අපි එකිනෙකා මුණ ගැසුණු විට අදහස් හුවමාරු කරගන්නට වාග්මය භාෂාවක් භාවිතා කරනවා. එහෙත් අපි නොදැනුවත්ව ම භාවිතා කරන, ඒ සමඟ මුහුවන කාය භාෂාව එහි අර්ථයන් විටෙක වඩාත් ඔප් නංවනවා මෙන් ම ඇතැම්විට අපිට අනවශ්‍ය වුවත් අපි කියන දේහි අර්ථය සහමුලින්ම වෙනස් කර අනෙකුන් අපෙන් දුරස් කරවන්නට ද හේතු වන්නට පුළුවන්. නොදන්නා භාෂාවක් අළුතෙන් ඉගෙන ගත්තාම අපි කිසිදා කථා නොකළ ජන කොට්ඨාශයක් සමඟ කථා කිරීමේ, අදහස් හුවමාරු කරගැනීමේ පහසුකම ලැබෙන්නාක් වගේ මේ කාය භාෂාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම අපේ අදහස් හුවමාරු කරගැනීම් වලට වඩාත් පහසුවක් ගෙන දෙනවා. මෙහි තිබෙන ප්‍රධාන වාසිය නම්, සංගීතය විශ්ව භාෂාවක් වගේ ම මේ කාය භාෂාවත් ලොව ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි, තමා භාවිතා නොකළත් එය අන් කෙනෙක් හරහා තේරුම් ගනු ලබන උත්පත්ති ඥානයක්.
1. සාම්ප්‍රදායික මකුළු දැල නව්‍යකරණය කරමු

Source – pixels.com
ඇත්තෙන් ම මෙයට වඩාත් ම සුදුසු වචනය තමයි “සහජාසය”. සහජාසය යන්නෙන් හැඳින්වෙන්නේ ස්වාභාවිකව කිසියම් උත්තේජයකට ප්‍රතිචාර දැක්වීම සඳහා සත්ත්වයන් තුළ ඇති ස්ථාවර ක්‍රියා පිළිවෙත යන්න යි. මෙයට අපි හොඳින් ම දන්නා, නිතර දැකිය හැකි උදාහරණය වන්නේ මකුළුවන්ගේ දැල් විවීම යි. තමන්ට රැඳී ඉන්නට ද තැනක් මැදින් තිබෙන සේ අක්ෂ කීපයක් වටේට යොදමින් සවිමත්ව සකසා ගන්නා ඔවුන් ඉන් පසු ඒ අක්ෂ ද එක් කරමින් තවත් සබැඳුම් යොදමින් හොඳ වියමනක් තනාගන්නවා. එහි මහත් සෞන්දර්යයක් තිබෙනවා මෙන් ම ඔවුන්ට පහසුවෙන් ගොදුරු සොයාගන්නට ද එය උපකාරී වෙනවා.
ඒත් ඔවුන්ට මෙය කියා දුන්නේ කවුද? එය දෙමව්පියන්ගෙන් උරුමවන්නක් නොවෙයි. ඒත් අපි ඇසිය යුතු ප්‍රශ්ණය එය නොවෙයි. ඇයි ඔවුන් හැමදාම එක ම ආකාරයේ දැලක් වියන්නේ? දැනට තිබෙන දැල ඔවුන්ට දූවිලි වැකී ඇලෙනසුළු බව නැතිව ගියා ම එය ඉවතලා නැවත වියන්නට සිදුවෙනවා. ඉතින් ඒක වැඩිදියුණු කරගන්න පුළුවන් නම් වැඩේ හරි. ඒත් අන්න ඒ වෙනස කරගන්නට ඔවුන්ට අවබෝධයක් නැහැ. ඒ නිසයි අපිත් අපිට සහජාසයෙන් ලැබී තිබෙන කාය භාෂාව හසුරුවන්නට ඉගෙන ගන්නට ඕනෑ වෙන්නේ.
2. ආකල්ප සහ කාය භාෂාව

Source – emcllc.com
සිතන්නට යමක්: ඔබ දකින ආකාරය අනුව, මේ වීදුරුවේ බාගයක් පිරිලා ද? නැත්නම් බාගයක් හිස් ද?
පුද්ගල සංවර්ධනයට ආකල්ප කියන්නේ ඉතා ම වැදගත් සාධකයක්. අපේ ආකල්ප අනුව තමයි අපේ පෞරුෂය සහ ක්‍රියා කලාපයන් කාය භාෂාව හරහා පිටතට පිළිබිඹු වෙන්නේ. මේ නිසා අපේ දැනට තිබෙන ආකල්ප හොඳින් හඳුනාගත යුතුයි.
වෙනත් කෙනෙක්ගේ ජයග්‍රහණයක් ඇසුවාම අපිට දැනෙන්නේ මොනවගේ හැඟීමක් ද, කාර්යාලයේ ප්‍රධානීන් පිටතට ගිය විට අපිට වැඩක් නොකර නිකම් ඉන්නට හිතෙනවාද, කෙනෙක් අපිට ඔවුන්ගේ දුකක් ගැන විස්තර කරනවා නම් අපිට සත්‍ය වශයෙන් ම ඇතිවන්නේ කිනම් ආකාරයේ හැඟීමක් ද, පානය කර අවසන් වූ ප්ලාස්ටික බෝතලයකට සිදු කරන්නට හිතෙන්නේ කුමක්ද ආදී වශයෙන් බාහිර ලෝකයේ සමඟ ගැටෙන අවස්ථාවන්හිදී අපි ප්‍රතිචාර දක්වන ආකාරය සූක්ෂමව අවබෝධ කරගැනීම වැදගත්. ඉතින්, ඔබ ඔබේ ආකල්පයන් පිළිබඳ අවධානයෙන් සිටීමට උත්සාහ කරන්න.
3. මොළයේ හැටි විවේචනය කිරීමයි

Source – fthmb.tqn.com
මනුෂ්‍ය මොළය හැමවිටම දේවල් විවේචනය කරන්නට පෙළඹෙනවා. එය නරක දෙයක් නමුත්, එහි හැටි එහෙමයි. මානව පරිණාමය සඳහා ද දායක වූ එය අපි නොහිතාම මිලි තත්පර කිහිපයකින් සිදුවී අවසන් වෙනවා.
- මේ පුද්ගලයා මට අභියෝගයක් ද?
- මොහු ප්‍රියමනාප ද?
- ඔවුන් මගේ (සමාජමය) ජීවන රටාවට උචිත ද?
මේ තීරණ ගනිද්දී ඇතැම්විට අපි ඒ පුද්ගලයන් සමඟ හොඳින් කතාබහ නොතිබෙන්නත් පුළුවන්. ඔවුන් අප සිටින අවකාශයට/කාමරයට පැමිණි මොහොත් ම වුවත් අපි ඔවුන්ගේ පිටත පෙනුම, හැසිරීම ආදිය අනුව පුද්ගල වර්ගීකරණයක් කිරීමට පෙළඹෙනවා.
මෙන්න මෙය තමයි අපි නොදැනුවත්වම කාය භාෂාව කියවන අවස්ථාව. වෙනත් කෙනෙක්ගේ බාහිර විලාසයන් අනුව අපි මෙතෙක් ලබා ඇති අත්දැකීම් ද සසඳමින් අපි ඔවුන්ට අර්ථකථනයන් දෙනවා. ඉතින් අපි විතරක් නෙවෙයි, එය පාලනය කර නොගත් බොහෝ දෙනෙක් මේ දේ කරන නිසා තමයි ඊට උචිත ලෙස අපේ කාය විලාසයන් හැඩ ගස්වා ගැනීම වැදගත් වෙන්නේ.
“හැමෝම ඔබේ පිටත පෙනුම දකිනවා. නමුත් සැබැවින් ම ඔබ යනු කවුරුන්දැයි කියා දන්නේ සුළු පිරිසක් පමණයි” – නිකොලෝ මැකියාවෙලි
ඔබ මේ වන විටත් මේ ආකාරයෙන් ළඟින් ඇසුරු කිරීමකින් තොරව අනෙක් අය මේ මේ ආකාරයේ අය වෙන්නැති කියා සිතනවා නම් මේ කටයුත්ත සඳහා නම් වාසියක් තිබෙනවා. මොකද, ඔබ ඔබේ මිනුම් දණ්ඩ දන්නා නිසා එය භාවිතා කරමින් ඔබේ කාය විලාසය හැඩගැන්වීම පහසු කටයුත්තක්. එනමුත් ඒ අතරතුර ම අනෙක් අයගේ මිණුම් රටාවන් මෙන්ම ඔවුන් ඔබ ගැන හොඳින් නොදැන ඔබට අර්ථකථනදීම කෙතරම් අසාධාරණ ක්‍රියාවක්ද යන වග සිතට ගන්න. නොදැන විවේචනයෙන් වැළකෙන්න.
4. භාවිත අවස්ථා

Source – foto-dpi.com
කාය භාෂාව සැමවිට ම භාවිතා වන්නේ භෞතිකව හෝ දෘෂ්ඨිමය හමුවීම් හරහා යි. දුරකථන සංවාද වැනි දේවලදි වාග් භාෂාව මූලික වන නිසා මුඛයෙන් පවසන දේ අතරතුර මුහුණෙන් හෝ ශරීරයෙන් කුමන ආකාරයේ පිළිබිඹුවක් සිදුවනවා ද යන්න දැකගත හැකි වන්නේ නැහැ. එහෙත් වාග් භාෂාවේ භාවිතාවන් අධ්‍යයනය මගින් එය ද පහසුවෙන් කරගත හැකි නමුත් බොහෝ දෙනෙක් ව්‍යාපාර හමුවීම් ආදිය දුරකථනයට ම සීමා නොකර මුහුණට මුහුණ හමුවී කථා කිරීම ප්‍රිය කරනවා. එය හොඳ ක්‍රමයක් වගේ ම එමඟින් ඇතිවන බන්ධනයත් වැඩියි. මොකද, අපේ මොළයේ ශ්‍රවණ ප්‍රදේශයට අමතරව දැකීමෙන් දෘෂ්ඨි සහ/හෝ අතට අත දීම ආදියෙන් ස්පර්ශ ප්‍රදේශයන් උත්තේජනය කරගැනීමෙන් වඩාත් පහසුවෙන් තීරණ සඳහා යොමුවීමට පෙළඹෙනවා.

Source – rackcdn.com
නූතනයේ එය වීඩියෝ ඇමතුම් තෙක් විකසනයවී ඇති නිසා අන්තර්ජාතික හමුවීම් පවා ඒ හරහා සිදුකර ගැනෙනවා. එහිදීත් ඉතා පහසුවෙන් කාය බස කියවීම සහ භාවිතා කිරීම කරන්නට පුළුවන් නිසා විශ්වාසදායී බැඳීමක් කරා යාමට අවකාශ සැලසෙනවා. කෙසේ නමුත්, ඔබ ටික කාලයක් කාය බස භාවිතා කිරීමට ආරම්භ කිරීමෙන් පසු ශ්‍රවණය හරහා ද ඉදිරි තීරණයක් සඳහා පහසුවෙන් කෙනෙක් විශ්වාස කළ හැකි ද නැත්ද යන්න තීරණය කිරීමේ හැකියාව නිතැතින් ම ලැබෙනවා.
Cover Image Source – twitter.com / youtube.com / facebook.com
Leave a Reply