තාක්ෂණික ලෝකයට පෙර කාලේ ලාංකික පෙම්වතුන්ගෙ ආලේ පැවතුණ හැටි

Affairs before tech revolution

ෆෝන්, ඉන්ටනෙට්, ස්කූටර්, බයික්, යාන වාහන ජනප්‍රිය නොවූ කාලයේ ද මිනිසුන් ප්‍රේම කළෝය. ආදරයට කාලයක්, දීපයක්, දේශයක් බලපාන්නේ නැත. පැරණි හින්දි චිත්‍රපටයක ආදර ජවනිකාවක් අදද නැවත බලන විට අපිට තදින්ම දැනෙන්නේ ආදරේ ඇති ඒ අකාලික බව නිසාය. දැන් මෙන් තාක්ෂණය අතින් නොදියුණු ඒ කාලයේ ප්‍රේම කතා සහ ප්‍රේමය සමාජගත වූ ආකාරය දැනට වඩා ස්වල්පයක් වෙනස්ය. අපි ඒ අතීතයේ ආදර ජවනිකා ගැන මදක් දැනකියාගමු.

 

1. පළමු හමුවීම

Affairs before tech revolution

Source – youtube.com

චරිත තුනක් නවකතාවේ එන පරිදි ඉසාට මුලින්ම ප්‍රේම ආරාධනාවක් ලැබෙන්නේ කුඹුරේ ගොයම් එකතු කරමින් සිටියදී ලලිතාගෙනි. ගොයම් මිටිය ඔසවන ලලිතා ළැම මදක් ඉසාගේ සිරුරේ වැතිරෙන පරිද්දෙන් ඉසා සමග ගොයම් එකතු කරන්නීය. එකල ගොවිතැන මූලික වූ සමාජයේ ගොවිතැනට අදාළ ඇතැම් තැන්වලදී ස්ත්‍රීන්ට පුරුෂයින්ට හමුවන්නට හැකි විය. යාගහෝම බලිතොවිල් ආදී ශාන්තිකර්මද නාඹර ගැටිස්සියන් සහ ඉලන්දාරින්ට පෙම් රැඟුම් ආරම්භ කිරීමට හොඳ පිටියක් නිර්මාණය කරවීය. නිවස තුළ සිට ගෙදර වැඩපල කරන ඇතැම් යුවතියෝ දැකගන්නට ලැබෙන්නේ පංසලේදී, පිංකම් ගෙදරකදී පමණි. එබැවින් එවැනි අවස්ථාද කෙල්ලන් සොයමින් ලතවෙන ඉලන්දාරින් විසින් ලේසියෙන් මගහැරියේ නැත.

 

2. ඇඩ්‍රස් හලමින් යෑම

Affairs before tech revolution

Source – morettic.com.br

ඉලන්දාරියකුට කෙල්ලක පිළිබඳ සිතක් පහල වී නම් ඒ අදහස පැවසීමට මෙකල නම් යුවතියගේ නම සොයා ෆේස්බුක් සැරිසැරීමම ප්‍රමාණවත්ය. එහෙත් එකල යුවතියකගේ විස්තර සෙවීම තරමක් අමාරු කාරියකි. කොල්ලන් කණ්ඩායමක් යම් චාරිකාවක් යන්නේ නම් ඔවුහු සිය ලිපිනය ලියාගත් කොළ කැබලි රැසක් රැගෙන ගියෝය. ඔවුහු ඒවා තමන් දෙස ආදරණීය බැලුම් හෙලන සහ හමුවන යුවතියන්ට විසික් කරමින් යති. ඒ පරපුර නියෝජනය කරමින් අද ෆේස්බුක් ට්විටර් ආදියේ දකින දකින ගෑණු ළමයාට රික්වෙස්ට් යවන මැසේජ් යවන තරුණ පිරිස් තවමත් සිටිති. තාක්ෂණයෙන් අපි වෙනස් වී නොමැති අතර අප ඒවා කරන ආකාරය පමණක් මදක් වෙනස්වී ඇත.

 

3. මාධ්‍යයේ දායකත්වය

Affairs before tech revolution

Source – treasurypromotionteam.wordpress.com

රේඩියෝව ලෙස ගුවන් විදුලිය පැවති කාලයේ මෙන්ම පසුකාලීනව සිරස ආදී නාලිකා පැමිණි කාලයේද ප්‍රසිද්ධියේ පෙම්වතාට පෙම්වතියට පණිවුඩ යැවීමට, ඇය වෙනුවෙන් ගීත ඉල්ලීමට රේඩියෝව භාවිතා විය. ප්‍රේමය වියෝදුක කරා පෙරළුන කල්හි ඒ දුක කීමටද ඇතැමෙක් රේඩියෝව භාවිතා කළෝය. අද මෙන් සෝශල් මීඩියා ජනප්‍රිය නොවූ එකල ඒ පෙම්වතුන්ට වෙන්වූ වැඩසටහන් තරුණ පිරිස් අතර ජනප්‍රිය විය. යූටියුබයේ සොයා බලා ඕනෑම ගීතයක් රස විදින්නට හැකි මෙකල මෙන් නොව එදා පෙම්වතා හෝ පෙම්වතියද එකතු කරගෙන ගීතයක් ඇසීම විශාල වැදගත්කමක් ලැබෙන කාරණාවක් විය.

 

4. පෙම්වතුන්ට සහයෝග දැක්වූ තැන්

Affairs before tech revolution

Source – thecraftrevival-magdalena.blogspot.com

පෙම්වතියක් පෙම්වතෙක් සොයාගන්න අපහසු අයට ඒ සඳහා පිහිට වීමට එකල මල් පුවත්පත් ලෙස හැඳින්වූ කුමරි, බිරිඳ ආදී පුවත්පත් වල වෙනමම තීරුවක් විය. ඒවායේ පිංතූරය සමග පුද්ගලයා ගැන ස්වල්ප විස්තරයක් පළ විය. මෙයම රේඩියෝවටද පැමිණි අතර ඒ හරහා මිතුරන් නිර්මාණය කරදීම සිදුවිය. ඒ තුළින් මුලින් සාමාන්‍ය ලියුම් හරහා ගනුදෙනු ආරම්භ වූ සම්බන්ධතාවයන් පසුව පෙම් හසුන් දක්වා වර්ධනය විය.

 

5. සෙනෙහෙ කොළ

Affairs before tech revolution

Source – adamsmanor.net

“තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත

ඔබ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත“

ලෙස වික්ටර් රත්නායකයන් ගායනා කරන ගීතයෙන් පෙම් පත් වලට එදා තිබූ වටිනාකම මොනවට විදහා පෙන්වන්නේය. අද මෙන් හායි කිව් සැනින් ‘මොකද අනේ’ යැයි රිප්ලයි ඒමට එදා මාධ්‍යයක් නොවීය. ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ සිටි තරුණයා ඊළඟ බංකුවේ සිටින යුවතියට ආදරය පවසන්නේ පෙම්පතක් මගිනි. ඈත දුරක රැකියාවට ගොස් සිටින පෙම්වතා සතියකට වරක් පෙම්වතියට සමීප වූයේ පෙම්පත් ඔස්සේය. රහසේ කරන ලද ප්‍රේම ජවනිකා වලදී නොපෙනෙන්නට අකුරු ලිවීම, විවිධ කේත ක්‍රම වලින් ලිවීම වැනි ක්‍රමද පෙම්පත් වල භාවිතා විය. කොට මැසේජ් වලට වඩා දිග පෙම්පත් එදා පෙම්වතුනගේ සාහිත්‍ය හැකියාව වර්ධනය කරවන්නක් විය. යෞවන වයසේ පසුවන අයත් වැඩිහිටියෝත් වරදක් වුවත් ඉඳහිට මේ අනුන්ගේ පෙම්පත් හොරෙන් කියවා අමුතු විනෝදයක්ද ලබාගන්නට විය.

 

6. චාරිකා යෑම

නූතනයේ නම් පෙම්වතිය සහ මිතුරන් එකතුව චාරිකා යෑම මහත් විශාල දෙයක් නොවේ. ඒ චාරිකාවන් හරහා එකිනෙකා අතර ඇති බැඳීම් වඩාත් ශක්තිමත් වේ. එකල ගමේ උදවියට දැන් මෙන් යාන වාහන බහුල නොවීය. වර්ෂයකට වරක් දෙකක් යන වන්දනා ගමනට ගමෙන් විශාල පිරිසක් සහභාගී විය. එසේ යන ගමනට පෙම්වතුන්ද එකතු විය. එහෙත් විශාල හමුදාවක් මැද යන සිරකරුවන් පරිද්දෙන් දෙමාපිය වැඩිහිටි රෑනක් මැද යන පෙම්වතුන්ට එකිනෙකා දෙස බලා ඇස් ඉඟිමැරීම වැනි දෙයක් හැර වෙන පෙම් ජවනිකාවක් රඟදැක්වීමට එදා එම වන්දනා ගමන් වලදී නොහැකි විය.

 

7. පෙමට සතුරන් ඇති වීම

Affairs before tech revolution

Source – cuteloveletters.blogspot.com

විවාහය තෙක් සාර්ථක වන්නට වාසනාව ඇත්තේ එහෙමත් ප්‍රේම කතාවකටය. දෙමාපියන් වැඩිහිටියන් මෙන්ම පෙම්වතිය කෙරේ සිත ඇදුණු වෙනත් පුරුෂයින්ද පෙමට අකුල් හෙලන්නට පටන් ගනී. එදා යුවතියගේ ප්‍රේම කතාවක් ආරංචි වූ තැන ඒ නොගැලපෙන සම්බන්ධයක් නම්  යුවතිය ඈත නෑදෑ කෙනෙකුගේ ගෙදර නැවැත්වීම, ඇයගේ සියලු සබඳතා වලකා නිවාස අඩස්සියේ තැබීම, ඉක්මනින්ම කපුවන් මාර්ගයෙන් මංගල යෝග වේගවත් කිරීම ආදී විකල්ප දෙමාපියන් විසින් අත්හදා බලන ලදී. අදට වඩා දෙමාපිය නෑදෑ අණසක බලවත් වූ එකල බොහෝවිට අහිංසක යුවතියනට ප්‍රේමයට වඩා දෙමාපිය නෑදෑ ආශිර්වාදයට තැන දෙන්නට සිදු විය.

 

8. හොරාට පැන යෑම

Affairs before tech revolution

Source – videoblocks.com

වර්තමානයේදි නම් හොරෙන් පැන යෑම හෙවත් නිවෙස් වලට හොරෙන් විවාහ වීම සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. එහෙත් අතීතයේදී එවැනි හොරෙන් පැනයෑම් වර්ෂයකට කිහිපයක් හෝ ගමකින් වාර්තා විය. ආර්ථිකමය සාධක මෙන්ම කුල සාධකද එදා විවාහය කෙරේ දැඩිව බලපවත්වන්නට විය. එම නිසා නොගැලපෙන විවාහ වලට දෙමාපිය වැඩිහිටියන් එරෙහි වූ කළ හඳපානේම පැන යෑම එකල සිරිත විය.

“පසුකරමින් මහ කඳුවැටි ඕවිටි

පාලු සොහොන් පිටි රබර් වතු බඩවැටි…

ගල් මුල් වල පය හැපි හැපි වැටි වැටි

මතකයි හඳපානේ කැන්දන් ආ හැටි…”

ලෙස හඳපානේ ගිය විස්තරයක් රෝහණ බැද්දගේ මියුරු ගීතයෙන් විස්තර කරයි.

ආදරය යනු  ගල් යුගයේදී පවා පෙම්වතුන් වෙලූ අපූරු බැඳීමක් වන්නට ඇත. වසර දහස් ගණනක් ගියත් ආදරය සහ ප්‍රේම සංකල්පය වෙනස් වන්නේ නැත. එහෙත් තාක්ෂණය දියුණුව සමග ප්‍රේමකතාද ඒ කාලයේ තාලයට අනුව හැඩගැසේ.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *