අද අපි කතාකරන්න හිතුවේ වෙනස්ම මාතෘකාවක්. විභාගය හෙට නම්, විභාගෙ දවසෙයි ඊට කලින් දවසෙයි මොනාද කරන්නේ ඕනේ කියලා තමයි අද අපි කියන්නේ. ඒ වගේම මේ ලිපියෙන් විභාගෙකට කලින් අපි කරන වැරදි ගොඩක් ගැනත් කතාකරන්න අපි හිතුවා.
1. කලින්ම නිදියන්න
මෙන්න මෙතන තමයි ගොඩාක් අය වරද්ද ගන්න තැන. හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නවා සාමාන්‍යයෙන් විභාගේ හෙට නම් අද නිදිවරාගෙන පාඩම් කරන්න මුළු රෑ තිස්සෙම. මේක නම් ගොඩාක් වැරදි පුරුද්දක්. ඒකේ ප්‍රතිඵලය තමයි අන්තිමේදී ඔයාගේ ටෙන්ශන් එක ආතතිය ගොඩාක් වැඩි වෙන එක. සාමාන්‍යයෙන් විභාගෙට කලින් දවසේ ඔයා ඉන්නේ ලොකු ටෙන්ශන් එකක. මේකෙන් ඒක ගොඩාක් වැඩි වෙනවා. ඒ වගේම නිදි වරන එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි.
2. වේලාසනම නැගිටින්න
කලින් කිව්වේ අපි නිදි වරාගෙන පාඩම් කරන්න එපා කියලනේ. දැන් කියන්නේ විභාගෙ දවසේ වේලපහම නැගිටින්න කියලා. සාමාන්‍යයෙන් එදාට වෙනදා නැගිටිනවට වඩා ටිකක් වේලපහින් නැගිටින්න. ඒකේ වාසි ගොඩක් තියෙනවා. එකක් තමයි ඔයාට පුළුවන් උදෙත් නෝට්ස් ටිකක් පාඩම් කරන්න බලන්න. ඒ වගේම ඔයාට පුළුවන් වේලාසනම විභාග ශාලාවටත් යන්න. ඒක විභාගයට සාර්ථකව මුහුණ දෙන්න හොඳ මානසික සූදානමකුත් ගෙන දේවි.
3. කෑම ගැනත් පොඩ්ඩක් හිතන්න
ගොඩාක් අය අවධානය යොමු නොකරන තවත් වැදගත් මාතෘකාවක් තමයි මේක. එදාට කෑම ගනිද්දි විශේෂයෙන් තමන්ට ඇලර්ජි වෙන, බඩේ අපහසුතා ගෙන දෙන විදිහේ දේවල් කෑමට ගන්න එපා. ගෙදරින් සැහැල්ලු කෑමක් පිරිසිදුව කන්න පුරුදු වෙන්න. ඒ වගේම කිරිබත් වගේ කෑමක් කෑවම සමහර අයට නින්ද යනවා. එහෙම තත්ත්වයක් තියනවනම් ඒ වගේ කෑමක් කන්නත් එපා…
4. යාළුවොත් එක්ක කතා නම් එපා
මේක විභාග ශාලාවේ ඉද්දි වෙන වැරැද්දක්. ගොඩාක් අය විභාගෙ අන්තිම මොහොතේදි වේලාසනම විභාග ශාලාවට ගිහින් පාඩම් කරන්නෙ යාළුවොත් එක්ක. මෙතනදී ගොඩාක් වෙන වැරැද්දක් තමයි යාළුවොන්ගෙයි ඔයාගෙයි දැනුම සංසන්දනය වෙන එක. මේ හින්දම ඔයාගේ ආතතියත් ගොඩක් වැඩි වෙනවා. විභාගෙට වඩා ඔයාට එතකොට හිතෙන්න පුළුවන් “මට මෙයාලට වඩා ලකුණු ගන්න බැරි වෙයිද? අයියෝ ඒක විභාගෙට එයිද?” වගේ මනස්ගාත.
5. Speed Revision Day
විභාගෙට කලින් දවස අපි ගතකරන්න ඕනේ Speed Revision Day එකක්, එහෙම නැත්නම් ඉක්මන් ස්මරණ දිනයක් විදියට. ඒ කිව්වේ මෙහෙමයි, ඔයාට පුළුවන් මේ දවසේ ඔයා පාඩම් කරපු දේවල් ආයේ මතකෙන් කියන්න, රූප සටහන් අඳින්න, ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න. හැබැයි ඔයා විභාගෙට ඔන්න මෙන්න කියලා පාඩම් කරන කෙනෙක් නම් මෙතනදි ඔයා ෆේල් වෙනවා. ඒ හින්දා විභාගෙට ඔන්න මෙන්න නැතුව කලින් ඉඳන්ම පාඩම් කරන්න ගන්න…
6. ශබ්ද නගා පාඩම්කරන්න
මේක කරන්න කියන්නේ විභාගෙට කලින් දවසේ එහෙම නැත්නම් අපේ මේ Speed revision day එක දවසේ. මේ දවසේ අපි ඉන්නේ ගොඩාක් කම්මැලිකමට වඩා ආතතියකින්. “මේ දේ මගේ ඔළුවට යන්නැහැ” වගේ හැඟීමක් හැමෝටම එන්නේ. ඒක මග හරව ගන්න පුළුවන් ශබ්ද නගලා පාඩම් කරන එකෙන්. ඔයාට පුළුවන් ඒ විදියට පාඩම් කරලා ආයේ පේපර් එකක් කරලා ඔයාටම ලකුණක් දීගන්න. ඒක ඇත්තටම ගොඩාක් හොඳයි ඔයාගෙ ආතතිය අඩුකරගන්නටත්.
7. ඍණාත්මක අදහස්වලට ඉඩ දෙන්නත් එපා
මේක තමා අනිත් පොයින්ට් වලටත් වඩා වැදගත්ම පොයින්ට් එක. ඒ වගේම මේක ගොඩාක් අය අතින් නොදැනුවත්වම සිදුවන වැරැද්දක්. සාමාන්‍යයෙන් අපි කලින් කිව්වා වගේ විභාග දවසේ අපි ඉන්නේ ලොකු ටෙන්ශන් එකක. හැමෝම වගේ එහෙමයි. ඒක පුළුවන් තරම් අඩු කරගෙන තමන්ට මේක පුළුවන් කියන අධිෂ්ඨානයෙන් ඉන්න. විභාග ප්‍රතිඵල ආපුවම ඔයාට ලැබෙන දේවල් ගැන හිතින් මවාගන්න. තමන් ලබපු ජයග්රහණයන් ගැන හිතන්න. ලොකු බරක් නොගෙන විභාගෙට මුහුණ දෙන්න.
මේ සමහර වැරදි ඔයත් කරනවනම් ආයෙ ඒ වැරදි නම් කරන්න එපා. හොඳට, පාඩම් කරල මේ උපදෙස් අනුව විභාගය ලිව්වනම් අනිවාර්යයෙන්ම ඔයාට විභාගයට හොඳම ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.
ශශින් ප්‍රබෝද්
Leave a Reply