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න සිද්ධ වෙන මිනිස්සුන්ගේ දුක් වේදනාවන් තමයි තේමාවක් විදියට පෙන්වා දෙන්නේ.
ප්රකාශනය: සයුර ප්‍රකාශන
4. අවි බිමක ගිනියම – මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ

Image Source – facebook.com
දැන් ටික කාලෙකට කලින් පටන් ගත්තු සිවිල් යුද්ධය අලලා පොත් ලිවීම මේ වෙනකොටත් නැවතිලා නැහැ. හැබැයි ඉතින් එහෙම පොත් ලියැවෙන එක ගැන අපිට වැරැද්දක් කියන්න බැහැ. ඕනම රටක යුධ සාහිත්‍යයක් තියෙනවනේ. ඉතින් මේ පාර පොත් ප්‍රදර්ශනේ අල්ලලා ඒ විදියේ පොතක් නිකුත් වෙනවා. පොතේ නම “අවි බිමක ගිනියම”. පොත ලියලා තියෙන්නේ මේජර් සුජිත් චමින්ද එදිරිසිංහ. අහන්න ලැබෙන විදියට මේ පොතට පදනම් වෙලා තියෙන්නේ 1990 කොකාවිල් ප්‍රහාරය. එතැනදී දිවි නොතකා සටන් වැදුණු, ඒත් මේ වෙනකොට අමතක වෙලා ගිහින් තියෙන රණ විරුවන් පිරිසක් සහ මුල් වරට පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ අභීත නිලධාරියෙක් මේ කෘතියේදී අපිට මුණගැහෙනවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. මේ පොතේ කතුවරයා වෙන මේජර් සුජිත් පොත ලියලා තියෙන්නේ සෑහෙන්න ගවේෂණයක් කරලා, බොහොම පිරිසක් එක්ක සම්මුඛ සාකච්ඡා එහෙමත් කරලා කියලයි දැනගන්න තියෙන්නේ. ඒ නිසා මේ පොතත් අපේ ලැයිස්තුවට එකතු කරනවා.
5. සාහිත ලොව කුරුළු ඇසින් – මනෝරම වීරසිංහ

Image Source – facebook.com
සාමාන්‍යයෙන් පොත් පත් කියවන ගොඩක් දෙනෙක් ඔය වාද විවාද වලට එහෙම පැටලෙන කොට තමයි සාහිත්‍ය ෂානර, සාහිත්‍ය විචාර ක්‍රම, ලෝකේ තියෙන විචාර වාද න්‍යායයන් වගේ දේවල් දැනගෙන හිටියා නම් කොයි තරම් දෙයක්ද කියලා හිතෙන්නේ. නිකම්ම ජොලියට අහුවෙන පොතක් කියවන මනුස්සයෙක්ට වුනත් ලෝකේ කවිය, කෙටි කථාව, නව කථාව හඳුන්වන්නේ කොහොමද, ලෝකේ ප්‍රධාන සාහිත්‍ය ධාරා මොනවද වගේ දේවල් අඳුනගන්න මේ පොත වටිනවා පොතේ නම “සාහිත ලොව කුරුළු ඇසින්”. පොත ලියලා තියෙන්නේ මනෝරම වීරසිංහ.
ප්රකාශනය: ප්‍රභා ප්‍රකාශන
6. කොළඹ කථාව භික්ෂු පරිච්ඡේදය – උපුල් සන්නස්ගල

Image Source – facebook.com
“කොළඹ කථාව භික්ෂු පරිච්ඡේදය” කියන පොත ලියන්නේ උපුල් ශාන්ත සන්නස්ගල. සමහරුන්ගේ ආදරයට පාත්‍ර වුණු සිංහල ගුරුවරයා. තවත් සමහරුන්ගේ ගෞරවයට පාත්‍ර වුණු ලේඛකයා. තවත් සමහරුන්ගේ සැකයට, ක්‍රෝධයට පාත්‍ර වුණු සන්නා. මේ කොයි චරිතය කොහොම කොයි මොහොතේ එළියට ආවත්, සන්නස්ගලගේ සාහිත්‍ය නිර්මාණ ගැන ගොඩක් දෙනෙක්ට තියෙන්නේ හොඳ හැඟීමක්. සන්නාගේ පොතක් නරකයි කියපු කෙනෙක් වුනත් සන්නා අලුත් පොතක් කළා කිවුවහම පොඩ්ඩක් විමසිලිමත් වෙනවා. ඉතින් මේ “කොළඹ කථාව භික්ෂු පරිච්ඡේදය” කියන්නේ ගොඩක් අයට අමතක වුණු, කවුරුත් නොලියපු ඉතිහාස කතාවක් කියලා තමයි අහන්න තියෙන්නේ. හොඳම වැඩේ බුක් ෆෙයාර් එකේදී පොත අරන් පිටු කීපයක් කියවලා බලන එක. හිතට අල්ලනවා නම් අනිවාර්යයෙන්ම ගන්න. හිතට අල්ලන්නෙ නැති නම් තව පිටු කීපයක් කියවලා බලන්න. අල්ලන්නේම නැතිනම් තියලා එන්න!
ප්රකාශනය: සංහිඳ ප්‍රකාශන
7. උදුරා දැමු මුල් – ඇලෙක්ස් හේලි (පරිවර්තනය- බෙන් රස්නැක්)

Image Source – facebook.com
ඇලෙක්ස් හේලි විසින් රචිත Roots කියන්නේ ලෝකයේ දැඩි ලෙසින් ජනාදරයට පාත්‍ර වුණු කෘතියක්. මේ කෘතියෙන් කියවෙන්නේ කුන්ටා කින්ටේ කියන අප්‍රිකානු ගෝත්‍රික දරුවෙක් ගැන. මේ ගෝත්‍රය විඳින දුක් කම්කටොලු, කුන්ටා ක්‍රමයෙන් යොවුන් වියට පා තබන ආකාරය, ගෝත්‍රික සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර සහ ජීවන රටාවන් එහෙම බොහොම විස්තරාත්මකව මේ පොතේ සඳහන් වෙනවා. මේ නවකතාව අවසාන වෙන්නේ ඇලෙක්ස් හේලිගේ මුතුන් මිත්තන් වෙන කුන්ටා ඇතුළු අප්‍රිකානු ගෝත්‍රික ජනතාව ඇමරිකානු භූමියට පය තබන්නේ කොහොමද කියන කාරණයත් එක්කයි. මේ පොත ඇත්තටම අතීතයේදී කොටස් වශයෙන් පුවත්පත් ලිපි පෙළක් විදියට පරිවර්තනය වෙලා තියෙනවා. මින් පෙරත් Roots සිංහල පරිවර්තනයක් විදියට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒත් බෙන් රස්නැක් විසින් කරන මේ නව සිංහල පරිවර්තනය හොඳයි කියලා දැනුනොත්, අනිවාර්යයෙන්ම ගන්න කියලා අපි මතක් කරනවා. මොකද Roots කියන්නේ කියැවිය යුතුම පොතක් නිසා.
ප්රකාශනය : අහස මීඩියා
Cover Image Source – facebook.com
Leave a Reply