දැන් ඔය දෙන්නා දෙමාල්ලෝ ඉන්නවනේ. ඒ කියන්නේ එක්කෝ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන්න පුළුවන්. පෙම්වතා සහ පෙම්වතී වෙන්න පුළුවන්. දැන් කාලේ තියෙන වෙනත් සම්බන්ධතා බැලුවහම හස්බන්ඩ්ලා දෙන්නා, වයිෆ්ලා දෙන්නා, පෙම්වත්තු දෙන්නා, පෙම්වතියෝ දෙන්නා වගේ ඔය ඕන එකක් වෙන්න පුළුවන්. දැන් ඔය දෙන්න දෙමාල්ලෝ මොක්කු වුනත්, තමන්ගේ ආදරේ ගඟ වගේ ගලා බසී කියලා පටන් ගත්ත තැනේදී ඉඳන් වලියක්, කොක්කක්, කසිලි බිසිලියක් නැතුව කාලයක් ගිහින් තියෙනවා දැකලා තියෙනවද? එහෙම ලව් මේ ලෝකෙ නෑ මා පුතා. බඹලොවත් නෑ. දිව්‍යලෝකේ දෙවියෙක් වුනත්, තමන්ගේ වයිෆ් හරි හස්බන්ඩ් හරි එක්ක වලියකින් තොරව දීග කාලා ඇති කියලා අපිට හිතන්න බෑ.
හරි, දැන් ඔය කසිලි බිසිලි, වලි ඇදෙන එකත් කමක් නෑ කියමුකෝ. එව්වා බත ඉදෙනකල්, ෆිල්ම් එක ඉවර වෙනකල්, ඉස්සො වඩේ ප්ලේට් එක ඉවර වෙනකල්, කෝච්චිය එනකල් විතරයි කියනවනේ. ලව් එක කියන්නේ එහෙම තමයි. මේ පැත්ත බලනකොට තුන්වෙනි ලෝක යුද්දේ වගේ මරාගත්තත්, අනික් පැත්තට තුරුල් වෙලා ආදරෙන් වෙලිලා නාඹර කපල් එකක් වගේ ඉන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි පුතෝ, ඔය වලිය ඇදුණු වෙලාවට සමහර කටවල් බ්රේක් නැති උන්දැලාගේ කටවල් වලින් පණින සමහර වචන, සමහර කතන්දර තියෙනවා ආයෙ හර්කියුලීස් බෝට්ටු ගෙනැල්ලාවත් ආපිට අද්දවන්න බෑ. සමහර වෙලාවට ගොඩින් ෂේප් කර නොගත්තොත් ඔය විදියේ කතන්දර නිසා කසාදෙත් හබක් වෙන්න ඉඩ තියෙනවා.
අපි කියන්න යන්නේ ආන්න ඒ විදියේ, වලියකදී දෙන්න දෙමාල්ලෝ කොහොමටවත් නොකිව යුතු කතන්දර කීපයක් ගැන. මේවා නැතුව මොන මෝටාර් ගහන විදියේ වලි දාගත්තත් අපේ මොටෝ!
1. අපරාදේ තෝත් එක්ක ආවේ!
මේක නං ඉතින් වලියකදී ඇහෙන්න පුළුවන් සුලභ කතන්දරයක්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නෑ මේක හරි කතන්දරයක් කියලා. සාමාන්‍යයෙන් වෙන්නේ මේ ලව් එක, එහෙම නැතිනම් මේ කසාදේ කරගත්ත එක තමයි වැරැද්ද කියලා ඇඟවෙන්න මෙහෙම කියන එක තමයි. සමහර වෙලාවට මේකේ එක්ස්ටෙන්ෂන් එකකුත් දකින්න පුළුවන්. ඒ තමයි “මට තමුසේ නැතුවට හොඳ මිනිහෙක්/ගෑණියෙක් ගන්න තිබ්බා” කියන එකත්. මේක ඒ තරම් සැර කතාවක් විදියට එක පාරට කෙනෙක්ට නොතේරුණත්, මෙතනින් පොඩි ඉඟියක් දෙනවා නේද මේ ලව් එක හෝ කසාදය තමන් ජීවිතේ ගත්තු වැරදි තීරණයක් කියලා? සමහර වෙලාවට අන්න ඒක වලිය ඉවර වෙලා වුනත් අනික් කෙනාගේ හිතේ හොල්මං කරන්න පුළුවන්. ඒකෙන්ම ලව් එක හෝ කසාදේ ඉවර වෙන්නත් පුළුවන්.
2. මෙව්වා මගේ සල්ලි!
මේවා නං ඉතින් සමහර ඔය කපල් වලි දාගන්නකොට දිනපතා ඇහෙන එව්වා. සමහර වෙලාවට ගෑණි මේ විදියට කියන්නේ තමන් ගෙනාපු දෑවැද්දේ වරුණේ. සමහර වෙලාවට මිනිහා මෙහෙම කියන්නේ තමන් ගෙදරට හම්බු කරලා ගේන එකේ වරුණේ. සමහර වෙලවට ගෑණි මෙහෙම කියන්නේ තමන්ගේ රස්සාවෙන් ලැබෙන පඩියේ වරුණේ. සමහර වෙලාවට මිනිහා මෙහෙම කියන්නේ ගෑණිට ඇඳුම් කැඩුම් වලට තමන් වියදම් කරන එකේ වරුණේ. හැබැයි ඔය කොයි විදියකට මේ වගේ වචන ආවත්, ඒක කැතයි. ඕකට කියන්නේ කුල කියනවා කියලා. ආන්න ඒ නිසා මතක තියාගන්න. වලියකදී මේ වගේ ඒවා ඇදෙනවා කියන්නේම, ඒ සම්බන්ධතාවය භෞතික දේවල් මත පදනම් වුණු, අන්ෂුවර් තැනකයි තියෙන්නේ කියන එක!
3. මැරිලා පලයං!
අපි කෙනෙක්ට ලව් එකටත් කියනවනේ “තෝව මරනවා”, “තෝ මැරියං” වගේ එව්වා. හැබැයි සැරපරුස වලියකදී මෙහෙම වදන් කියවෙන එක හාත්පසින්ම වෙනස් කතන්දරයක්. ඒකෙන් මේ වචන දෙකේ හරි ඊට සමාන කීමක හරි තියෙන බරපතලකම ඉතාමත්ම වැඩිවෙනවා. ඒ කියන්නේ අපිට වලියකදී කෙනෙක් මෙහෙම දෙයක් කියන්නේ, අපි ගැන තියෙන උපරිම ද්වේෂයක්, පිළිකුලක් පිට කරන්න කියලා තමයි අපිට හැඟෙන්නේ. ආන්න ඒ නිසා වලියක් කොයි තරම් ඇවිලිලා ගිහිල්ලා මිනී මරාගන්න තැනට ලං වුණත්, මේ වගේ කතන්දර කියන එක හොඳ දෙයක් නෙවෙයි. ඒකෙන්ම සම්බන්ධෙට කණ කොකා අඬන්නත් බැරි නෑ!
4. මට තෝව දෑහැට පෙන්නන්න බෑ!
මෙන්න මේ විදියේ පත කාලතුවක්කු උණ්ඩ වලින් වලියක් ගියාට පස්සේ වෙඩි තියාගන්න හාදයෝ හාදියෝ එහෙමත් අපි අතරේ ඕනෑ පදං ඉන්නවනේ. හැබැයි ප්‍රශ්නේ මේකයි. මේ වගේ සැර දෙයක් කියවුනාට පස්සේ, ඒවා ආයෙමත් ඇදලා ගන්න පුළුවන්ද? බැහැනේ. සිද්ධ වෙන දේ තමයි ඔය වගේ සැරපරුෂ වචන හිතේ ඇනුණු කටුවක් වගේ රිදි රිදී, පැසව පැසවා තියෙන එක. ඒ විතරක් නෙවෙයි, අනික් කෙනාගේ හිතේ අපි ගැන වෛරයක්, ද්වේෂයක් තියෙනවාය කියලා හැඟීමකුත් අපිට එන්න පුළුවන් ඔය වගේ වචනයක් ඇහුණහම. ඉතින් ලව් එකක් කල් අල්ලයිද ඔය වගේ වචන එක්ක?
5. මේ හැමදෙයක්ම තමුසෙගෙ වැරදි!
අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නැහැනේ. අද ඇදෙන වලියකදී ඒකට වැරැද්ද තියෙන්නේ අපේ අතේ වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියවෙන්නෙ නැහැ අපි කරන කියන හැමදෙයක්ම වැරදියි කියලා. විශේෂයෙන්ම ප්‍රේම සම්බන්ධතාවයකදී හරි විවාහයකදී හරි සිද්ධ වෙන හැම අවුලක්ම එක්කෙනෙක්ට බැර කරන්න බැහැ. හැබැයි ඉතින් සමහරු ඉන්නවා තමන්ගේ වැරදි තිබ්බත්, හැමදාමත් අනික් කෙනාගේ වැරදිම කියන. එහෙම ඩයල් එකක් ඉතින් මොන වලිය ඇදුණත් ඒක අනික් කෙනාගේ එකවුන්ට් එකට බැර කරලා අත පිහිදගන්න්වා වෙන්න පුළුවන්, මේ කියලා තියෙන විදියටම! හැබැයි ඉතින් එහෙම වැඩිකාලයක් සම්බන්ධෙකට දුවන්න බෑ කියලත් මතක තියාගන්න වෙනවා!!
6. හැමදාමත් ඔහොමමයි, කවද්ද හරියට දෙයක් කළේ!
මේ වගේ කතන්දරයක් ගොඩක් වෙලාවට වලියකදී කියවෙන්නේ පිරිමියෙක්ට විරුද්ධව වුනත්, ඒක අනික් පාර්ශවය සම්බන්ධයෙන් වුනත් කියවෙන්න පුළුවන්. හැබැයි කාට කිවුවත්, මේ වගේ කතාවකින් හිතේ ඇතිවෙන්නේ බොහොම හීනමාන හැඟීමක්, තමන් ගැනම ලැජ්ජාවක්, ඒ වගේම තමන්ට දේවල් බැහැ නේද කියලා හැඟීමක්. ඒ හැඟීම නිසා කෙනෙක්ගේ ආත්ම විශ්වාසය බිංදුවටම වැටෙන්න පුළුවන්. වලියෙන් පස්සේ වුනත්, මේ වගේ කතාවක් නිසා ඇතිවෙන හීනමාන හැඟීම නැතිවෙන්නේ නැති තරම්. අන්න ඒ නිසා මෙහෙම දෙයක් කිසිම කෙනෙක්ට රණ්ඩුවක් මැද්දෙදී නොකියන එක හොඳයි.
7. තමුසෙට තියෙන්නේ මොළේ අමාරුවක්!
මෙන්න මේක නම් කියන්න හොඳ නැතිම, සෑහෙන්න භයානක කතාවක්. ඇයි එහෙම කියන්නේ? අපි හැමෝම සම්පුර්ණයෙන්ම සාමාන්‍ය, හොඳ මානසික තත්ත්වයක් හැමදාම ඉන්න අය නෙවෙයි. අපිට ලේසියෙන්ම විශාදය, ආතතිය වගේ දේවල් ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ අපි කවුරුවත් වෙන් කරලා තියන්න ඕන, භයානක රෝගීන් කියන එක නෙවෙයි. අන්න ඒ වගේ පසුබිමකදී, විශේෂයෙන්ම අපේ පාර්ට්නර් මානසික පීඩනයකින් එහෙම ඉන්න වෙලාවක දාගන්න වලියකදී මෙහෙම කතන්දරයක් කියන එක ඉතාම භයානක වෙන්න පුළුවන්. ඒකෙන් එයාගේ හිත තවත් අබල දුබල වෙන්න පුළුවන්. ඒ නිසා වැරැද්ද තියෙන්නේ එයාගේ අතේ වුනත්, මෙහෙම කතාවක් වලියක් මැද්දේ තියා නිකම් ජීවිතේදීවත් නොකියන්න හිතට ගන්න ඕන.
දැන් කෙනෙක් අහයි ඔය වගේ එව්වා කියාගන්නෙ නැතුව “මිතුර, මා කියන දේ අසා සිටින්න”, “සොඳුරිය, මගෙන් දෙකක් අසා නොගෙන මාගේ බස් පිළිපදින්න” වගේ කියමන් වලින්ද වලියක් යන්න ඕන කියලා. ඇත්ත. ගොඩක් අයට මේ වගේ එව්වා කියාගන්නෙ නැතුව වලියක් ගෙනියන්න බෑ. හැබැයි වලියකදී මේ වගේ හිත් වලට ඇණෙන දේවල් නොකියා ඉන්නත් බැරි නම්, ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ ගාව. ආන්න ඒක විසඳගෙන ඉන්න ඔක්කොටම කලින්!
Leave a Reply