මාරයන් වගේ ඉන්න පික්පොකට්කාරයන්ගෙන් බේරෙමු

How to protect your wallet from pickpocketers

පික්පොකැට් ගැසිල්ල අපේ රටත් ඇතුලු ව ලෝකයේ ගොඩක් රටවල දකින්න ලැබෙන ජරා කර්මාන්තයක්. කර්මාන්තයක් කියන්නේ ඉතින් ඔය පොකැට් එකක් හොරකමින් දරු පවුලක් ම ජීවත් වෙන නිසා. ඒ නැත්තම් බාර් එකකට බිලි වෙන නිසා. අත පයේ හයියෙන් වැඩක් නොකොට තවත් මනුස්සයෙක්ට කෙළවන එක ජීවිකා වෘත්තිය කරගත්තු නිසා. එහෙමයි කියලා අපේ පවුල් කඩාගන්න බැහැනේ. ඒ නිසා සබ්බ සකලමනාව ම තියෙන පොකැට්ටුව අතරමග දී මිස් නො කරගන්න පුරුදු වෙමු.

 

1. අවධානය

How to protect your wallet from pickpocketers

Source – reddit.com

සිහියක් නැතිකම නිසා පොකැට්ටු විතරක් නෙවෙයි ජීවිතේ බොහෝ දේවල් අපේ අතින් ගිලිහෙනවා. මනෝ පාරවල් ගහනකොට අතේ තියෙන ෆෝන් එක උදුරන් දුවනවා දන්නෙත් නැහැ. නිතර ම පොකැට්ටුව ගැන අවධානයෙන් ඉන්න. ඒක තියෙන තැන ආරක්ෂාකාරී විදියට තියෙනවා ද කියලා දිගින් දිගට ම බලන්න. පැක් වුණ බස් එකක, කෝච්චියක වගේ ම පාරේ යද්දිත් අවධානය බොහොම වැදගත්.

 

2. ආරක්ෂාව තහවුරු කර ගැනීම

How to protect your wallet from pickpocketers

Source – travelingcanucks.com

පිරිමි පාර්ශ්වයේ බොහෝ දෙනා පර්ස් එක කලිසමේ පිටුපස සාක්කුවේ තමයි දාගන්නේ. මේ විදිය පොකැට්කාරයන්ට හරි ම ලේසියි. අපිට දැනෙන්නේවත් නැතුව ඇඟිලි තුඩුවලින් පර්ස් එක උස්සන්න එයාලාට පුළුවන්. ඒ නිසා ඉස්සරහ කලිසම් සාක්කුවේ, කමිස සාක්කුවේ නැත්නම් බෑගයක ඇතුළෙහි ආරක්ෂාකාරීව පර්ස් එක දාගෙන යන එක හොඳයි. ගොඩක් පික්පොකැට්කාරයෝ බ්ලේඩ් තලයක් භාවිත කරනවා. පර්ස් එක හිර වෙලා වගේ නම් කලිසම් සාක්කුව බ්ලේඩ් එකෙන් ඉරනවා. අනතුරක් වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩී. කාන්තා පාර්ශ්වයත් පර්ස් එක බෑග් එකේ ඉතා ම ආරක්ෂා සහිතව තියාගෙන බෑග් එක ගැනත් අවධානයෙන් යන්න ඕනි. අපේ පොකැට් අයියලා බෑග් එක ම උදුරන් දුවන ආතල් එක උසේන් බෝල්ට් මීටර් සීයේ කප් ගහලාවත් ගත්ත තරමේ එකක් නෙවෙයි.

 

3. පුද්ගලයන් හඳුනාගැනීම

How to protect your wallet from pickpocketers

Source – twitter.com

පොදු ප්‍රවාහන සේවයේ යනකොට ළඟින් වාඩිවෙන, ළඟින් ම හිටගෙන ඉන්න, ඇහැක් දාගෙන කුරුමාණම් බැල්මෙන් ඉන්න අය ගැන අවධානයකින් ඉන්න අවශ්‍යයි. වෘත්තීයමය වශයෙන් මේක කරගෙන යන අයගැන බස් රථයේ අයත් දන්නවා. ගොඩක් වෙලාවට පොකැට් එකට විදින්නේ බස් එකෙන් බහින වෙලාවට. සෙනග තදබදය අස්සේ බස් එකෙන් බහින එක ගැන මිසක් මේ ගැන අවධානය යොමු වෙන්නේ නෑනේ. ඒ නිසා අර කිව්වා වගේ සැකකටයුතු පොරක් දැක්කොත් එයා ගැන ඇලර්ට් එකේ ඉන්න වෙනවා. දැක්ක ගමන් මෙයා හොරෙක් කියන්න අද කාලේ නම් කොහොමටවත් බැහැ. ටයිකෝට් දාගත්තු මහත්මයෙක්, හිඟන්නෙක් නැත්නම් සුරූපි යුවතියක් විදියටත් ඉන්නේ පික්පොකැට්කාරයෝ තමයි.

 

4. අනෙකා වෙනුවෙන් ක්‍රියාත්මක වීම

How to protect your wallet from pickpocketers

Source – thewritelife.com

පොකැට් එකට විද්දම ඒක අයිති මනුස්සයා මොන තරම් නම් අසරණකමකට පත් වෙනවද? ගමේ ඉඳන් නගරයට ආපු අයෙක් නම් දුක කියාගන්නවත් කෙනෙක් නැති වෙනවා. තවත් කෙනෙක්ගේ ප්‍රශ්නයක් හමුවේ ක්‍රියාත්මක නොවී ඒ මනුස්සයා මුහුණ දෙන ඇබැද්දියේ පින්තූර ගන්න එක, වීඩියෝ කරන එක දැන් විලාසිතාවක් බවට පත්වෙලා. පර්ස් එක උදුරන් දුවන හොරා පස්සේ තනි මනුස්සයෙක් දුවන් යනකොට හොරාට රිංගලා බේරෙන්න ලේසියි. ඒ නිසා බය නැතුව මේ වගේ අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න ඕනි.

 

5. සාමාන්‍ය දැනීම

How to protect your wallet from pickpocketers

Source – newswide.com

පික්පොකැට්කාරයෝ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන එක උසස් පෙළ විභාගේ පොදු පරීක්ෂණේ වගේ. ඒ හැටි බලාගන්න දෙයක් නෑ හැබැයි හැමෝම තම නැණ පමණින් පාස් වෙනවා. හොරු ගැන මහා ලොකුවෙන් අධ්‍යයනය කරන්න දේවල් නැහැ. ඒත් හරි හමන් දැනුමක් ඇතුව යනවා නම් ඔවුන්ගෙන් බේරෙන්න පුළුවන්. සමහර බස් පාරවල් තියනවා මේවාට ම ප්‍රසිද්ධ. උදාහරණයක් විදියට බත්තරමුල්ලට යන බස්වල අනන්තවත් පොකැට් ගැසිලි සිද්ධ වෙනවා. මොකද ගොඩක් අය පාස්පෝට් ඔපීසිය පැත්තේ යන නිසා සල්ලි තියන වග හොරු දන්නවා. ඊළඟට පිටකොටුවේ ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක පැත්තේ ගැවසෙනවා නම් පර්ස් එකට ලොකු අන්තරායක් තියනවා. ඒ විතරක් නෙවේ අනුරාධපුරය වගේ විශාල වශයෙන් සෙනග ගැවසෙන පූජනීය ස්ථානවල පොකැට්ටු මිස් වෙන්න වැඩි සම්භාවිතාවයක් තියනවා.

සරලව ම කිව්වොත් මේ පොකැට් කතන්දරේ තනි වගකීම තියෙන්නේ අපේ. පොකැට්කාරයොන්ට සම්මන්ත්‍රණයක් තියලා ඔලුව අතගාලා අනේ පුතේ හොරකමෙන් වැලකෙන්න කිව්වට අනික් හැරුණු අතට එයාලා බෝධිසත්වයෝ වෙන්නෑ. සිස්ටම් එකක් චේන්ජ් කරන එක ඒ වගේ ලේසි නෑ. දාඩිය මහන්සියෙන් උපයාගත්තු දේ තවත් මනුස්සයෙක් ක්ෂණයකින් උදුරගෙන දුවනවා බලන් ඉන්න තැනට පත් නොවෙන එක අපේ වැඩක්.

 
Cover Image Source – wikimedia.org / facebook.com
 

One response to “මාරයන් වගේ ඉන්න පික්පොකට්කාරයන්ගෙන් බේරෙමු”

  1. […] පොකැට් එකට විදින්න බලාගෙන ඉන්න කෑදර පික්පොකැට් සෙවලයෝ බස්වල […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *