අතීතය සම්පූර්ණයෙන් අමතක කරලා ඉදිරියට යන්න හදන ජාතියකට පැවැත්මක් නැහැ . පරණ රෙදි වැඩක් නැහැ කියලා පුච්චලා දැම්මට රටක් සතු කෞතුක වස්තුවලට එහෙම පයින් ගහලා පැත්තකට දාන්න පුළුවන් කමක් නැහැ. කොහොමත් අපේ රටේ ඉන්න සමහරක් කසඩ ජීවිත කෞතුක වස්තු ගැන කැමැත්තක් ඇති කරගන්නේ එක්කෝ ඒක උස්සලා සල්ලි කරගන්න අදහසින්, ඒත් නැත්නම් මොකක් හරි වාසියකට. එහෙමයි කියලා මේ රටේ ඉතිහාසයට ආදරය කරන මිනිසුන්ව කොන් කරලා දාලා නැහැ. ඓතිහාසික වැදගත්කමක් වගේම කාලීන අගයකුත් තියෙන කෞතුකාගාර අපේ රට පුරාම තියනවා. රටට ආදරේ කරන ඕනිම අයෙක්ට ගිහින් දැකබලා ගන්න පුළුවන් මේ කෞතුකාගාරවලට ඔයත් ගිහින් තියෙනවද?
1. කොළඹ ජාතික කෞතුකාගාරය
ගමේ ඉඳන් කොළඹට දාගන්න විනෝද ගමන්, අධ්‍යාපන චාරිකාවල දී කිසිදාක හලන්නේ නැති තැනක් තමයි මේ. මේ වෙනකොට වයස අවුරුදු 141ක් විතර වෙනවා. කොටුවේ ඉඳන් 138 බස් එකක නැගලා ග්ලාස් හවුස් ගාවින් බස්සන්න කිව්වම හරි. ඒත් නැතිනම් මියුසියම් එක ගාවින් කිව්වත් ඩ්‍රයිවර් අයියලා හිමීට දාලා යනවා. කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ ගමන් ගන්න කෙනෙක්ට බොහොම ගාම්භීරව සුදට සුදේ කිරි ටොයියා වගේ බැබළි බැබළි ඉන්න ජාතික කෞතුකාගාර ගොඩනැගිල්ල දකින්න පුළුවන්. ඉතාලි ගෘහනිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය වුණ මේ ගොඩනැගිල්ල පිහිටලා තියෙන භුමි ප්‍රමාණය අක්කර 7ක්. කෞතුකාගාරයේ ප්‍රධාන ශාලාවේ තැන්පත් කරලා තියෙන්නේ විවිධාකාරයේ බෞද්ධ ප්‍රතිමා. ඊට පස්සේ එක එක යුගවලට අනුරූපව ආභරණ, කාසි, ආයුධ, ඇඳුම් ආයිත්තම්, මැටි වළං වගේ දේවල් තියෙනවා. කොහොමහරි සම්පූර්ණ වශයෙන් ප්‍රදර්ශන ශාලා 16ක්ම තියනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිංහාසනය කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙන සුවිශේෂ කෞතුක වස්තුවක්.
2. ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය
ජාතික කෞතුකාගාරය බලලා ඉවර වෙලා කෙලින්ම ගෙදර යන්නේ නැතුව ඊට පිටිපස්සට වෙන්න, ඒ කියන්නේ ආනන්ද කුමාරස්වාමි මාවත පැත්තට වෙන්න පිහිටලා තියෙන මේ කෞතුකාගාරෙත් බලලාම යන්න. ශ්‍රී ලංකාවට ආවේණික වෙච්ච සත්ව විශේෂ, ශාක විශේෂ ඉතාම පිළිවෙලට ප්‍රදර්ශනය කරලා තියන මේ කෞතුකාගාරය තරම් ස්වාභාවික සම්පත් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙලා තියන තවත් කෞතුකාගාරයක් නැති තරම්. මෙතන තියෙන ඉතාම සුවිශේෂ ප්‍රදර්ශකයක් තමයි පුනානි කොටියා. එකදාස් නවසිය බර ගණන්වල දී පුනානි ප්‍රදේශයේ මිනිස් ජීවිත 21ක් බිලිගත් මේ කොටියා ඉතාම ජීවමාන නිදර්ශකයක් විදියට දකින්න පුළුවන්.
3. සමුද්‍ර විද්‍යා කෞතුකාගාරය
ගාලු කොටුවේ පිහිටලා තියෙන සමුද්‍ර විද්‍යා කෞතුකාගාරය සුනාමි රැල්ලත් පාගපු කෞතුකාගාරයක්. 1992 ඉස්සෙල්ලාම විවෘත කරත්, සුනාමියට අහුවුණ නිසා හානි සිදු වුණා. නෙදර්ලන්ත රජයේත් උපකාරය ඇතුව අලුත උපන් බබා වගේ 2010 වර්ෂයේ දී මේක ආයෙත් මහජනතාවට විවෘත වුණා. මත්ස්‍ය වර්ග, මුහුද යට තිබිලා ලැබුණ කෞතුක වස්තු, පැරණි නැව්වල ආකෘති සහ නෂ්ටාවශේෂ වගේ ම ධීවර ජනතාවගේ ජීවිතය ප්‍රදර්ශනය වෙන ආකාරයේ නිදර්ශකත් සමුද්‍ර විද්‍යා කෞතුකාගාරයේ තියනවා.
4. ජාතික දුම්රිය කෞතුකාගාරය
එකදාස් අටසිය ගණන්වල තමයි හා හා පුරා කියලා යකඩ යකෙක් අපේ රටේ සිල්පර කොටන් උඩ ගමනක් ගියේ. ඒ කොළඹයි අඹේපුස්සයි අතර. ඒ ගමනේ 150වෙනි සංවත්සරේ සිහිවෙන්නයි කියලා 2014 වර්ෂයේ කඩුගන්නාවේ ඉදි කරේ මේන් මේ කෞතුකාගාරේ. කොළඹ නුවර මාර්ග අංක 1 ගමන් කරන අයෙක්ට මේක නුපුරුදු දසුනක් නෙවෙයි. මොකද කඩුගන්නාව හරියේදී ට්‍රැෆික් සෙට් වුණොත් පැය ගාණක් ඕක දිහා තමයි බලන් ඉන්න වෙන්නේ. දැන් ගොඩක් දෙනාට ප්‍රී ෂූට් එහෙම කරන්න තෝතැන්නක් වෙලා තිබ්බට කෝච්චිවලට ආදරය කරන මනුස්සයෙක්ට පිස්සු හදවන්න පුළුවන් තරමේ කෝච්චි කතන්දර මෙතන තියනවා.
5. පාරම්පරික රූකඩ කලා කෞතුකාගාරය
දැන් දැන් වැඩිය ගණන් ගත්තේ නැති වුණාට අපේ රට සංස්කෘතිය අතින් මොන තරම් පොහොසත් ද කියලා තේරුම් ගන්න නම් මේ වගේ තැන්වලට යන්න වෙනවා. අම්බලන්ගොඩ පිහිටලා තියෙන මේ කෞතුකාගාරයෙන් එක් එක් පරම්පරා නොකඩවා අරගෙන ආපු රූකඩ වර්ග, ප්‍රදර්ශන, පර්යේෂණ වගේ දේවල් කරනවා.
6. තැපැල් කෞතුකාගාරය
නොහිතන දේවල්වලටත් ඓතිහාසික අගයක් දෙන්න පුළුවනි. රචනාවලට විතරක් සීමා වෙන්නේ නැතුව කොළබොක්කෙන්ම මුද්දර එකතු කරපු අය නම් මෙතන ගැන දන්නවා. අද නම් ලියුම් කියලා ගෙදරට එන්නේ මොකක් හරි බිලක් තමයි. ඒත් මීට අවුරුදු කීපයකට කලින් ලියුම් ගනුදෙනු කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිතයේ ප්‍රධාන කොටසක්. ඔය තැපෑලේ තියෙන සංකීර්ණ සිස්ටම් එක ටක්කෙටම දැනගන්න ලංකාවේ තියෙන එකම තැන තමයි කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ තියෙන ජාතික තැපැල් කෞතුකාගාරය. තැපැල් මූලස්ථානයේ දැන් පවත්වාගෙන යන මේ කෞතුකාගාරය මීට කලින් තිබ්බේ මධ්‍යම තැපැල් කාර්යාලයේ. ලන්දේසීන්ගේ කාලේ ඉඳන් පටන් ගත්තු ලංකාවේ තැපැල් සේවයේ එකී මෙකී විස්තර ඔක්කොම මෙතනට ආවොත් දැනගන්න පුළුවන්.
7. මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාරය
නොගියපු කෙනෙක්ට හිතෙන්න පුළුවනි මෙතන බලන්න තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහට විතරක් අනන්‍ය වුණ දේවල් කියලා. ඒත් අක්කර හය හමාරක් පුරාවට තියෙන මේ කෞතුකාගාරයේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ගෙදරයි, ඔහුගේ නිර්මාණ සහ අඩුම කුඩුම ප්‍රදර්ශනය කරලා තියෙන ගෘහයයි ඇරෙන්න අනික් හැම තැන ම තියෙන්නේ අතීත ශ්‍රී ලංකාවේ තිබුණ ගැමිකම. ගෘහ උපකරණ, ඇඳුම් විතරක් නෙවේ කරත්ත, බෝට්ටු වගේ විශාල ප්‍රමාණයේ කෞතුක අගයකින් යුතු භාණ්ඩ මෙතන තියනවා. මාර්ටින් වික්‍රමසිංහ මහතා ඉපදුණ ගෙදර තරම් ලස්සන කෞතුක වස්තුවක් මෙතන තවත් නම් නැතුව ඇති. ඒ කාලයේ තිබුණ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හදලා තියෙන මේ හුරුබුහුටි ගේ පොඩිත්ත පුරාම එතුමාගේ ජීවිතයේ මතක සටහන් දකින්න තියනවා.
ඔයාලා දන්නා තවත් කෞතුකාගාර ගැන දැනුම අපිත් එක්ක බෙදාගන්න.
Cover Image Source – asemus.museum
Leave a Reply