ක්‍රෂ් එකක් ඇති වුණාම අපි කරන්න පෙළඹෙන අමුතු දේවල්

ජීවිතේ ඕනිම සංධිස්ථානයක දී ක්‍රෂ් එකක් ඇති වෙන්න පුළුවන්. ඉස්කෝලේ දවස්වල ඉඳන් වල පයයි ගොඩ පයයි වෙනකනුත් ඒක වෙන්න පුළුවන්. ඕක ඉතින් එක අතකට සුන්දර හැඟීමක් වගේ ම කට්ටක්. ඉතින් අර කියපු ඕනම සංධිස්ථානයක දී සුන්දරකමයි කට්ටයි බැලන්ස් වෙන්න අපි එක එක දේවල් කරන්න පෙළඹෙනවා.



1. සෝෂල් මීඩියා ස්ටෝකර්


දැන් නම් ඉස්සෙල්ලම කරන්නේ මේක. එයා ගැන  අප්ඩේට් අවශ්‍ය නිසා වගේ ම ෆොටෝ එකක් දෙකක් වුණත් තියාගන්න පුළුවන්කම තියෙන නිසා ෆේස්බුක්, ඉන්ස්ටාග්‍රෑම් සහ ට්විටර් වගේ ඒවයේ එයා ගැන ඇහැ තියාගෙන ඉන්නේ. උදේ නැගිටපු ගමන් ෆෝන් එක බලන්නේ එයාගේ අලුත් විස්තරයක් දැනගන්න. හරියට රටතොට විස්තර දැනගන්න උදෙන් පත්තරයක් බලනවා වාගේ. 



2. මග රැකීම


පෙම්වතුන් නම් එකිනෙකා හම්බෙන්න මග බලාගෙන ඉන්නවා. ක්‍රෂ් ඇතිවුණා ම මග රැකගෙන ඉන්නවා. ඒකත් එක්තරා විදියක මග බැලීමක් තමයි ඒත් වැඩේ කියන්නේ අනෙක් පාර්ශ්වයට එහෙම ආසාවක් නෑ. මේක මේ එක පැත්තකින් විතරක් වෙන එකක් නේ. ඉතින් එයාගේ යන එන ගමන් බිමන්, ඉන්නවා කියලා හිතන තැන්, අනුමානෙට යන තැන් ඔන්න ඕවට වෙලා ඉන්නවා. වෙන මොකටවත් නෙවේ බලන්න. සමහරවිට ටික කාලයක් ඔහොම වුණා ම එයාට ඒක නෝට් වෙන්නත් ඉඩ තියනවා.



3. අනාගත සිහින මාලිගාව


මේක අමුතු වැඩක් වුණාට සෑහෙන නිර්මාණශීලි දෙයක්. දැක්ක පමණින් මගුල ගන්න හැටිත් සමහරු හිතලා ඉවරයි. බබාලට දාන නම්, එකතු වෙලා හදන ගෙදර, ගන්න වාහනේ ඉවරයක් නෑ ඕවා. ඒ වගේ භෞතික පැත්තෙන් වගේ ම දෙන්නා එකතු වෙලා අත් පටලගෙන ඇවිදින හැටි, රෙස්ටෝරන්ට් එකක දී කෝපි කෝප්පයක් බොන හැටි වගේ ම සමහරවිට පළමු හාදුවත් සිහින මාලිගාවට ඇතුළත් වෙනවා.



4. මිත්‍ර හමුදාවක් සැදීම


සමහරු මේ ක්‍රෂ් වැඩේ සාර්ථක කරගන්න මිත්‍ර හමුදාවක් හදාගන්නවා. මොකද ඉතින් එක අතකට මේක යුද්ධයක් නේ. අතිශය රහසිගත යුධ තොරතුරු හුවමාරු වෙනවා වගේ ක්‍රෂ් එක ගැන විස්තර වෙන්නේ. අර මග රකින වැඩේට සමහර වෙලාවට එකතු කරගන්නවා තනියම බෑ බෑ වගේ හිතුණාම. හැබැයි ඔක්කොම අජපල් වෙන වෙලා තියනවා. ක්‍රෂ් එක ළඟින් යන වෙලාවට මිත්‍ර හමුදාව වෙලාවකට පාවා දෙනවා. මගේ නම එයාට කියනවා. ඒ වෙලාවට මං දිහා පැණියෙන් බලනවා. ඔය වගේ දේවල් නිසා වෙලාවකට වැඩේ ගැස්සෙනවා. වෙලාවකට හරියට ම හරියනවා.



5. කවියෙකු වීම


කවිකම හැමෝට ම බෑ. දැන් නම් වචන ටිකක් එහෙ මෙහෙ දැම්මත් එයා කවියෙක් ලු. ඒක එහෙම නෙවෙයි. කොහොම හරි කිසිම සාහිත්‍ය රසයක් මොකක්වත් නැති අය පවා මේ ක්‍රෂ් කෙරුවාව එක්ක කවියෝ වෙනවා. සමහරවිට ඕවා ලියන්නේ එයාට පේන්නමයි. කවිකමේ දක්ෂකම අනුව සමහරවිට එයාට ඒත්තු යනවා පොර මොකට ද එන්න හදන්නේ කියලා. 



6. විකිපීඩියාවක් වීම


ඇත්තටම මේ දැනුම හොයන්න තියන අමාරුව වෙන අධ්‍යාපනික කාරණේකට තිබුණා නම් ඉතින් අල්ලන්න හම්බ වෙන්නේ නෑ. ඒත් වැඩේ කියන්නේ ඒ උනන්දුව තනිකර ම වෙන වැඩකට යෙදෙන එක. අන්තිමේ බලනකොට එයා ගැන නොදන්න දෙයක් නෑ. එයා කන නොකන දේවල් වගේ ම සමහර සිදුවීම්වලට එයාලා ප්‍රතිචාර දක්වන විදිය වගේ සියුම් දේවල් පවා අධ්‍යයනය කරනවා.



7. හිතේ ඇඳෙන සංවාද


හිතෙන් ගලවන්න බැරි ක්‍රෂ් එකක් වුණාම තනියම කතා කරනවා වගේ තැනකට ඇද වැටෙනවා. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් වගේ ම තනියම උඩ බලන් ඉද්දිත් එයා එක්ක කතා කරනවා කියලා හිතාගන්නවා. ඒක පිස්සුවක් දක්වා වර්ධනය කරන් නැති වෙන්න වග බලාගන්න ඕනි මොන තරම් අමුතු දෙයක් වුණත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *