ෆේක් වලින් ජෙනුයින් දේවල් වෙන් කරලා අඳුනාගන්නේ මෙහෙමයි! – 2 කොට​ස

මේ ලිපියේ පළමු කොටස මේ ලින්ක් එක ක්ලික් කර කියවන්න!

 

ලාබ බඩුවේ හිලක් කියන එක අපි අහලා තියෙන කතාවක්නේ. ඒක ඒ තරමටම හරියි කියන්න බැරි වුනත්, හොර බඩුවේ හිලක් කියන එක නම් ෂුවර් එකටම කියන්න පුළුවන්. මෙතන මේ හොර බඩුවක් කියන්නේ හොරාට පන්නපු එව්වා කියන එක නෙවෙයි, ෆේක් බඩු කියන එක. සාමාන්‍යයෙන් ජෙනුයින් දෙයක් තියෙනකොට ඒක වගේම ෆේක් එකක් හදන්නේ, ලාබෙට හදලා වැඩි ලාබයක් ලබාගන්නනේ. ඉතින් එහෙම ලාබෙට හදන බඩුවක කොලිටිය අර ජෙනුයින් එකේ විදියටම බලාපොරොත්තු වෙන්න බෑ. ආන්න ඒ නිසා අපි දැනුවත් වෙන්න ඕන කොහොමද ජෙනුයින් බඩුවක සහ ෆේක් බඩුවක වෙනස අඳුනගන්නේ කියන එක ගැන. හැබැයි මෙතනදී අපි කියන්නේ මොකක් හරි බ්‍රෑන්ඩ් එකක විදියටම ගහන ෆේක් නිෂ්පාදන ගැන විතරක්ම නෙවෙයි!

 

1. ඉලෙක්ට්‍රික් උපාංග

මේ කියන්නේ හරියටම ඉලෙක්ට්‍රික් උපාංගයක් ජෙනුයින්ද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන නෙවෙයි. හැබැයි ගොඩක් දුරට ෂුවර් ක්‍රමයක් ගැන. ඒ තමයි ඉලෙක්ට්‍රික් බඩු වල තියෙන ප්ලග් එක. මේ වෙනකොට ලංකාවට ගෙන්වන්න පුළුවන් වෙන්නේ ඇම්පියර් 13 හතරැස් පින් තියෙන ප්ලග් සහ ප්ලග් පොයින්ට් විතරයි. ඒවා ඉලෙක්ට්‍රික් බඩු වලටත් අදාළයි. මෙතනදී ඔය එක එක විදියේ අමුතු පින් තියෙන ෂුවර් නැති බඩු හැලෙනවා. ආන්න ඒ නිසා ඉලෙක්ට්‍රික් බඩුවක් ගන්නකොට ඇම්පියර් 13 ක හතරැස් පින් ප්ලග් එකක්ද තියෙන්නේ කියලා බලන එක එක්තරා විදියකට හොඳයි.

 

2. පවර් බෑන්ක්

පවර් බෑන්ක් එකක් ගන්න ගියහම ගොඩක් දෙනෙක් ඇන්දෙනවා. ඒකට හේතුව ඔය හ්වාවේ වගේ කොම්පැණියකින් ඇරුණු කොට, පිළිගත් සන්නාමයන්ගෙන් පවර් බෑන්ක් එහෙම හදනවා හොර වීම. ගොඩක් වෙලාවට අපිට මාකට් එකේ ගන්න තියෙන්නේ විවිධ ජනප්‍රිය සන්නාමයන්ගේ ලෝගෝ ගහපු හොර පවර් බෑන්ක්. මේවල තියෙන ගැටළුව වෙන්නේ ගත්තු අලුත සුපිරියට වැඩ කළත්, ඉක්මනටම ලබාදෙන කරන්ට් එක ෆෝන් එක ඔන් කරන්නවත් මදි වීම. මේ සමහර ෆේක් පවර් බෑන්ක් ඇත්තටම ෆෝන් එකට හොඳත් නෑ. ෆේක් පවර් බෑන්ක් එකක් එක පාරටම ලේසියෙන් අඳුනගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඔය බුදුඅම්මෝ වෙන මිලිඈම්ප් පැය ගණන් ගහලා තියෙන එක. සාමාන්‍ය ගාණකට 50,000mAh, 30,000mAh කියලා ගහලා තියනවා නම් එව්වා ෆේක් වෙන්න ඉඩ වැඩියි. අනික පවර් බෑන්ක් එක සැහැල්ලුයි නම් ඒකේ තේරුමත් පෙට්ටියේ ගහලා තියෙන ලොකු ධාරිතාවක් නැති ෆේක් එකක් කියන එක තමයි.

 

3. අත් ඔරලෝසු

අත් ඔරලෝසු ගන්න කොට සාමාන්‍යයෙන් රොලෙක්ස් වගේ ඔරලෝසු රුපියල් හත් අටදාහටවත් ගන්න බෑ. ජෙනුයින් බ්‍රෑන්ඩ් එකක අත් ඔරලෝසුවක් කොහොමත් විසිතිස්දාහකට එහා මිසක් මෙහා නෙවෙයි. එතකොට රොලෙක්ස් කියලා ඔරලෝසුවක් පන්දාහට වගේ විකුණන්න හදනවා නං ඒක ෂුවර් ෆේක්. අනික ජෙනුයින් ඔරලෝසු අතට ගත්තහම බරෙන් වැඩියි. කොලිටි බඩු වලින් හදන නිසා තමයි ඒ. අනිත් එක ජෙනුයින් අත් ඔරලෝසුවක යාන්ත්‍රණය ඉතා කුඩා කොටස් සෑහෙන්න එකතු කරලා හදපු සංකීර්ණ එකක් නිසා අර මහා සද්දෙන් ටික් ටික් ගාන්නෙ නෑ. ඊට වඩා බොහොම ස්මූත් ටික් එකක් තමයි තියෙන්නේ. සමහර ඒවල ටික් එකක් නැති තරම්. අනික ඔරලෝසුවේ යට පැත්තේ පියනේ කොලිටියත්, ඒකේ අකුරු හා/හෝ අංක පැහැදිලිව කොටලා තියෙනවද කියන එකත් බලන්න පුළුවන්. අනිත් එක ජෙනුයින් අත් ඔරලෝසුවක පිටිපැත්තේ කොටලා තියෙන සීරියල් අංක එහෙම බොක්ස් එකේ එන ලියකියවිලි සහ වොරන්ටි කාඩ් වල එහෙමත් තියෙනවා.

 

4. ලොතරැයි සහ වෙනත් දිනුම්

මේක අපි ඇතුළත් කරන්නේ හේතුවක් ඇතුව. ඉස්සර තිබුණේ ඊමේල්ස් වලින් “ඔයා මිලියන දහයක් දිනලා තියෙනවා” වගේ එව්වා කියලා එවන එක. ඊට පස්සේ දැන් එස්.එම්.එස් වලිනුත් ඔහොම අච්චර දින්නා, මෙච්චර දින්නා කියන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම දැන් තියෙන තව වංචාවක් තමයි කෝල් කරලා “අපි මොබිටෙල් එකෙන්, ඔයා බොනැන්සා එකෙන් ලක්ෂ දහය දිනලා තියනවා, මේක ලොකු මුදලක් නිසා කාටවත් කියන්නෙ නැතුව අපේ උපදෙස් පිළිපදින්න” කියන සීන්. මේ හැම තැනකදීම අපි හිතලා බලන්න ඕන සරල කාරණයක් තියෙනවා. ඊමේල් එකකින් මෙහෙම දෙයක් එවනකොට ඒක අදාළ ආයතනයේ නිල ඊමේල් ඇඩ්‍රස් එකක් වෙන්න ඕන. ෆෝන් නම්බර් වුනත් එහෙමයි, නිකම් මොබයිල් නොම්බර වලින් කතා කරලා ඔහොම එව්වා දැනුම් දෙන්නෙ නෑ. අනික් කාරණාව, තමන් විහිළුවටවත් ඉල්ලුම් නොකරපු, අයදුම් නොකරපු, ජීවිතේට අහපු නැති මොකක් හරි එකකින් දින්නා කියලා මෙසේජස්, ඊමේල්ස් එනවා නම් අනිවාර්‍යයෙන්ම තඩි පච. එතකොට ඩොලර් මිලියන දහය විස්ස වගේ අති විශාල ගණන් දිනුවා කියලා දැනුම් දීම් එනවා නම් ඒත් තඩි පච. 

 

5. වටින ආභරණ සහ පළඳනා

සාමාන්‍යයෙන් ඔය ආභරණ සහ පළඳනා ගන්නේ වගකීමක් තියෙන, නමක් තියෙන තැනකින් නම් අවුලක් වෙන්න තියෙන ඉඩ අඩුයි. හැබැයි එහෙම නැතුව ආභරණ පළඳනා ගන්නවා නම්, පොඩ්ඩක් හිතලා බලන්න ඕන දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය රන්, රිදී, පැලඩියම්, ප්ලැටිනම් වගේ දේවලින් හදන ආභරණ වල හෝල්මාර්ක් එකක් තියෙන්න ඕන. ඔය හෝල්මාර්ක් 850, 900, 950, 999 වගේ තමයි සඳහන් වෙන්නේ. ඒ ඒ හෝල්මාක් එකෙන් මොනවද කියවෙන්නේ කියන එක පොඩ්ඩක් ඔන්ලයින් විස්තර හොයලා බලාගන්න පුළුවන්. අනික ඔය ආභරණ වල තියෙන ජෙනුයින් ගල් වලට පොඩ්ඩක් මූණ ලංකරලා හුස්ම පිම්බම මීදුම වගේ බැඳෙන්නේ නෑ. මොකද දියමන්ති වගේ ගල් වල තාප සන්නායකතාව වැඩියි. ඒකෙනුත් එව්වා ජෙනුයින් ගල්ද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. මුතු ආභරණ එහෙම ජෙනුයින්ද කියලා හොයාගන්න එව්වා හපලා බලන්න පුළුවන්. මෘදු විදියට දත් වලින් හපනකොට අර වැලි හැපෙනවා වගේ කිරි කිරි ගානව නං එව්වා නියම මුතු!

 

6. මුද්දර

මේක වැදගත් වෙන්නේ ලියුම් දාන අයට නෙවෙයි, මුද්දර එකතු කරන අයට. දැන් මුද්දර එකතු කරන මුද්දර ලෝලියෙක් සාමාන්‍යයෙන් මුද්දර හොයාගන්නේ ලියුම් වලින් එන ඒවලින් විතරක් නෙවෙයි. සමහර වෙලාවට මේ අය මුද්දර හුවමාරු කිරීම සහ මුද්දර මිලදී ගැනීමත් කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ සමහර රටවල මුද්දර, සමහර දුර්ලභ මුද්දර එහෙම හොරට ප්‍රින්ට් කරලත් ලොකු ගණන් වලට විකුණනවා. මෙව්වා කොහොමද අල්ලගන්නේ? මේකට එක ක්‍රමයක් තමයි මුද්දරේ ප්‍රින්ට් කරලා තියෙන අවුරුද්දත් එක්ක මුද්දරේ කොලිටිය බලන එක. ඔය හොර මුද්දර වල වර්ෂය 1990 කියලා සඳහන් වුනාට අද ඊයේ ප්‍රින්ට් කරල වගේ. ඒ කියන්නේ ශුවර් ෆේක්. එතකොට මුද්දරේ පරණයි කියලා විකුණුවට මතුපිට හොඳට දිලිසෙනවා නං, ඒත් ෆේක්. ඒ ඒ රටවල මුද්දර ප්‍රින්ට් කරන විශේෂ කොළ වර්ග තියෙනවා. මුද්දර ගැන දන්න කෙනෙක්ට නම් යම් රටක භාවිතා වෙන සහ වුණු කොළ වර්ගයේ ප්‍රින්ට් කරපු නියම මුද්දර සහ ෆේක් මුද්දරයක් අල්ලලා බැලුවහම වෙනස හොයාගන්න පුළුවන්.

 

7. යාලුවෝ

මෙන්න මේක ගොඩක් අය නොහිතන, හැබැයි අපි අනිවාර්‍යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. සරලවම කියනවා නං ජෙනුයින් යාලුවෙක් අපිත් එක්ක ඉන්නේ අපිට කැමති නිසා මිසක් අපෙන් යම් යම් ලාභ ප්‍රයෝජන තියෙන නිසා නෙවෙයි. හැබැයි ෆේක් යාලුවෙක්ට අපෙන් අවශ්‍ය වෙන්නේත් ලාභ ප්‍රයෝජන විතරයි. ආන්න ඒ නිසා කවුරු හරි යාලුවෙක්ට අපිව මතක් වෙන්නේ වැඩක් වෙලාවට විතරක් නං, ආන්න එයා ෆේක්. එහෙම්ම හලලා දාන්න. අනික් කාරණාව තමයි අපිට අසීරු වෙලාවක අපිට උදවු වෙන්නේ කොහොමද කියන එක මතත් යාලුකම ජෙනුයින්ද ෆේක්ද කියන එක තීරණය වෙනවා. ජෙනුයින් යාලුවෙක් අපේ අසීරු අවස්ථාවක අනිවාර්‍යයෙන්ම අපිට හැකි විදියට උදවු කරනවා. ඒ උදවුව තනියට කොහේ හරි යන්න එන එක වෙන්න පුළුවන්. අපේ රැකියාවේ වැඩකටයුත්තක් අපි කරදරේ වැටිලා ඉන්න වෙලාවේ ගොඩ දාලා දෙන එක වෙන්න පුළුවන්. ජෙනුයින් යාලුවෙක් කියන්නේ කරලා දෙන්න පුළුවන් එව්වා විතරයි.

 

මේ වගේ අපිට එදිනෙදා මුණගැහෙන ෆේක් දේවල් ගැන සහ එව්වා අඳුනාගන්න පුළුවන් කොහොමද කියන එක ගැන දන්න දේවල් කමෙන්ට් එකක් දාලා හැමෝමත් එක්ක බෙදාගමු.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *