ලංකාවෙ රැකියා කරන පිරිස ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය කියල කොටස් දෙකකටනෙ අපි වර්ගීකරණය කරන්නෙ. වැඩිය කතා නොවෙන සංවර්ධන අංශය (Development Sector) ඒ කිව්වේ ඔය රාජ්‍ය නොවෙන සංවිධාන එහෙම අයත් වෙන කාණ්ඩයක් තිබුණට ඒවට වෙනම නීති රීති අණපනත් නම් නැහැ ලංකාවෙ. ඒ ආයතන වල ක්‍රියාත්මක වෙන්නෙත් සාමාන්‍ය ශ්‍රී ලංකාවේ කම්කරු නීතිම තමයි. කොහොම උනත් රාජ්‍ය අංශයටයි පෞද්ගලික අංශයටයි ලැබෙන හිමිකම්, වරප්‍රසාද එහෙම හාත්පසින්ම වෙනස් බව ඕනම කෙනෙක් දන්නවනෙ. ඒකට හේතු වෙන්නෙ අදාළ දෙකොට්ඨාසය නීති දෙකක් යටතේ පාලනය වීම. ඒ කිව්වේ රාජ්‍ය අංශයට අදාළ සියලුම දේ ආයතන සංග්‍රහයේ අඩංගු වෙද්දී පෞද්ගලික අංශයේ දේවල් විවිධ අණපනත් කීපයක්ම යටතේ කියවෙනවා. කොහොමින් හරි අපි අද කතා කරන්නෙ පෞද්ගලික අංශයේ වැඩ කරන සේවක සේවිකාවන්ට මේ පනත් සහ ආඥාපනත් වලින් හිමිවෙන විවිධ වරප්‍රසාද, එහෙම නැත්තම් එයාලගේ හිමිකම් කීපයක් ගැනයි. නම් වලින් අහල පුරුදු උනාට ලොකු විස්තර නොදන්න ඒවත්, නමවත් අහල නැති ඒවත් මේ අතරේ තියෙනවද බලන්නකෝ.
1. EPF
මේකනම් අපිට හුරැ පුරුදු මාතෘකාවක්. මොකද අපි කලින් මේ මාතෘකාව ගැන ලොකුවට කතා කළානේ. මෙතනින් ඒ ගැන කියවන්න පුළුවන්.
හැමෝටම වැදගත් EPF ගැන දැනගෙන ඉන්න ඕන දේවල්
කොහොම උනත් මේක ඕනම පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අයිතියක්. ඒ කියන්නේ වැඩ කරන්නේ එක සේවකයා උනත් එයාට අයිතිය තියෙනවා EPF ලබාගන්න. තමන්ගේ වැටුපෙන් පොඩි ප්‍රතිශතයක් (8%) වගේම, සේවා යෝජකයගෙන් ඒ කිව්වේ වැඩකරන ආයතනයෙනුත් ඊට වැඩි ප්‍රතිශතයක දායකත්වයක් (12%) ලැබෙන නිසා මේක සේවකයාට ලැබෙන වාසියක්. ඔවුන්ගේ විශ්‍රාම දිවියට තරමක හෝ සහනයක්. මොකද රාජ්‍ය අංශයේ වගේ පෞද්ගලික අංශයේ අයට විශ්‍රාම වැටුපක් ලැබෙන්නෙත් නැති නිසා ඒ කාලෙට කියක්ම හරි මුදලක් ඉතුරු වෙලා තියෙන එක වටිනවනේ.
2. ETF
ETF ගැනත් අපි කලින් කතා කළා. ඒ ලිපිය මෙන්න!
ETF එක ගැන මේ කාරණා දැනගමු
ETF කියන්නේ තනිකරම ආයතනය මඟින් සේවකයාට කරන්න ඕන ගෙවීමක්. ආයතනයේ ලාභ වලට පහළම මට්ටමේ ඉඳන් සියලුම සේවකයින්ට අයිතියක් තියෙනවා කියන පදනම මත ඉඳගෙන කරන මේ ගෙවීම ලබන්න සේවයට බැඳුන හැම සේවකයටම අයිතිය තියෙනවා. වැටුපෙන් 3%ක ප්‍රමාණයක් තමයි මෙතැනදී ETF අරමුදලේ සේවකයාගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ තියෙන ගිණුමකට බැර වෙන්නේ. ආයතනයේ සේවයෙන් ඉවත් වෙලා යනකොට මේ ගිණුමේ තියෙන මුදල් ආපසු ලබාගන්න පුළුවන්. ඒ ගැන වැඩි විස්තර අපි කලින් කියපු ලිපියෙන් කියවල දැනගන්න පුළුවන්.
3. Gratuity
Gratuity කියන වචනේ සරල සිංහල තේරුම වෙන්නේ පාරිතෝෂිකය කියන එක. ඒ කියන්නේ යම් කෙනෙක් කරන කාර්යයක් වෙනුවෙන් වැඩේ කරව ගන්න කෙනා සතුටට පත්වෙලා ගෙවන දේ වගේ අදහසක්නෙ. මේකත් එහෙමම තමා. ආරම්භයෙදී ඒ විදිහේ සන්තෝසමක් විදිහට තමයි මේ gratuity කියන දේ ගෙවන්නේ. හැබැයි මේ වෙද්දී ඒක නීතියක් වෙලා තියෙනවා. 1983 අංක 12 දරණ පාරිතෝෂික ගෙවීමේ පනත කියල විශේෂ පනතක් යටතේ තමයි මේ gratuity ගෙවීම සිදුවෙන්නේ.
අවසාන ගෙවුණු වසර ඇතුළත සේවකයින් 15ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සේවයේ යෙදිල හිටපු ඕනම ආයතනයකින් මේ ගෙවීම ලබාගන්න සේවකයෙකුට අයිතිය තියෙනවා. හැබැයි ගෙවීම ලබන්නනම් අවම වසර 5ක් ආයතනයේ සේවය කරලා සේවයෙන් ඉවත් වෙන්න අවශ්‍යයි. එහෙම අයින් වෙන අවස්ථාවක අවසාන මාසයේ මූලික වැටුපෙන් දෙකෙන් පංගුවක්, ඒ කිව්වේ බාගයක් සේවය කරපු සම්පුර්ණ වසර ගාණෙන් වැඩි කරලා තමයි ගෙවීම කරන්නේ.
4. Wages / වැටුප්
වැටුප් කිව්වම ඉතින් ඕනෑම කෙනෙක් දන්නවනේ මොනවද කියල. ආයෙ කියන්නත් දෙයක්ද වැටුප් ලබන්න අයිතියක් තියෙනවා කියල. වැඩ කරන්නේ ඉතින් පඩි ගන්න තමයිනේ. හැබැයි මේ කියන්නේ ඒ කතාව නෙමෙයි. අවම වැටුප් හිමිකම ගැනයි. ලංකාවේ වැටුප් විෂමතා අවම කරන්න ඒ ඒ රැකියා අයත්වෙන පඩි පාලක සභාවන්ගෙන්, ඒ කිව්වේ wages board වලින් අවම වැටුප් ප්‍රමාණයක් නිර්දේශ කරලා තියෙනවා. ඉතින් ඒ අවම වැටුපවත් අදාළ රැකියාවට ලබන්න සේවකයින්ට අයිතියක් තියෙනවා. උදාහරණයක් විදිහට ඇගළුම් අංශයේ අවම වැටුප වෙන්නේ පඩි පාලක සභාව මඟින් නියම කරපු රු. 10,000 ක මුදලකුත්, රජයන් දෙකක් විසින් දෙවරකදී කරපු පෞද්ගලික අංශ වැටුප් වැඩිකිරීම් රු. 3,500ක මුදලකුත් එකතු වෙලා හැදෙන රු. 13,500ක්.
5. නිවාඩු
නිවාඩු කියන්නෙත් අපේ අයිතිවාසිකමක්. ඕනෑම සේවකයෙකුට අයිතියක් තියෙනවා ආයතනයෙන් තමන්ට හිමි නිවාඩු ලබාගන්න. පෞද්ගලික අංශයේ සේවකයින්ට හිමි නිවාඩු ගැන වෙන වෙනම අණ පනත් වලම සඳහන් වෙලා තියෙනවා. පළමු වසරේ මාස දෙකකට එකක් බැඟින් හිමිවෙන අනියම් නිවාඩු, මුල් වසරේ සම්පුර්ණ කරන ලද සේවය පදනම් කරගෙන දෙවන වසරේ සිට හිමිවෙන වාර්ෂික නිවාඩු වගේම හැම ආයතනයකම නොදුන්නත් ලෙඩ නිවාඩු, විභාග නිවාඩු වගේ දේවලුත් තියෙනවා. ඒ දේවල් සේවය ආරම්භ කළහම ආයතනයට අදාළ අත්පොත හොයාගෙන කියවලම දැනගන්න ඕන. කොහොම උනත් හුඟක් ආයතන වල හඳුන්වාදීමේ දේශන වලදී මේ දේවල් පැහැදිලි කෙරෙනවා.
ඊට අමතරව කාන්තා සේවිකාවන් සඳහා ලැබෙන මාතෘ නිවාඩුත් එයාලගෙ අයිතිවාසිකමක්. දරු ප්‍රසුතියක් සඳහා දින 84ක අවම නිවාඩු ලැබීමේ අයිතිය ඔවුන්ට තියෙනවා. මේ ප්‍රමාණය ආයතනයේ අභිමතය අනුව වැඩි කරලා දෙන්නත් පුළුවන්. කොහොම උනත් අඩුමගානෙ දවස් 84ක නිවාඩුවක්නම් ලැබෙන්නම ඕන.
6. සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම්
මේක යටතේ තමයි වැසිකිළි පහසුකම්, ආහාර ගන්නා ස්ථාන ඔක්කොම ඇතුළත් වෙන්නේ. ඕනෑම ආයතනයක සේවකයින්ට ප්‍රමාණවත් සහ පිරිසිඳු වැසිකිලි පහසුකම් ආයතනයේ ඉඳල සම්මත දුර ප්‍රමාණයක් ඇතුළත තියෙන්න ඕන. ඒ කිව්වේ අදාළ පරිශ්‍රය ඇතුලතම හෝ පරිශ්‍රයේ සිට උපරිම යාර 50ක දුරක් ඇතුළත. ඒ වගේම ආයතනයේ ඉන්න කාන්තා සේවිකාවන්ට අවශ්‍ය වැසිකිළි සහ අනෙකුත් සනීපාරක්ෂක පහසුකම්, ඒ කියන්නේ වැසිකිළි ඇතුළත සනීපාරක්ෂක කූඩ, ඒවා සෞඛ්‍යාරක්ෂිත නියමිත කාලයකට වරක් ඉවත් කිරීමේ පහසුකම් එහෙමත් තියෙන්න ඕන. ඒ වගේම තමයි ආයතනයේ ඉඳන් අහාර ගන්නවානම් ඒවාට අදාළ පහසුකම් වෙනම සපයන්න ඕන.
7. විවේකයන්
මේ කියන්නේ ආහාර සඳහා සහ තේ වේලාවන් සඳහා වගේ සේවා කාලය ඇතුළත ලබාදෙන විවේක කාලයන් ගැනයි. ටක් ගාල කාල එන්න, ශිෆ්ට් එකට කන්න වගේ කතා සමහර බොස්ල කිව්වට නීතියට අනුව නම් වැඩ කරන සැම සේවකයෙක්ටම වැඩ කරන හැම පැය 4කට වරක්ම පැය බාගෙක විවේකයක් ලබාදෙන්න ඕන. ඒ කිව්වේ පැය අටක සේවා මුරයක්නම් පැයක ආහාර විවේකයක්, තේරෙන්න කිව්වොත් ලන්ච් බ්රේක් එකක් ලැබෙන්නම ඕන.
Leave a Reply