අනික් අය ඔයා ගැන තිබුණු ගෞරවය නැති වෙලාද? ඒක ආයෙමත් ලබාගන්නේ මෙහෙමයි!

How to regain the lost respect

දැන් ඔය ගෞරවය කියන එක අපේ ජීවිතේට සෑහෙන්න අදාළ, සෑහෙන්න අවශ්‍ය දෙයක්නේ. මොකද, කෙනෙක් අපි ගැන තියෙන ගෞරවය මත තමයි අපි කියන දෙයක් සැලකිල්ලට ගන්නවද, අපිව විශ්වාස කරනවද, අපිත් එක්ක හොඳින් වැඩ කරනවද, අපිත් එක්ක හොඳින් ඉන්නවද කියන කාරණා තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපිත් එක්ක නැතිනම් අපි යටතේ වැඩ කරන අය, අපිත් එක්ක ප්‍රේම සම්බන්ධයක ඉන්න අය, නෑදෑයෝ යාළුමිත්‍රයෝ ගෙදර අය වගේ අපිත් එක්ක සමාජ සම්බන්ධතා වල ඉන්න අය වගේම අපිට එදිනෙදා මුණගැහෙන මිනිස්සු අතර පවා මේ ගෞරවය තියෙන්න අවශ්‍යයි.

හැබැයි නොයෙක් හේතූන් නිසා ඕනම කෙනෙක් තුළ අපිට තියෙන මේ ගෞරවය නැතිවෙලා යන්නත් පුලුවන්. ඒක එක්කෝ අපේ වැරැද්දක් නිසා වෙන්න පුලුවන්. ඒ කියන්නේ අපි ඒ අයගේ හිතේ අපිට තියෙන ගෞරවය පළුදු වෙන විදියේ වැරැද්දක් – උදාහරණයක් විදියට අපි කියමු අනියම් සම්බන්ධතාවයක් කියලා- කළොත්, ඒ අයට තවදුරටත් අපිට ගෞරවයෙන් සලකන්න බෑ. ඒ වගේම, වෙන කෙනෙක්ගේ වැරැද්දක් නිසාත් අපිට අනික් අය දක්වන ගෞරවය නැතිවෙන්න පුලුවන්. උදාහරණයක් විදියට අපේ පවුලේ කෙනෙක් ලොකු වැරැද්දක් කළොත්, අපි ඒකට හවුල් නැතත් අපි ගැන අනික් අය දක්වන ගෞරවයත් අනතුරේ වැටෙනවා. අන්තිමට, අපි කිසිම වැරැද්දක් නොකර වුණත්, තව කෙනෙක් අපි වැරැද්දක් කළා කියලා හිතන නිසාත් ඒ කෙනා අපි ගැන දක්වන ගෞරවය නැතිවෙන්න පුලුවන්.

දැන් මේ විදියට ගෞරවය නැතිවුණාට පස්සේ, අපි ගැන ගෞරවය නැති වුණු අයත් එක්ක වැඩ කරන එක ලෙහෙසි නෑ. මොකද, සරලවම ගත්තොත්, අපි පවසන අදහසකට කෙනෙක් ඇහුම්කන් දෙන්න පවා අපි ගැන ගෞරවයක් තිබීම අවශ්‍යයි. මෙන්න මේ නිසා, අපි ගැන තිබුණු නැතිවුණු ගෞරවය අපි ආයෙමත් ලබාගන්න කටයුතු කරන්න ඕන. ඒක කොහොමද කරන්නේ?

01. ගෞරවය නැවත ලබාගැනීමට උත්සාහ කළ යුතු බව තෝරගන්න

How to regain the lost respect

මූලිකම දේ මේක තමයි අපි අවබෝධ කරගන්න ඕන. අපි ගැන තියෙන ගෞරවය අනික් අය තුළ නැති වුණා නම්, ඒ ගෞරවය ආපිට ලබාගන්න අවශ්‍යයි කියලා තීරණය කරන්න ඕන. ඒ වෙනුවෙන් වෙහෙස දරන්න ඕන කියලා අපි අවබෝධ කරගන්න ඕන. ඒ වගේම, ඒ වෙනුවෙන් වෙහෙස දරන්න අපි සූදානම් වෙන්න ඕන. ඒ වගේම, ඒ වෙනුවෙන් කාලය ගත වෙනවා, අපිට ගෞරවය නැති වුණාට පස්සේ, දවසෙන් දෙකෙන් ඒ ගෞරවය ආයෙමත් ලබාදෙන්න මිනිස්සු සූදානම් නැති බවත් අපි අවබෝධ කරගන්න සහ, පිළිගන්න ඕන.

02. වැරැද්දක් සිදුවූ බව භාරගන්න

How to regain the lost respect

මේක ඉතාම වැදගත්. තමන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවුණු වරදක් නිසා තමන් ගැන තිබුණු ගෞරවය නැතිවෙලා නම්, මුලින්ම තමන් අතින් වරදක් සිදුවුණු බව පිළිගැනීම අවශ්‍යයි. ඒ කියන්නේ තමන් තමන්ට අවංක වෙලා පිළිගන්න ඕන වරදක් සිදුවුණා කියලා. ඒ වගේම, තමන් ඒ වරදේ බලපෑමට අදාළ වෙන අනික් අය ඉදිරිපිටත් පිළිගන්න ඕන වරදක් වුණේ කියලා. ඒකට සමාව අයදින්න ඕන. ඒ වගේම, හැකියාවක් තියෙනවා නම්, ඒ වරද නිවැරදි කරන්න තමන්ට කරන්න පුලුවන් දේවලුත් කරන්න සූදානම් වෙන්න ඕන. ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන. ඇත්තටම තමන් අතින් සිද්ධ වෙන හොඳ නරක ඕනෑම දේක වගකීම, හිමිකම තමන් ඕනෑම මොහොතක භාරගන්න සූදානම් වීම, අනික් අයගේ ගෞරවය ලැබෙන්න හේතු වෙන දෙයක්.

03. වැරදි නැවත සිදුනොවෙන බව තහවුරු වෙන්නට ඉඩ දෙන්න

How to regain the lost respect

මේක ඉතින් සරලයි. තමන් අතින් සිදුවුණු වැරැද්දක් නිසා තමන් ගැන තියෙන ගෞරවය අනික් අය තුළින් නැති වුණා නම්, ආයෙමත් ගෞරවය ලබාගන්න ඒ වැරැද්ද හෝ වෙන වැරැද්දක් තමන් අතින් සිදුවෙන්නෙ නෑ කියන එක අනික් අයට ඒත්තු ගන්වන්න අවශ්‍යයි. හැබැයි මෙතනදී ඇත්තටම සිද්ධ වෙන්න ඕන කරන්නේ තමන්ගේ චරිතය වෙනස් කරගන්න එක තමයි. ඒ කියන්නේ, තමන් ආයෙ ඒ වැරැද්ද නොකරන බව රඟපාන එක නෙවෙයි. ඇත්තටම තමන් අතින් ඒ වගේ වැරැද්දක් සිද්ධ නොවෙන විදියට තමන්ව හැඩගස්වා ගන්න එකයි. හැබැයි ඉතින් තමන් ඒ වැරැද්ද නොකරන බව අඬබෙර ගහමින් ගියාට වැඩක් වෙන්නෙ නෑ. අනික් අයට කාලයාගේ ඇවෑමෙන් තේරෙන්න ඕන අපි වෙනස් වෙලා, අපි අතින් ආයෙමත් වැරැද්දක් සිද්ධ වෙන එකක් නෑ කියලා. එතකල් ඉවසිල්ලෙන් ඉන්න.

04. තමන්ගේ චරිතයේ අචලතාවය ගොඩනංවන්න

How to regain the lost respect

මේක තමයි වැදගත්ම කාරණාව. තමන්ගේ ඉන්ටෙග්‍රිටි එක, එහෙම නැතිනම් චරිතයේ තියෙන සෘජු අචලතාවය නිර්මාණය කරන එක. ඒ කියන්නේ, අපි ගැන කෙනෙක් කතා කරනවා නම්, ඒ කෙනා අපි කාටවත් වැරැද්දක් නොකරන, හැබැයි තමන්ගේ වැඩේ අකුරට කරන, අනික් අයටත් උදව් කරන, තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් විදියට හඳුන්වනවා කියලා හිතන්න. එහෙම නැතිනම් තමන්ගේම එතිකල් කෝඩ් එකකට, එහෙම නැතිනම් ආචාර ධර්ම පද්ධතියකට ස්ථාවරව අනුගත වෙලා ඉන්න කෙනෙක් විදියට අඳුනගන්නවා කියලා හිතන්න. ආන්න ඒක තමයි චරිතයේ අචලතාවය කියන්නේ. නැතිවුණු ගෞරවය ආයෙමත් ලබාගන්න ඒකත් වැදගත්.

05. අනික් හැමදෙනෙක්ටම ගෞරවයෙන් සලකන්න

How to regain the lost respect

අපිට අනික් අය ගෞරව කළා හෝ නැතා හෝ, අනික් හැමෝටම ගෞරවයෙන් සලකන එක අත්‍යවශ්‍ය දෙයක්. ඇත්තටම අපිට ගෞරවයක් ලැබෙන්න, අපි අනික් අයට ගෞරව කරන්න වුවමනායි. ඒ කියන්නේ කතාබහ කරනකොට ගෞරවයෙන් කතා කරන එක, ගෞරවයෙන් හැසිරෙන එක, එතකොට වෙනත් අය එක්ක කෙනෙක් ගැන කතා කරනකොට වුණත් ඒ කෙනා ගැන ගෞරවයෙන් සඳහන් කරන එක වැදගත්. අපි එහෙම අනික් අයට ගෞරවයෙන් සලකන කොට, කෙනෙක්ට අපිට අගෞරවයෙන් සලකන්න අමාරුයිනේ.

06. ඉවසීමෙන් කටයුතු කරන්න

How to regain the lost respect

දැන් මේ කියපු කාරණා හැම එකකදීම අපිට වැදගත් එක තැනක් පැහැදිලි වෙන්න ඕන. ඒ තමයි, අපිට ගෞරවය මොකක් හරි හේතුවක් නිසා නැතිවෙලා ගියාට පස්සේ, ඒ ගෞරවය ආයෙමත් දිනාගන්න අමාරුයි කියන එක. ඒ කියන්නේ අපිට මුලදී මාසයක් අපිත් එක්ක වැඩ කරද්දී මිනිස්සු ගෞරවයෙන් සලකන්න පටන් ගත්තා කියමු. දැන් අපි අතින් වුණු වැරැද්දක් නිසා ඒ ගෞරවය නැතිවෙලා යනවා. දැන් අපි කොයි තරම් හොඳට ඉන්න හැදුවත් ආයෙමත් මාසෙකින් ඒ නැතිවුණු ගෞරවය ලැබෙන්නෙ නෑ. ඇත්තටම ගෞරවය නැතිවෙන්න ගත්වෙන්නේ සුළු මොහොතක් වුණාට, ඒ ගෞරවය ආයෙමත් හදාගන්න විශාල කාලයක් යනවා. ඉතින් ඒකට ලොකු කාලයක් යනවා කියලා වැඩේ අතඇරලා දාලා හරියන්නෙ නැහැනේ. අපිට උපරිමයෙන් ඉවසීම ප්‍රගුණ කරන්න වෙනවා මෙතනදී. ඒකයි අපි කියන්නේ, නැතිවුණු ගෞරවය ආයෙමත් ඕන නම්, ඒකට ගතවෙන කාලය ගැන හිතන්න එපා, ඉවසිලිවන්තව, අචල චරිතයකින් යුතුව වැඩ කරන්න කියලා.

07. තමන් වෙනුවෙන් පෙනී සිටින්න

How to regain the lost respect

දැන් අපි අතින් වරදක් වුණා කියමුකෝ. එතකොට අපි ඒ වරද නිවැරදි කරන්න, ඒ වැරැද්ද නැවත සිද්ධ නොවෙන බව තහවුරු කරන්න කටයුතු කළ යුතුයි. ඒ ටික හරි. දැන් ඔය ඔක්කොම කරලා, අර අපිට ගෞරව කරන්නේ නැති අයත් එක්ක අපි ඉවසිල්ලෙන් වැඩ කරගෙන යනවා කියලා කියමු. හැබැයි එහෙම කරලත් අපිට ඒ ගෞරව කරන්නේ නැති අයගෙන් ගෞරවයක් ලැබෙන්නේ නෑ කියමු. කමක් නෑ. අදාළ කරගන්න එපා. ඒ ගැන අපි ආටිකල් එක අන්තිමටම ලියලත් තියෙනවා. හැබැයි අපි මොන දේ කරලත් අපිට ගෞරවය ආයෙමත් ලබාදෙන්න සූදානම් නැති අයගෙන් අපිට කරදරයක් සිද්ධ වෙනවා නම්, අපි අනිවාර්යයෙන්ම එතනදී අපි වෙනුවෙන් පෙනී ඉන්න ඕන. උදාහරණයක් විදියට, පිරිසක් ඉස්සරහා අපිව ඒ ගැන කියලා අපහසුතාවයට පත් කරනවා නම්, අපිට කියන්න පුලුවන් ඒ හැසිරීම පිළිගන්න බැහැයි කියලා. අපිට අපහාස කරනවා නම්, අනතුරු හඟවන්න පුලුවන් අපහාස අපි තවදුරටත් ඉවසන්නෙ නෑ කියලා. වෘත්තිය මට්ටමෙන් අපිට එකට වැඩ කරන්න බැරි විදියට හැසිරෙනවා නම්, අපි කෙලින්ම කියන්න ඕන අපිත් එක්ක හරි විදියට වැඩ කරන්න බැරි නම් ඒක ඉහළ මට්ටමට දැනුම් දෙමු කියලා. කොටින්ම කිව්වොත්, තමන් කෙරෙහි තියෙන ගෞරවය නැති වුණාට පස්සේ, අපි උඩ කියලා තියෙන විදියට ඒ ගෞරවය නැවත ලබාගන්න උත්සාහ කරද්දිත්, ඒක නොසලකා හැරලා අපිට කෙනෙක් අගෞරව කරන්න තෝරගන්නවා නම්, ඒක අපිට හානියක්, කරදරයක් වෙන මට්ටමකට එනවා නම්, අපි අපි වෙනුවෙන් පෙනී සිටින්න, නැඟී සිටින්න අවශ්‍යයි.

දැන් ඔය විදියට දිගින් දිගටම කටයුතු කරලත්, කවුරුහරි කෙනෙක් අපිට ආයෙමත් ගෞරව කරන්නේ නැතිනම් මොකද කරන්නේ? ඇත්තටම කරන්න දෙයක් නෑ. තමන් ආයෙමත් නැතිවී ගිය ගෞරවය ලබාගන්න සුදුසුයි කියලා නැවත නැවත ඔප්පු කළාට පස්සේ වුණත් කෙනෙක් ආයෙමත් අපිට ගෞරව කරන්නෙ නැතිනම්, ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම ප්‍රශ්නය තියෙන්නේ ඒ කෙනාගේ තුළ. ඉතින් එහෙම කෙනෙක්ට අපි ගරුකටයුතුයි කියලා ඔප්පු කරන්න දඟලන්න, මහන්සි වෙන්න අවශ්‍ය නෑ. ලෝකේ ඉන්නේ ඒ කෙනා විතරක් නෙවෙයිනේ. අනික් මිනිස්සු ගෞරවය දක්වනවා නම් ඒ ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *